කටුගේ හොරකම ඇල්ලූ හැටි


”ගෑනියේ මාව වෙන කේස් එකකට පොලිසියට කොටු වුණා. බැරි වෙලාවක්වත් පොලිසියෙන් ඇවිත් ගේ චෙක් කළොත් මළ කෙළියක් වෙන්නේ. ඊට ඉස්සරින් අර බඩු කෑලි ටික සේරම කොහේ හරි ගෙනිහින් හංගපන්. නැත්නම්  ඕකටත් මාව මාට්ටු වෙනවා. පුතාට විස්තරේ කියපන්. ඌ ගාණට වැඬේ කරයි. ඒවා එහෙම පොලිසියට අහුවුණොත් අවුරුදු ගාණකට එලියට එනවා බොරු.” කොටහේන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට කොටු වූ කප්පම් කල්ලියක ප‍්‍රබලයෙක් යැයි කියන ශරීර සුවතා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන (ජිම්) බිල්ඩර් ප‍්‍රසාද් නමැත්තා ඔහුගේ බිරිඳට කිව්වේ පොලිස් නිලධාරීන්ට හොරාය. ”හරි තමුසේ කිසි දෙයකට බය වෙන්න එපා. මම ගාණට වැඬේ කරන්නම්. තව පොඞ්ඩෙන් පුතා ගෙදර එයි. ආපු ගමන් මම වැඬේ බාර දෙන්නම්.” ”බිල්ඩර් ප‍්‍රසාද්”ගේ බිරිඳ පැවසුවේ කිසිම ගාණක් නොමැතිවය. මේ කියන බිල්ඩර් ප‍්‍රසාද් කොළඹ නගර සභාවේ අනියම් කම්කරුවෙකි. ඔහුගේ බිරිඳද මහ නගර සභාවේම අනියම් කම්කරු කාන්තාවකි. මොහු කොටහේන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට කොටු වූයේ කොළඹ ප‍්‍රදේශයේ ධනවත් දෙමළ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඔහු මුදාහැරීම සඳහා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් කප්පම් වශයෙන් ඉල්ලීම සම්බන්ධයෙනි. දෙමළ ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීමේ සිද්ධියට සම්බන්ධ බව කියන මුස්ලිම් ජාතික පාතාල කල්ලි නායකයෙක්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු 10 දෙනෙක් බිල්ඩර් ප‍්‍රසාද් නමත්තා සමග පොලිසියට කොටු වී තිබිණි. මොවුන් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දෙමළ ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ඇත්තේ  ඕ.අයි.සී. මහත්තයාට ද ගාණක් දීමට බව පවසමින්ය. මේ කප්පම් කල්ලි කණ්ඩායම රැඳවුම් නියෝග යටතේ පොලිසියේ රඳවාගෙන වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි. බිල්ඩර් ප‍්‍රසාද් පදිංචිව සිටින්නේ කැලණිය ගෝනවල ප‍්‍රදේශයේය. ”පුතේ අර බඩු ටික ඉක්මනට කොතන හරි අරන් ගිහිල්ලා හංගපන්. නැත්නම් අපි සේරම ඉවරයි” යැයි කියා සිටියේ බිල්ඩර් ප‍්‍රසාද් නමැත්තාගේ මව විසිනි. අම්මේ කිසිම දෙයකට බය වෙන්න එපා. පොලිසිය මෙහාට එන්න කලින් මම බඩු ටික ගෙදරින් පන්නනවා. කිසිම සැකයක් ඇති නොවෙන විදියට මේවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ්ගේ ගෙදරට ගෙනියන්නම්. මම කෙල්ලටවත් මේ ගැන කියන්නේ නැහැ. බිල්ඩර් ප‍්‍රසාද් නමැත්තාගේ පුතාගේ පෙම්වතිය පදිංචිව සිටින්නේද ගෝනවල ප‍්‍රදේශයේමය. වටිනා කියන බඩු වගයක් මේ පාර්සලයේ තියෙන්නේ. පරිස්සමක් ඇති තැනක තියන්න. මම කොයි වෙලාවේ හරි ඇවිත් ගෙනියන්නම් යැයි කියා පෙම්වතා කීවේ ඔහුගේ පෙම්වතියටය. පෙම්වතිය ද ඒ ගැන කිසිවක් වැඩිදුරටත් නොවිමසාම පාර්සලය ගෙන ගොස් පරිස්සම් ඇති තැනකින් තැබුවේ පෙම්වතාගේ ඉල්ලීම මතය. පෙම්වතියගේ මව නිවසේ තිබෙන ආගන්තුක පාර්සලයක් දැක එය ලිහා බලා ඇත්තේ නිකමට මෙනි. ආ දුවේ මේ මොනවාද මේකෙ තියෙන්නේ. විගහට ඇවිත් බලපංකෝ. අම්මා මොකටද ඔය පාර්සලය ලිහා බැලූවේ. අරයා පරිස්සමට අරන් තියන්න කියලා මට දුන්නේ. මමවත් දන්නේ නැහැ මේකෙ තියෙන්නෙ මොනවාද කියලා. යැයි දියණිය මව සමග කීවාය. මේකෙ තියෙන්නේ පරණ කඩුවල කෑලියි. බස්තම්වල කෑලියිනේ අම්මේ මේවා වැඩකට නැති දේවල් මොන එහෙකට මෙහේ ගෙනාවාද දන්නේ නැහැ. ඔන්න ඔහේ තිබුණ විදිහටම තියන්න. එයා කොයි වේලාවක හරි  ඕවා ගෙනියන්න එයි. ”මට නම් ලොකු සැකයක් තියෙනවා මේවා කටුගේ කඩලා ගත්තු ඒවාද කියලා. එහෙම වුණොත් දුවේ අපිත් ලොකු අමාරුවක වැටෙන්නේ. උඹ යාළුවෙලා ඉන්න කොල්ල ගැන මම දන්නවානේ. ඌගේ මහ එකා වගේ ඌත් මහ මදාවියානේ. මේවා මෙහෙ තියාගන්න එක භයානකයි.” එම කාන්තාව කියා ඇත. මේ දියණියගේ වයස අවුරුදු 16කි. තවමත් පාසල් යන සිසුවියකි. ”මොකටත් අපි මේ ගැන උඹ යාළුවෙලා ඉන්න කොල්ලාගේ අම්මාට කියමු. අපි දෙන්නා මේවා විසි කරලා දැම්මායින් පස්සේ කොල්ලා ඇවිත් මේවා ඉල්ලපුවාම කොහෙන් දෙන්නද? ඊට පස්සේ ඌ ඒවා ඉල්ලලා අපිට හිරිහැර කරන්න පුළුවනි.” ඔයාලාගේ පුතා අපේ ගෙදර පාර්සලයක් ගෙනවිත් තියලා. මම දන්නේ නැතිව ඒක කඩලා බැලූවා. කටුගේ කඩලා ගත්තු බඩු වගයක කොටස්ද කියලා මට සැකයි. මේවා පොලිසියට එහෙම අහුවුණොත් අපි දෙගොල්ලෝම ලොකු අමාරුවක වැටෙන්නේ. මේවාට මොකක් හරි කරමු ඉක්මනට. දියණියගේ පෙම්වතාගේ අම්මාට කීවාය. ඉන්පසු මේ පිරිස එම පාර්සලයේ තිබූ දෑ බොල්ගොඩ ගඟට වීසි කිරීමට තීරණය කළහ. මේ වැඬේ කිරීමට පවරන්නේ ඔවුන්ගේ විශ්වාසවන්තම තී‍්‍රරෝද රථ රියදුරෙකුටය. ඒ තරමටම ඔහු විශ්වාසවන්ත පුද්ගලයෙකු නිසා ඒ වැඬේ බාර දුන්නත් පාර්සලයේ ඇත්තේ මොනවාදැයි කියා ඔහුට පවසා නොමැත. මල්ලියේ මේ පාර්සලය ගිහින් බොල්ගොඩ ගඟට දාන්න. මොනවද අක්කේ පාර්සලයේ තියෙන්නේ. ඇයි මේක ගඟට දාන්නේ” යැයි තී‍්‍රරෝද රථ රියදුරා අසා ඇත්තේ ඔහුට ඇති වූ කුතුහලය නිසාය. ඕකෙ මේ හූනියමක් කරපු බඩු වගයක් තියෙන්නේ. ඒකයි ගඟට විසි කරලා දාන්න කිව්වේ” යැයි එක් කාන්තාවක් පවසා ඇතැයි කියන්නේ ඇඟට පතට නොදැනීය. තී‍්‍රරෝද රථ රියදුරා මෙම පාර්සලය පරීක්ෂා කර බලා ඇත්තේ නිකමට මෙනි. පාර්සලය ලිහා බැලීමේ දී දුටු දෙයින් තී‍්‍රරෝද රථ රියදුරාට කිසියම් සැකයක් මතු වී ඇත. මේවා කටුගෙයි කඩලා හොරකම් කරපුවාද දන්නෙත් නැහැ. මොකටත් මේ ගැන හොයලා බලන්න කියලා