කඩදාසි රොකට් යවා ටිකට් රෝල්වල බයිස්කෝස් තැනූ ප්‍රේමකීර්ති ද අල්විස්


(ඒ.ඩී. රන්ජිත් කුමාර)

‘මමයි මේ පාර කොලේජ් මැගසින් එක එඩිට් කරන්නේ. උඹලා දෙන්නත් කවි පන්තියක් හරි කෙටිකතාවක් හරි ලියලා දීපල්ලා’

ප්‍රේමකීර්ති ද අල්විස් මටත් කුලරත්න ආරියවංශටත් (සම්මානීය ගේය පද රචක) කීවේ කැන්ටිමේ තේ බොන අතරය. මේ  1965 වසරය. ප්‍රේමකීර්ති හා සරත් චන්ද්‍රසේකර ආනන්ද විද්‍යාලයේ සඟරාව සංස්කරණය කරමින් සිටියහ. 
අපි සරසවි පිවිසුම් පෙළ පන්තියේ උගනිමින් සිටියෙමු. පාසලේ විවේක කාලයට අපේ පන්තියට  නොමිලයේ බෙදා දෙන මාළු පාන් කෑ අපි තේ බීමට කැන්ටිමට ගොස් සිටියෙමු. 

එකල ප්‍රේමකීර්ති අපූරු දස්කම් රැසක් සහජයෙන්ම උරුම කර ගත් ශිෂ්‍යයෙක් විය. ඔහුට විකට කතා රැසක් මතක තිබුණි. සතුන්ගේ විශේෂයෙන් කුරුල්ලන්ගේ හඬවල් අනුකරණය කිරීමට හැකියාවක් තිබුණි. චිත්‍ර ඇඳීමට ද ඔහු දක්ෂයෙකි. එපමණක් නොව ගුරුවරුන් කතා කරන හැටි ඔවුන් ඇවිදින සැටි අනුකරණය කරමින් පන්ති සගයන් හිනා ගැස්සීමටද ඔහු හපනෙකි. 

වරක් ගුරුවරයකු  හංස සන්දේශයේ එන කවි පෙළක් බරපතළට උගන්වන විට ප්‍රේමකීර්ති කුරුල්ලෙකු මෙන් හඬක් නැංවීය. 

‘කවුද ඒ.....’ ගුරුවරයා ඇසීය. 
මුළු පන්තියම නිශ්ශබ්දය. 
‘ඔක්කොම නගිනවා බංකු උඩ. මේක කෝලම් මඩුවක්ද? 

සියල්ලෝම පුටු උඩය. සීනුව නාද වෙයි. ඉන්පසු විවේක කාලයයි. සියල්ලෝම පුටුවලින් බැස්සෝය. 

‘අල්විස් ඔහොම නවතිනවා. ඔය කුරුලු හඬ තියා ගන්නවා රෝඩියෝ සිලෝන් එකට. පන්තියේ ඒවා බැහැ. ගුරුවරයා කෝපයෙන් කීවේය. 

එකල ප්‍රේමකීර්ති ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකර අයියා මෙහෙයවන ‘ළමා මණ්ඩපයේ’ ජනප්‍රිය නිවේදකයකු මෙන්ම ගීත රචකයෙක්ද විය. 

උඹලා දෙන්නා කැමති නං මම කරු අයියාගේ ‘සරස්වතී මණ්ඩපයට’ එක්ක යන්නම්. දිනක් ප්‍රේමකීර්ති මටත් කුලරත්න ආරියවංශටත් කීවේය. ඔහු අපට ගුවන් විදුලියේ පස් පා ගන්නට අවස්ථාව ලබා දුන්නේය. එපමණක් නොව රේඩියෝ සිලෝන් එක අසල තිබූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අනුබද්ධිත සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ වැඩ කටයුතුවලටද සම්බන්ධ කර ගත්තේය. එම සම්මේලනය මගින් ප්‍රකාශයට පත් කළ ‘බෞද්ධ චින්තා’ පුවත්පතේ කතුවරයන් වූයේ ප්‍රේමකීර්ති හා පන්ති සගයකු වූ ලීලානන්ද රත්නවීරය. 

