එස්තෝනියා බදු ක්‍රමයේ මැජික් සූත්‍රය


රටක සහ ආර්ථිකයක කශේරුකාව වන්නේ මධ්‍යම පන්තියයි. එය ඉහළ හා පහළ ලෙස කොටස් දෙකකට බෙදෙයි. මධ්‍යම පන්තියේ ඒ කොටස් දෙකම දැන් සිටින්නේ පීඩනයකය. ඊට හේතුව දිගු කලෙක සිට රටේ පවතින ආර්ථික අර්බුදයයි. ඒ අර්බුදයෙන් පීඩිතව සිටින මධ්‍යම පාන්තිකයන් මත 2023 වර්ෂය සඳහා වන අයවැයෙන් පටවා තිබෙන බදු බර හේතුවෙන් දැන් ඔවුන් පත්ව සිටින්නේ කොරේ පිටට මරේ වැනි තත්ත්වය කටය. උද්ධමනය සියයට හැත්තෑවට වැඩි අගයක පැවැතීම නිසා භාණ්ඩ හා සේවා මිල ජවන වේගයෙන් ඉහළ යාම නිසා ආදායම මෙන් තුන් හතර ගුණයකින් වියදම ඉහළ යාමෙන් ද දැන් ඔවුන් සිටින්නේ දැඩි අසහනයකිනි.

මහ බැංකු අධිපතිවරයා දැන් කියන්නේ මේ වසර අවසාන වෙද්දි උද්ධමනය සියයට දහයකට වඩා අඩු වන බවය. එහෙත් එසේ වනවිට ජනතාව හාන්සිවී හමාරය.

ආදායම් කඩා වැටීම හේතුවෙන් දැනටත් ඔවුන්ට මිලදීගැනීමේ හැකියාවක් නැත. දරුවන්, ගැබිනියන්, කිරිදෙන මව්වරුන් ඇතුළු අතිවිශාල බහුතරයක් දැන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ මිලදී ගැනීමේ හැකියාව නැති නිසාය.

උද්ධමනය සියයට දහයකට වඩා අඩුවන විට දැනට මන්දපෝෂණයෙන් පෙළෙන අය අතරින් යම් පිරිසක් සිටිය හැක්කේ මළවුන් අතරය.

එපමණක් නොව දල ජාතික නිෂ්පාදිතයට සියයට 10 ක් තරම් ඉහළ දායකත්වයක් දැක්වූ ඉදිකිරීම් කර්මාන්තයේ කඩාවැටීම නිසා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයෙහිද ඇත්තේ අවරෝහණ ගමනකි. එවැනි තත්ත්වයක් යටතේ දැනට ක්‍රියාත්මක රාජ්‍ය ප්‍රතිපත්ති වලින් රටේ ආර්ථිකය තවත් හැකිළෙනවා මිස එහි වර්ධනයක් නොවෙයි. දල ජාතික නිෂ්පාදනය වර්ධනය නොවෙයි.

මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය වන්නේ මැජික් පෙන්විය හැකි සූත්‍රයකි. ඒ මැජික් සූත්‍රය නූතන නිර්මාණයක් නොව ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පවතින්නකි. ඒ පිළිබඳව නූතන ලෝකයේ මනා හැදෑරීමක් කර තිබෙන්නේ ඇමෙරිකන් ආර්ථික විද්‍යාඥයකු වන නාදන් ලුවිස්ය. ඒ සම්බන්ධයෙන් ඔහු ලියා තිබෙන පොත The Magic Formula නමින් ප්‍රකාශයට පත්ව තිබේ. ලංකාව වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරු උපදෙස් නොව නාදන් ලුවිස් (Nathan Levis) පෙන්වා දෙන මැජික් සූත්‍රය බව ලොව ප්‍රකට ෆෝබ්ස් සඟරාවේ කළමනාකාර කර්තෘ ස්ටීව් ෆෝබ්ස් ද පෙන්වා දෙයි. ලොව ප්‍රසිද්ධ ෆෝචූන් සඟරාවද නාදන් ලුවිස්ගේ මැජික් සූත්‍රය අගය කරයි, වැළඳ ගනියි.

ඒ මැජික් සූත්‍රයේ ප්‍රධාන අංග දෙකකි. ස්ථාවර මූල්‍ය ඒකකය ඉන් එකකි. අනෙක අඩු බදු අනුපාතය. රටක මුදල් ඒකකයේ වටිනාකම සාපේක්ෂව ස්ථාවරව පවත්වාගෙන යායුතු බව පළමු ඉගැන්වීමයි. දෙවැන්න පුරවැසියන්ට දරාගත හැකි බදු අය කිරීමයි. මැජික් සූත්‍රයෙහි මුල් තැන දෙන්නේ රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමටය. දල ජාතික නිෂ්පාදනය ඉහළ යාමෙන් රටක ආර්ථික ප්‍රශ්න වලට පිළියම් ලැබෙන බව මැජික් සූත්‍රයෙහි ඉගැන්වීමයි. රටක බදු ආදායම දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15 සිට 20 අතර පැවැතිය යුතුය. ඒ බදු ආදායම ලබාගත යුත්තේ නිෂ්පාදනය ඉහළ නංවා අඩු බදු අනුපාත මගිනි.

දල ජාතික නිෂ්පාදිතය ඉහළ යන විට බදු ආදායමද ඉහළ යයි. ඇමෙරිකාවේ හා යුරෝපයේ ඒ සම්බන්ධයෙන් හොඳ උදාහරණ තිබේ. පුද්ගල ආදායම් බදු අයකරන්නට ඇමෙරිකාව තීරණය කළේ 1913 දී සම්මත කරගත් 16 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනි. එතෙක් එරට පුරවැසියන්ගෙන් ඔවුන්ගේ ඉපයීම් මත බදු අය කළේ නැත. 

තායිවානය, සිංගප්පූරුව සහ හොංකොං ද අඩු බදු අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ රටවලට උදාහරණය. සෝවියට් දේශය බිඳ වැටී රටවල් ගණනාවක් බිහිවූ යුගයේ නැගෙනහිර යුරෝපයේ රටවල් වැළඳගත්තේ ද මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තියයි. ඒ ප්‍රතිපත්ති පිළිගෙන ඉහළ බදු පනවා තම රටේ මුදල් ඒකකය අවප්‍රමාණය කළහ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවා අවුරුදු තුන හතරක් ඇතුළත ඒ රටවල් නැත්තටම නැතිවන තත්ත්වයක් උදාවිය. ඒ ප්‍රතිපත්ති වලින් පළමුව මිඳුණේ එස්තෝනියාවය.

එරට පළමුව බදු අනුපාත හැකි තරම් පහළ දමා තම රටේ මුදල් ඒකකය ජර්මන් මාර්ක් සමග බද්ධ කළේය. එය වෙහෙස මහන්සියෙන් කළ කටයුත්තකි. ආණ්ඩුවේ දූෂණ බින්දුවක් බවට පත් කළේද එස්තෝනියාවය. එමගින් එස්තෝනියාව තම ආදායම රුසියාවේ ආදායම මෙන් දහ ගුණයකට වඩා වැඩිකර ගත්තේය.

එස්තෝනියාවේ දියුණුව දුටු රුසියාවත් 2001 දී එස්තෝනියාව අනුගමනය කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙළඹෙයි. රුසියාවට පසුව සර්බියාවත් අනතුරුව යුක්රේනයත් ඉන් අනතුරුව ජෝර්ජියාවත් අනුගමනය කළේ ඒ ප්‍රතිපත්තියයි. වැටී තිබුණු ඒ රටවල දියුණුවට හේතුවූයේ මැජික් සූත්‍රයේ සඳහන් ප්‍රතිපත්ති අනුගමනය කිරීමය.

සෝවියට් දේශය බිඳවැටුණේ 1992 දීය. අප ඉහත සඳහන් කළේ ඉන් අනතුරුව බිහිවූ රටවල් කිහිපයක් මැජික් සූත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් නෙළාගත් ප්‍රතිඵල ගැනය. මැජික් සූත්‍රයට ඊටත් එහා අතීතයක් පවතී. රෝම අධිරාජ්‍යයේ අවුරුදු 30 ක් පමණ තිස්සේ සිවිල් යුද්ධයක් තිබිණි. ඒ යුද්ධයේදී මාර්ක් ඇන්ටනී පරදවා ඔගස්ටස් බලයට පත්වෙයි. ඒ ක්‍රිස්තු පූර්ව 31 දීය. ඒ මීට අවුරුදු 2054 කට පෙරදීය.

