කොළඹ කවි යුගය බැබළවූ එස්. මහින්ද හිමියන්ගේ ගුණ සමරු උලෙළ මෙම මස 16 වැනි දින සවස 3.00 ට කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මහින්ද හිමියන් විසින් ලියා පළ කරන ලද විසිනවයක් වන පද්‍ය කෘතී සියල්ලම ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතා මෙම ගුණ සමරු උත්සවයට සමගාමීව, විධිමත් ආකාරයෙන් සංස්කරණය කොට තිබේ. මෙම කෘති ප්‍රකාශයට පත්ව ඇත්තේ සමුද්‍ර ප්‍රකාශන ලෙසිනි.
මෙවර සංවාදය අබේසිංහ මහතා සමඟ පැවැත්වෙන්නේ මහින්ද හිමියන්ගේ නිර්මාණ විමසීමේ අරමුණ ඇතිවය.
• ඇස්. මහින්ද හිමියන්ගේ පොත් පෙළෙහි නවතම සංස්කරණ පිළිබඳව මුලින්ම කතා කරමු.
අපගේ සංස්කරණයට භාජන වුණේ, උන්වහන්සේ විසින් රචිත, ග්‍රන්ථ හැටියට ප්‍රකාශයට පත් වූ කාව්‍ය රචනා සංඛ්‍යාවක්. මෙම නිර්මාණ, කොටස් තුනකට වෙන් කර දක්වන්ට පුළුවන්. පළමුව, භක්ති කාව්‍යයන්. කුසුමාඤ්ජලී සහ රත්නමාලි කාව්‍යය වැටෙන්නේ, එම භක්ති කාව්‍ය ගණයටයි. දෙවනුව, උන්වහන්සේ ලියූ දේශාභිමානී කාව්‍ය කෘති හතර. නම් වශයෙන් සඳහන් කළොත් ලංකා මාතා, ජාතික තොටිල්ල හෙවත් දරු නැළවිල්ල, නිදහසේ දැහැන සහ නිදහසේ මන්ත්‍රය යන කෘති පද්ධතිය.
වැදගත්ම නිර්මාණ පද්ධතිය තමයි, මහින්ද හාමුදුරුවන් විසින් විරචිත ළමා පද්‍ය නිර්මාණ. උන්වහන්සේගේ මුල්ම කෘතිය හැටියට සැලකෙන්නේ ඔවා මුතුදම. ඒ පොතත්, එසේම නන්දන ගීත නමැති මුල් යුගයේ ළමා කව් ගී පොතත් සලකන්ට සිදුවන්නේ, ළමා සාහිත්‍ය නිර්මාණ හැටියටමයි.
ඊටද අමතරව, උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ උගන්වන කාලයේදී, අපගේ සාම්ප්‍රදායික වන්නම් අනුගමනය කරමින්, ගජගා ආදි පැරණි නම්වලින්ම දහඅට වන්නම් නමැති අලුත් වන්නම් පෙළක් නිර්මාණය කළා. ඒ වන්නම් අනුගමනය කරන්නේත්, අපේ සාම්ප්‍රදායික වන්නම් පද්ධතියමයි. හැබැයි, ඒ සඳහා උන්වහන්සේ තමන්වහන්සේගේම ගී පද නිර්මාණය කළා. අප විසින් එම කෘතියත් ඇතුළත් කර ඇත්තේ, ළමා කව් ගී කියන ප්‍රවර්ගය තුළමයි.
උන්වහන්සේගේ වැදගත්ම සහ වඩාත් ප්‍රචලිත ළමා කවි පෙළ වන්නේ, ළමා කව් කළඹ, කව්මිණ සහ කව්මුතු යන පාසල් පොත් පද්ධති තුන තුළයි. ළමා කව් කළඹට අයත් වන්නේ, පස්වන ප්‍රමාණය දක්වා ලියවුණු පොත් හයක්. කව්මුතු සහ කව්මිණ යන පොත් පද්ධති දෙකට, පොත් හත බැගින් අයත් වෙනවා.
• දරුවන්ගේ පෞරුෂ වර්ධනයටත්, දේශාභිමානය, සෞන්දර්යය ඇති කිරීමටත් මහින්ද හිමියන් සිය ළමා කවිය හරහා ගත් වෙහෙස ඔබ දකින්නේ කොහොමද?
