එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ දේශපාලන වේදිකාවට අලුත් මාතෘකා ළංවෙමින් තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, අලුත් පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය, පොලිස් රාජ්‍ය ඒ මාතෘකා අතර මුදුනේ වෙයි. මේ ඒ මාතෘකා ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.
● ප්‍රශ්නය - ඔබ දැන් ඉන්නේ අගමැති රනිල් එක්ක “ඩීල්” එකක?
පිළිතුර - ඒකට මගේ පිළිතුර “සභාවේ සිනා”
● ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වත් අයවැය විවාදය මගඇරලා රට ගියා? ආවට පස්සෙත් වැඩි ශබ්දයක් නැහැ.
පිළිතුර - අයවැය විවාදය මගඇරලා මම රට ගියේ නැහැ. විවාදය පටන් ගන්න කොටම අයවැයට විරුද්ධව කතා කළා. ඒ වගේම දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්න ලන්ඩනයේ ඉඳලා තකහනියෙන්ම ලංකාවට ආවා. විරුද්ධව ඡන්දය දුන්නා. අවසාන ඡන්ද විමසීමට විතරයි විරුද්ධව ඡන්දෙ දෙන්න බැරි වුණේ. ඇත්ත වශයෙන්ම මගේ ඡන්දෙන් ආණ්ඩුව පෙරළන්න පුළුවන් තත්ත්වයක් තිබුණා නම් අනිවාර්යයෙන්ම ගමන අවලංගු කරලා ඡන්දෙ දෙන්න එනවා.
● ප්‍රශ්නය - අයවැය විවාදය පැවැති කාලෙම රට ගියේ?
පිළිතුර - ඒකට හේතුව වුණේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම පරිදි දේශන 16ක් පමණ කරන්න රටවල් හයකට පමණ යන්න වුණා. ඒකට කලින් යන්න හදපු වෙලාවේ මේ ආණ්ඩුව මට යන්න දුන්නෙ නෑ. බොරු පාස්පෝට් සිද්ධියක් පදනම් කරගෙන ආණ්ඩුව ගමන වැළැක්වූවා. ඒ වෙලාවේ ගියා නම් මම සැලසුම් කරලා තිබුණේ අයවැය අවසන් කාලය වෙනකොට ලංකාවට එන්නයි. ඒ සැලැස්ම වෙනස් වුණාට පස්සෙ තමයි ඔය කියන ගැටලුව ඇති වුණේ. අයවැය අවසන් ඡන්දෙදි ඡන්දෙ දාන්න ආවේ නැත්තේ ඩීල් එකක් නිසා කියලා කවුරු හරි හිතනවා නම් එහෙම හිතන්නෙ ඒ වගේ ඩීල්වලට පුරුදු වෙච්ච දේශපාලනඥයො. දැන් ඔය කතාව අපිට කියන්නෙ කවුද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පාර්ශ්වයේ අය කියනවා ඒ අයනේ රනිල් එක්ක එක පතේ වළඳන්නේ. ඩීල් හොඳම එක දාගෙන ඉන්නේ අනික් අය තමයි. රනිල් එක්ක හොඳම ඩීල් එක දාගෙන ඉන්නෙ... දැන් නම් ඒ දීගය බිඳ වැටිලා වගෙයි. ඒ අය තමයි අනුර දිසානායක පාර්ශ්වය. ඉතින් ඔය දෙපාර්ශ්වය තමයි ඔය කතාව කියන්නේ. ඒ දෙගොල්ලොම ඩීල් පප්පලා. ඒ නිසා ඒ අය හිතනවා අපිත් එහෙම වෙන්නැති කියලා.
● ප්‍රශ්නය - ඔය ඔබ කියන පාස්පෝට් සිද්ධියේදී අගමැති රනිල් ඔබට විශේෂ අනුග්‍රහයක් දැක්වූවා කියලත් පුවත් පළ වුණා.
පිළිතුර - මොකක්ද දක්වපු අනුග්‍රහය? මට කියන්න මොකක්ද දක්වපු අනුග්‍රහය
● ප්‍රශ්නය - ඔබට විශේෂ අනුග්‍රහයක් දුන්නා කියලා යූ.එන්.පී. එකේ මන්ත්‍රීවරුන් අගමැතිට විරෝධයක් පළ කළා.
පිළිතුර - ඔය අනුග්‍රහ කතාව සම්පූර්ණ අසත්‍යයක්නේ. පහුවැනිදා උදේ 9ට මම වලංගු ගුවන් ගමන් බලපත්‍රයයි කල් ඉකුත් වෙච්ච වීසා එකයි අරගෙන ආවම ගමන නැවැත්තුවා. කිසිම නීතිමය පදනමක් නැතිව. එහෙම නවත්තලා හැන්දෑවේ හතර වෙනකම් සී.අයි.ඩී. එක බාරයෙ තියාගෙන හිටියා. 4 ට තමයි උසාවියට ගෙනිච්චෙ. ඉතින් මොකද්ද දීපු සහයෝගය. ඒ ගමන යන්නත් බැරි වුණා. මැයි මාසෙට නඩුව කල් දැම්මා. අහන්න තරම් නඩුවක් නැති හින්දනේ එච්චර ඈතට නඩුව කල් දැම්මෙ. එතකොට පේනවනේ ව්‍යාජ හේතුවකට මේක කළේ කියලා. යන්න ගිය ගමන වළක්වපු එකද මට දීපු අනුග්‍රහය.
● ප්‍රශ්නය - මේ මොහොතට අදාළව ඔබ කොහොමද රටේ දේශපාලන තත්ත්වය විග්‍රහ කරගන්නේ. මේ දේශපාලන තත්ත්වය තුළ ඔබට පැවැත්මක් තියෙනවාද?
පිළිතුර - අපි ඉන්නෙ සන්ධිස්ථානයක. නැවත අපේ රට සන්ධිස්ථානයකට ඇවිත් තියෙනවා. මේ පහුගිය අයවැයෙන් ලංකාවේ ප්‍රාග්ධන ගිණුම විවෘත කළා. ඒ තීන්දුව ආණ්ඩුව ගත්තා. දැන් සොරොස් වගේ ලෝකයේ නම ගිය මූල්‍ය ජාවාරම්කාරයො මූල්‍ය අපරාධකාරයො මගින් තමයි ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය මුදල් හොයාගන්න ආණ්ඩුව හදන්නේ. අගමැතිවරයා තියපු ආර්ථික සමුළුවේදි පැහැදිලිවම කිව්වා දෙමළ ඩයස්පෝරාවේ සල්ලිත් ලංකාවට ගේන්න ඕනෑ කියලා. ප්‍රාග්ධන ගිණුම විවෘත කළාම ඕනෑම කෙනෙකුට ඩොලර් ගේන්නත් පුළුවන්, ඕනෑම වෙලාවක ගෙනියන්නත් පුළුවන්. මහ බැංකුව ඒ සම්බන්ධ අධීක්ෂණයට නෑ. එතකොට වෙන්නෙ කොටි සල්ලි වෙන්න පුළුවන්, සොරොස්ලාගේ වගේ මූල්‍ය චෞරයන්ගෙ සල්ලි වෙන්න පුළුවන්, මේවා රට ඇතුළට ගෙනල්ලා බොරු ආර්ථික ප්‍රසාරණයක් මවා පෑමට. අවසානයෙ වෙන්නෙ ඔවුන් මේ සල්ලි ටික ඇදපු ගමන් රට නන්නත්තාර වෙනවා. සොරොස්ට මැලේසියාව එන්න දෙන්නෙ නැහැ. ඉන්දුනීසියාව සොරොස්ට එන්න දෙන්නෙ නැහැ. රුසියාවට සංචාරකයෙක් හැටියටවත් එන්න දෙන්නෙ නැහැ. ඒවගේ චරිතයකින් රටක ආර්ථිකය හදන්න හදන ආණ්ඩුවක් තියෙන්නෙ. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ අපි ගෙවන්නේ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයේ අවසන් යුගය. මේ තමයි ලෝක බලවතුන් ආර්ථිකය ගෙඩි පිටින් අත්පත් කරගන්න යුගය. ඒ නිසා තමයි සොරොස්ලාව ගේන්නේ. එතකොට මේ ආණ්ඩුව ප්‍රාග්ධන ගිණුම විවෘත කරලා ඒ හරහා කොටි සල්ලිවලට ආර්ථිකය විවෘත කරනවා. සොරොස්ලාගේ සල්ලිවලට ආර්ථිකය විවෘත කරනවා.
