නූතන සමාජ සංකීර්ණතා, තාක්ෂණික භාවිතයන් ඇතුළු කාරණා හේතුවෙන් මෙරට කවිය, ගීතය ඇතුළු සාහිත්‍ය කලා විෂයන්වල දක්නට ලැබෙන තත්ත්වය සහ අනාගතයේ අපට මුහුණදීමට සිදුවන තත්ත්වය පිළිබඳව වරින් වර බොහෝ විද්වත්හු විවිධ අදහස් මත ප්‍රකාශ කර සිටිති. මතු දැක්වෙන්නේ සුනිල් සරත් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් අප සමග පළ කළ අදහස්වල එකතුවකි. මෙරට ගීත සාහිත්‍යයට අගනා ගීත රැසක් දායාද කළ සුනිල් සරත් පෙරේරා මහතා කවියෙකි. ලේඛකයෙකි. විචාරකයෙකි. ගීත පද රචනා විමර්ශන, තුන්පත් රටා, රටට පිපෙන මල්, පද්ම තටාකය, ගංගාවෙන් මහ මුහුදට, පිරිනිවන් වරුණ ඔහුගේ කෘති කීපයක් පමණි. ඒ මහතාගේ ‘මහ කන්ද’ කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්ද හිමි විය.
• ඔබ මෙරට ගීත සාහිත්‍යය පෝෂණය කිරීමට සක්‍රීයව දායකත්වය දුන් අයෙක්. උසස් වින්දනාත්මක ගීතයක පැවැතිය යුතු නවකතාව සම්පූර්ණත්වය පිළිබඳව ඔබේ අදහස කෙබඳුද?
ගීතය අර්ථ කාව්‍යයක් හැටියටයි මා නිතරම හඳුන්වන්නේ. විශේෂයෙන්ම කලාත්මක ගීතය අර්ථ කාව්‍ය ප්‍රබන්ධයක්. එහි පැහැදිලිව හඳුනාගන්න පුළුවන් ලක්ෂණ කීපයක් තිබෙනවා. ඒ තමයි භාවිකත්වය අර්ථාන්විත භාවය, ප්‍රසාද ගුණය, මිතභාණී ගුණය එනම් පමණට කීමේ ගුණය වගේ කාරණා.
අනෙක් වැදගත් කාරණය තමයි සම්මිශ්‍රණය කියන එක. ඕනෑම හොඳ කලා කෘතියක දක්නට ලැබෙන ලක්ෂණයක් මේක. සම්මිශ්‍රණය කියන එක මට්ටම් කීපයකින් සාකච්ඡා කරන්න පුළුවන්. සංකල්ප රූප සම්මිශ්‍රණය, භාෂා භාවිතයේදී කෙරෙන සම්මිශ්‍රණය මෙහිදී වැදගත්. ගීතය වගේම කවියටත් ඒක අතිශයින් වැදගත් වෙනවා. භාෂාත්මක සම්මිශ්‍රණයේදී පැරැණි නිර්මාණ රචකයන් විවිධ උපක්‍රම භාවිතයට ගෙන තිබෙනවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, අරිසෙන් අහුබුදු, මඩවල රත්නායක, මහගම සේකර වගේ නිර්මාණ රචකයන් තම නිර්මාණවලදී කළ භාෂාත්මක සම්මිශ්‍රණය අප ඉතාමත් සූක්ෂමව සොයා බලන්න ඕනෑ.
මානවසිංහගේ නිර්මාණ ගත්තොත් ඔහු මේ භාෂා සම්මිශ්‍රණය තුළ ‘වාග් ලාවණ්‍යය’ කියන කාරණය ඉතා මැනැවින් මතු කරනවා. ඔහුගේ ‘සිලිලාරෙක හෙල්මැලී පෙති අතරින් සැලි සැලී’ වගේ නිර්මාණයක මේ ගුණය හොඳින්ම දකින්න පුළුවන්. ඔහු ‘ල’ කාරය බහුල යෝජනාවක් තුළ ශබ්ද ධ්වනි මතු කරන ලාවන්‍යයක් මවනවා. මටත් මගේ නිර්මාණවලදී මේ භාෂාත්මක සම්මිශ්‍රණය බලපෑවා. විශේෂයෙන් ‘එරන්දතිය එනවා’ වගේ ගීතයක් දක්වන්න පුළුවන්.
මම හිතන්නෙ ගීත නිබන්ධකයා ගවේෂණශීලී පර් යේෂකයෙක් විය යුතුයි. මුලින් සඳහන් කළා වගේ මානවසිංහ, මඩවල රත්නායක, මහගමසේකර වගේ අය අපට මේ සඳහා ප්‍රබල මගපෙන්වීමක් සපයලා තියෙනවා. එහෙම නැතුව ගීත රචකයා කියන්නෙ නිකම්ම නිකං පද පුරවන්නෙක් නොවෙයි.
