බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැනීම වෙනස් කිරීමට කාලය එළැඹෙමින් තිබේ. එයට හේතු වන්නේ අද වෙළෙදපොළේ පොල් ගෙඩියක මිල ඇසූ විට එලොව පොල් පෙනෙන නිසාවෙනි. පොල් යනු මෙරට වගාකරන බෝගයක් නොව මෙරටට ආනයනය කරනු ලබන නිෂ්පාදනයක් මෙන් පොල් මිල ඉහළ ගොස් ඇත.
රුපියල් හැටට හැත්තෑවට තිබූ පොල් ගෙඩියක් රුපියල් 160 - 170 වැනි මුදලක් දක්වා ඉහළ ගොස් තිබේ. එය මෙරට ඉතිසාහය තුළ පොල් මිල ඉහළ ගිය ප්‍රථම අවස්ථාව නොවුණත් මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මිලයි. පොල් කළුනික හා සමාන වී ඇත. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා කළු කඩ හිමියන් ගිනි ගණන්වලට පොල් අලෙවි කරනු ලබයි. ජනතාව මේ තත්වය හේතුවෙන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවකටය.
මෙලෙස පොල් මිල ඉහළ යාමට බලපානු ලබන හේතු රාශියක් පවතින බව හඳුනාගත හැකිය. සාර්ථක පොල් වගාවක් සඳහා වසර පුරා එකාකාරීව විසිරුණු වර්ෂාපතනයක් හිතකර වේ. වැඩුණු පොල් ගසකට දිනකට ජලය ලීටර් 40 ත් 60 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. පොල් වගා කරන ප්‍රදේශවල අඩු වර්ෂාපතනයක් පැවතීම, විශේෂයෙන් දිගුකාලීන වියළි කාලවකවානුව සහ අධික උෂ්ණත්වයක් පැවතීම පොල් අස්වැන්න අඩු වීමට එක් හේතුවකි.
පොල්ගස් සඳහා ඇති තවත් ප්‍රබල ගැටලුවක් වන්නේ කෘමීන්ගෙන් සිදුවන හානියයි. රතු කුරුමිණි හානිය, කළු කුරුමිණි හානිය, පොල් මයිටා හානිය, පොල් දළඹු හානිය පොල් ගස්වලට සිදුවන හානි වේ. වර්තමානයේ බහුලව බලපෑම් කරනු ලබන කෘමි උවදුර වන්නේ සුදු මැස්සා රෝගයයි. සුදු පැහැති කුඩා කෘමියකු වන මෙම සුදු මැස්සා, පොල් පැළ සහ වැඩුණු පොල් ගස්වල පත්‍රිකා මත ඇති පටක සිදුරු කර ඒ මතින් යුෂ උරා බීම මඟින් පොල් ශාඛයට හානිය සිදු කරයි. එය මේ වනවිට පොල්වලට ප්‍රබල තර්ජනයක් වී ඇත.
කෘමි උවදුර පමණක් නොව දඬු ලේනුන්, රිළවුන්, වදුරන් වැනි වන සතුන්ගෙන් වන හානියද එමටය. බොහෝ ප්‍රදේශවල රිළවුන් සහ වදුරන් බහුල වශයෙන් සිටීම හේතුවෙන් ඔවුන් පොල් ගෙඩිය කුරුම්බැට්ටි කාලයේදීම කා විනාශ කිරීම සිදු කරයි.
වසරකට වරක් පොල් වගාවේ වයස අනුව නිර්දේශිත පොහොර ප්‍රමාණය නිර්දේශිත අාකාරයට යෙදිය යුතුය. එසේම පොල් වගා කිරීමේ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය පොහොර, කෘෂි රසායන සහ කෘෂි උපකරණවල මිල ඉහළ යාම නිසා ගොවීන්ට ඒවා මිලදී ගැනීමට වැඩි පිරිවැයක් යෙදීමට සිදුවී ඇත. පොල් සඳහා අවශ්‍ය පොහොර මෙරට නිෂ්පාදනය නොකරනු ලබන අතර, මෙරටට ආනයනය කරනු ලබයි. එහෙයින් පොහොරවල විකුණුම් මිල ඉහළ අගයක් ගනු ලබයි.