● ප්‍රශ්නය - පරණ විදියටම ලෝකය දිහා බලන්න එපා කියලයි ආණ්ඩුව කියන්නේ?
පිළිතුර - එහෙම කියලා මේගොල්ලෝ මොනවද කරන්නේ? යුද අපරාධ ගැන හොයන අධිකරණය එනවා. මාර්තු මාසෙට කලින් පාර්ලිමේන්තු පනතක් විදියට ගෙනල්ලා ඒක සම්මත කරගන්න හදනවා. එතකොට ඒ නඩුව මාර්තුවේ ඉඳලා අහන්න පටන් ගන්නවා. දැනටමත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ගිරිතලේ බුද්ධි අංශ හමුදා කඳවුරට සීල් තියලා තියෙනවා. මේවා කවදාවත් ලංකාවේ වෙච්ච දේවල් නොවෙයි. ඊළඟට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරනවා කියලා මෙතෙක් මේ රට දිවි හිමියෙන් ආරක්ෂා කරගත් රටේ ඒකීය භාවයත්, ඒ වගේම බුද්ධාගමට හිමි තැනත් අහිමිවන ආකාරයේ ෆෙඩරල්වාදයට උඩගෙඩි දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න මේගොල්ලෝ දැන් සූදානම් වෙනවා. සියලු ෆෙඩරල්වාදීන් දැන් ඒකට දිවා රෑ නොබලා වැඩ කරගෙන යනවා. දේශපාලන අතින් ගත්තත් ආර්ථික අතින් ගත්තත් සමාජයීය වශයෙන් ගත්තත් අපි ඉන්නෙ සංධිස්ථානයක. යුද අපරාධ මෙහෙයුම පරදවා නොගත්තොත්, මැයි මාසය ජුනි මාසය වෙනකොට ඉන්දියාවත් එක්ක අත්සන් කරන්න යන ලංකාවේ සේවා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට පාවල දෙන ගිවිසුම වළක්වා ගත්තේ නැත්නම් ඒවගේම ධනුස්කෝඩියෙ ඉඳන් මන්නාරම දක්වා ගහන්න යන ඉන්දියානු මාධ්‍ය “හනුමන් බි්‍රජ්” යනුවෙන් හඳුන්වන උමං පාලම ගහන එක නතර කර නොගත්තොත් රට විනාශයි. මේවා වළක්වා නොගත්තොත් ඔවුන් අපේක්ෂා කරන තැනට යන්න පුළුවන් වුණොත් එතැනින් එහාට අපේ රටේ ලියැවෙන්නේ වෙනම ඉතිහාසයක්. මං දැක්කා යහපාලනය ගේන්න කඬේ ගිය එක එන්ජීඕ කාක්කෙක් කියලා තිබුණ සිංහල බෞද්ධ දේශපාලනයෙ අවසන් යුගයයි මේ යන්නෙ කියලා. ඔවුන් මේ සිංහල බෞද්ධ කියලා හඳුන්වන්නේ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියට. ඒකෙන් පේනවා ඔවුන්ගේ අර්ථයෙන් ගත්තත් රට තියෙන්නෙ එහෙම තැනක. රට අද තියෙන්නේ තීරණාත්මක තැනක. මේ අපරාධ සියල්ල වෙන්න හැරලා බලාගෙන හිටියොත් මේ රටේ ජනතාව ආයිමත් අපේ රටේ ඉතිහාසය ලියැවෙන්නෙ වෙන විදිහකට. වෙන පරිච්ඡේදයක් ආරම්භ වෙන්නෙ.
● ප්‍රශ්නය - අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඔබ කතා කළා. ඔබ ලොකු ගෝනි බිල්ලෙක් මවන්න හැදුවට තවම ඒකට අත තියලවත් නෑ. මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලයි ඒක හදන්නේ?