ඔගස්ටස් බලයට  පත්වූ පසුව බදු සියයට පහ (05%) දක්වා අඩුකරයි. එමගින් රෝම අධිරාජ්‍ය ස්වර්ණමය යුගයකට ගෙනෙයි. තමන් රෝමයේ පාලනය භාරගන්නා විට එය ගඩොලින් ගොඩනැගූ රාජ්‍යයක් වුවත් තමන් එය මාබල්වලින් ගොඩ නැගූ රාජ්‍යයක් බවට පත් කළ බව ඔගස්ටස්ම කියයි. ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ මැජික් සූත්‍රයට එතරම් හැකියාවක් සහ ඉපැරැණි අතීතයක් තිබෙන බවය.

වර්තමාන ඇමෙරිකාව 2008 සිට 2018 වන තුරු පොලී අනුපාත ඉහළ මට්ටමක පවත්වාගෙන යමින් විද්‍යුත් මුදල් හැකිතරම් නිකුත් කළේය. එය ද සල්ලි අච්චු ගැසීමකි. 2008 වන විට ඇමෙරිකන් මහ බැංකුව ගෙන තිබුණු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම ඩොලර් බිලියන 900 කි. 2022 වන විට එය ඩොලර් බිලියන 8,600 ක් දක්වා ඉහළ නැගිණි. 2008 සිට 2012 දක්වා වූ අවුරුදු හතරේදී පමණක් ඩොලර් බිලියන 4,200 ක් වනතුරු භාණ්ඩාගාර බිල්පත් ගෙන තිබුණි. එය ආර්ථිකයට සල්ලි පොම්ප කිරීමකි. 2018 සිට 2022 දක්වා කාලයේදී තවත් ඩොලර් බිලියන 4,200 ක් එලෙස ආර්ථිකයට පොම්ප කරයි. ඒවායේ ආදීනව විඳින්නට සිදුවූයේ 2022 සිටය. ඇමෙරිකාවෙන් පිට ඩොලරය ශක්තිමත් වුවත් රට ඇතුළෙහි ඩොලරය අව ප්‍රමාණය වී තිබේ.

ඩොලරය අව ප්‍රමාණය වී තිබෙන්නේ එරට ආර්ථිකයට සාපේක්ෂවය. දැන් රත්තරන් පවුමක් ඩොලර් 1,700 කි. එය ඩොලර් 5,000 ක් දක්වා වැඩිවනු ඇතැයි එරට ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකතනය කරති. ඒ නිසාම දැන් බොහෝ ඇමෙරිකානුවෝ වෙනත් ආයෝජනවලට නොගොස් රත්තරන් මිලදී ගනිති. පවතින මේ තත්ත්වය නිසා බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 ක් පමණ වනු ඇතැයි පුරෝකතනය කෙරෙයි.

ලෝක ආර්ථිකයෙහි වන ඒ වෙනස්කම් ගැන ලංකාවේ පාලකයන් දැන්වත් කල්පනා කළ යුතුය. මාසයකට ඩොලර් බිලියන දෙකක් වූ ලංකාවේ මාසයක ආනයන දැන් ඩොලර් මිලියන 1400 ක් දක්වා පහත බැස තිබේ. ඒ අතර ඛනිජ තෙල්, ගෑස් යනාදිය ආනයනය කිරීමට යන වියදම් ද ඇතුළත්ය. 

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ලංකාවේ මාසික ආනයන වියදම යළිත් ඩොලර් බිලියන දෙකක් හෝ ඊට වැඩි වුවහොත් අපේ මහ බැංකුව දැන් කියන කිසිවක් කරන්නට නොහැකි වෙයි. එදාට ආනයන තහනම් තව තවත් තීව්‍ර කරන්නට සිදුවෙයි. දැනට නොගෙවන විදෙස් ණය වාරික හා පොලිය ගෙවන්නට යළි පටන් ගත් දාක අප යළි කොතැනකට වැෙට්දැයි කිව හැක්කේ කාටද? දැන් අප ණය වාරික හෝ පොලිය නොගෙවන නිසා මේ රත්තරන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට හැදීමේ මාවතට පිවිසිය යුතුය. එහෙත් පාලකයන් කයිවාරු ගස ගසා යන්නේ හිඟා කන මාවතේමය.

රට හැදිය යුත්තේ බදු වැඩි කිරීමෙන් නොවේ. කළ යුත්තේ රජයේ වියදම් අඩු කිරීමය. දල ජාතික නිෂ්පාදිතයේ වර්ධනයට මූලිකත්වය ගත යුත්තෝ ප්‍රතිපත්ති සම්පාදකයෝ සහ ක්‍රියාත්මක කරන්නෝය. රටේ නිෂ්පාදනය වර්ධනය කළ හැකි ප්‍රමුඛතම මාර්ගය කෘෂිකර්මාන්තයයි.