එදා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ ක්‍රියාකාරී  සාමාජිකයන් අතර මරදානේ මහබෝධි විද්‍යාලයේ ලාල් හෑගොඩ (ප්‍රවීණ කැමරා ශිල්පි) කොළඹ නාලන්ද විද්‍යාලයේ නිමල් සිරිපාල ද සිල්වා (අද ප්‍රවාහන ඇමැති හා පොලොන්නරුවේ රාජකීය විද්‍යාලයේ මෛත්‍රීපාල සිරිසේන (අද ජනාධිපති) හා ආනන්දයේ ප්‍රේමකීර්ති ද වූහ.

බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය මගින් 1965 වසරේ සංවිධානය කළ ‘බොදු හැඟුම්’ නම් සමස්ත ලංකා  චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කිරීමට අපිත් සහාය වූයෙමු. මේ තරඟයෙන් එක වයස් කණ්ඩයකින් මුල් තැන දිනුවේ ආනන්දයේ ඉගෙනුම ලැබූ දොළොස් හැවිරිදි රෝහණ සිරිවර්ධන විසින් අඳිනු ලැබූ ‘පිඬු සිඟා වැඩීම’ නම් චිත්‍රයයි. රෝහණ අද ප්‍රවීණ ගායකයකු මෙන්ම ගුවන් විදුලි වැඩ සටහනක් නිෂ්පාදකවරයෙකි. මේ චිත්‍ර තේරීම සඳහා කැඳවා තිබුණේ ප්‍රකට චිත්‍ර ශිල්පි ජේ බීලින් හා රජයේ කලා පරීක්ෂකයකු වූ ෆ්‍රැන්සිස් සිල්වා කාලිංග (ප්‍රවීණ නාට්‍යවේදී කපිල කුමාර කාලිංගගේ පියා) යන මහතුන්ය. 

ආනන්දයේ කැපී පෙනුණු කවියා ප්‍රේමකීර්තිය. තවත් කවියෙක් ඔහුගේ පන්ති සගයෙක් විය. පාසලේ සිටියදීම ‘රතු කඳුළු’ නමින් කවි පොතක් ලියූ ධර්මකීර්ති ජයසේකරය. සමාජවාදී  අදහස් පිළිබිඹු  කළ කවි ලිවීමේ සූරයකු වූ ඔහු ‘කීර්ති බාලසූරිය’ නමින් දේශපාලන වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් විය. ඔහු අකාලයේ මිය ගියේය. 

එකල ආනන්දයේ සැණකෙළියේ නිත්‍ය නිවේදකයා වූයේ ප්‍රේමකීර්තිය. ඔහු තමා අසීමිත ලෙස ගරු කළ කරුණාරත්න අබේසේකර නම් විශිෂ්ට නිවේදකයා අනුගමනය කරමින් දිය ඇල්ලකින් ඇද හැලෙන රිදී ජල ධාරාවක් ආකාරයෙන් වචන මාලාවකින් නිවේදන කටයුතු කරනු අපි විස්මයෙන් බලා සිටියෙමු. 

අසීමිත ලෙස චිත්‍රපට නැරඹීමේ උමතුවෙන් සිටි ප්‍රේමකීර්ති මා මෙන්ම සිනමාවට අප්‍රමාණ ලෙස ආලය කරන්නා වූ චරිතයකි. අප දෙදෙනා බොරැල්ලේ  රිට්ස් පංචිකාවත්තේ ක්‍රවුන් සිනමාහල්වල ප්‍රදර්ශනය කළ හින්දි චිත්‍රපට බලා පසුදා පාසලේ විවේක කාලයේදී මිතුරන්ට එහි තොරතුරු කියන්නෙමු. පන්ති මිතුරන් වූ රංජිත් ලාල්, නම්මුනි ද සොයිසා,  චන්ද්‍රසිරි මුදන්නායක, ආනන්ද නිලවීර, පී.ටී. අමරසිරි, උදේන ගුණසේකර, රංජිත් කොස්තා, ලීලානන්ද රත්නවීර, නිමල් හෙට්ටිආරච්චි, සරත් විජේසිරි, විජය වෙල්ගම, උපාලි ගුණරත්න (ජනාධිපති නීතිඥ), සරත් චන්ද්‍රසේකර, ශ්‍රීලාල් ජයමහ  හා මාද වටකර ගෙන පෙරදා නැරඹු චිත්‍රපටවල ජනප්‍රිය ගීතවලට සිංහල වචන යොදා අපූරුවට ගැයුවේය. ඔහු ගීත ගැයුවේ ඩෙක්ස් එකේ වහන පියනේ දෙකට කැඩුණු බ්ලේඞ්තල භාගයක් සවිකර ගෙන තාලයට තත් මවමිනි. ඒ ගීතපද වැල් අතිශයින්ම නිර්මාණශීලිය. 