පිළිතුර - ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනටමත් හදලා ඉවරයි. ඒක පෙන්වන්නෙ නැතිව එන්ජීඕකාරයො ටිකකට දෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවක් හදලා මහජනයාගෙන් අදහස් ගන්න කියලා. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා පාර්ලිමේන්තුවම ඒකට සම්බන්ධ කර ගත්තා. මොකද ආණ්ඩුවට විකුණන්න දේවල් නැහැ. රටේ වැඩක් කෙරෙන්නේ නැහැ. පාරක් හැදෙන්නේ නැහැ. පාලමක් හැදෙන්නේ නැහැ. ගොඩනැගිල්ලක් හැදෙන්නේ නැහැ. මේගොල්ලන්ට මුකුත් පෙන්වන්න නැහැ. ඉතින් 18 ගැන කියනවා. 19 ගැන කියනවා, 20 වැනි සංශෝධනය ගැන කියනවා. දැන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කියනවා. 20 වැනි සංශෝධනය කැබිනට් එකත් අනුමත කළා. ඒක සම්මත කරගත්තේ නැත්තෙ ඇයි? ඒක විසි කරපු ආණ්ඩුව මොකද මේ අලුත්ම එකක් හදනවා කියලා එක පාරටම කියන්නේ. මේ ගොල්ලන්ට තමන් කරපු හෝ කරන වැඩක් ගැන කියන්න දෙයක් නැහැ. අන්න ඒ අහේනියට තමයි ව්‍යවස්ථාවක් ගේනවා කියලා මාතෘකාවක් අලුතෙන් හදලා දැන් ඒක වටේ රටේ දේශපාලන කතිකාව පණ ගන්වන්න හදනවා. ඇත්ත කතාව ගත්තොත් චම්පික රණවක අමාත්‍යවරයා කියලා තියෙනවා ඒකීය භාවයටවත්, බුද්ධාගමටවත් එයට හිමි තැනටවත් මේ නව ව්‍යවස්ථාවෙන් ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් එතුමා කියන විදිහට ඒ දෙකට මුකුත් වෙන්න දෙන්නේ නැත්නම් සම්බන්ධන්ලා මොකද මෙච්චර මේකට පැනගෙන උදව් කරන්නේ? සම්බන්ධන්ලාට ඕනෑ ඒකීය භාවය ආරක්ෂා වෙන ව්‍යවස්ථාවක්ද? දෙමළ ජාතික සංධානය තමයි යූ.එන්.පීය හැරුණාම මේ නව ව්‍යවස්ථාව ගේන මෙහෙයුමට ප්‍රබල ලෙස හැම අතින්ම දායක වෙන්නේ. එතකොට මේ ගොල්ලො මේකට මේ කඬේ යන්නෙ චම්පික රණවක මහත්තයා කියන විදිහට ඒකීය භාවය රකින ව්‍යවස්ථාවක් හදන්නද? එතකොට මේ ව්‍යවස්ථාව හදන වැඬේට සම්බන්ධ වෙලා ඉන්න ජයම්පතී වික්‍රමරත්නලා ඒකීය භාවය පිළිගන්න පුද්ගලයොද? එතකොටම පේනවනේ දේශපාලනික වශයෙන් වල්මත් වෙච්ච චම්පික රණවක මහත්තයාට ඒක නොතේරුණාට අපිට තේරෙනවා. එතකොට පැහැදිලියි. ව්‍යවස්ථාව ඔවුන් හිතන විදිහට හදා ගන්න පුළුවන් වුණොත් ඒකෙන් රටේ ඒකීය භාවය නැති වෙනවා. රාජ්‍ය දුර්වල වෙනවා.
● ප්‍රශ්නය - දේශාපලන අනාථයන් සෑම දෙයක් සම්බන්ධයෙන්ම බිල්ලන් මවන බව තමයි ආණ්ඩුව කියන්නේ?
