කතරගම දෙවියනුත් රවට්ටන්න එන මිනිස්සු



02

25_SLT_P_4

0කතරගම වන්දනාව භක්තිය මත පිහිටියකි. අනුරාධපුරය, දළදා මාළිගාව, පොලොන්නරුව, සෝමාවතිය වන්දනාවේ යද්දී තියෙන අරමුණට වඩා කතරගම යන අරමුණ හාත්පසින්ම වෙනස්ය. කතරගම, බුදුන් වහන්සේගේ වැඩමවීමෙන් පාරිශූද්ධ වූ බිමෙකි. කිරි වෙහෙර වටා එවැනි අගනා ඓතිහාසික කතාවක් ලියැවී තිබේ. නමුත් බෞද්ධ වටිනාකම පැත්තක තබා වැඩිදෙනා මෙහි යන්නේ දේව ආශිර්වාදය ලැබීම සඳහාය. කතරගම ගිහින් පූජා වට්ටියක් නොතබන්නකු කලාතුරකින් දැකිය හැක්කකි. ව්‍යාපාර දියුණුවට, දරුඵලවලට, පෞද්ගලික දියුණුවට, කරදර බාධකවලින් මිදීමට, රැකීරක්ෂා ඵල ලැබීමට, ලෙඩ රෝගවලින් සුවපත්වීමට ආදී විවිධ අරමුණු කතරගම එන අය ළඟ තිබේ. ගෙදරින් පිට වෙන්නේම තමන්ගේ අරමුණ කතරගම දෙවියන්ට පවසා සඵල කරගැනීමේ අදහසිනිි.

කතරගම දෙවියන් තවුතිසාවේ වසන මහේශාඛ්‍ය දෙවිකෙනෙකි. උන්වහන්සේ මහා බලැතිය. එසේම දීර්ඝ කතරගම පුරාවතෙහි ආදිතමයෙකි. තෙද බලැති කතරගම දෙවියන් යනු කවුද? රුහුණු කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක මහතාගෙන් අපි විමසීමු.

කතරගම දෙවියන් ලෙස අදහන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ කතරගම සිටි ප‍්‍රාදේශීය රජුය. ඔහු නමින් මහාසේනය. මහාසේන රජුගේ මාළිගය තිබුණේ වත්මන් කතරගම දේවාලය පිහිටි තැනය. රජුට අයත් රාජකීය උයන පිහිටියේ අද කිරිවෙහෙර පිහිටි බිමය. එදා එය කිහිරි උයනයි. මෙම උයන මැද විශාල කිහිරි ගසක් තිබී ඇත. රජු දිනපතා උදෑසන මේ කිහිරි ගස යටට ගොස් අසුන්ගතව විවේක සුව ලබා ඇත.

දිනක් මහසේන රජු උයනට එන්නට ප‍්‍රථමයෙන් බුදුන් වහන්සේ මේ කිහිරි උයනට වැඩම කළහ. එසේ වැඩමවා රජු අසුන්ගත වන තැන්හි අසුන් ගත්හ. රජු උයනට පැමිණෙන විට උයන බබළවා සවණක් ගණ බුදුරැුස් විහිදයි. මහසේන රජතුමා මහත් සතුටට පත්ව, ”තථාගතයන් බුදුන් වහන්සේ, මාගේ රාජකීය උයනට වැඩම කොට සිටියි.” පිරිවර සමග ගොස් නමස්කාර කළහ.

එදා බුදුරජාණන් වහන්සේ මහසේන රජුට ධර්මදේශනාවක් කළහ. ඒ දහම් අසා මහාසේන රජු සෝවාන් ඵලයෙහි පිහිටියේය. ධර්මාවබෝධය ලැබූ එකම දෙවියන් හැටියට බොහෝදෙනා හඳුනන්නේ සුමන සමන් දෙවියන් පමණි. එහෙත් කතරගම දෙවියන්ද බුදුන් සරණ ගිය ධර්මාවබෝධය ලැබූ දෙවිකෙනෙකි. මෙය ඇතැම් විට ඔබට නුහුරු කතාවක් වන්නට පුළුවන. කතරගම දෙවියන් තෙද බල ඇති, එසේම බෞද්ධ දෙවි කෙනෙක් හැටියට විශ්වාස තබා මෙහි පැමිණිය යුතුය. බොහෝදෙනා කතරගම එන්නේ අන්ධ බැතියෙනි. අන්ධ විශ්වාසයෙනි. කතරගම එන වැඩිදෙනාට තුණුරුවන මතක නැත. තමන් බෞද්ධයකු බව වත් මතක නැත. එකම අරමුණ දෙවියන්ට පූජා වට්ටියක් තබා තමන්ගේ අරමුණ වෙනුවෙන් කන්නලවු කිරීම පමණි. සමහරු පූජා වට්ටිය අතට දී අත් අහසට දිගුකොට, ”මට අසවල් කෙනා සමග ඉන්ට ලැබේවායි” පතති.