විද්‍යාලයීය සඟරාවේ පළ වූ ප්‍රේමකීර්තිගේ මුල්ම පද්‍ය සංකල්පනාවක් පැරණි සඟරා අවුස්සන විට මට හමුවිය. 

සංවේගයෙ උලලේනිය 
දුක් දෝනා නඟන පැයේ 
මළ හිරු රැස් මැද තනිවුණ 
මෙරු ඉගිලෙන සැන්දෑවක් වැනිය ජීවිතේ 

අපට සිංහල හා සිංහල සාහිත්‍ය ඉගැන්වූ ගුරවරුන් වූ බර්ටි විජේසිංහ, ඩබ්ලිව්.ඩී.කේ. ගුණවර්ධන, සාන්තන රාජපක්ෂ ආදි ගුරුවරුන්ද වෙනත් විෂයයන් සඳහා පැමිණි ආචාර්ය කොටගම වාචිස්සර හිමි, ඩි.බී. කුරුප්පු, රංජිත් සොයිසා, ආචාර්ය රංජිත් කබ්රාල්, ආනන්ද වීරසිංහ, කේ.එල්.එෆ්. විජයදාස, ගාමිණි සෙනෙවිරත්න, නීල් කුරුප්පු, ඒ.ඩී. කරුණාරත්න මෙන්ම උප විදුහල්පති මේජර් ජි.ඩබ්ලිව්. රාජපක්ෂ ද ප්‍රේමකීර්තිට ආදරය දැක්වූහ. 
වරක් සිංහල ඉගැන්වීමට පන්තියට පැමිණි බර්ටි විජේසිංහ මහතා පුදුමයට පත් වූයේ පන්තිය හිස්ව තිබීම නිසාය. පසුදා විජේසිංහ මහතාට ලෙඞ් බීටර් ගොනැගිල්ල අසලදී ප්‍රේමකීර්ති හමුවීය.

මොකද අල්විස්  ඊයේ පන්තියේ ළමයි ඔක්කොම ගියානේ අස්ගිරියේ ක්‍රිකට් ගහන්න. 

ඉතිං අල්විස්ට ක්‍රිකට් ගහන්න පුළුවන්ද? 
බැහැ සර් මම එහේ ගිහිං බැරිම වැඬේ කළේ. 
මොකක්ද ඒ’ 
මම නේ සර්
 Cricket commentator 

ප්‍රේමකීර්ති තැනට උචිත මුඛරි පිළිතුරක් දී ඇත්තේ තම නළ දත පෙන්වා සිනාසෙමිනි. 
1966 වසර සිනමාවට භක්තිමත් සිසුන් වූ රංජිත් ලාල්, ප්‍රේමකීර්ති හා මගේ කලා ජීවිතයට බලපෑ අපූරු සිදුවීමක් සිදුවිය. 1965 ලන්ඩනයේ කඩීෆ්  ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේදී හොඳම කෙටි චිත්‍රපටය  ලෙස සම්මානය  දිනූ ආදී ආනන්දියකු වූ ඩී.බී. නිහාල්සිංහගේ ‘භක්ති’ ආනන්ද විද්‍යාලයීය ශාලාවේ තිරගත විය. චිත්‍රපටය නිමා වී නිහාල්සිංහ චිත්‍රපටය කිරීමේදී තමා ලත් අත්දැකීම් විස්තර කළේය. ඒ කතාවෙන් උත්තේජනයට පත් රන්ජිත් ලාල්, ප්‍රේමකීර්ති සහ මම පන්ති කාමරය බලා ගියෙමු. 

