ඖෂධ ජාවාරමුන්ගෙන් ජනතාව බේරාගන්න ක්‍රමයක් නැද්ද?


අප රටේ ජනතාවට වැඩි වශයෙන් කෑමට බීමට තිබෙන්නේ වස මුසු ආහාරපානය. එමෙන් ම ඉතා අපිරිසුදු ලෙස ඇසුරුම් කරන ලද ආහාරපාන ය. ලෙඩට දුකට ගැනීමට තිබෙන්නේ ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ය. මෙම බාල ඖෂධ භාවිතයෙන් සුසාන භූමියෙන් මෙපිට විසඳුමක් නැත. එහෙත් මෙම ශාපලත් ඉරණම වෙනස්වන ආකාරයක් පෙනෙන්නට නැත. අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියක් එයට කදිම නිදසුනකි.

රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරුපැදියක සිට පිළිකා ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි බව කියන ජංගම වෙළෙන්දකු සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරන බව අප ප්‍රවෘත්තියේ සඳහන් ය.

ජංගම කෑම කඩ, ජංගම ගණිකා නිවාස පිළිබඳ ඕනෑතරම් අත්දැකීම් මෙරට ජනයා සතු ය. එහෙත් ජංගම ෆාමසි පිළිබඳ ප්‍රවෘත්ති ඉතා විරළ ය. මේ රට කෙතරම් ‘‘මාෆියාකරණයට’’ ලක්වී ඇද්ද යන්න මෙමගින් පැහැදිලි ය.

අප ප්‍රවෘත්තියට අනුව යතුරුපැදියේ ශීත පෙට්ටියක අසුරා ඖෂධ අලෙවි කළ එම පුද්ගලයා ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන්ගේ බාරයට ගෙන ප්‍රශ්න කර ඇති අතර, පිළිකා රෝගීන්ට දෙන මෙම ඖෂධ වර්ග අලෙවි නියෝජිතයකු තමාට දෙන බව පවසා ඇත. තමන් හමුවට යොමු කරනු ලබන රෝගීන්ට එම ඖෂධ අලෙවි කරන බව ද ඔහු පවසා තිබේ. එම පුද්ගලයා සතුව තිබී රුපියල් ලක්‍ෂ 5 ක් පමණ වටිනා පිළිකා එන්නත් සහ ඖෂධ වර්ග 16ක් ද සොයාගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක නීතිඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා අප පුවත්පතට පවසා තිබේ.

පිළිකා රෝගය සම්බන්ධයෙන් දැඩි නීතියක් සමාජය තුළ වේ. එහෙයින් තම රෝගියා සුවපත් කර ගැනීම සඳහා සියලු සේසත වුව වැය කිරීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. ජාවාරම්කරුවන් ප්‍රයෝජනයට ගන්නේ එම අහිංසක මිනිසුන්ගේ ජීවිතාපේක්‍ෂාවන් ය. මිනිස් ජීවිත සමග මෙසේ සෙල්ලම් කිරීම මහ පොළොව නුහුලන අපරාධයකි.

ජංගම පිළිකා ඖෂධ වෙළෙන්දා පවසා ඇත්තේ තමන් වෙත යොමු කරනු ලබන රෝගීන්ට එම ඖෂධ ලබාදෙන බව ය. මෙතැන බරපතළම ප්‍රශ්නය වනුයේ එම වෙළෙන්දාට රෝගීන් යොමු කරන්නේ කවුරුන් ද යන්න ය. රෝහල තුළින් එම යොමු කිරීම කරන්නේ ද යන්න සාධාරණ සැකයකි. එය එසේ නම් එය ඉතා බරපතළ තත්ත්වයකි. රෝහලේ ඖෂධ නැතැයි කියා ඒවා පිටතින් මිලදී ගත යුතු බව පවසා මෙම වෙළෙන්දා වෙත යොමු කර ජාවාරම සිදු කර තිබේ ද යන්න සොයා බැලිය යුතු ය. එමෙන්ම වෙළෙන්දා සතුව තිබූ ඖෂධ රෝහලෙන් පන්නාගත් ඖෂධ ද යන්න විමර්ශනය කළ යුතු ය.

රෝහලේ නොමැති ඖෂධ රෝහලේ ඉදිරිපස ඇති ෆාමසිවල තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. රෝහල්වල ඖෂධ නොමැතිනම් එම ඖෂධ ෆාමසිවල තිබෙන්නේ කෙසේ ද? එමෙන්ම එම ඖෂධ අලෙවි කරනු ලබන්නේ ද ඉතා අධික මිල ගණන්වලට ය. එම මිල ගණන් සාමාන්‍ය ජනයාට කිසිසේත්ම දරාගත නොහැකි ය. එම අසරණ රෝගීන්ට සිදුවන්නේ මරණය පැමිණෙනතුරු බලා සිටීමට ය.

මෙරට ජනයාගේ මෙම කුරිරු ඉරණම වෙනස් කිරීමට ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක් ම සෙසු සියලු කටයුතු පසෙකලා ගත යුතු ය. මිනිස් ජීවිත සමග මෙසේ නින්දිත ලෙස සෙල්ලම් කරන සියලු මාෆියාකරුවන්ට ඉහළම දඬුවම් දිය යුතු ය.

(***)