පොල් මිල ඉහළ යෑමේ පුවත සමග කොයි කවුරුත් පැවසුයේ පොල් මිල ඉහළ යාමට හේතුව වන්නේ පොල් ඉඩම් දහස් ගණනින් කට්ටි කර අලෙවි කිරීම යන්නයි. ශ්‍රී ලංකාවේ පොල් වගාවට සුදුසු ඉඩම් ප්‍රමාණය වර්ෂයෙන් වර්ෂයට අඩු වෙමින් පවතින්නේ පොල් ඉඩම් කෘෂිකාර්මික භූමියට වෙන් කිරීම අඩු කිරීම සහ නව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවලට ඉඩම් භාවිත කිරීම නිසාවෙනි. පොල් වගාවට ඇති ඉඩම් පරිමාව මෙසේ සීමා වීම නිසා වර්තමානයේ පොල් නිෂ්පාදනය අවම වී ඇත.
එයට හේතුව පොල් ඉඩම් කට්ටි කර විකිණීම ඉඩම් වෙන්දේසිකාරයන් විසින් සිදු කරනු ලැබීමය. පොල් ඉඩම් කට්ටි කර විකිණීම තහනම් ය. ඒවායේ ගස් කපා ගෙවල් සෑදීම ද තහනම් ය. 2010 වසරේදී එවකට රජය විසින් පොල් ගස් කැපීම තහනම් කිරීමේ නීතියක් හඳුන්වා දුන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ ලිඛිත අවසරයක් නොමැතිව පොල් ගස් කැපීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් කරමිනි. එහෙත් වෙන්දේසිකාරයෝ ඊට උපක්‍රම සොයා ගනිති. පොල් ඉඩම් මගින් ලැබෙන ලාබයට වඩා ඉඩම වෙන්දේසි කර විකිණීමෙන් ලාබ ලැබිය හැකි බැවින් පොල් ඉඩම් හිමියන් අක්කර ගණනින් වු පොල් ඉඩම් කට්ටි කර විකුණනු ලබයි. සමහරු පොල් ගස් ගලවා ඉඩම් වෙන්දේසි කරති. තවත් සමහරු පොල් ගසුත් සමගම වත්ත කැබලි කර වෙන්දේසි කරති.
ලෝකයේ 4 වැනි තැනට පොල් නිෂ්පාදනය කරන රට වන්නේ ලංකාව ය. ලෝකයේ විවිධ රටවල පොල් නිෂ්පාදන සඳහා වූ ඉහළ ඉල්ලුමත් මෙම අර්බුදයට බලපා තිබෙන මූලික හේතුවකි. පොල් තෙල්, පොල් කිරි සහ පොල් පවුඩර් වැනි නිෂ්පාදන සඳහා ඇති විදේශීය වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් පවතී. විදේශීය ඉල්ලුම මෙන්ම දේශීය පරිභෝජනය සඳහා ද කාණ්ඩවලට පොල් සහ පොල් නිෂ්පාදන අත්‍යවශ්‍ය වේ. දේශීය සහ විදේශීය ඉල්ලුම ඉහළව පවතිද්දී නිෂ්පාදන ප්‍රමාණය අවම වීම පොල් හිඟයක් නිර්මාණය වීමට හේතුවයි.
පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන නිලධාරියකුගෙන් පොල් මිල ඉහළ යෑම සම්බන්ධව විමසූ විට ඔහු පැවසූයේ මෙවැන්නකි.
මෙම පොල් මිල ඉහළ යාම සඳහා බලපානු ලබන ගැටලු රාශියක් පවතී. පොල් මිල තීරණය වන්නේ ඉල්ලුම සහ සැපයුම අනුවයි. ඕනෑම වසරක යම් කාල පරාසයක් තුළ පොල් අස්වැන්නේ යම් අඩුවක් පවතී. පොල් ගහේ අස්වැන්න පවතින දේශගුණික සාධක අනුව වෙනස් වේ. අප්‍රේල් මැයි මාස වල අස්වැන්න වැඩිවීමක් පවතින අතර, ජුනි ජූලි මාසයන්හිදී අස්වැන්න ටිකෙන් ටික අඩු වේ. දෙසැම්බර් ජනවාරී මාසයන්හීදී අස්වැන්න අවම මට්ටමට පත් වේ. සෑම වසරක මෙය සිදුවන බැවින් සාමාන්‍ය පරිදි පොල් මිල ඉහළ යාම සිදු වේ. එහෙත් මේ වසරේ අසාමාන්‍ය ලෙස පොල් මිල ඉහළ ගොස් තිබේ. එයට හේතුව වන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ වසරේ අස්වැන්න අඩු වීමයි. ඒ සඳහා හේතු රාශියක් බලපායි. එක් හේතුවක් වන්නේ පසුගිය සමයේ පොහොර යෙදීම අඩු මට්ටමක පැවතීමයි. එනම් පොහොර මිල අධික ඉහළ යාම පසුගිය දිනවලදී සිදු විය. පොහොර මිටිය රුපියල් 1000 ට පැවති කාලයෙත් පොල් වගාව සඳහා සියයට 50 කම පොහොර යෙදීම සිදුකර නැත. පසුව මේ පොහොර මිටියක මිල රුපියල් 24000ක් දක්වා ඉහළ ගියේය. 2020, 2021, 2022 වැනි වසරවල පොහොර යෙදීම ඉතාම අඩු විය. එහි බලපෑම දිගින් දිගටම බලපානු ලැබේ. වර්තමානයේ පොහොර මිටියක මිල රුපියල් 10000ක් පමණ වේ. වර්තමානයේත් මිල ඉහළ නිසා පොහොර යෙදීම අඩු මට්ටමක පවතී. පොහොර මිල කීය වුවත් මිලදී ගෙන වගාව සඳහා යොදන පිරිස හරිම සීමිතයි.