‘අපිත් කෙටි චිත්‍රපටයක් හදමුද? රංජිත් ලාල් යෝජනා කළේය. ඔහු සිනමාව හා සංගීතය ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති අපේ නඩයේ නායකයා විය. එපමණක් නොව ඔහුගේ දෙමාපියෝ ධනවත්තු වූහ. 

පසුව අප විද්‍යාලයේ සිටියදී ලංකාවේ පාසල් සිසුන් තැනු ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය ආනන්දයේම සිටියදී අප සහාය කරගෙන නිර්මාණය කළ ‘නිම්වළල්ල’ චිත්‍රපටයේද අධ්‍යක්ෂවරයා ඔහුය. රංජිත් ලාල් මීට වසර 10කට පෙර අකාලයේ මිය ගියේය. 

‘ප්‍රේම් උඹ අපේ කෙටි  චිත්‍රපටයට තේමාවක් දීපන්. 
එදා රංජිත් ලාල් ප්‍රේමකීර්තිට කීවේය. 

ඒ පාසලේ විවේක කාලයයි. ලෙඞ් බීටර් ශාලාවේ උඩු මහලේ තිබූ අපේ පන්තියට මහ පාර අපූරුවට පෙනේ. ප්‍රේමකීර්ති සිටියේ ජනේලයෙන් පාර පැත්ත බලාගෙනය. 

මට අපේ short film  එකට අපූරු අදහසක් ආවා. මෙහෙ වරෙල්ලා බලපල්ලා අර පාරේ අත් කරත්තයක් ඇදගෙන යන වයසක මනුෂ්‍යයා දිහා. ප්‍රේමකීර්තිගේ හඬට මිතුරෝ ජනේලය වෙත ඇදී ආහ. තමාට ඇද ගෙන යාමට අසීරු ගෝනි රැසක් පුරවා ගත් නාටාමි කෙනෙක් දහඩිය දමමින් අත් කරත්තයක් ඇදගෙන ගියේය. 

අපි මිනිසුන්ගේ කායික හා මානසික වීර්යය ගැන කෙටි චිත්‍රපටයක් කරමු. ප්‍රේමකීර්ති යෝජනා  කළේය. 
හොඳයි ප්‍රේම් පිටපත ලියන්න. ඒක හොඳ අදහස.  රංජිත් ලාල් කීවේය. 

පෙර නම් කෙටි චිත්‍රපටයේ උපත එය විය. අපි 19 වැනි වියේ පසුවූයෙමු. ‘වෙර’ චිත්‍රපටයේ තිර නාටකය ප්‍රේමකීර්ති ලියන ලද අතර එහි තේමා ගීතයද රචනා කර දුන්නේය. කැමරාව මෙහෙය වුයේ ඩිල්මන් ජයරත්නය. මම කලා අධ්‍යක්ෂ වීමි. නම්මුණි ද සොසියා, චන්ද්‍රසිරි මුදන්නායක, ආනන්ද නිලවීර නිෂ්පාදන අංශය කරට ගත්හ. 

1966 වසරේ වැඩ නිම කළ ‘වෙර’ කෙටි චිත්‍රපටයේ මංගල දර්ශනය ලයනල් වෙන්ඞ්ට් ශාලාවේ පැවැත්වූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි අනුර බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙනි. චිත්‍රපට නැරඹු ජයවිලාල් විලේගොඩ ඩී.සී. රණතුංග, නිහාල් රත්නායක, ඩී.බී. වර්ණසිරි යන විචාරයකයන්ගේ ප්‍රශංසාව අපට ලැබිණි. 

ප්‍රේමකීර්තිට අපූරු රචනා ශක්තියක් තිබුණේය. ඔහු පාසලට එන්නේ ඇඟිලි තුඩු වලින් අල්ලා ගත් මොනිටර් ඇක්සයිස් පොතක් පමණක් රැගෙනය. ඒ පොතේ පාසලේදී ලියා ගන්නා සටහන් මෙන්ම තමා  විසින් ලියා ගන්නා ලද කවි සංකල්පනා ද වෙයි. 