පිළිතුර - බිල්ලා ඇත්ත එකෙක් නම් මේ යන්නේ රාජ්‍යයේ මුදුන දුර්වල කරන පරිධිය බලවත් කරන මෙහෙයුමක්. ඒක තමයි බටහිරට ඕනෑ. මුදුන කියන්නෙ විධායකය. විධායකයේ ඉන්න පුද්ගලයෙක් ගැන නොවෙයි මම මේ කතා කරන්නේ. රටේ තීරණ ගන්න තැනක් තියෙන්න ඕනෑ. එතැන දුර්වල කරන්න ඕනෑ. මේ ව්‍යවස්ථාවෙන් ඒක කරයි. තීරණ ගන්න බැරි කරයි. හැබැයි පරිධිය ප්‍රාන්ත පාලන කියන ඒවා, පළාත් පාලන සභා වගේ ඒවා වෙයි. වඩා බලවත් කරයි. මුදුන දුර්වල කරලා පරිධිය බලවත් කළාම රට කෑලි කෑලිවලට කැඩෙන එක නවත්වගන්න බෑ. ඒක තමයි මේගොල්ලො කරන්න යන්නෙ. ඒකට තමයි අලුත් ව්‍යවස්ථාවක් ඕනෑ. රාජ්‍ය දියකර හැරීම සඳහා රුකුල් වන්නා වූ ව්‍යවස්ථාවක් ඕනෑ. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා කරන්නෙ ඒකනේ. ගිරිතලේ හමුදා බුද්ධි අංශ කඳවුරට සීල් තියලා තියෙනවා. කවදද ලංකා ඉතිහාසයේ මේවා වුණේ. නාවික හමුදා නිලධාරින් අත්අඩංගුවේ. හමුදා බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවේ. දැන් ඉන්න හමුදාපතිතුමාත් උසාවි කැඳවන්න හදනවා. මේ වගේ දේවල් කරන ආණ්ඩුවක්, දෙමළ ඩයස්පෝරාවයි, බටහිර රටවල් හා ඉන්දියාව සතුටු කරන්න මෙහෙම දේවල් කරන ආණ්ඩුවක් ව්‍යවස්ථාව හදයි? රටේ ජනතාව සතුටු කරන්න. ඒක හදන්නෙත් අර බලවේග සතුටු කරන්න තමයි. ඒක නොතේරෙන්නෙ කාටද?
● ප්‍රශ්නය - රටේ තියෙන්නෙ අලුත් තත්ත්වයක්. යුගයේ අභියෝග වෙනස්. තවදුරටත් ජාතිවාදය මත පදනම් වෙලා මේ රටට දිනා දෙන්නෙ මොනවද?
පිළිතුර - වේළුපිල්ලේ පිරිබාහරන් එක්ක යුද්ධ කරන්න ඕනෑ. යුද්ධ කරන්න කියන්නෙ යුදවාදියෝ ජාතිවාදියො කියලා හංවඩු ගහපු මත තිබිච්ච වෙලාවක තමයි. අපි කිව්වෙ නෑ යුද්දෙන් විතරයි මේක කරන්න පුළුවන්, සාකච්ඡා වලින් දෙමළ ඊළම දෙනවා හැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ කියලා. අවසානයේදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්දෙ පටන් අරන් අවුරුදු දෙක හමාරකින් යුද්දෙ ඉවර කරලා පෙන්නුවා. මේ රටේ රණවිරුවන් මේ මහා හපන්කම කළා. එතැනින් පස්සෙ තමයි ලංකාවේ අලුත් තත්ත්වයක් තියෙන්නේ. කලින් යුදවාදියෝ ජාතිවාදියෝ කියලා අපිට ලේබල් ගහපු අයගේ අවලාදවලට අප බය වුණා නම් රටේ යුද්ධ කරන්න මතවාදයක් හැදෙන්නේ නැහැ. අපිට ජාතිවාදියො කියලා කියන අය දෙමළ ජාතිවාදීන්ට දෙමළ ජාතිවාදීන් කියලා කියන්න බයයි. සිංහල පත්තරවල තියෙන ජාතිවාදී ලිපි කියවන්න කට්ටිය හිටියට දෙමළ පත්තරවල යන ජාතිවාදී ලිපි ගැන කතා කරන්න කවුරුත් නැහැ. එතකොට පැහැදිලියි මේ ජාතිවාදීන් කියලා මේ අය හංවඩු ගහන්නේ මාතෘ භූමියක් ජාතියක් වෙනුවෙන් නගන මතයටයි. ඒ මතය අද දරන්නේ සුළු දේශපාලන බලවේගයක්. ඒක පොඩිපට්ටම් කරන්න තමයි ඔය ජාතිවාදී ලේබලය ගහන්නේ. ඕක ඉතින් පරණ ලේබලයක්.
● ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂගෙ නායකත්වයෙන් අලුත් පක්ෂයක් බිහි වෙනවා කියලා කියනවා.
පිළිතුර - මම අර කලින් කියපු සංධිස්ථානයක මේ රට තියෙන වෙලාවේ මේ තීරණාත්මක සංධිස්ථානයෙන් රට බේරා ගැනීම සඳහා වූ නව දේශපාලන පෙරමුණක් බිහිවෙන්න ඕනෑ. ඒක එදා එක්සත් ජනතා සන්ධානය බිහි වුණේ සටන් විරාම ගිවිසුමක් එක්ක. ඇදගෙන ගිය පාවාදීමේ මාවතෙන් රට බේරා ගන්න. ඒක නැවුම් දේශපාලන පෙරමුණක් වුණා. අදත් මේ නව තීරණාත්මක සන්ධිස්ථානයෙන් රට බේරා ගන්න නම් හතුරාගේ උපායට ගොදුරක් නොවෙන්න නම් අපි නව දේශපාලන පෙරමුණක් නිර්මාණය කළ යුතුයි. ඒ නව දේශපාලන පෙරමුණෙන් ජනතාවට නායකත්වය දිය යුතුයි. අද මේ ගොල්ලන්ට ඡන්දෙ දීපු මිනිහෙක් හොයා ගන්න නැහැ. කතිරෙ ගහපු කෙනෙක් ප්‍රසිද්ධියෙ පිළිගන්නෙ නැහැ කතිරෙ ගැහුවා කියලා. වැඩි දෙනෙක් අද පිළිඅරගෙන ඉවරයි තමන් රැවටුණා, පැරදුණා කියලා. ඒ නිසා ඒ ජනතාවට නව දේශපාලන පෙරමුණෙන් නායකත්වය දෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි අපි මහන්සි ගන්නේ.
● ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්ද ඒ නව පෙරමුණ බිහිවන්නේ.
පිළිතුර - මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් තමයි ඒ නව දේශපාලන පෙරමුණ බිහි වෙන්නේ.
● ප්‍රශ්නය - එහෙම අලුත් පෙරමුණ හැදුවාම ඒකෙ වාසිය යන්නේ යූ.එන්.පීයට? මොකද ඔය වැඩෙන් ශ්‍රී ලංකා එක කැඩෙනවා.
පිළිතුර - කැඩෙනවා කියන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ළඟ ටිකක් ඉතිරි වෙන එකද, ඒ ඉතිරිවෙන්නෙ ඔය ජාතික ලැයිස්තුවෙන් ගත්ත ජන පදනමක් නැති අයනේ.
● ප්‍රශ්නය - ඒ කියන්නෙ නව පෙරමුණ බිහිවීම ඒකාන්තයි?
පිළිතුර - නියත වශයෙන්ම ඒකාන්තයි
●ප්‍රශ්නය - සන්ධානය අහෝසියි
පිළිතුර - සන්ධානයේ ඓතිහාසිකව දේශපාලන භූමිකාව ඉවරයි.
● ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කියන්නේ අපි අලුත් පක්ෂ හදන්නේ නැහැ. එන්නේ සන්ධානයෙන්මයි කියලා.
