ඔබට සුබ ගමන්


ඇගේ ‘අවසන් හෝරාව’ කාව්‍ය සංග්‍රහයට පසුවදනක් ලියන්නේ ඇය උපාධිය ලබාගත් කොළඹ විශ්වවිද්‍යාලයේ ඇගේ ඇදුරුතුමා, මහාචාර්ය ජේ.බී. දිසානායක

‘‘කොළඹ සරසවියට පිවිසි සමහර ශිෂ්‍ය මානවක මානවිකාවන්ට සරසවි දේවිතොමෝ වඩාත් කරුණාභරිත වූවාය. සරසවි වරම් ලබා දුන්නාය. ජයන්තා රුක්මණී සිරිවර්ධන මහත්මිය මේ ‘සරසවි වරම් ලත් එක්’ කිවිඳියකි. දැනටමත් ඈ අතින් නිමවුණු කාව්‍ය සංග්‍රහ කිහිපයකි. රුක්මණී සංවේදී හදවතක් ඇති කිවිඳියකි. කවර රටක කවර සමාජයක ගැහැනු මිනිසුන් සමග හිටියත් මනුෂ්‍යත්වයට පොදුවූ ධර්මතා ඈ සැණෙකින් හඳුනා ගත්තීය. කවර තැනක, කවර තනතුරක හිටියත් මනුෂ්‍යයාට සිදුවන අසාධාරණයක් කාව්‍ය සංකල්පනා බවට පත් කරන ඈ, ඒ සියල්ල මනහර පද යෝජනයෙන් රසිකයා හමුවට පමුණුවයි.’’

ඇගේ පොත් ගණනාවකට පෙරවදනක් හෝ පසුවදනක් ලියන්න මට ඇරියුම් ලැබුණා. දොරට වැඩුමේදීත් කතාත් පැවැත්තුවා. සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකරත් මමත් පොත් ගණනාවක් එළිදැක්වීමේ දී කතා කළා. අපි තුන්දෙනා ජයන්තාගේ පොත් ගැන කතා කරන නිත්‍ය කථිකයන්දැයි ඇසුවාම, ඇය අහිංසක ලෙස හිනාවුණා විතරයි.

බොහෝ පරිපාලන නිලධාරීන් පොදු ජනතාවට ඉහළ බව හිතාගෙන අහංකාරකම් පෑවත් ජයන්තා හැමවිටම මානව දයාවෙන් සිටි සැබෑ සිංහල බෞද්ධ කුල කාන්තාවක්. ඇය කිසිදාක අරුමෝසම් මෝස්තර කළේ නෑ. චාම් ඔසරියක් ඇන්ද ඇයට ගැළපෙන පරිදි කනකර ඇන්දා.

ජයන්තා 1995 දී ලියූ ‘අවසන් හෝරාව’ කාව්‍ය සංග්‍රහයට ඇය ලියූ කවියක් මම, කවිය ගැන කළ දේශනාවල දී මහත් සේ අගය කළා. ඒ බව දැනගත් ඇය මහත් සතුටකට පත් වුණා. ඇත්තටම ඒ කවිය ගැමි පරිසරයක හැදී වැඩී බුදු දහමින් ආභාසය ලැබූ සිංහල කාන්තාවක සතු සරාර්ථ මතු කළ කවියක්. සැබෑ කවියකු මතුවන්නේ ඔහු හෝ ඇය මතු කරන ඇගයීම් පද්ධතිය හරයාත්මක දෙයක් රසයක් එකතු වූ විට පමණයි.
ජයන්තා රුක්මණී සිරිවර්ධන කිවිඳිය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ ඩයනා කුමරිය ප්‍රස්තුත කරගෙන ලියන ලද කවි පන්තිය ඇගේ සමාජ දැක්ම පළ කරන කදිම අවස්ථාවක් කියලයි මා හිතන්නෙ.

පිරිවර පෙරටුකොට රජ සැප     වින්දාය
නිදහස බිඳක් නැතිවම දුක       උහුලාය
තනිවම සුසුම් හෙළමින් රෑ      ඇඬුවාය
එහෙම වුණත් කුමරිය ලෙස      පතළාය

එදිනම දීග ගිය මද්දුම                නංගීට
ඇයට මගුල් නැහැ අපෙ    දුප්පත්කමට
පවුලම එකට ගයනා සීපද           හඬට
වන මල් පිපෙනවා ගමටම      නොදැනීම

රට්ටුන් මොන කතා අඬහැර     දැම්මාට
රජ වී වුණත් හිතකට දුක          ඉහිලීම
ගෑනුන් අපට උරුමයි නොවැ    හැමදාම
අපටත් වඩා නුඹ එය උහුලනු     කෝම?

සසරේ කොටපු දේ කාටත් උරුම  කොට
හඳමෙන් බැබලුනත් බැහැ නොව එය  ගන්ට
මද්දුම නගා හඳඑළියට ඔමරි       කොට
හිනා නඟන විට නුඹ ගැන දුකයි       මට

2016 පළ කළ ‘‘සමනල වරණය’’ පද්‍ය සංග්‍රහයේ ද එබඳුම තුලනයක් කරන අපූරු කවියක් ඇත. ‘ගමන හෙවත් ඇවිදීම’ ඩයනා කවි පෙළ සේම යටිපෙළ අරුතින් යුත් පබැඳුමකි. එම මාතෘකාවම සිද්ධියේ අවපැහැය මතු කිරීමකි. ගමනක ගමනාන්තයක් තිබේ. එහෙත් මේ ඇවිදීමට ගමනාන්තයක් නැතුවා සේය. පින් කරන මහත්වරුන්ගේ ගමන එකකි. පෙර පින් නැති අපේ ගමන තවෙකකි.

වන අලි මැද කැලෑ පාරෙ යා යුතුමය   ගමන
ලඳු - තැනි මැද අකුරු කරන්නට යා යුතු     ගමන
බසය නැතිව පයින් යන්නෙ අත මිට නැති   බැවින
දෙයියො බුදුන් සිහි කරගෙන රෑ පානෙත්     ගමන

රස මසවුළු - උදේ හවා අඩුවක් නැති බැවින
සුපිරි රථය මඟ නවතා පයින් යනෙන   ගමන
අධිපෝෂණ අඩුකරනා මහතුනි පිං      කරන
අපිනං මේ පයින් යන්නෙ පෙර පිං නැති  බැවින

ඔබේ හැම පොතකටම කීර්තන පාඨයක් (පසු වදනක්) ලියූ මට ඔබ පිළිබඳව පරම්මරණ ගුණ කථනයක් මෙච්චර ඉක්මනට ලියන්නට සිදුවේ යැයි හිතුවේ නෑ. ඒත් රෝ රකුසා ඔබ අකාරුණික ලෙස ඩැහැගෙන ගියා. මරණය නම් නියාම ධර්මයෙන් අප කාටවත් ගැළවෙන්න බෑ. ඔබේ වාරය ආවා. ඔබ නික්ම ගියා. අපේ වාරය එනතුරු අපත් බලාගෙන ඉන්නවා. ඔබට සුබ ගමන්.


(*** තිලකරත්න කුරුවිට බණ්ඩාර)