 

06

01

තවත් අය ”දරු සම්පතක් ලැබේවායි”ද ”මගේ ගේ දොර ආරක්ෂා කොට දේවායි”ද පතති.

මේ සියල්ල අරමුණු කර ගත්තාට තමන් බෞද්ධයකු බවත්, කතරගම දෙවියන් මාර්ගඵල ලාභී බෞද්ධයකු බවත් සිහියට ගත යුතුය.

බුදුන් දවස සෝවාන් ඵලයට පත් මහාසේන රජතුමා බුදුහිමියන්ගෙන් පූජා වස්තුවක් ඉල්ලා සිටියේය. උන්වහන්සේ තම හිස අත ගා කේශධාතු මිටක් රජු අතට දුන්හ. රජු මේ කේශ ධා රන් කරඬුවක තැන්පත් කරවා විසල් වෙහෙරක් ගොඩ නංවා එහි නිධන් කරවීය. රජුගේ මාලිගයට නුදුරින් කිහිරිය උයනෙහි තැනූ වෙහෙර වත්මන් කිරිවෙහෙර චෛත්‍යයි.

බුදුන් දැක, බුදුන් සරණ ගොස්, ධර්මාවබෝධය ලබා, වෙහෙර විහාර කරවා කලූරිය කළ මහාසේන රජතුමා ”සරවණ විල” පියුම් සයක  ඕපපාතිකව පිළිසිඳ ගත්තේය. මේ සරවණ විල ඉන්දියාවේ දඹදිව පිහිටියකි. මෙය දේවත්වයෙන් උපත ලැබුමකි. ඉන්පසු එතුමන් දුටුගැමුණු රජ සමයෙහි තම ජාත බිමෙක් වූ කතරගමට පැමිණියේය.

ජීවමාලි නම් දිය කපන තොටදී කතරගම දෙවියෝ දෘෂ්‍යමානව පැමිණ දුටුගැමුණු රජතුමා හමුවිණ.

එහිදී රජු කතරගම දෙවියන්ගෙන් එළාර සමග යුදයට ආශිර්වාද පැතීය. කතරගම දෙවියන් යුදයට ආශිර්වාද කරන බවට පොරොන්දු විය.

”තමන් යුද්ධය දිනා පැමිණි වහාම රන් උළු මාළිගයක් කරවා ඉරහඳ පවතිනා තුරුම ඔබවහන්සේට පූජා පැවැත්වීමට කටයුතු යොදන්නෙමි” යැයි දුටුගැමුණු රජතුමා පොරොන්දු විය.

රජතුමා එළාර සමග යුද්ධය දිනා යළි රුහුණට පැමිණියේය. කතරගම දෙවියන්ට වූ පොරොන්දුව ඉෂ්ඨ කරන්නට කල්පනා කළේය. වැඩිහිටි කන්දට ගොස් කතරගම දෙවියන් මුණගැසිණි.

”කතරගම දේව හාමුදුරුවන් වහන්ස... මම ඔබවහන්සේගේ ආශිර්වාද සහිතව යුද්ධය දිනීමි. දැන් පොරොන්දුව ඉටුකරනු වස් රන් උළු මාළිගය කරවමි...”

”මහරජ අනාගතයේ කලියුග කලක් එයි. එදින උපදිනා මිනිස්සු දෙවියන් බුදුන් නොඅදහති. එබැවින් රන් උළු මාළිගයක් නොකරන්න. ඔවුන් එය විනාශ කරනු නියතයි. ඒ වෙනුවට රන්කොත් මාළිගයක් කරවන්න” උපදෙස් ලැබිණි.

දේවාලය ගොඩනැංවීමට වැඩිහිටි කන්දෙහි සිට ඊයක් විදිනු ලැබිණි. ඊය වැටුණු තැන දෙවොල ඉදිකෙරිණි. ඒ සඳහා නින්දගම්, ප‍්‍රවේණිපංගු වෙන්කරවා 555 දෙනෙක් දේවාල සේවයට යොදවනු ලැබිණි.


