දෙදාස් දාහතර වසරේ අවසාන නිමේෂය පැමිණිලා. සීතල නත්තලටත්, 2015 නව අවුරුදු උදාවටත් මිනිස්සු කඩිමුඩියේ ලැහැස්ති වෙනවා. ඒත් සතුටු සිනාවලින් හසරැුලි නැංවියයුතු මේ උත්සව කාලයේ බොහෝ දෙනාගේ මුවගින් හසරැලි දුරස් වෙලා.
ඒ නිසාම ඒ විඩාබර හදවත්වලට කතාකරන්න මා ඔවුන් සොයා ගියා.
මට මුලින්ම මුණ ගැහුනේ ගයනි. ඇය පෞද්ගලික ආයතනයක ලිපිකාරිණියක්. ඒ වගේම දෙදරු මවක්. ඇය දෙමටගොඩ එළවළු වෙළඳපොළ දෙසට ගමන් කරමිනුයි හිටියේ. මම ඇය හා දොඩමළු වුණා.
”ඉතින් කොහොමද ජීවිතේ.... එළවළු ගන්න ආවාද”
ඇය මා දෙස බලා හසරැුල්ලකින් සංග‍්‍රහ කළා.
”ජීවිතේ නම් හොඳයි. ඒත් ගොඩක් දුෂ්කරයි. ඇය කතාවක් කියන්න මුල පිරුවා.
”දවස් නම් ඉක්මනට ගෙවිලා යනවා. ඒත් මේ බලලා මේ බලද්දී බඩු ගණන් නම් වැඩිවෙනවා. අපි ලොකු වැටුපක් ගන්න අය නෙමෙයිනේ. උදේ ඉඳලා හවස් වෙනකම් මහන්සිවෙලා ගන්න පොඩි වැටුපෙන් මුළු පවුලක් ජීවත්කරවන්න ඕනෑ.
ඒත් මේ විදිහට බලාගෙන ඉද්දී එළවළු ගණන් යද්දී ජීවත්වෙන එකත් ප‍්‍රශ්නයක් වෙනවා. ඇය වචන කීපයකින් ලොකු කතාවක් කියා සමුගත්තා.
අද වෙළඳපොළේ බඩු ගණන් වැඩිවීම පිළිබඳ පාරිභෝගිකයෝ මැසිවිලි නගනවා. හේතුව දෙසැම්බර් මාසය කියන්නේ ඔවුනගේ හිස්මත මහා බරකන්දක් පැටවෙන මාසයක් නිසා.
කිතුනු අය නම් නත්තලට සූදානම් විය යුතුයි. ඒ වගේම අලූත් පාසල් වාරයට දරුවන්ට අවශ්‍ය පාසල් ද්‍රව්‍යත් මිලදී ගත යුතුයි. කාර්යාලවල සේවය කරන අයනම් අලූත් අවුරුද්දට අලූත් දේවලින් සූදානම් වීම සාම්ප‍්‍රදායකයි. මේ සියළු දේ තුළින්ම් ඉහළ යන්නේ වැය පාර්ශවය.
ඒත් වැය සඳහා යන මූල්‍යමය ප‍්‍රතිපාදන ඉහළ ගියත් ලැබෙන වැටුප නම් වෙනසක් වෙලා නැහැ.
මේ සියළු ගැටළු මැද කාලගුණයත් හරහට හිටිනකොට තවත් අසරණවෙන්නේ සාමාන්‍ය ජනතාවයි.
අද මිනිසුන් එළවලූ මිල වැඩි කියලා මැසිවිලි නගන්නෙත් ඒ නිසාමයි. ඒ අතරේ තවත් පිරිසක් මිල වැඩිවීම දේශපාලනයටත් සම්බන්ධ කරගෙන විවිධ කතා කියනවා.
ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් එළවලූ වෙළඳපොළේ වගතුග සෙවීමට සිල්ලර වෙළදාම් කරන වෙළඳුන් කීප දෙනෙක් සමග කතා කළා.
ඔවුන් පැවසුවේ මෙවැනි අදහසක්.
සම්පත් (දෙමටගොඩ එළවළු වෙළඳපොළ):
මම සම්පත්. ගිය මාසෙට වැඩිය මේ මාසේ එළවළු මිල වැඩිවුනා. හේතුව මේ නොනවත්වාම වහින වැස්ස. මේ වැස්ස නිසා කොළඹට එළවළු එනවා අඩුයි. විශේෂයෙන්ම මේ දවස්වල නුවරඑළියෙන් එළවළු එන්නේ හරිම අඩුවෙන්. අපි වෙළඳාම් කරන්නේ දඹුලූ එළවළු. ගිය මාසේ අපි මාළු මිරිස් ග‍්‍රෑම් 250 රුපියල් 60ට විකුණුවා. මේ මාසයේ අද වෙනකොට රු. 100ට විකුණන්න අපිට සිද්ධවුණා.
ගිය මාසේ කැරට් ග‍්‍රෑම් 250 රු. 50ක් වුණා. ඒත් මේ මාසේ රු.70ට වැඩි වුණා. වම්බටුත් ඒ වගේමයි. රු. 40ට තිබුණ වම්බටු ග‍්‍රෑම් 250 රුපියල් 60 වුණා. රු. 30 ට තිබුණ බණ්ඩක්කා ග‍්‍රෑම් 250 රුපියල් 50 වුණා.
මිනිස්සු බඩු මිල වැඩි කියනවා. ඊයේ තිබුණෙ අරගානට ඇයි අද මෙච්චර වැඩිවෙලා අහනවා. ඒත් අපිටත් මේ දවස්වල එච්චර ලාභයක් නෑ, බිස්නස් අඩුයි. අද නුවර එළියෙන් රු.200ට ගලවන එළවළු කිලෝ එක පිටකොටුවේ මැනින් මාකට් එකේ විකුණන්නේ රුපියල් 240ට අපි ඒවා ත‍්‍රීවිල්වල, ලොරිවල දාගෙන ගේන්න ඕනෑ. නාට්ටාමිලාට ගානක් දෙන්න ඕනෑ. අපි කිලෝ 50ක කෑල්ලක් ගෙනාවොත් ඒකෙන් හොඳට තියෙන්නේ කිලෝ 40යි. කිලෝ 10ක්ම අපිට පාඩුයි. ඒ ගේන එළවළුවල කොළ සුද්ද කරලා, පස් අරලා හෝදලා ගත්තාම තවත් කිලෝ ගණන අඩුවෙනවා. ඉතින් අපට ලාභයක් ගන්න නම් රුපියල් 10ක් 20ක් වත් වැඩි කරන්න ඕනෑ. එළවළු අඩුවෙද්දී මිල තව තවත් වැඩිවෙනවා. මේකට හේතුව වැස්ස නිසා ඇතිවුණ එළවළු හිඟය.
සම්පත් මහතා එළවළු වෙළෙන්දන් ලෙස ඔවුන් මුහුණපා සිටින දුෂ්කරතාව පැහැදිලි කළා.
ඔහුගෙන් සමුගත් මා ඊළඟට හමුවූයේ අල ලූණු වෙළඳාම් කරණ සෝමදාස මහතා.
ඔහුටත් කීමට තවත් කතාවක් තිබුණා.
මම සෝමදාස. අල ලූණු වෙළඳම් කරනවා. අද වෙනකොට අල ලූණූත් ගොඩක් ගණන් ගිහිල්ලා.
පෙරේදා අල කිලෝඑක තිබුණේ රුපියල් 85ට. ඊයේ වෙද්දී රුපියල් 90 වුණා. අද වෙනකොට රුපියල් 110යි. අපිට අල වර්ග 2ක් ලැබෙනවා. එකක් හොඳ අල. අනිත් ඒවට තියෙන්නේ අඩු කොලිටියක්. ඒවා ටිකක් අඩු ගානට විකුණන්න පුළුවන්. ඒත් ඒවා ගෙනාවොත් ගොඩක් අහක දාන්න වෙනවා. අපිට කිසිම ලාභයක් නෑ, සමහරු ඇවිත් ඊයේ තිබුණ ගානට අදත් බඩු ඉල්ලනවා. අපි ළඟ තියෙන්නේ හොඳ බඩු ඒවා ගණන් වැඩි.
නත්තල නිසා තවත් මිල ගණන් වැඩිවෙයි. ත‍්‍රීවිල් කුලී, නාට්ටාමි කුලි, කෑමබීම බලද්දී කිවයුතු ලාභයක් ලැබෙන්නේ නෑ, මේක අපේ රස්සාව ඒක නිසා කරගෙන යනවා.
මිනිස්සු කියනවා දේශපාලනය නිසා එළවළු ගණන් ගිහින් කියලා. ඒත් වැස්ස නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. තක්කාලි, ලීක්ස් වගේ දේවල් වැස්සත් එක්ක තියාගන්න බෑ, අල කෑලි 5, 6 තොගේට ගන්න අයට ලාභ තියෙනවා. ඒත් අපි කෑල්ලයි දෙකයි ගන්නේ. නරක් වෙච්ච ඒවා අයින් කරපුවම එච්චර ලාභයක් නැහැ.
