එපාවූ කල්ලි යළි යළිත් ළඟට ගන්නෝ


නිදහසින් පසු මෙරට දේශපාලන ඉතිහාසය හකුළුවා දෙන්නා සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ජනතාව වෙත ඉතා වැදගත් ප්‍රශ්නයක් යොමු කරමින් ඔවුනට ඉතා වැදගත් උපදෙසක් දුන්නේය. ඒ වරක් ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයන් යළි යළිත් බලයට පත් කිරීම පිළිබඳවය.

නොවැම්බර් 10 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති ලෝක විද්‍යා දින උත්සවයේදී එම දිනයට උචිත අදහසක් ඔහු එමගින් පළ කළේය. විද්‍යාවේ පදනම තර්කානුකූල සිතුවිල්ලයි. ඒ අනුව නම් ඔහුගේ ප්‍රකාශය එදිනට ඉතා අපූරුවට ගැළපුණි.

ඔහු ජනතාව වෙත යොමු කළ ප්‍රශ්නය වූයේ අදක්ෂ නිසා හෝ දූෂිත නිසා හෝ දේශපාලනයේ සැබෑ අරමුණ නොදන්නා නිසා හෝ දැන සිටියත් තමන්ගේ අරමුණු වෙනස් නිසා හෝ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොකරන දේශපාලනඥයන් යළි යළිත් බලයට පත් කිරීම පිළිබඳවය. ඔහු එය ඉතා සරලව වරක් ප්‍රතික්ෂේප කළ දේශපාලඥයන් යළි බලයට පත් කරන්නේ ඇයි දැයි ජනතාවගෙන් එම රැස්වීමේදී විමසා සිටියේය. ඒ සමඟම එම ප්‍රශ්නය මත පදනම්ව ඔහු ජනතාවට උපදෙසක්ද දුන්නේය. ඒ තමන් නුසුදුසුයැයි ජනතාව සිතන්නේ නම් තමන් වෙනුවට කලින් ප්‍රතික්ෂේප කරනු ලැබූවන් යළිත් පත්කර නොගෙන අලුත් පිරිසක් පත්කර ගන්නා ලෙසයි.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර සති තුනක් ඉක්ම ගියද එය සාකච්ඡාවට ගැනීමට තරම් වැදගත් මාතෘකාවකි. රටේ ජනතාව ඔහුගේ එම මතය නුදුරු අනාගතයේදී නම් ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක නොකිරීම ඉතාමත් පැහැදිලි වුවද ඔහුම වුවද එම අදහස යළිත් ප්‍රකාශ කරනු ඇතැයි සිතිය නොහැකි  වුවද ඔහුම වුවද ජනතාව එම උපදෙස පිළිපදිනු දකින්නට ප්‍රිය නොකරනු ඇති වුවද එම ප්‍රකාශය වර්තමානයේ රට ප්‍රපාතයට ඇද වැටී ඇත්තේ කුමක් නිසා දැයි යන්න ඉතා පැහැදිලිව ගෙනහැර දක්වන්නකි.

කෙසේ වෙතත් ජනතාව තමන්ම ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයන් යළි යළිත් බලයට පත් කිරීම පිළිබඳ ප්‍රකාශය අලුත් සොයාගැනීමක් නොවේ. අඩු තරමින් 1960 ගණන්වල ආරම්භයේ සිටම මෙරට වාමාංශික පක්ෂ මෙම කාරණය රටටත් ජනතාවටත් නොකඩවා පෙන්වා දෙති. ගොවි බිම්වල මාරුවෙන් මාරුවට විවිධ භෝග වර්ග වගා කිරීම සිහිපත් කරමින් ඔවුහු ජනතාවගේ මෙම දේශපාලන සිරිත තට්ටු මාරු ක්‍රමය යනුවෙන්ද හැඳින්වූහ. ජනතා විමුක්ති පෙරමුණ වැනි වාමාංශික දේශපාලන පක්ෂ ජනතාව තමන් වෙතට නම්මා ගැනීමේදී බරපතළ දේශපාලන හා ආර්ථික කරුණු ඉදිරිපත් නොකොට ​ෙමම තට්ටු මාරු ක්‍රමයේ අසාර්ථකත්වය ඉදිරිපත් කරන්නේ එය ඉතා පහසුවෙන් තේරුම්  ගත හැකි කරුණක් වන හෙයිනි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වැදගත් වන්නේ තමන් කරන්නේ කුමක්දැයි දන්නා මෙරට ප්‍රධාන පක්ෂවල දේශපාලනඥයන් වෙතින් එවැන්නක් කිසිදා අපේක්ෂා කළ නොහැකි හෙයිනි. මෙවැනි ප්‍රකාශයක් අනිවාර්යයෙන්ම තමන් වෙතම පාරාවළල්ලක් වී පැමිණීම ඔවුන් දැන සිටීම ප්‍රධානතම හේතුවයි. එනම් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ජනතාව විසින් කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කරන ලද පක්ෂයි. ඉදින් එසේ තිබියදී ඔවුන් එවැනි ප්‍රකාශයක් කරන්නේ කෙසේද?

කෙසේ වෙතත්, මෙය මෙරට දේශපාලන ඉතිහාසය දීර්ඝ ලෙස සලකා බලා මෙරට දේශපාලනයේ ගරාවැටීම පිටුපස ඇති යථාර්ථය තේරුම් ගෙන කළ ප්‍රකාශයක් ලෙස සැලකිය නොහැකිය. අඩු තරමින් ජනාධිපතිවරයා වසර දහයක්වත් ආපස්සට හැරී බැලුවේ නම් මෙවැනි ප්‍රකාශයක් කරනු ඇතැයි සිතිය නොහැකිය.

 

මෙය සැලකිය හැක්කේ දැනට  තමන්ට හිරිහැරයක් වී ඇති පසුගිය ආණ්ඩුවේ නායකයන් ගැන පමණක් සිතා වැඩිදුර සිතා නොබලා ක්ෂණිකව  සිතට ආ අදහසක් පළ කිරීමක් ලෙසය. එසේ අඩු තරමින් වසර දහයක්වත් ආපස්සට සිතා බැලුවේ නම් තමන්ද ප්‍රබලයකු ලෙස  ප්‍රබල කාර්ය භාරයක් කළ පසුගිය රාජපක්ෂ පාලනයද ජනතාව විසින් පරාජයට පත් කිරීමත් එසේ පරාජයට පත් කරන ලද තමන් අද බලයට පත්වී සිටීමත් ඔහුට සිහිපත් වන්නට ඉඩ තිබිණි. 

එහෙත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කිසිවකුටත් අභියෝගයට ලක් කළ නොහැකි අතිශයින්ම සත්‍යවූ ප්‍රකාශයකි. ප්‍රතික්ෂේප  කළ වුන් යළි බලයට පත් නොකරන්නැයි ඔහු දුන් උපදේශයද බොහෝ දුරට පිළිගත හැක්කකි.

දේශපාලනය කොතරම් දුරට ජන ජීවිතයට බලපාන්නේද යන කාරණය සලකා බලන කල ජනතාවගේ මෙම දේශපාලන හැසිරීම තේරුම් ගත නොහැකි තරමේ පුදුමාකාර එකකි. පෞද්ගලික ජීවිතයේදී තමන්ට සුළු අරියාදුවක් කළ ඥාතියකු ජීවිත කාලයටම වුවද අත්හැර දැමීමට සූදානම් බොහෝ දෙනකු තම දෑස් ඉදිරියේ තම ධනය කෝටි ගණනින් කොල්ල කෑ දේශපාලනඥයා නැතහොත් අදක්ෂකමත් අඥනකමත් නිසා තමන්ගේ පමණක් නොව තමන්ගේ ඉදිරි පරම්පරා සියල්ලටම අහිතකර බලපෑම් එල්ල කරන දේශපාලනඥයා ඒ නිසාම වරක් ප්‍රතික්ෂේප කොට යළිත් බලයට පත් කිරීමට කිසිසේත් පැකිළෙන්නේ නැත.