07

04

කතරගම දෙවියන්ට වෙන්වූ විශේෂ දිනය අඟහරුවාදාය. එදිනට කතරගම දෙවියන් දෘෂ්‍යමාන වන බව ප‍්‍රධාන කපු මහතා පවසයි.

ත‍්‍රිපිටක ගත සූත‍්‍රවල බුදුන් වහන්සේ සහ දෙවියන් අතර හමුවීම් සිද්ධ වුණු ආකාරය ගැඹුරින් විස්තර කෙරේ. ඒ අනුව දෙවිවරු රාත‍්‍රී ජාමයෙහි ආලෝක විහිදුවාගෙන පැමිණි බව දැක්වේ.

කතරගම දෙවියන්ද බොහෝවිට රතු පැහැති ආලෝකයකින් දේවාලය අවට අහසෙහි දෘෂ්‍යමාන වේ. කතරගම දෙවියන්ට පිරිසුදුව පිළිවෙළට පුද පූජා කෙරෙන විට උන්වහන්සේ රතු පැහැ අලෝකයකින් රාත‍්‍රී කාලයෙහි පෙන්නුම් කෙරේ. ඇසළ උත්සව සමයේදී විශේෂයෙන් මේ ආලෝකය බොහෝදෙනාට දකින්නට ලැබේ. දෙවියන් සිටින අවස්ථාවලදී දේවාලය අවට ඉමිහිරි සුවඳකින් සුගන්ධවත් වෙයි.

වැඩිහිටි කන්දේ සිට දේවාලයට එන රතු පැහැ ආලෝකය කතරගම දෙවියන්ගේය. කතරගම දෙවියන් තවුතිසාවේ වැඩ සිටින දෙවියෙකි. කතරගම සිට පුද පූජා පවත්වන විට එතුමන් දිවැස් බලයි.

කවර දිනයක පූජා වට්ටි තබා කතරගම දෙවියන්ට පූජා පැවැත්වුවත් එම පූජාවෙහි සුවඳ තවුතිසාවේ සිටම දෙවියන් ආඝ‍්‍රාණය කරයි. තමන් වෙනුවෙන් තබන ලදැයි සන්තෝෂයට පත්වෙයි. පූජාව පිරිසුදුව තබා දෙවියන්ට භාරකළ විට උන්වහන්සේ සුවඳ ආඝ‍්‍රාණය කොට සතුටු වෙයි. පූජාව තබන්නා යම් අරමුණක් වෙනුවෙන් එය කළේද, ඔහුගේ අරමුණු අදහස්ද මුදුන් පැමිණ වේ. පිහිට, දේවාශිර්වාදය හිමි වේ.

මේ හේතුව නිසා නඩු හබයක් ළංවූ විටත්, සතුරු උපද්‍රව පැමිණි විටත්, දියුණුව, ආරක්ෂාව පතාත් බැතිමත්තු පූජා තබති.

කතරගමට එන විට මග දෙපසම පූජා වට්ටි කඩ දස දහස් ගණනකි. සමහර බැතිමත්හු නිවසේ සිට පූජා වට්ටි සඳහා පලතුරු හා කැවිලි රැුගෙන එන අතර වැඩිදෙනා කතරගමදීම පූජාවක් සූදානම් කර ගැනීමට කටයුතු කරති. ඒ අනුව කුඩා මල්වට්ටියක් තරමේ යන්තමට හැදු පූජා වට්ටිය රුපියල් 350/= ට ඉහළ බව අපි දුටිමු.

හොඳ ඇඹුල් කෙසෙල් ඇවරියක් දෙකක්, අඹ ගෙඩියක්, කොමඩු ගෙඩියක්, තැඹිලි ගෙඩියක්, දිවුල් ගෙඩියක්, අන්නාසි ගෙඩියක්, ජම්බෝල ගෙඩියක්, උක්පුරුක් කෑල්ලක්, නාරං ගෙඩියක් සමග කැවිලි 7 ක් තබා හදන පූජා වට්ටිය කතරගමදී රුපියල් 1000  - 1500 ට පවා ඉහළ යයි. මෙය එකම ව්‍යාපාරයකි.

08කහ වතුරෙන් පලතුරු සෝදන්නේ පිරිසුදු බව සඳහාය. උදේ පාන්දර හදාගන්නා කහ වතුර බේසමින් රෑ වෙනතුරු පලතුරු සෝදයි. අලූත් කර ගැනීමක් නැත. පැයක් දෙකක් යන විට පලතුරුම සෝදා කහ වතුර භාජනය කළු වී මඩ වතුරක් තරම් ජරාවට පත්ව තිබේ. පඬුරු, බුලත් පවා එම කළුපාට වතුරින්ම සෝදා පූජා තබන්නා අත තබයි.