ප්‍රේමකීර්ති මියගොස් වසර 25ක් පිරීම වෙනුවෙන් 2014 වසරේ ගීතනාත් කුඩලිගම විසින් ගවේෂණය හා සංස්කරණය කළ ‘සසර සැරි සරණතෙක්’ ප්‍රේමකීර්ති නැවත කියවමු නම් කෘතිය ලිවීම සඳහා එදා අප සමග ඉගෙන ගත් ප්‍රේමකීර්ති ගැන තොරතුරු එක් රැස් කිරීමට මිතුරෝද ගුරුවරයෙක් සහ හිතවතෙක් එක්වූහ. පිටකෝට්ටේ මාදිවෙල පාරේ සුභද්‍ර මාවතේ පදිංචිව සිටින ආචාර්ය නිමල් හෙට්ටිආරච්චිගේ නිවසේදී ගීතනාත් සමග  කතාබහ කළෙමු. එදා අපට සිංහල ඉගැන්වූ (මෑතකදී මියගිය)  ඩබ්ලිව්.ඩී.කේ. ගුණවර්ධන මහතා (විද්‍යා මාධ්‍යවේදී  නාලක ගුණවර්ධනගේ පියා) ද ගීත රචක කුලරත්න ආරියවංශ හා ගායන ශිල්පී  වික්ටර්  රත්නායක ද එක්වී සිටියහ. 
පාසලේ ගුරුවරුන්ට විකට නම් පටබැඳීමට ප්‍රේමකීර්ති ගජ හපනෙකි. මේ නිසා දෝ එදා අපේ  හමුවට සහභාගි වූ ගුණවර්ධන සර් අපෙන් අසීරු ප්‍රශ්නයක් ඇසීය. 

‘මොකක්ද? ප්‍රේමකීර්ති ඒ කාලේ මට දාලා තිබුණු නම? 
ඒක කියන එක හරි නෑනෙ? නමුම්නි සොයිසා කීවේය. 
නෑ....නෑ අපි හැමෝම වැඩිහිටියෝයි.
මට දාල තිබුණ නම දැන  ගන්න ආසයි. 

සර් උසනේ, බෙල්ල ගාවට දිගට කොණ්ඬේ වවලා තිබුණ නිසා ප්‍රේමකීර්ති සර්ට තිසාහිමි කියලා නමක්  දැම්මා. නම්මුනි කීවේ සැර බාල කරමිනි. 

ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි කීවේ ආනන්දගේ ලෙඞ් බීටර් ගොඩනැගිල්ලේ උඩ මහලේ ඉගෙනීම ලබද්දී එතැන සිට ජනේලයෙන්  ප්‍රේමකීර්ති ඇක්සයිස් පොතේ කොළයක්  නවා තුන් හුලස් ආකාරයට රොකට් සාදා පාරේ යන පාසල් ශිෂ්‍යාවන් ඉලක්ක කර විද්දේ කොලුකමටය. 

ප්‍රේමකීර්ති එක් ගුරුවරයකුට ‘තට්ට අබා’ යයි නමක් පට බැන්දේය. 