• එදා සුපෝෂිතව පැවැති ගීත කලාව අද පරිහාණියට පත්ව ඇතැයි නිතර නැගෙන චෝදනාවක්. විශේෂයෙන්ම ගීතයේ සාහිත්‍යයික අගය අද නොතකා හැර ඇති බව බොහෝ ගීතවලින් පෙනෙනවා. මේ දෙස ඔබ බලන්නේ කොහොමද?
මම අර මුලින් කියපු සම්මිශ්‍රණය වෙනුවට අද ගීතවල බොහෝ වෙලාවට දකින්න තියෙන්නෙ අවසම්මිශ්‍රණයයි. ජනප්‍රියයි කියල හඳුන් වන මතුවෙලා නැතිවෙලා යන බොහෝ ගීතවල දකින්නට තියෙන්නෙ මේ ලක්ෂණය. මේක ඇත්තටම සංස්කෘතික අවසම්මිශ්‍රණයක්. එය ප්‍රතිභා හීනත්වය පෙන්වන කැඩපතක් බඳුයි. ජනප්‍රිය වෙලා ක්ෂණිකව අවභාවිතයට පත්වෙනවා. ගීතයේ අර්ථයට වඩා ගේය ලක්ෂණය හුවා දක්වන්න ගියොත් ඒක යහපත් තත්ත්වයක් වෙන්නෙ නෑ. අර්ථ විරහිත පද බහුල ලෙස මේවායේ දක්නට ලැබෙනවා.
හින්දුස්ථාන් සංගීතය ඉගෙන ගනිද්දී අපට හමුවෙනවා ‘තානාලංකාර’ කියන කොටසක්. ඒවායේ තියෙන්නෙ අර්ථ විරහිත පද. හැබැයි ගීතය ඒ ලක්ෂණ ඉක්මවා යන අර්ථ කාව්‍යයක් බව මා කීවේ ඒකයි. යම් ප්‍රවණතාවක් ජනප්‍රිය වෙනකොටම ඒක අල්ලා බදාගැනීමේ සිරිතක් අපේ රටේ තිබෙනවා. ගීතයට වුණත් මේක වලංගුයි. ඒත් ඒ රැලි ආපු ඉක්මනින්ම නැතිවෙලා යනවා. හොඳම උදාහරණය තමයි විශ්ව ගම්මාන සංකල්පය. අපේ සමහර සිංහල මහාචාර්යවරු පවා කිව්වෙ මේක තමයි අපි යා යුතු මග කියලා. ඒත් විශ්ව ගම්මානය ප්‍රලාපයක් බව ඉතාම කෙටි කලකින් ඔප්පු වුණා. ගෝලීයකරණයත් එහෙමයි. ගෝලීයකරණය වෙනුවට අද තියෙන්නෙ විගෝලීයකරණය. කොවිඩ් වසංගතයත් එක්ක අද හැම රටක්ම හුදෙකලා වෙලා තියෙන්නේ. සෑම රටක්ම ඒ රට තුළින්ම මතුවිය යුතුව තිබෙනවා. භාෂාව, සංස්කෘතිය, කලාව මේ හැම දේකටම මේක බලපානවා.
• අර්ථහීන ගීත රචනා, කවි ඇතුළු සාහිත්‍ය කෘති බිහිවීමට හේතුව සිංහල භාෂාවේ ජීව ගුණය හඳුනා නොගැනීමද? භාෂාව අධ්‍යයනය නොකිරීමද? මේ තත්ත්වය අනාගතයට කෙසේ බලපායිද?
භාෂාවේ උන්නතිය ගැන කතා කරනකොට නූතන සමාජ පරිසරය තුළ අපගේ අවධානයට ලක්විය යුතු කරුණු කීපයක් තිබෙනවා. භාෂාව ඉගැන්වීමේදී අනාදිමත් කාලයක සිට අපේ සම්ප්‍රදාය තුළ තිබුණ විශේෂ ලක්ෂණයක් තමයි ‘පඨනය’ කියන එක. එහි තේරුම කියැවීම යන්නයි. එය අපේ සාහිත්‍යයේ, සම්ප්‍රදායේ තිබුණු විශේෂ ලක්ෂණයක්. අපේ පාසල් යන වියේදී අපට මතකයි නියමිත ග්‍රන්ථ පන්ති කාමරයේදී හඬ නඟා කියන්නට නියම කරලා තිබුණා.
මගේ රසඥතාව හා නිර්මාණ කෞශල්‍යය, දියුණුවීමට හේතුවුණේ එම කරුණු. අපට පාසලේදී ඉගැන්වූ රවිලාල් විමලධර්ම පඬිවරයා නවලෝකය සඟරාවේ තාගෝර් කලාපයක් පන්තියට ගෙනැවිත් හඬ නඟා කියෙව්වා. සාහිත්‍ය කෘතියක් මෙසේ හඬ නගා කියැවීමෙන් එය කියවන්නාගේත් අසන්නාගේත් මනසේ තැන්පත් වෙනවා. ඒවා පසුකාලීන නිර්මාණ රචනයේදීත් බලපානවා. ‘පඨනය’ වැදගත් යැයි කිව්වෙ ඒ නිසයි. එය පැරැණි අධ්‍යාපනයේ වැදගත් අංගයක් වුණා.