මේ බොහෝ පලතුරු කාබයිට් ආදී වස විෂ දමා ඉදවන අතර මැළවී පරවුණු කෙසෙල්, අඹ, ජම්බල බැතිමතුන් අතට ලැබේ. කැවිලි හතෙන් එකක් වත් කට තබන්නට නොහැකි දුර්වල මට්ටමක පවතී. බැතිමතුන්ට ”අප්පිරියාව” දැනෙන අපිරිසිදු හා දුර්වල කැවිලි පලතුරුවලින් දෙවියන්ගේ පිහිටක් කොයින්ද?
පූජා වට්ටියක් හරියට තබනවා නම් එය ගෙඩි පූජාවක් ලෙස ගෙනැවිත් මාළිගාවේදී (දේවාල බිමදී) කැපීම කළ යුතුය. එවිට දෙවියන්ගේ ආඝ‍්‍රාණයට වඩා හොඳ පසුබිම සැකසේ. මෙය දන්නා එක්තරා කොටසක් මාලිගාවේදීම පලතුරු කපා එතැනම පූජාව තබති. මෙයින් දේව ආශිර්වාදය වැඩි බව දැඩි විශ්වාසයකි.

කඩපිල්වලදී මඩ වගුරුවල, කුණු කාණු උඩ දුර්වර්ණවූ අපවිත‍්‍ර ජලයෙන් පලතුරු කැපීමෙන් ඒවා දේව ආඝ‍්‍රාණයට පහසුවක් වේද? දෙවියන් පිළිගනීද? යන්න කල්පනා කළ යුතුය. වෙළෙඳසල සිට පූජා වට්ටිය රැුගෙන එන දිගටම දුෂිත වූ පරිසරයන් (කෙළ ගැසූ ඉඳුල් විසිකළ) පරිසරය පාගාගෙන ඒමට සිදුවේ.

පලතුරු කපා පූජා වට්ටිය සාදාගෙන දේවාලයට පිවිසෙන කාලය වන විට පලතුරුවල සුවඳක් නැත. දෙවියන්ට පූජාව තබන අවස්ථාව වන විට පූජාවේ පලතුරුවල ස්වභාවික සුගන්ධයක් නැත. එසේ තබන පූජාවක ප‍්‍රතිඵලය දුර්වල ය.

බැතිමතුන් පූජා තැබීමේදී එහි නියම ඵල ලැබිය හැකි පරිදිම පූජා කටයුතු සිද්ධ කළ යුතුය. කතරගම දෙවියන් මහේශාඛ්‍ය මෙන්ම දැනුමැති දෙවි කෙනෙක් බැවින් භක්තිමත්ව බැතිමතා දෙන පූජාව කවර තැනෙක කපා ගෙනාවද භාරගනී. එහෙත් බැතිමතුන් තමන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් දෙන පූජාව කවර ලෙස තැබිය යුතුද යන්න වඩා සිහිකටයුතු ය.

 

05


මැණික් ගඟින් නා පිරිසුදුව, පුච්චන ලද දෙහි හිස ගා කතරගම දෙවියන්ගේ බිමට ප‍්‍රවිශ්ඨ වේ නම් එවැනි අයට පිරිසුදුවම දේව ආශිර්වාදය හිමි වේ.  හවස හතරට පහට කතරගමට ඇවිත් රාත‍්‍රියේ ගහක් යටට වී වැටෙන්නට මත්පැන් බී දඩමස් කා කුණුහරුප දෙසාබා උදේ පාන්දර පූජා වට්ටි රැගෙන පූජාව තියන අයට කවර පිහිටක්ද?

අද කතරගම පූජා වට්ටි තියන්නට එන සමහර අය එක්කෝ හොඳට බෝතල් තුන හතරක් හිස් කරති. නැත්නම් කුණුහරුප කියාගෙන නගරයේ හැසිරෙති. සොරකම් කරති, ගැට කපති.

මාළු මස් බැදගෙන පුච්චාගෙන කති.

ඉහේ සිට දෙපතුළ දක්වා අපිරිසුදු අයගෙන් කතරගම පිරෙන විට දේව ආශිර්වාදයට වඩා දේව ශාපයට තමන් සමීප බව කල්පනාවට ගත යුතුය.


 

03