පිළිතුරු - අපි අලුත් පක්ෂයක් හදන්නේ නැහැ. පෙරමුණක් හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරුන්ට හිතන්න ගොඩක් දේවල් තියෙනවනේ. මන්ත්‍රීධූරය ගනීද දන්නෙ නැහැ. ආසන සංවිධායකකම උදුරා ගනීද දන්නෙ නැහැ. ඔය වගේ මේ වෙලාවේ කල්පනා කරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි කල්පනාවෙන් උත්තර දෙන්න වෙලා තියෙන්නේ. අපට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි මේක බොහොම විවෘතව කියනවා. අපි නව දේශපාලන පෙරමුණක් හදනවා. ඒ නව පෙරමුණ ලංකාවේ මේ තියෙන දේශපාලන සන්ධිස්ථානයෙන් මුදාගන්න පෙරමුණක් බවටත් පත් කර ගන්නවා.
● ප්‍රශ්නය - දැන් තියෙන්නේ පොලිස් රාජ්‍යයක් කියලා ඔබ කියලා තිබුණා?
පිළිතුර - දැන් බලන්න මේ ආණ්ඩුව ඇවිත් අවුරුද්දකට වැඩියි. ආපු දවසෙ ඉඳලම හොරු අල්ලනවෝ කියන එක තමයි කළේ. පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් තමයි අද කාර්යක්ෂම අංශ වෙලා තියෙන්නේ. දවසට දෙතුන් දෙනා ප්‍රශ්න කරන්න ගෙන්වනවා. ආචාර්ය නාලක ගොඩහේවා බොරු හේතුවක් දාලා අත්අඩංගුවට ගත්තා. හේතුව තමයි ඒකාබද්ධ විපක්ෂයට අයවැය ගැන වෙනත් කරුණු ගැන එතුමා විද්වතෙක් හැටියට අදහස් ඉදිරිපත් කිරීම. හැබැයි නාලක ගොඩහේවා යහපාලන වාදියෙක් වුණා නම් ඔය කියන කිසිම ක්‍රියාමාර්ගයක් ගැනෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ හරි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හරි කකුල් දොවන කෙනෙක් වුණා නම් එයාගෙ වංශ කතාවේ මොන තරම් හොරකම් මැරකම් තිබුණත් එයාට කරදරයක් වෙන්නෙත් නැහැ. හැබැයි ඊට විරුද්ධ කඳවුරේ ඉන්නවා නම් සුළු හෝ අඩුපාඩුවක් ඇති හෝ නැති කෙනෙක් නැත්නම් ඇති කරලා හරි දඩයම් කිරීමේ මෙහෙයුමක් යන්නේ. අද රාජ්‍ය නිලධාරින් වැඩ කරන්නේ නැහැ බයට. අද පොලිසියට ඇවිත් තියෙනවා අනවශ්‍ය ආධිපත්‍යයක්. ඒ නිසා තමයි ඔය ඇඹිලිපිටිය වගේම රටේ තැන් තැන් වල විවිධ සිද්ධි වාර්තා වෙන්නෙ. ඉතින් මේ රට අද පොලිස් රාජ්‍යයක් බවට පත් වෙලා ඉවරයි. ජනාධිපතිවරයාගෙයි අගමැතිවරයාගෙයි නියෝගය පරිදි ඔවුන්ට අවශ්‍ය කරන පුද්ගලයන් දඩයම් කරන්න මොකක් හරි පොටක් පාදාගෙන දඟලන පොලිසියක් තියෙන රටක් බවට මේ රට පත්වෙලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන උදේ, සවස දේශන පැවැත්වූවාට වැඩක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඔවුන් සීමා කරගෙන තියෙනවා ඔවුන්ගේ කඳවුරට. අනෙක් කඳවුරට ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. හැබැයි ආණ්ඩුව ඇතුළේ ඉන්න අය දැන ගත යුතු දෙයක් තියෙනවා. මේ පොලිස් රාජ්‍ය කෙළවර වෙන්නේ ආණ්ඩුව තුළ ඉන්න අයවත් දඩයම් කරමින් තමයි. ලලිත්ට ගාමිණීට අන්තිම කාලේ අඬන්න වුණා වගේ මේ ආණ්ඩුව ඇතුළෙ ඉන්න අලුත් ලලිත්ලටත් ගාමිණීලටත් වැඩිකල් යන්න කලින් දුක කියාගෙන එළියට බහින්න වෙයි. ඒක තමයි ඇත්ත කතාව.