භාරතයේ සිකිම් දේශයේ සිට බාල වියෙහිදීම ලංකාවට පැමිණි ටිබෙට් ජාතික සම්භවයක් හිමිව සිටි මහින්ද හාමුදුරුවන්, සාමණේර කාලයේ සිට ස්වකීය පරිණත අවධිය දක්වාම, සිංහල බසින් ලියන ලද ගැදි පැදි මහත් රාශිය අතර, සදාකාලික වටිනාකමක් ඇති නිර්මාණ පද්ධතියක් වන්නේ, උන්වහන්සේ ලියූ ළමා පද්‍ය නිර්මාණ මහ රාශියයි. මෙම ළමා කවි තමයි, කලින් සඳහන් කළ ළමා කව් කළඹ, කව්මිණ, කව්මුතු යන පාසල් පොත් පද්ධති තුන තුළ ප්‍රකාශයට පත් වුණේ. මගේ පෞද්ගලික හැඟීම නම්, අපගේ ළමා කවියට මහත්ම සේවය ඉෂ්ට කළේ, සිංහලයකු නොවන සිකිම් මහින්ද හාමුදුරුවන් බවයි.
මුනිදාස කුමාරතුංග, ආනන්ද රාජකරුණා යන විශිෂ්ට කිවිවරුන්ට මා තුළ ඇති ගෞරවය අප්‍රමාණයි. ඒ වුණත් කිව යුතු බරපතළම සත්‍යය තමයි, ඇස්. මහින්ද හිමියන් ඔවුන් දෙදෙනාම අතික්‍රමණය කරමින් ළමා කව් ගී නිර්මාණය කළ බව. ඒ නිර්මාණවල පැවති සිංහල වාග් රීතියත්, උන්වහන්සේ විසින් අතිශයින්ම අව්‍යාජ ආකාරයෙන් විවරණය කළ අපගේ ජාතිකත්වය, ඉතිහාසය, සංස්කෘතිය සහ පරිසරය යන කාරණාත් හේතුකොටගෙන, මහින්ද හාමුදුරුවන්ගේ ළමා කව් ගීත ඉතා විශිෂ්ට තැනක පවතිනවා. ඊටද අමතරව, බොහෝ ළමා කවිවලදී උන්වහන්සේ පළ කළ දරුවාගේම මානසිකත්වය තුළට ප්‍රවිශ්ට වීමේ ශක්තිය විස්මයජනකයි. එහෙම නොවේ නම්, ළමා කව් කළඹ දෙවැනි ප්‍රමාණය පොතේ මුලටම එන රාත්‍රිය ගැන ලියවුණු ඉතා සුප්‍රකට රචනයේදී,
මගෙ සුරතල් අක්කාගේ
මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නෙ පිනි බිංදුත්
හදමු එකක් ඒ වාගේ
වැනි කවි බිහිවන්ට හැකියාවක් නෑ. මහින්ද හිමිගේ ළමා කවියේ අනෙක් විශේෂත්ව දෙකක් තමයි, ඔබගේ ප්‍රශ්නයෙන් අවධාරණය කෙරෙන්නේ. එකක්, දරුවන්ගේ පෞරුෂ වර්ධනය. මේ පිළිබඳව දිය හැකි නිදසුන් අතිමහත් සංඛ්‍යාවක්, උන්වහන්සේගේ ළමා කව්වල දක්නට ලැබෙනවා. නිදසුනක් හැටියට, එකම එක රචනයක් ගැන මෙතැන්හිදී සඳහන් කිරීම සුදුසු යයි මට සිතෙනවා. ඒ නිර්මාණය තමයි, යුතුකම කියන කව් පෙළ. උන්වහන්සේ ඒ රචනය ලියුවේත්, දෙවැනි ප්‍රමාණයේ ළමයින් උදෙසා. මහලු මිනිසකු අඹ ඇටය සිටවන්ට වළක් හාරමින් සිටින විට, පොඩි දරුවකු අහන ප්‍රශ්නයකිනුයි ඒ කව් පෙළ ආරම්භ වන්නේ.
“මොනවද මුත්තේ මොකද කරන්නේ - මොකටද උඹ ඔය බිම හාරන්නේ” යන ප්‍රශ්නයෙන්.