පොලිසියට කියන්න  ඕනෑ යැයි තී‍්‍රරෝද රථ රියැදුරා කල්පනා කර ඇත්තේ එය තමා කරන මහා ජාතික වගකීමක් බව කල්පනා කරමිනි. පොලිස් කොස්තාපල් ජයසිංහ (38237) මහතා රාජකාරි කරන්නේ පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේය. කොස්තාපල් ජයසිංහ මහතා මේ තී‍්‍රරෝද රථ රියදුරා කාලයක සිට දන්නා හඳුනන හොඳ හිතවතෙකි. හොඳ විශ්වාශවන්තයකු නිසා මේ ගැන සොයා බලන ලෙස දැනුම් දෙන්නේ කොස්තාපල් ජයසිංහ මහතාටයි. කොස්තාපල් ජයසිංහ මහතා මේ බව මුලින්ම සැරයන් නීල් (19073) මහතාට දැනුම් දී පසුව දෙදෙනා මේ ගැන සාකච්ඡුා කර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දසිරි මහතාට දැනුම් දීමෙන් පසු ඔහු මේ බව පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සෝමරත්න විජේමුණි මහතාට පවසා ඇත. ගල්කිස්ස කොට්ඨාසය බාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිටගේ මහතාගේ විශේෂ උපදෙස් මත ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි ජේ. එම්. පී. ජයලත් මහතාගේ මෙහෙයවීම යටතේ පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සෝමරත්න විජේමුණි මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නන්දසිරි ගමගේ, සැරයන් නීල් (19073), සැරයන් නවරත්න (51487), කොස්තාපල්වරුන් වන ප‍්‍රභාත් (71426) සහ උපුල් (1536) යන මහත්වරුන් සහ කාන්තා කොස්තාපල් ශිරෝමි (1886) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි. බොල්ගොඩ ගඟට විසි කර දැමීමට තී‍්‍රරෝද රථ රියදුරාට බාරදුන් පාර්සලය ගඟට විසි කළා දැයි යන්න ඔහුගෙන් විමසා නැවත එය බාරදෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත්තේ පසුව ඇති වූ සැකයක් මත යැයි කියති. මට ඒ පාර්සලය තවම ගඟට දාන්න බැරි වුණා. අදම ඒක ගඟට දාන්නම් කියා තී‍්‍රරෝද රථ රියදුරා පවසා ඇත. නැහැ. ඒක ගඟට විසි කරන්න එපා. ඒක ගන්න එන්නම්. පරිස්සමින් තියා ගන්න යැයි බිල්ඩර් ප‍්‍රසාද්ගේ බිරිඳ දැනුම්දී ඇත. බිල්ඩර් ප‍්‍රසාද් නමැත්තාගේ සහෝදරයකුට අයත් තී‍්‍රරෝද රථයෙන් බිල්ඩර් ප‍්‍රසාද්ගේ බිරිඳ ඇයගේ පුතා පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන යන තරුණියගේ මවද සමග පිළියන්දලට පැමිණි අවස්ථාවේ තිදෙනාම (තී‍්‍රරෝද රථ රියදුරු සමග) අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් එක් කාන්තාවක් කොළඹ නගර සභාවේ අනියම් කම්කරු කාන්තාවකි. අනෙක් කාන්තාව ගුවන් සමාගමක හිටපු සේවිකාවක වන අතර ඇයගේ සැමියා විදේශගත රැකියාවක නිරතව සිටින අයෙකි. නුගවෙල අධිකාරම්ගේ බස්තමේ කොටස් දෙකක්, කඩු කස්තානයක මිටික්, කඩු කස්තාන කොටස් දෙකක් සහ මැණික් ගල්වා ඉවත් කරන ලද නවරත්න මුද්දක්ද ඒ පාර්සලයේ තිබී සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් කැලණිය ගෝනවල, වෙල්ලංගලගහහේනේ පදිංචි කොළඹ නගර සභාවේ පවිත‍්‍රතා සේවිකාවක වන කොරතොට ආරච්චිගේ නිලන්ති දේශපි‍්‍රය පෙරේරා, කැලණිය, ගෝනවල පදිංචි ගුවන් සමාගමක හිටපු සේවිකාවක වන සේනාධීරගේ ඉස්තිකා ලස්මිනා ඔස්ටියා පෙරේරා සහ හංවැල්ල, පැතුම්පුර, දැඩිගමුවේ පදිංචි තී‍්‍රරෝද රථ රියදුරකු වන හික්කඩුව ගමගේ සුජීව දේශපි‍්‍රය යන තිදෙනා කැස්බෑව වැඩබලන මහේස්ත‍්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තැබීමට නියම කෙරිණි. මේ තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ පිළියන්දල පොලිසියේ නඩු මෙහෙයුම් බාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී කීර්තිරත්න මහතා විසිනි. ජාතික කෞතුකාගාරයේ භාණ්ඩ සොරාගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවමින් සිටියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය නිසා මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ එම කොට්ඨාසයට පවරා ඇත.ද්‍රවිඩ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ලක්ෂ 50ක කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටින බිල්ඩර් ප‍්‍රසාද්ගේද සම්බන්ධතාවක් ඇති බව පොලිසිය විසින් හෙළි කරගනු ලැබීය. මොහුගේ ගෝනවල නිවසක සූක්ෂ්ම ලෙස සඟවා තිබූ කෞතුකාගාරයෙන් සොරාගත් රන් මුදු දෙකක්, කඩුවක් සහ කඩු මිටක කොටසක් සොයාගනු ලැබුවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසිනි. මේවා සැඟවූ ස්ථානයෙන් සොයාගෙන පාර්සල් කර ගඟට විසි කර දැමීමට ලබාදීමට නොහැකි වූ ඒවා යැයි කියති. බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී. ආර්. එල්. රණවීර මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික් ඕවිට මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ කටුගෙයි සොරකම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. කෞතුකාගාරය කඩා සොරාගත් භාණ්ඩවලින් කොටසක් බිල්ඩර් ප‍්‍රසාද් නමැත්තාට බාරදී ඇත්තේ කෞතුකාගාරයට පැන භාණ්ඩ සොරාගත් බව කියන ලංසගේ පි‍්‍රයන්ත මෙන්ඩිස් නමැත්තා විසිනි. බිල්ඩර් ප‍්‍රසාද් නමැත්තා මේ සොරකමට සම්බන්ධ වී නොමැති බව මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී නොමැත. කටුගෙයි භාණ්ඩ සොරකමේ ප‍්‍රධාන සැකකරු ලෙස සැලකෙන ලංසගේ පි‍්‍රයන්ත මෙන්ඩිස් තදින්ම හෙරොයින්වලට ඇබ්බැහි වී සිටින අයෙක් බව පවසා සිටියේ මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකි. කොළඹ නගර සභාවේ අනියම් කම්කරුවකු ලෙස සේවය කරන මොහු නිතර කෞතුකාගාරයට යන එන අයෙක් නිසා එහි ආරක්ෂාව යොදා ඇති ආකාරය ගැනද