ඒ දවස්වල ලංගම තට්ටු දෙකේ බස්වල ටිකට් මැෂිමෙන් ඉවත දමන පරණ ටිකට් රෝල් කොටස් ප්‍රේමකීර්ති එකතු කර ගෙන පන්තියට ගේනවා. ඔහු ඒ ටිකට් රෝල්වල උඩ සිට පහළටම චිත්‍රරාමු අඳිනවා. ඒ හැම රූප රාමුවක්ම සහිත ඔතන ලද ටිකට් රෝල පන්තියේ ඩෙක්ස් එකේ පියන ඔසවා සරනේරුව අතරින් තියන හිඩැසින් ඩෙස්ක් එක මතුපිටට ඒවා පැන්සලයෙන් ඔතා ගන්නවා. දැන් එක කොටසක් ඇතුළේ. අනික් කොටස ප්‍රේමකීර්තිගේ පැන්සලේ ඔතාගෙන. අර චිත්‍රපට ශාලාවේ දකින ෆිල්ම් රෝල් වගෙ. අතින් කරකවමින් ඔහු ඇදි රූප රාමු එකින් එක එළියට ගන්නවා. ඔහු චිත්‍රපටය නම් කරලා තිබුණේ තට්ට අබාගේ තොරණ සේවය කියලා රූප රාමුවලින් නිරූපණය වුණේ තට්ටු දෙකේ බස් එකක් ඇතුළත දර්ශන. තට්ට අබා සිය පවුල සමග වෙසක් සිරි නරඹන්න යයි. අබා රූප වලින් නිරූපනය වන්නේ තට්ට අබා දරුවන් බිරිඳ සමග තොරණ සිරි නරඹද්දී සිදුවන දේවල්. තොරණ සේවයේ දෙබස් කිය කියා අපිට ප්‍රේමකීර්ති පෙන්වූයේ කටින් සංගීතයද සපයමින්. අපේ කණ්ඩායමේ සිටි රංජිත් කොස්තා ගීතනාත්ට රස කර කීවේය. 

ප්‍රේමකීර්ති සිනමා පුවත්පත්වලට ලිවීම ආරම්භ කළේද 1966 වසරේ සිටය. දිනක් ඔහු විසිතුර පුවත්පතේ කර්තෘ ආතර් යූ. අමරසේන මහතා සොයාගෙන ‘දවස’ පුවත්පත් සමාගමට ගියේය. ඒ හමුව අමරසේනයන් අපට විස්තර කළේ මෙසේය. 

ප්‍රේමකීර්ති මා හමුවීමට පැමිණ ඉල්ලා සිටියේ විසිතුරට ලිපි ලිවීමට අවස්ථාවක් දෙන ලෙසයි. ඒ වනවිට ඔහු කවුදැයි මම දැන සිටියේ නැහැ. 

මොනව ගැනද ප්‍රේමකීර්ති ලියන්න කැමැති. 

මම කැමතියි සර් ගුවන් විදුලි ශිල්පීන් ගැන ලිපි පෙළක් ලියන්න. 

මම හා කීවා ඔහු සිනා රැල්ලකින් මුව සරසා ගෙන ගිටව ගියේ  රටක් රාජ්ජයක් ලැබුණා වැනි ප්‍රීතියකින්. දින දෙකකට පසු ඔහු කරුණාරත්න අබේසේකර ගැන අපූරු  ලිපියක් ලියාගෙන මා අතට පත් කළා. ඒ ලිපිය ඒ තරම්ම රසවත්ය. ‘විසිතුරෙන්’ මාධ්‍ය ලෝකයට එක්වූ ඔහු පසුකලෙක කලා ලොවේ ඉහළම දස්කම්පාන අයුරු දැක මම සතුටු වුණා. 

අමරසේනයන් පවසා ඇති අන්දමට තමා විසින් පුවත්පත් කලාවට රැගෙන ආ ගෝලයන් අතර හොඳම ගෝලයා ප්‍රේමකීර්තිය. එවන් ගෝලයකු අකාලයේ අමු අමුවේ මරා දැමු මෘගයන්ට අමරසේන තවමත් සාප කරයි. 
ඔබ ප්‍රේමකීර්ති ද අල්විස් නම් විශිෂ්ට ගේය පද රචකයා ගැන දන්නේය. ප්‍රතිභාපූර්ණ ගුවන් විදුලි නිවේදකයා, නිෂ්පාදකයා ගැන දන්නේය. 1947 ජූනි 3 වැනිදා උපත ලැබු සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් මිය ගියේ 1989 ජූලි 31 වැනිදාය. 

ප්‍රේමකීර්තිගේ අත ඉතා සිනිඳුය. 
උඹේ අත කෙල්ලෙකගේ අත් වගේ සිනිඳුයි. මම වරක් පන්තියේදී කීවෙමි. 
‘ඉඳා එහෙනං අතගාපන්’ යි ප්‍රේමකීර්ති මට දකුණු අත දිගු කළේය. 
ඒ අත්වල සිනිඳු සීතල, මෙලෙක මගේ අතට තවමත් දැනේ.