පසුගිය පෙබරවාරි 28 දින “එජාප - සජබ එකතුවක් සිදුවේද” යන මැයෙන් වූ ලිපියෙන් එම පක්ෂ දෙක අතර ඒකාබද්ධතාවක් ගොඩනැගීමේ හැකියාව පිළිබඳව මෙම තීරුවේදී සාකච්ඡා කෙරිණි. දෙපාර්ශ්වයටම පිළිගත හැකි සම්මුතියක් ඇතිකර ගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය විසින් නම් කරන ලද කාණ්ඩායමට එම පක්ෂයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා ඇතුළත් නොවුණ ද ඔහු ඇතුළු සජබ නියෝජිත කාණ්ඩායමට පක්ෂයෙන්ම විවිධ අපවාද සහ විවේචන එල්ල වූ ආකාරය පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් ද එහිදී උපුටා දැක්වූයෙමි.
පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණේ සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ තමන් හෙබවූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවය. ඔහු තම ඉල්ලා අස්වීම දැනුම් දෙමින් පක්ෂය වෙත යැවූ ලිපිය ඉතා කෙටි එකක් බව ද, පේළි හතරකට සීමා වූ එම ලිපියේ ඉල්ලා අස්වීමට හේතු කිසිවක් දක්වා නොතිබුණ බව ද මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉම්තියාස් බාකිර් මාකාර් මහතා සමගි ජන බලවේගයේ සභාපති තනතුර ඇතුළු සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීම නිසා පක්ෂ සාමාජිකයන් මෙන්ම ආධාරකරුවන් ද විශාල කම්පනයකට පත්ව ඇති ආකාරය සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රදර්ශනය විය. එයට හේතුව වනුයේ සජබ පාක්ෂිකයන් අතර ඉහළ පිළිගැනීමක්, ප්‍රසාදයක් සහ ආදරයක් හිමිකරගෙන සිටි ඉම්තියාස් මහතාගේ වෙන්වීම ඔවුන්ට විඳදරා ගැනීමට නොහැකි වූවක් බවට පත්ව තිබීම යැයි පෙනෙන්ට තිබේ.
1970 මහමැතිවරණයෙන් දරුණු පරාජයකට මුහුණදී සිටි එක්සත් ජාතික පක්ෂය යළි නඟාසිටුවීමේ අරමුණින් ආර්. ප්‍රේමදාස මහතා තම පාක්ෂිකයන් හා රටේ මහජනතාව සමඟ සංවාදයක් ගොඩනැගීමට නායකත්වය ලබා දුන්නේය. පක්ෂයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළ ද, පක්ෂ නායකත්වය ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා එවැනි පියවරක් ගැනීමට ප්‍රේමදාස මහතාට සිදුවිය. පුරවැසි පෙරමුණ නමින් සංවිධානයක් ගොඩනගා මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඔහු ආරම්භ කළේය.
ආර්. ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පුරවැසි පෙරමුණු රැස්වීම් මාලාවේ කථිකයන් වූයේ මහාචාර්ය තිලක් රත්නකාර, චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකා, බුද්ධික කුරුකුලසූරිය, ඉම්තියාස් බාකිර් මාකර් වැනි අයයි. සජිත් ප්‍රේමදාස මහතා එවකට පස් අවුරුදු වයසේ පසු වූ කුඩා දරුවෙක් විය. පුරවැසි පෙරමුණු රැස්වීම් මාලාවේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා, ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ එක්ව රටපුරා එක්සත් ජාතික පක්ෂ රැස්වීම් පැවැත්වීමට කටයුතු කළේය. ප්‍රේමදාස මහතාට පුරවැසි පෙරමුණේ රැස්වීම් නවත්වන ලෙස පක්ෂයෙන් නියෝග ලැබුණු අතර, තම අරමුණ ඒ වනවිට පක්ෂය ක්‍රියාත්මක කරන තත්වයක් නිර්මාණය වී තිබුණු බැවින් ඔහු එයට එකඟ වී පක්ෂයේ කටයුතුවල පූර්ණකාලීනව නිරතවීමට කටයුතු කළේය.
ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඔහුගේ වැඩිම අවධානයක් යොමු වූ නිවාස අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එවක පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රිවරයකුව සිටි ඉම්තියාස් බාකිර් මාකර් මහතා පත් කළේය. තම පියා සමඟ ඉම්තියාස් මහතාගේ පැවැති සමීප සබඳතාව සජිත් ප්‍රේමදාස මහතා හොඳින් දැන සිටියේය. පියාගේ මරණයෙන් පසුව හම්බන්තොට දේශපාලනයේ නිරත වූ සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රථම වතාවට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවීමෙන් අනතුරුව තම කෘතඥතාව ප්‍රකාශ කිරීම සඳහා ඔහු ඉම්තියාස් මහතාගේ නිවසට ගියේය.