අප සියලු දෙනාම ඉතා හොඳින් දන්නා අතීතයට කෙටියෙන් එබී බැලීමේදී මේ බව යළිත් සිහිපත් කරගත හැකිය. නිදහසින් පසු බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයට බලයේ සිටිය හැකි වූයේ තවත් එක් මැතිවරණයක් පසුකරන තෙක් පමණි. එහෙත් ඉන් පසු එම පක්ෂයට බරපතළ ආර්ථික දේශපාලන ප්‍රශ්නවලට  මුහුණ දෙන්නට සිදුවිය. ඒවාට විසඳුම් දෙන්නට එම ආණ්ඩුව අසමත් විය. බඩු මිල වේගයෙන් ඉහළ ගියේය. හාල් සේරුව ශත 25සිට ශත 70 දක්වා තුන් ගුණයකින්  පමණ ඉහළ ගියේය.

බොහෝ ප්‍රදේශවල ජනතාව වැඩ වර්ජනය කර වීදි බැස්සහ. 1953 අගෝස්තු හර්තාලය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. ආණ්ඩුව කෙතරම් භීතියට පත්වූයේද යත් ඇමැති මණ්ඩලය කොළඹ වරායේ නැවක රැස්වූ බවද කියවේ. ඇත්ත වශයෙන්ම එදා වාමාංශික නායකයන් සූදානම්ව සිටියේ නම් සමහර විට බලයද අත්පත් කරගත හැකිව තිබිණි.

1947 සිට අගමැතිවරුන් තිදෙනකුගේ නායකත්වය යටතේ පැවැති පළමු එජාප ආණ්ඩුව එසේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අසමත් වීම නිසාත් සිංහල ජනතාවගේ වාර්ගික හැඟීම් ඇවිස්සීමේදී එවකට සාපේක්ෂ අලුත් පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියෙන් සිටීම නිසාත් පරාජයට පත්වීය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිප ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ නම්වූ සන්ධානය බලයට පත්විය.

ජනතා ප්‍රශ්න විසඳීමේදී එම පක්ෂයද එජාපයට දෙවැනි නොවීය. එකල  එක්තරා වර්ෂයකදී එම වර්ෂයේ දින ගණනට වඩා වැඩි වැඩ වර්ජන සංඛ්‍යාවක් සිදුවූ බව කියවේ. 1957 දී මහා ජාතිවාදී අරගලයක් රට පුරා පැතිර ගියේ ඒවනවිට පක්ෂ දෙකම මැතිවරණ ඉලක්ක කොටගෙන ජාතිවාදය ඇවිළවීම නිසාය. ආණ්ඩුවට සම්බන්ධ නායකයන්ගේ දූෂිත ගනුදෙනුවල ප්‍රතිඵලයක් වශයෙන් අගමැති බණ්ඩාරනායක මහතාද 1959 දී ඝාතනය කෙරිණි.

ජනතාව එම පාලනය කොතෙක් ප්‍රතික්ෂේප කළේද යත් බණ්ඩාරනායක ඝාතනය නිසා ශ්‍රීලනිපයට ලැබුණු අනුකම්පාවේ වාසියද නිශ්ඵල වී 1960 මාර්තු මැතිවරණයේදී  එම පක්ෂය පරාජයට පත්විය. එහෙත් එම වසරේම ජූලි මාසයේදී පැවැති මහ මැතිවරණයේදී එම පක්ෂය  යළි බලයට පත්විය.

එහෙත් එවරද ශ්‍රීලනිප ආණ්ඩුව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. මේ නිසා අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මියට විටින් විට මුදල් ඇමැතිවරුන් පස් දෙනකු පත් කරන්නට සිදුවිය. 1962 දී හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. 1964 දී සමස්ත මහා වැඩ වර්ජනයක් ඇතිවිය. එහෙත් ආණ්ඩුව ඇතැම් වාමාංශික නායකයන් බිලි බා ගැනීම නිසා එම වර්ජනය අසාර්ථක විය. අවසානයේදී නිල කාලය අවසන්වීමට පෙර රාජාසන කතාව පිළිබඳ ඡන්ද විමසීමේදී පරාජය වී එම ශ්‍රීලනිප ආණ්ඩුවට බලයෙන් ඉවත්වීමට සිදුවිය.