දරුවාගේ පෞරුෂය ගොඩනැංවීම සඳහා උන්වහන්සේ තෝරාගෙන ඇති නිර්මාණාත්මක මාර්ගය ඉතාම විශිෂ්ටයි. එසේම ජාතික තොටිල්ල කාව්‍යයේදී කවියා අපගේ ඉතිහාසය මතක් කර දෙමින්, දරුවාගේ පෞරුෂය ගොඩනැංවීමට සුදුසු මාර්ගයක් පාදා ගන්නවා.
ඒ වගේම තමයි, දරුවාගේ සෞන්දර්ය චින්තනය ඔප මට්ටම් කිරීමට, උන්වහන්සේ ලියන කවි සංඛ්‍යාව. මුලින් සඳහන් කළ රාත්‍රිය නමැති අපූරු නිර්මාණයට අමතරව, තව බොහෝ නිර්මාණ උන්වහන්සේගේ පාසල් පොත් පද්ධති තුනේම දැකගන්ට ලැබෙනවා.
• ඒත් ඍජු, රළු බසක් භාවිත කරමින් උන්වහන්සේ රචනා කළ බොහෝ කවි කාව්‍යමය ගුණයෙන් හීන ඒවා බවට ඇතැම් විචාරකයන්ගෙන් චෝදනා එල්ල වුණා නේද?
විචාරකයෝ කියන අය මොනවද නොකිව්වෙ? මොනවද නොකියන්නෙ? ඔබේ ප්‍රශ්නයට දෙන්නට තියෙන පිළිතුර, තවත් ප්‍රශ්නයක්. අද අප අත්විඳින මේ කාලය එළඹෙන්ට පෙර, අපේ ජනතාව කටපාඩමින් කිව්වෙ, ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවන් ලියූ සිංහල කවි නොවෙයිද? කන්ටේනර් ගණනක් පුරවන්ට පුළුවන් තරමට ලියා ඇති ඊනියා නිසඳැස් කවි කටපාඩමින් කියන්නට පුළුවන් පාඨකයෙක්, ඔබට එහෙම හමු වෙලා තියෙනවද? ඇස්. මහින්ද හාමුදුරුවෝ අදටත් අපේ කවියට අනුප්‍රාණයක්.
• මහින්ද හිමියන්ගේ නිර්මාණ භාවිතාව නූතන සමාජය හැදෑරිය යුත්තේ ඇයි?
ඇස්. මහින්ද හාමුදුරුවන්ගේ නිර්මාණ භාවිතාව අදටත් වලංගුයි. මේ යුගයේ කවි ලියන, කියවන සහ කවියෙන් පණ ලබන හැමදෙනාමත්, උන්වහන්සේගේ කවි ඉතා ළැදිව හැදෑරිය යුතුයි කියා මා කල්පනා කරනවා. ඒ, අපේ කවියේ ඉතිහාසය ඉගෙනගන්ට විතරක් නෙමෙයි. අදටත් එයින් ආභාසයක් - අනුප්‍රාණයක් - ලබන්නටයි.
තවත් කියන්නට කාරණයක් තියෙනවා. ජාතියේ මුර දේවතාවනුයි කියන, අපගේ වර්තමාන සඟ පරපුරෙන් අතිමහත් බහුතරය, නපුරු සිහින දකිමින් නිදා සිටින මෙසමයෙහි, අපට සවන් දෙන්ට තියෙන්නේ, මීට වසර හැත්තෑඑකකට පෙර අපවත් වී වදාළ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හාමුදුරුවන්ට විතරයි. අදත් අපට අහන්නට සිදු වී ඇත්තේ, නිදහස් දැහැනෙහි මුලටම එන, මේ ප්‍රශ්නය නොවෙයිද?
මොන කරුමයද තව ඇහැරුණු බවක් නැහැ
පැන පැන බියව මුලු වැදුමෙන් පලක් නැහැ
දිනුම පැරදුමත් කෝකත් කමක් නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ
ජාතියක් හැටියට අද අපට දිනාගන්ට සිදුව ඇති ඒ “නිදහස”, මහින්ද හාමුදුරුවන් සිතුවාටත් වඩා බරපතළ මහා සංකීර්ණ කාර්යයක්. සිංහලෙන් කවි ලියූ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හාමුදුරුවන් අදටත් අදාළ වන්නෙ, ඒ අර්ථයෙනුයි. උන්වහන්සේ එදා ලියූ කවි අදටත් හරියටම හරි.
ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ
සංවාද සටහන - ගාමිණි කන්දේපොළ