සමගි ජන බලවේගය ආරම්භ කිරීම සඳහා ඉම්තියාස් මහතා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ අතර එම පක්ෂයේ සභාපති ධුරයට ඔහු පත් කිරීමට ඔහුගේ කැපවීම, විශ්වාසවන්තභාවය සහ පාක්ෂිකයන් අතර ගොඩනඟා ගෙන තිබූ හිතෛෂිභාවය ආදි කරුණු හේතුවන්නට ඇතැයි සිතමි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා, කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් උපාධිය සමත් වූ ඔහු කිසිදු අවස්ථාවක ජාතිවාදී ලේබලය අලවා නොගත්තේය.
පසුගිය ජනාධිපතිවරයෙන් මෙන්ම මහමැතිවරණයෙන් ද සමගි ජන බලවේගයට අන්ත පරාජයක් හිමිවීමෙන් පසුව පක්ෂය තුළ ඇති කළයුතු ප්‍රතිසංස්කරණ පිළිබඳවත්, ජනතා අවශ්‍යතාවලට අනුකූලවන අයුරින් පක්ෂයේ ක්‍රියාකාරිත්වය වෙනස් විය යුතු ආකාරය පිළිබඳවත්, පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් කරුණු දොළහක් ඇතුළත් සවිස්තරාමක යෝජනාවලියක් පක්ෂ නායකත්වය වෙත ඉම්තියාස් මහතා ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
එම යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සමගි ජන බලවේගය අවධානය යොමු කළ බවක් වාර්තා වී නැත. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර එකමුතුවක් ඇති කිරීම සඳහා ඉම්තියාස් මහතා වැඩි සැළකිල්ලක් දැක් වූ බව ද පෙනී යයි. පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා සජබයෙන් පත්කළ නියෝජිත කණ්ඩායමට ඔහු ඇතුළත් නොවුණද, එම ප්‍රයත්නයට අකුල් හෙළන පිරිස් ඉම්තියාස් මහතා ද සම්බන්ධ කරගනිමින් මඩ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබුණේ ඒ නිසා යැයි සිතිය හැකිය.
පසුගිය මැතිවරණවලදී සමගි ජන බලවේගය විශාල පසුබෑමකට ලක්වූව ද, ආණ්ඩු පක්ෂය හැරුණුවිට ඊළඟ ජනතා කැමැත්ත හිමිකර ගෙන ඇති දේශපාලන පක්ෂය වනුයේ සජබයයි. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදී ද එයට හිමි වූයේ ජයග්‍රහණය නොව ජනතා මනාපයේ දෙවැනි තැනයි. ඒ සඳහා තුඩුදුන් ප්‍රධාන හේතු දෙකක් තිබුණි. ඉන් පළමුවැන්න වන්නේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී පක්ෂ දෙකක් නිර්මාණය වීමෙන් පසු එජාපය වටා ඒකරාශී වී සිටි පිරිස බෙදී විසිර ගොස් සිටීමය. පක්ෂ දෙකෙන් එකකට වත් මුළු පිරිස එකතු කර ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැත. අනෙක් කරුණ වන්නේ මහජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනා ගැනීමට නොහැකිවීමත්, කණ්ඩායම් දෙකක් වීමට පෙර පොදු ජනතාවට සමීපව පැවැති පක්ෂ යාන්ත්‍රණය යළි ප්‍රතිෂ්ඨාපනය කර ගැනීමට නොහැකි වී තිබීමත්ය.
ශ්‍රී ලංකාව තුළ බොහෝ කාලයක් ක්‍රියාත්මක වූ එජාපයෙන් ශ්‍රීලනිපයටත්, ශ්‍රීලනිපයෙන් එජාපයටත් බලය හුවමාරුවන ක්‍රමය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. එවන් තත්වයක් තුළ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් රටේ සංවර්ධනය ඇති කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව ඉස්මතුව තිබේ. පක්ෂ දෙක අතර එකමුතුවක් ගොඩනැගීම සඳහා ආරම්භ වූ සාකච්ඡා දැන් අතරමඟ නැවැතී ඇති බවක් පෙනේ. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පක්ෂ දෙක අතර ඒකාබද්ධතාවක් ගොඩනැගීමට හැකි වෙතැයි සාකච්ඡාවලට සහභාගී වූ දෙපාර්ශ්වයේම නායකයන් ප්‍රකාශ කර තිබුණි.