කිසියම් අවබෝධයක් තිබී ඇති බව පොලිසිය පවසයි. සියඹලාපේ ප‍්‍රදේශයේ පිහිටි මොහුගේ නිවස සෝදිසියකදී අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් එම නිවසේ තිබී කටුගෙයින් සොරාගත් ඉපැරණි මුදු දෙකක්ද කෞතුකාගාරය කැඞීමට යොදාගත් බව කියන ඉස්කුරුප්පුනියන් තුනක්ද සොයාගෙන ඇත. ඉස්කුරුප්පු නියන් තුන සහ මුදු කෞතුකාගාරයට අයත් ඒවා බව කෞතුකාගාර අධිකාරි රංජිත් හේවගේ මහතා විසින් හඳුනාගනු ලැබූ බව කියා සිටියේද මේ සොරකම සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකි. මොහු ගැන තොරතුරක් සපයන අයෙකුට රුපියල් ලක්ෂ පහක මුදලක් පරිත්‍යාග කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. මොහු අල්ලා ගැනීමෙන් පසු කෞතුකාගාර සොරකමට සම්බන්ධ තවත් බොහෝ කරුණු කාරණා හෙළි වනු ඇතැයි පොලිසියේ විශ්වාසයයි. ප‍්‍රධාන සැකකරු අල්ලා ගන්නා තෙක් මේ සොරකමට කෞතුකාගාරයේ ඇතැමුන්ගේ කිසියම් සම්බන්ධයක් තිබුණේද යන්න ගැන කීමට නොහැකි බව පොලිසිය පවසයි. ජාතික කෞතුකාගාරය බිඳ සොරාගත් මැණික් ගල් තොගයක්, කඩු කස්තානවල කොටස් කිහිපයක්, රන් කාසි සහ පැරණි මුදල් නෝට්ටු තොගයක් සමග විනෝදාංශයක් වශයෙන් පැරණි භාණ්ඩ එකතු කිරීමේද නිරතව සිටින සිල්ලර වෙළෙඳ සලක හිමිකරුවෙක් ග‍්‍රෑන්ඞ්පාස් බි‍්‍රටෝ බබාපුල්ලේ ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ පසුගිය 22 වැනිදාය. මෙම සිල්ලර වෙළෙඳ සල් හිමියාට අමතරව ගාල්ල, වැලිගම ප‍්‍රදේශයේ දී කොළඹ නගර සභාවේ අනියම් කම්කරුවකු ලෙසද සේවය කරන තවත් තී‍්‍රරෝද රථ රියදුරෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. ජාතික කෞතුකාගාරය බිඳ සොරාගත් කෞතුක  වස්තුන් විකිණීමට වැලිගමදී අත්අඩංගුවට ගත් සැකකරු අතරමැදියකු ලෙස කටුයතු කර ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. ග‍්‍රෑන්ඞ්පාස් බි‍්‍රටෝ බබාපුල්ලේ ප‍්‍රදේශයේ පිහිටි සිල්ලර වෙළෙඳ සල් හිමියාගේ නිවසේ ජාතික කෞතුකාගාරය බිඳ සොරාගත් විශාල ප‍්‍රමාණයේ මැණික් ගල් 6ක්ද කුඩා ප‍්‍රමාණයේ මැණික් ගල් 53, රන් කාසි 2ක්, අවුරුදු 200ක් පමණ පැරණි පගෝඩි 2ක්ද, රුපියල් 1,000, රුපියල් 100 සහ රුපියල් 5 නෝට්ටු 130ක් මහජන බැංකුවේ 40 වැනි සැමරුම වෙනුවෙන් නිකුත් කරන ලද රිදී කාසියක් සහ ලියවැල් කැටයම් සහිත කඩු කස්ථාන කොටස් 2ක්ද සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබේ. ජාතික කෞතුකාගාර භාණ්ඩ සොරකමේ ප‍්‍රධාන සැකකරු වන ලංසගේ පි‍්‍රයන්ත මෙන්ඩිස් නමැත්තා තමාට මේවා ගෙනවිත් දුන් බව සිල්ලර වෙළෙඳ සල් හිමියා පොලිසියට පවසා ඇතැයි කියති. මේවා තමා අතට පත් කර කීයක් හෝ මුදලක් ලබා දෙන ලෙස පි‍්‍රයන්ත මෙන්ඩිස් නමැත්තා පැවසූ බවත් ඔහුට රුපියල් 15,000ක පමණ මුදලක් ලබාදුන් බවත් සැකකරු පොලිස් නිලධාරීන්ට පවසා ඇතැයිද කියති. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී. ආර්. එල්. රණවීර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික් ඕවිට මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි. පොලිස් පරීක්ෂක ජානක කුලරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම සෝදිසි කිරීම්වලට හා අත්අඩංගුවට ගැනීම්වලට සහභාගී වී ඇත. ජාතික කෞතුකාගාරය බිඳ සොරාගත් භාණ්ඩ තොගය සුළු මුදලකට මිලදී ගත් සිල්ලර වෙළෙඳ සල් හිමියා මේවා ඉහළ මිලකට විකිණීමට සිතාගෙන සිටියත් ඒවා විකිණීමට ගොස් පොලිසියට කොටු වෙතැයි බියට පත්වී විකිණීමේ අදහස පසුවට කල් තබා ඇතැයිද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට තිබේ. තැරව්කරුවන් යොදවා මේවා විදේශිකයන්ට විකිණීමට සැකකරු සැලසුම් කර තිබූ බවටද තොරතුරු පොලිසියට ලැබී තිබෙන බව පැවසේ. අත්අඩංගුවට ගත් සිල්ලර වෙළෙඳ සල් හිමියා මේවා ටික කාලයක් අයි.ඞී.එච්. ප‍්‍රදේශයේ පිහිටි ඥාති කාන්තාවකගේ නිවසේ සඟවා තබා පසුව ඔහුගේ නිවසට ගෙනවිත් සඟවා තබාගෙන සිට ඇත. ජාතික කෞතුකාගාරයෙන් සොරාගත් භාණ්ඩ බව ඥාති කාන්තාව දැනගත් පසු ඒවා වහාම ගෙදරින් රැගෙන යන ලෙස සැකකරුගෙන් ඉල්ලා ඇති බවද කියති. මිල කළ නොහැකි ඉහළම වටිනාකමක් ඇති ජාතික වස්තූන් තොගයක් සඟවාගෙන සිටීම නිසා සැකකරු නිතර තිගැස්මකින් පසු වී ඇති බවත් ඒ නිසාම පසුගිය කාලය පුරාවටම හරිහැටි නින්දක් පවා ලබා නොමැති බවත් දැන ගැනීමට ඇත. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨායේ පොලිස් පරීක්ෂකවරුන් වන ජානක කුලරත්න, රොහාන්  ඕලූගල, බන්දුපාල, උප පොලිස් පරීක්ෂකවරුන් වන කැලූම් බණ්ඩාර, පුෂ්පකුමාර, පිටකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේරත්න යන මහත්වරුන්ද මෙම පරීක්ෂණ කටයුතුවල නිරතව සිටිති. සැරයන්වරුන් වන ජයලාල් (26885), උපුල් (49278), කොස්තාපල්වරුන් වන රුවන් කුමාර (69434), වික‍්‍රමනායක (84333), කුමාර (81991), සේනාධීර (67479) සහ විමලදාස (28064) යන නිලධාරීන්ද මෙම පරීක්ෂණවලට හවුල් වී සිටිති. තී‍්‍රරෝද රථ රියදුරන් කෙරෙහි සමාජයේ බොහෝ දෙනෙකු බැලීමට පුරුදුව ඇත්තේ වපර ඇසකිනි. එවැනි පසුබිමක් තුළ ජාතියේ මහා අපරාධකරුවන් රැල්ලක් කොටු කර ගැනීමට මග පාදා දීමෙන් මේ තී‍්‍රරෝද රථ රියදුරු මහතා ඉටු කර ඇත්තේ මහා ජාතික වගකීමක් බව මෙහිලා විශේෂයෙන්ම සඳහන් කළ යුතුව තිබේ.
විස්තරය  : ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප - ගයාන් අමරසේකර සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමෙන් ජයසිංහ
පො.සැ. නීල් ප‍්‍රියන්ත පො.කො. නලින් ජයසිංහ