අලවල තොග මිල 65 ඉඳලා 70 දක්වා වැඩිවුණා. අපිට 100 ඉඳලා 110ට වැඩිකරන්න වුණේ ඒ නිසයි.
සෝමදාස මහතාගෙන් සමුගත් මා යළිත් මාකට් එක දෙසට ගමන් ගත්තා. මැදිවියේ පසුවන කාන්තාවක් දරුවෙකුත් අතින් අල්වාගෙන එළවළු තෝරනවා. මා ඇය අසලට ළගාවුණා.
එළවළු තෝරනවා වගේ.
මම කතාවට මුල පිරුවා. ඇය හිස ඔසවා මා දෙස බැලූවේ කුතුහලයෙන් . මම මා ඇයට හඳුන්වා දුන්නා. ඇය ඇගේ කතාව පැවසුවේ මේ විදියට.
”ජීවිතේ නම් ඉතින් ගොඩක් දුෂ්කරයි. අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා. මම එළවළු ගන්නේ සතියටම එක සැරේ. අපි මාස් පඩිකාරයෝ නිසා සතියට මුදල් වෙන්කරලයි තියෙන්නේ. ඒත් දැන් සතියකට ඉස්සරවෙලා ගත්ත එළවළු ප‍්‍රමාණය ඒ මුදලින් ගන්න අමාරුයි. එළවළු වගේම පොලූත් ගණන් ගිහිල්ලනේ. පොල් ගෙඩියක් රුපියල් 50යි 60යි. දැන් මාළු මිරිස් 250ක් වෙනුවට 100යි ගන්නේ. හරිම අමාරුවෙන් තමයි ජීවත්වෙන්නේ.
ඇය සමග කතාකර පියවරක් ඉදිරියට තබනවිට තවත් තැනැත්තියක අප සමග සිනාසුනා. ඇයත් මාකට් එකේ එළවළු වෙළඳාම් කරන තැනැත්තියක් නම ලලිතා. ඇයටත් මම සවන් දුන්නා.
”මේ දවස්වල එළවළු මිල ගොඩක් වැඩියි. වැස්ස වගේම මේ නත්තල් කාලයෙනේ. මේ කාලයේ එළවළු මිල වැඩිවෙනවා. අපිට වැඩි ගාණට විකුණන්න වෙලා තියෙන්නේ ලාභ ගන්න නෙමෙයි. අපිත් තොග කඩවලින් වැඩි මිලකට එළවළු ලබා ගන්නේ. ගිය මාසේ 400ට තිබුණ අමුමිරිස් කිලෝ එක මේ මාසේ 480ක් වෙලා. අපි ඉස්සර වැඩිපුර එළවළු ගෙනාවා. ඒත් දැන් ගේන කිලෝගාන අඩුකරලයි තියෙන්නේ. හේතුව මීට පෙර ග‍්‍රෑම් 250 මිලදී ගත්ත මිනිස්සු මිල වැඩිකියලා අද මිලදී ගන්නේ ග‍්‍රෑම් 100යි.
රුපියල් 40ට වඩා එළවළු ග‍්‍රෑම් 250 අඩුවුණොත් මිනිස්සු මිලදී ගන්නවා. ඒත් රුපියල් 40ට වඩා ග‍්‍රෑම් 250 වැඩිවුණොත් මිලදී ගැනීම අඩු වෙනවා. අදත් සෙනග ගොඩක් අඩුයි. පාරිභෝගිකයන්ට වගේම අපිටත් මිළ වැඩිවීම බලපාලා තියෙනවා. මේ අයහපත් කාලගුණේ තමයි අපි හැමෝටම විනයක් වෙලා තියෙන්නේ.
වෙනදට එළවළු ගන්න පොරකන පාරිභෝගිකයෝ අද එළවළු වෙළඳපළේ දක්නට නැත. මුදලාලිලාගේ මෙන්ම එළවළු මිලදී ගැනීමට එන පාරිභෝගියන්ගේ ද මුහුණු විඩාබරය. ඔවුන් සියළුදෙනා ජීවන බරින් මිරිකී ඇත. අයහපත් කාලගුණයට ආදේශකයන්ද අවශ්‍ය නැත. එහෙත් හදිසිියේ ඇතිවන මෙවැනි තත්වයකදී පාරිභෝගිකයාගේ පැත්තෙන්ද යම්කිසි සාධාරණයක් විය යුතුය. මන්ද යත් කුමන ගැටළුවක් නිසා හෝ බඩු මිල ඉහළ ගියද ඔවුන් ජීවත්විය යුත්තේ ස්ථාවර ආදායමක් මත පිහිටා කටයුතු කරන හෙයිනි.
ඡායාරූප : ඇලෙක්සැන්ඩර් බාලසූරිය.