එසේ වුවද දක්ෂිණාංශක මහ බලකොටුව වන කොළඹ නාගරිකය වෙනුවෙන්වත් ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට පක්ෂ දෙකටම හැකිවී නැත. දිගුකලක් කොළඹ නාගරිකයේ මැතිවරණ කොට්ඨාස බහුතරයක බලය අපරාජිතව පවත්වා ගෙන යාමට කවර තත්වයක් යටතේ වුවද එක්සත් ජාතික පක්ෂයට හැකිවිය. එසේ වුවද පසුගිය ජනාධිපතිවරණයේ මෙන්ම මහමැතිවරණයේදී එම තත්වය වෙනස් වී තිබේ.
තමන්ගේ ප්‍රබල බලකොටුව කඩාවැටී තිබියදී කිසිදු මැතිවරණ සටනක ජයග්‍රහණය අරමුණු කරගෙන ඒවාට මුහුණදීමට නොහැකි තත්වයකට පක්ෂ දෙකම පත්ව තිබේ. මැතිවරණ ජයග්‍රහණය කර රටේ පාලන බලය හිමිකර ගැනීම සඳහා ලොකු කුඩා සියලු සාධක පිළිබඳව සැළකිලිමත් වියයුතු යුගයක් දැන් උදාවී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයට පෙර සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායිකාවකව සිටි තලතා අතුකෝරාල මහත්මිය එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය වෙන්ව සිටීමේ එකම ප්‍රතිඵලය වන්නේ තවත් කණ්ඩායමකට බලය ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසීම බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය. දිගුකලක් හිමි කරගෙන තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද ඇය ඒ වෙනුවෙන් පරිත්‍යාග කළාය.
කෙසේ වුවද පක්ෂ දෙකේම නායකයන්ට ඇය ප්‍රකාශ කළ අනතුරු ඇඟවීම තේරුම් ගැනීමට නොහැකි විය. පක්ෂ දෙකම පුද්ගලයන්ගෙන්, ප්‍රතිපත්තිවලින් සහ සංයුතියෙන් වෙනස් නොවුණ ද ඇතැම් පුද්ගලයන්ගේ ආකල්ප සහ දිගුකලක් තිස්සේ පවතින මත ගැටුම් මෙකී ඒකාබද්ධතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන බාධකය වී ඇති බව පෙනේ.
දැනට පවතින තත්වය අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ දෙක කෙරෙහිම දක්වනු ලබන ප්‍රතිචාරවලින් පැහැදිලිවනු ඇත්තේ එම බෙදීමට එරෙහිව ඡන්ද පොළට යෑමෙන් වැළකී සිටින පිරිස පිළිබඳවය. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමෙන් පසුව ඡන්දපොළට යෑමෙන් වැළකී සිටින පිරිස ආපසු ඡන්ද පොළට ගෙන්වා ගැනීමට තවම හැකිවී නැත. වෙන්වූ පක්ෂ දෙකට ලැබුණු ඡන්ද සංඛ්‍යාව එකතු කර පක්ෂ දෙකේ එකතුවෙන් ලැබෙන ඡන්ද ප්‍රමාණය පිළිබඳව පුරෝකථනය කිරීමෙන් ඵලක් නැත.
රටේ වාමාංශික ප්‍රවාහය විවිධ අවස්ථාවලදී වාමාංශික පක්ෂ අතර බෙදී ගිය ද දක්ෂිණාංශක ප්‍රවාහයට එවැනි තෝරා ගැනීමක් තිබුණේ නැත. මුලින් තිබුණේ එක්සත් ජාතික පක්ෂය පමණි. දැන් එම කඳවුර එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ලෙස බෙදී වෙන්වී ඇත. එම බෙදීම තුළ දක්ෂිණාංශක කඳවුරට සහාය දක්වන පිරිස්වල අපේක්ෂා බොඳවී ඇත. එම කඳවුරේ ප්‍රතිපත්ති පිළිගන්නා පිරිස් සිතින් දක්ෂිණාංශක වුව ද මෙම බෙදීම හේතුවෙන් තම කඳවුරේ ජයග්‍රහණය පිළිබඳව විශ්වාසයක් ඇතිකර ගෙන නොසිටිති. මෙම බෙදීම පවතින තුරු දක්ෂිණාංශක ජයග්‍රහණයක් අපේක්ෂා කළ හැකිද යන ප්‍රශ්නය පැන නගී. දැන් එම කඳවුරේ නායකයන් කල්පනා කළයුතු වන්නේ සංඛ්‍යාත්මකව සිදුවන වාසි අවාසි පිළිබඳව නොව එකමුතුවක් තුළ ගොඩ නැගෙන අපේක්ෂා යළි දැල්වීම සහ ශක්තියට පණ පෙවීමෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳවය.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර