කතරගම පෙරහර බලන රාළගේ අවුරුද්දක වැටුප රුපියල් දෙකයි ශත අසූදෙකයි


 

 

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු 7 වැනිදා ඇරැඹී අගෝස්තු 21 වැනිදායින් අවසන් වේ. අවසන් මහ පෙරහැර අගෝස්තු 20 වැනිදා පැවැත්වේ. මෙවර පෙරහැර මංගල්‍යය නැරඹීමට ලක්ෂ සියයක් පමණ බැතිමතුන් පැමිණෙනු ඇති බවට විශ්වාස කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, රුහුණු මහා කතරගම දේවාල පෙරහැරේ ජනාධිපති විශේෂ මෙහෙයුම් කමිටුවේ ප‍්‍රධානි පද්මසිරි රාජපක්ෂ මහතා පැවසීය.

”මේ රුහුණු මහා කතරගම දේවාලය පිහිටුවලා ඉරහඳ පවතින තුරු පෙරහැර පැවැත්විය යුතු බවට දුටුගැමුණු මහ රජතුමා රාජාඥාවක් නිකුත් කළා. ඒ වෙනුවෙන් නිල පඬුරු හා ප‍්‍රවේණි පඬුරු කියලා තනතුරු පන්සිය පනස් පහක් ඇති කළා. අපි තවමත් ඒ වගකීම කිසිම දවසක කඩ කරලා නෑ. රටේ මොන ප‍්‍රශ්න තිබුණත් පෙරහැර පැවැත්වුණා...” රුහුණු මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක මහතා පැවසීය.

 සොමිපාල ටී රත්නායක
 
පද්මසිරි රාජපක්ෂ
 
සේපාල තිඹලත් රත්නායක

අපේ මතකය 1987 න් ඇරැඹි භීම සමයට දිව යයි. එම යුගයේදී පෙරහැරට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය. එහෙත් පෙරහැර නොනැවතිණි. රජුගේ අණට කීකරුව, කවර දුෂ්කරතා ඉදිරියේ වුවද පෙරහැර සිරිත් පරිදි පැවැත්විණි. එමෙන්ම ඉකුත් යුද සමයේදී කතරගම හා ආශ‍්‍රිත ප‍්‍රදේශ කොටින්ගේ ග‍්‍රහණයට හසුවී තිබිණි. යාබද බූන්දලදී බස් බෝම්බ පුපුරා ගියේය. කතරගමට ද ත‍්‍රස්ත බිය දැනුණි. එහෙත් පෙරහැර නතර නොවිණි.

”ඒක තමයි හාස්කම කියන්නේ” සොමිපාල ටී රත්නායක මහතා කීවේය.

කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ලබන්න නම් සිත කය වචනය යන තුන්දොරම පිරිසිදු විය යුතුයි. මම නම් කියන්නේ අඩුම තරමින් දින තුනක්වත් පේවිය යුතුයි. මත්පැන් වලින් මෙන්ම මස් මාංශයෙන්ද වෙන්විය යුතුයි. දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත් පමණයි. එහෙම නොවුණු මගේ ගෝල කපුරාලලාටත් දඬුවම් ලැබුණා. සමහර අය මෙලොවින් ගියා.” සොමිපාල ටී රත්නායක මහතා පවසයි.”මේ ගෙවෙන්නේ දේවාලයට සම්බන්ධ මගේ පනස් හත්වැනි අවුරුද්දයි.” සොමිපාල ටී රත්නායක මහතා අලූත් මාතෘකාවට මුල පිරුවේය.

”මම දේවාලයට යනවා නම් අඩුම තරමින් සතියක්වත් පේවෙනවා. දෙහි කපලා ස්තෝත‍්‍ර කියලා ස්නානය කරනවා. එහෙම කරලා තමයි මම දේවාලයට යන්නේ...” ඔහු කීවේය. රුහුණු මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී රත්නායක මහතාගේ මව මිය ගියේ ඇසළ පෙරහැර ආසන්න සමයේදීය. මවගේ අවසන් කටයුතු සඳහා සහභාගි වුවහොත් පෙරහැර මංගල්‍යයට සහභාගි විය නොහැකිය. පෙරහැර මංගල්‍යයට සහභාගි වන බවට දෙවියන් හමුවේ පොරොන්දු වී සිටින ප‍්‍රධාන කපු මහතාට ඒ පොරොන්දුව කඩ කළ නොහැකිය. ඔහු කරන්නට ඇත්තේ කුමක්ද?

”ඔව් මවගේ අවසන් කටයුතුවලට සහභාගි වුණා නම් මට දේවාලයට යන්න බැරි වෙනවා. අපි විශ්වාස කරනවා දෙවියන් විෂබීජවලට බයයි කියලා. ඒ නිසා අම්මගේ අවසන් කටයුතුවලට සහභාගි වුණේ නෑ. ඒ විතරක් නොවෙයි, ඔය හේතුව නිසාම මට මගේ බාප්පගේ අවසන් කටයුතුවලට සහභාගි වෙන්නත් බැරිවුණා. අපි මේ කටයුතුවලට පේවිලා ඉන්නේ ඒ තරම්ම ආධ්‍යාත්මිකවයි...” සොමිපාල ටී රත්නායක ප‍්‍රධාන කපු මහතා කීවේය.

ප‍්‍රධාන කපු මහතාගේ බාප්පා යනු රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර බලන රාළ වන සරත් සේපාල තිඹලත් රත්නායක මහතාගේ පියාය. සේපාල තිඹලත් රත්නායක මහතා කියා සිටියේ මෙබඳු කතාවකි.

”දේවාලයට යනවා නම් අපි මාසයක්වත් පේවෙනවා. දෙහි යුෂ මිශ‍්‍ර වතුර නාලා කිල්ලට හසු නොවී සිටිය යුතුයි. දවස් පහළොවක් දෙවියන් වැඩමවීමේ වගකීම තියෙන්නේ මට. ඒ නිසා මම මගේ තාත්තාගේ අවසන් කටයුතුවලට සහභාගි වුණේ නෑ.

රුහුණු මහා කතරගම දේවාලයේ කපු මණ්ඩලය දොළොස් දෙනෙකුගෙන් සමන්විතය. රාජකාරි මණ්ඩලය දහ අටකි. රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර බලන රාළ සරත් සේපාල තිඹලත් රත්නායක මහතා පැවසුවේ කපු මණ්ඩලයේ දොළොස් දෙනෙකු සිටිය යුතුද දැන් සිටින්නේ පස් දෙනෙකු බවය.
”ගෙවද්දන බලය තියෙන්නේ බස්නායක නිලමේ තුමාටයි. පෙරහැර අවසන් වූ පසු බස්නායක නිලමේතුමා තුණ්ඩු දමලා අවුරුද්දේ මාස දොළහට අපේ වගකීම් පවරනවා. ඒ වෙනුවෙන් වාර්ෂික වැටුපක් අපට ගෙවනවා...” පෙරහැර බලන රාළ කපු මහතා කීවේය.

ඔවුන්ගේ වැටුප කොපමණක්දැයි දැනගතහොත් ඔබ නියත වශයෙන්ම විමතියට පත්වනු නිසැකය.

”අපේ වාර්ෂික වැටුප රුපියල් දෙකයි ශත අසූ දෙකයි. දෙවියන් වඩම්මනවාට රුපියල් හතරයි ශත පනහක් ගෙවනවා. ඒවා රජකාලේ ඉඳලා එන චාරිත‍්‍ර. ලෝකය කොච්චර වෙනස් වුණත් ඒ චාරිත‍්‍ර වෙනස් කරන්නේ නෑ.” පෙරහැර බලන රාළ කපු මහතා කීවේය.

රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ මව වන විහාර මහා දේවියගේ ජාත භූමිය කතරගම යැයි සැලකේ. කතරගම දස මහ රජ පරපුරට අයත් කුමාරිකාවක වූ විහාර මහා දේවිය කාවන්තිස්ස රජතුමා විවාහ කර ගැනීමත් සමග රුහුණ හා කතරගම අතර සම්බන්ධය යළිත් අලූතෙන් දලූලා වැඩෙන්නට පටන් ගනී. ඒ වන විට කතරගම රාජධානිය විනාශ වී තිබිණි. එයට හේතුව වූයේ මහානාම රජතුමාගේ මුණුපුරෙකු වන ගෝඨාභය විසින් දස බෑ රජවරුන් විනාශ කිරීම හෙයිනි. දස බෑ රජවරුන් ජනයා අතර කෙතරම් ආදරයට හා ගෞරවයට පාත‍්‍රවී සිටියේද යත් එම රජවරුන් ඝාතනය කිරීම නිසා ඇවිළී ගිය ජනතා උද්ඝෝෂණය හමුවේ පසුබා ගිය ගෝඨාභය කළ පවු සමා කිරීමට වෙහෙර විහාර 500 ක් ඉදිකළ බවද මූලාශ‍්‍රයන් හි සඳහන්ය. එසේ බිඳවුණු රුහුණු හා කතරගම අතර සම්බන්ධය යළිත් අලූත් වූයේ කාවන්තිස්ස හා විහාර මහා දේවි සරණ මංගල්‍යයෙනි. කාවන්තිස්ස හා විහාර මහා දේවි විවාහයෙන් ලොවට උපන් දුටුගැමුණු කුමරා එළාර සමග කළ සටන ජය ගැනීම සඳහා කතරගම දෙවිඳුන්ට බාරයක් වූ බව ජනප‍්‍රවාදයන්හි සඳහන්ය. ඒ බාරයේ මහිමයෙන් රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා යළිත් කතරගමට පැමිණෙන්නේ කතරගම දෙවියන්ට වූ බාරය ඔප්පු කිරීමටය. ඒසමයෙහි කතරගම දෙවිඳුන් වැඩ සිටි කන්දේ වැඩ සිටි බවත් කතරගම දෙවිඳුන් හා දුටුගැමුණු මහරජ අතර හමුව එහි සිදුවූ බවත් සඳහන්ය. වැඩ සිටි කන්දේ සිට දුටුගැමුණු මහ රජතුමා මුදාහල ඊතලය වැටුණු ස්ථානයේ දේවාලයක් කරවා එය කතරගම දෙවිඳුන්ට පූජා කළ බවත් සඳහන්ය. අද ඔබ බැතින් පිරී ගිය හදවතින් ඇතුළත් වන්නේ දුටුගැමුණු මහ රජතුමා ඉදිකර කතරගම දෙවිඳුන්ට පූජා කළ අසිරිමත් පින් බිමටය.

තව කොටසක් ලබන සතියේ

 

 


සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

ඇසළ පෙරහර වෙනුවෙන් පේවෙන කතරගම