ඊට අමතරව සුදු මැස්සා රෝගයද ප්‍රබල බලපෑමකි. එමගින්ද අස්වැන්නට බලපෑම් සිදුවිය. එනම් සියයට 10 ක පමණ අස්වැන්නක් එමගින් අඩු විය.
අපනයන සඳහා පවතින ඉල්ලුම ඉහළ යෑම තවත් ප්‍රධාන හේතුවකි. එනම් පොල්තෙල්, පිටිකළ පොල් කිරි, කොප්පරා ආදී වූ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ගෝලීය වෙළෙදපොළ තුළ ඉල්ලුම වැඩි විය. එබැවින් පොල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය සඳහා යොදා ගැනීමට සිදු විය. වසරකට පොල් ගෙඩි මිලියන 3000ක් පමණ නිෂ්පාදනය කරනු ලබයි. එයින් 1800 ත් 2000 ත් අතර ප්‍රමාණයක් දේශීය පරිභෝජනයට ගනු ලබයි. ඉතිරි 1000 ත් 1200 ත් අතර ප්‍රමාණය කර්මාන්ත සඳහා යොදවනු ලබයි. මෙම වර්ෂයේ අපනයන ඉල්ලුම ඉහළ යාමට හේතුව වන්නේ මැලේසියාව ඉන්දුනීසියාව වැනි රටවල පොල් නිෂ්පාදනය අඩු වීමයි. එබැවින් එම රටවල් ලෝක වෙළෙදපොළට ලබාදෙන නිෂ්පාදන ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මෙරට නිෂ්පාදන සඳහා ඉල්ලුම ඉහළ ගියේය.
වෙනත් වර්ෂවලදී පොල් මිල ඉහළ යනවිට එම ඉහළ මිල යටතේ අපනයනය කිරීම සිදු නොකරයි. එහෙත් අද කර්මාන්තකරුවන් රුපියල් 120 වැනි මුදලකට පවා පොල් මිලදී ගනු ලබයි. අනෙත් වර්ෂවලදී රුපියල් 80 වැනි මිලටත් පොල් මිලදී ගැනීම සිදු නොකරන වෙළෙදුන් මෙවර රුපියල් 120 ටත් තරග කරනු ලබයි. එලෙස ඉහළ මිලට පොල් මිලදී ගෙන පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමට හැකි වී තිබෙන්නේ ලෝක වෙළෙදපොළේ ඉහළ මිලකින් පොල් නිෂ්පාදන මිලදී ගන්න බැවිනි. එනම් මෙම වසරේ අනෙක් වසරවලට සාපේක්ෂව අසාමාන්‍ය ඉල්ලුමක් පවතී. එම නිසා දේශීය කර්මාන්තකරුවන් ඉහළ මිලට හෝ පොල් මිලදී ගෙන නිෂ්පාදනයක් සිදු කරයි. එවිට පරිභෝජනය සඳහා පොල් අඩුවීම සිදු වේ. එවිට පොල් මිල දිනෙන් දින ඉහළ යයි.
පොල් ඉඩම් කට්ටි කර විකිණීම මෙම පොල් මිල ඉහළ යෑම සඳහා හේතු වේ යැයි පැවසුවද එය එතරම් බලපෑම් කාරකයක් නොවේ. මෙම පොල් ඉඩම් කට්ටිකර විකිණීම යනු කලක පටන් සිදුවන දෙයකි. උතුරු නැගෙනහිර අලුතින් පොල් වගා කිරීම් සිදු කළේය. එම වගා මේ වනවිට ඵලදාව ලැබීමට ආසන්නව පවතී. එබැවින් යම් ඉඩම් ප්‍රමාණයක් කට්ටි කර විකුණු විට එය විශාල බලපෑමක් නොවේ. මෙරට පොල් අක්කර ලක්ෂ 11ක් වැනි ප්‍රමාණයක් පවතී. පොල් ගස් මිලියන 55ත් 60 ත් අතර ඇත. වසරකට එක් ගහකින් ප්‍රතිශතයක් ලෙස පොල් ගෙඩි 45 ත් 50 ත් අතර ගණනක් කඩනු ලබයි.