 

මෙසේ ශ්‍රීලනිප ආණ්ඩු දෙකකට පසු ජනතාව1965 මහ මැතිවරණයේදී යළිත් තෝරාගත්තේ තමන් 1956 දී ප්‍රතික්ෂේප කළ එජාපයමය. ගොවිතැනට මුල් තැන දෙන බව කියමින් බලයට පත්වූ එම එජාප ආණ්ඩුවට එතෙක් එක් පුද්ගලයකුට  සලාකයට දෙනු ලැබූ හාල් සේරු  දෙක හෝ දී ගත නොහැකි විය. එහි ඵ්‍රතිඵලය වූයේ 1970 මහ මැතිවරණයේදී ජනතාව තමන් පස් වසරකට පෙර ප්‍රතික්ෂේප කළ ශ්‍රීලනිප ප්‍රමුඛ සමගි පෙරමුණ තුනෙන් දෙකක බලයක් සහිතව යළි බලයට පත් කිරීමයි.

ඒ සඳහා ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ගවල හෝ නායකත්වයේ හෝ කිසිදු වෙනසක් සිදු වී නොතිබිණි. එසේ බලයට පත්වූ ශ්‍රීලනිප සහ වාමාංශික නායකයෝ කෙතරම් අදක්ෂ ලෙස ආර්ථිකය කළමනාකරණය කළේද යත් රටේ ආසන්න වශයෙන් දුර්භික්ෂයක් ඇතිවිය. සහල්, පිටි, සීනි, පරිප්පු, පාන්, රෙදි, මිරිස් ආදී භාණ්ඩ සඳහා  ජනතාව පැය ගණන් පෝලිම්වල සිටින්නට සිදුවිය. සහල් හා මිරිස් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගෙනයෑම තහනම් විය. එක් පුද්ගලයකුට සතියකට ආටා පිටි රත්තල් බාගයක් (ග්‍රෑම් 225) සලාකයට  නිකුත් කළ කාලයක්ද තිබිණි. හෝටල්වල අඟහරුවාදා හා සිකුරාදා දිනවල බත් විකිණීම තහනම් විය.

ජනතාව ඊට පිළියම් වශයෙන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කී පරිදි කලින් දෙවතාවක්ම රාජ්‍ය පාලනයේ අදක්ෂතාව නිසාම තමන් ප්‍රතික්ෂේප කළ එජාපය 1977දී ඉතිහාසයේ කිසිදාක නොවූ පරිදි  හයෙන් පහක බලයක් සහිතව තෝරා පත්කර ගැනීමයි.

එසේ බලයට පත්වූ එජාප ආණ්ඩුව ආර්ථිකය විවිධාංගීකරණය  කිරීම සඳහා යම් යම් දෑ කළ බව සැබෑය. එහෙත් එමගින් බඩු මිල පාලනය හෝ රැකියා වයුක්තියට ප්‍රමාණවත් විසඳුමක් හෝ නොලැබිණි.

බලයෙන් මත් වී සිටි පාලකයෝ වර්ජනය කළ 40,000කට අධික කම්කරුවන් දොට්ට දැමූහ. මහා ජාතිවාදී කලහයකට මඟ පෑදූහ. දේශපාලන පක්ෂ තහනම් කරමින් තවත් කැරැල්ලකටද මඟ සෑදූහ. එම කැරැල්ල පැවැති සමයේ එනම් 1988/ 89 කාලයේ රට පුරා මහා මිනිස් ඝාතනයක් සිදුවිය.

17වසරක් පැවැති එම පාලනය 1994 දී අවසන් වූයේ ඊට පෙර තුන් වතාවක්ම රට පාලනය කොට ප්‍රතික්ෂේප වූ ශ්‍රීලනිය ප්‍රමුඛ සන්ධානයක් බලයට පත් කරමිනි.

ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ගැන පුදුම නොවී සිටිය හැක්කේ ඉන්පසුද ඔවුන් 2015දී යළිත් එජාපය බලයට පත් කිරීමත් 2019 දී යළිත් ශ්‍රීලනිපයේ අලුත් ප්‍රකාශනය වන ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බලයට පත් කිරීමත් නිසාය. එපමණක් නොව ඉදිරියටද මෙම තට්ටුමාරු ක්‍රමය පවත්වාගෙන යාමට සූදානම්ව සිටීම නිසාය.

පොදුජන පෙරමුණ හා සමඟි ජන බලවේගය යනු නමින් අලුත් පක්ෂ වුවද ප්‍රායෝගිකව අලුත් පක්ෂ නොවේ. පොදුජන පෙරමුණේ නායකයන් මෙන්ම බිම් මට්ටමේ ආධාකරුවන් ද ශ්‍රීලනිපයේ හිටපු නායකයෝ හා ආධාරකරුවෝ වෙති. සජබ යනු එජාපයේ නායකයන් හා ආධාරකරුවන් වැඩි දෙනා ගොනු වී සෑදුණු පක්ෂයයි. එම පක්ෂ එසේ නමින් වෙනස් වුවද ඒවායේ ප්‍රතිපත්ති වෙනස් වූයේ නැත.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට 2010 මැතිවරණයේදී අති විශාල බලයක් ලැබිණි. එය තුනෙන් දෙකකට ආසන්න විය. ඒ යුද ජයග්‍රහණය නිසාය. එසේ තිබියදීත් එම යුද ජයග්‍රහණයේ උණුසුම පවතිද්දීත් 2014 වනවිට එම ආණ්ඩුව පළමු පළාත් සභා මැතිවරණ පරාජය අත්වින්දේය. 2015 දී එම ආණ්ඩුව බිඳවැටිණි.

වත්මන් ආණ්ඩුව එතරම් කාලයක් නොගොස්ම ජනතා අප්‍රසාදයට ලක්වෙමින් තිබේ. රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවා පසුගියදා තම ආණ්ඩුව ඉදිරි මැතිවරණයේදී පරාජය වීමට ඉඩ ඇතැයි කීවේය.

 

 ප්‍රතික්ෂේප කළ නායකයන්ට නොව අලුත් කණ්ඩායමකට බලය දෙන්නැයි ජනාධිපතිවරයා පවසන විට ඕනෑම කෙනකුට සිහිපත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් ජනාධිපතිවරයා ජවිපෙට ඡන්දය දෙන්නැයි සිහිනෙන්වත් ජනතාවට නොකියනු ඇත. එසේ නම් ඔහු කියන අලුත් කණ්ඩායම කවුරුන්ද?

මෑත කාලයේදී ජවිපෙ බොහෝ දුරට ජනතා ප්‍රසාදය දිනාගනිමින් සිටී. එහි නායකයන්ගේ ආර්ථික විග්‍රහ අනෙක් පක්ෂ සමඟ සැසඳීමේදී තිබෙන්නේ බොහෝ ඉදිරියෙනි. කැපවීම හා අවංකකම පිළිබඳවද ඔවුනට  චෝදනා නැත. ඔවුන් ගැන බොහෝ දෙනා විවේචනය කරන්නේ 88/89 කාලය සිහිපත් කරමිනි. එහෙත් පක්ෂයකට වැරැදි නිවැරැදි කර ගන්නට කොපමණ කාලයක් දිය යුතුද? එය ශතවර්ෂයක් විය නොහැකිය. ඔවුන් පරීක්ෂාවට ලක් කිරීමටවත් යෝග්‍ය නොවේදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

එහෙත් පෙනෙන අන්දමටම නම් බහුතර ජනතාව කැමැති වනු ඇත්තේ එවැනි අත්හදා බැලීමකට නොව දැනටමත් සොරුන් තක්කඩියන් බව තමන් දන්නා පිරිසකටම බලය පැවරීමටය. මෙය පුදුම තත්ත්වයකි.

(*** එම්.එස්.එම්. අයුබ්)