රටේ දුප්පත්කම හා මන්දපෝෂණය ඉහළ යාමට හේතු වූයේ එකරැයින් රසායනික පොහොර තහනම් කිරීම නිසා කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය කඩා වැටීමයි. ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීමට ද කෘෂිකර්මාන්තයෙන් ගත හැකි පිටිවහල ඉතා විශාලය. එසේම වටිනාකම එකතු කළ භාණ්ඩ නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයෙන් ලද හැකි පිටිවහල ද සුවිශාලය.

වටිනාකම එකතු කළ කෘෂි නිෂ්පාදන සරලව කිවහොත් ආහාර පාන හා ඖෂධ අපනයනයෙන් ලද හැකි විදේශ විනිමය ආදායම මහමෙරකි. එහෙත් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයෝ ඒ දෙසවත් නොබලති. රජය කළ යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනය සහ දේශීය නිෂ්පාදනවල ගුණාත්මකතාවය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගැනීමය.

කර්මාන්ත අංශයෙහි කළ යුත්තේ ගෝලීය නිෂ්පාදන දාමවලට සම්බන්ධ වීමය. ඊට අවශ්‍ය මානව සම්පත රටේ පවතී. ඒ මානව සම්පත රට හැර යන්නේ ඔවුන් රටෙහි නවතා ගැනීමට පාලකයන්ට වුවමනාවක් හා සැලසුම් නැති හෙයිනි. සැලසුම් නැත්තේ ප්‍රතිපත්තියක් නැති බැවිනි. ගෝලීය නිෂ්පාදන දාමවලට සම්බන්ධ වී කාර්මික හා තොරතුරු තාක්ෂණික උපාංග අපනයන ඉහළ නැංවිය හැකි නම් එමගින් ඉපයිය හැකි විදේශ විනිමය ප්‍රමාණය සුවිශාලය. රටේ දල ජාතික නිෂ්පාදිතය ඉහළ යන්නේ එසේ කළහොත් පමණකි.

කර්මාන්ත සහ කෘෂිකර්ම අංශවල එවැනි වර්ධනයක් වුවහොත් සේවා අංශය නිරායාසයෙන් වර්ධනය වෙයි. එමගින් දල ජාතික නිෂ්පාදිතය ඉහළ යයි. එසේ වූ කල අපේ රුපියල ද ස්ථාවර වෙයි. ඒ නිසා ලංකා ආණ්ඩුව කළ යුත්තේ මූල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා එසේම කරගෙන යමින් විදෙස් ණය වාරික හෝ පොලිය නොගෙවීම හේතුවෙන් උදාවී තිබෙන ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රටේ නිෂ්පාදන හා සේවා අංශවලට ඔක්සිජන් සැපයෙන සැලසුම් දියත් කිරීමය. එසේ කරමින් පුද්ගල ආදායම මත උපයන බදු අනුපාත හැකි තරම් පහළ දැමීමය.

කළ යුත්තේ බදු අනුපාත ඉහළ දැමීම නොව බදු  දැලෙන් රිංගන මිනිසුන් අල්ලාගෙන ඔවුන්ට දඬුවම් කිරීමය. රිංගන්නට බැරි ක්‍රමවේදයක් සකස් කිරීමය. එහෙත් එය නොකරන්නේ එසේ කළහොත් ඒ දැලට හාල්මැස්සන් නොව තෝරු මොරුන් හසුවන නිසාය. ඒ තෝරු මෝරු ආණ්ඩු කරන අයගේ හිතවතුන්ය.

විගණකාධිපති වාර්තාවලට අනුව 2020 සහ 2021 වසරවලදී එකතු නොකළ බදු මුදල රුපියල් බිලියන 1,199 කි. ඒ වසර දෙකේදී ආණ්ඩු තම ගජ මිතුරන්ට දී තිබෙන බදු සහනය රුපියල් බිලියන 1,300 කි. ඒ දෙකෙහි එකතුව බිලියන 2,499 කි. එහෙත් ඒ මුදල් එකතු කරගන්නේ නැතිව නැතහොත් තෝරු මෝරුන් අල්ලන්නේ නැතිව හාල්මැස්සන්ට දැල එලයි. 


සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්

ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයෙහි හිටපු බලශක්ති උපදේශක ආචාර්ය නිශාන්ත නානායක්කාර