අද පවතින ගැටලුව වන්නේ විශාල පොල් ඉඩම් වල අයිතිය පවතින්නේ පොල් සිටුවා සංවර්ධනය කළ පරම්පරාව මත නොව ඔවුන්ගේ දරුවන් ආදී වූ දෙවැනි පරම්පරාවක් මතය. එබැවින් මෙම පොල් වගා පිළිබද ඔවුන්ගේ සැලකිල්ල ඉතා අඩු මට්ටමක පවතී. බොහෝ හිමිකරුවන් ඉඩම් තිබෙන පළාත්වලින් පිට එනම් කොළඹ ආදී වූ නගරාසන්නව ජීවත් වේ. බොහෝ අයගේ මූලික ආදායම් මාර්ගය වන්නේ මෙම අක්කර ගණනින් වූ පොල් ඉඩම් නොවේ. මෙම පොල් ඉඩම් නඩත්තු කරනු ලබන්නේ සේවකයන් විසිනි. පොල් ඉඩම් නිසි කළමනාකාරිත්වයක් යටතේ පාලනය නොවේ. එබැවින් නිසි පරිදි පොහොර යෙදීම, කෘමි උවදුර අවම කිරීම ආදිය පිළිබද අඩු අවධානයක් යොමු වේ. එබැවින් ලැබෙන අදායම අඩු නිසා ඉඩම් හිමියන්ගේ අයෝජනයද අඩුය.
ලාබ නොලබා ඉඩම් පමණක් තිබීමෙන් ප්‍රයෝජනයක් නොමැති බැවින් ඉඩම් කට්ටි කර විකිණීමට ඉඩම් හිමියෙන් පෙළඹේ. එමෙන්ම මේ වන විට අප ආයතනයට ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබි ඇත්තේ පොල් වතු අයින් කර සූර්ය පැනල සවි කිරීමට අවසර ඉල්ලාය. පොල් ඉඩමෙන් ලැබෙන ආදායමට වඩා සූර්ය පැනල සවි කිරීමෙන් ලබෙන ලාභය වැඩී සේම නඩත්තු වියදම්ද අඩු ය.
ඉදිරියට තව මාසයක් කීපයක් යනතුරු පොල් නිෂ්පාදනය ඉහළ යෑම සිදු වේ යැයි නිශ්චිතව පැවසිය නොහැකි වේ. එබැවින් පොල් මද ආනයනය කිරීමට තීරණය කර තිබේ. කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද ආනයනය කළ විට මෙරට නිෂ්පාදිත පොල් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වේ.
මිනිසාගේ කප්රුක ලෙස හඳුන්වන පොල් මිල ඉහළ යාම හේතුවෙන් හෝටල් හිමියන්, පොල් ආශ්‍රිත නිෂ්පාදන සමාගම් ආදිය ඉතා අපහසුතාවලට මුහුණ පා ඇත. පොල් හිඟය මේ වනවිට රටපුරාම උද්ගත වී පවතින ප්‍රබල ගැටලුවක් බවට පත් වී තිබේ. අපනයනය සඳහා පොල් නිෂ්පාදන ඉල්ලුම ඉහළ යාමද මෙම පොල් හිඟයට ප්‍රධාන හේතුවයි. කොප්පරාවල අපනයන මිල ඉතා ඉහළය. ඒ හරහා විශාල ආදායමක් උපයා ගැනීමට හැකි වේ. එහෙත් පොල් අපනයනය කිරීම පිළිබදව මෙරට බොහෝ අය විරෝධය පළ කරති. ආනයනය සීමා කරන ලෙස ඉල්ලති. එහෙත් එමගින් රටට ලැබෙන ඩොලර් පිළිබදව කතා නොකරති. කළ යුත්තේ ආනයනය කරන කොප්පරා හෝ වෙනත් පොල් නිෂ්පාදන වැළැක්වීම නොව මේ රටේ පොල් ඵලදාව වර්ධනය කිරීමය. මේ නිසා අප විසින් කළ යුත්තේ පොල් පිටරට යැවීම පිළිබඳ මැසිවිලි නැගීම නොව පොල් ඵලදාව වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි.
(*** ශෂිකා අබේරත්න)