අද කාලයේ මේ හඬ නගා කියැවීම අභාවයට යමින් තිබෙනවා. විශේෂයෙන් මේ කාලයේ අපි ඉන්නෙ අර්බුද සමයක. ඒ අර්බුද සමය නිසා ‘ඔන්ලයින්’ අධ්‍යාපනය ජනප්‍රිය වී තිබෙනවා. මේ ක්‍රමය දැනුම ලබන්න හොඳ බව ඇත්ත. හැබැයි ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය දිගින් දිගටම පැවැතිය යුතු ඒකායන මාර්ගය විදිහට සමහරු හුවා දක්වන්න උත්සාහ ගන්නා බවක් පෙනෙනවා. මේ ක්‍රමය දිගින් දිගටම ගියොත් අපේ භාෂාවේ ශක්තීන් අපට හඳුනාගන්න බැරිවෙනවා.
මුහුණට මුහුණ අප කරන සංවාදයට වඩා මේ දුරස්ථ ක්‍රමය අපට බලපෑම් කරන්නෙ වෙනත් විදියකට. ඒ නිසා ඔන්ලයින් ක්‍රමයෙන් දිගටම මෝහනයට පත්වෙන්න ගියොත් සිංහල භාෂාවේ ශක්තීන් බිඳ වැටිලා එය මළ භාෂාවක තත්ත්වයට එන්න පුළුවන්.
• භාෂාව අධ්‍යයනය කිරීමට ඇති කැමැත්ත සහ විෂයක් ලෙස සිංහල තෝරා ගැනීමට ඇති කැමැත්ත නූතන දරුවන්ගෙන් ඈත් වෙමින් යන බව පෙනෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් ඔබ කරන යෝජනා මොනවාද?
භාෂාවේ උරුමය රැකගන්නටත්, භාෂාව ඉගෙන ගන්නටත් භාෂා විද්‍යාගාර සංකල්පය අපට පාසල්වලට හඳුන්වල දෙන්න පුළුවන්. භාෂාවේ විවිධ ශිල්ප ක්‍රම, විධි ක්‍රම භාෂා භාවිතය නිවැරැදිව අධ්‍යයනය කරන්න මේක හොඳ ක්‍රමයක්. ගුරුවරුන්ට පුළුවන් පාසල් පන්ති කාමරය තුළ සාහිත්‍ය කෘති හඬ නගා කියැවීමේ ක්‍රමයක් භාවිත කරන්න. එහෙම නැත්නම් පටිගත කළ හඬ පටි භාවිත කරන්න. ශිෂ්‍යයකුට භාෂාවේ ධ්වනි ශක්තිය තේරුම් ගන්න ඉඩ ලැබෙන්නේ එතකොටයි. එය භාෂා උන්නතිය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.
පාසල්වල වුණත්, විශ්වවිද්‍යාලවල වුණත් අතිරේක කියැවීම් පොත්වලට සිසුන්ගේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. අද බොහෝ දරුවන් විෂය නිර්දේශයට අමතරව බාහිර කියැවීමක් කරන බවක් පෙනෙන්නෙ නෑ. අනික් පැත්තෙන් විෂය නිර්දේශ සකස් කරද්දී දරුවාගේ සාහිත්‍ය රුචිය වර්ධනය වීමට බෙහෙවින් උපකාර වන කෘති හා පාඩම් නිර්දේශ කරන්න ඕනෑ. තමන්ගෙ බලපුළුවන්කාරකම් පෙන්නලා පෙළ පොත්වලට ඔවුන්ගේ පාඩම් ඇතුළු කරන්න ගියාම වෙන්නෙ යහපතක් නෙවෙයි. එහෙම වුණාම ගුරුවරුන්ට සිද්ධ වෙනව නීරස පාඩම් ආයාසයෙන් උගන්වන්න.
රසයක් නැති වියළි කවි, ඇටසැකිලි කවි විෂය නිර්දේශවලට ඇතුළත් කළාම ඒව ගුරුවරුන්ටත් එපා වෙනවා. ශිෂ්‍යයන්ටත් එපා වෙනවා. මීට කලකට පෙර මහාචාර්ය විමල් දිසානායක මහතාගේ ‘නව කව් සරණිය’ කෘතිය උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශවෙලා තිබුණා. ඒක හොඳ තීරණයක්. නව කව් සරණිය එක ගුරු කුලයකට සීමාවෙලා තිබුණෙ නෑ. එම කෘතියේ ප්‍රස්තාවනාව සෑහෙන වටිනවා. දැන් වෙලා තියෙන්නෙ කවියයි ගීතයයි ඇතුළු සාහිත්‍යය බිස්නස් එකක් වෙලා. එහෙම වුණාම ක්ෂේත්‍රය කඩා වැටෙනවා. තාවකාලික ලාභයක් බලාගෙන ඔහේ මොනවා හරි අටවනවා.
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
ප්‍රවීණ ගීය පද රචක සුනිල් සරත් පෙරේරා