කනත්තේ සෙල්ලම්


සුවසේ නිදිගත් මළවුන් පවා නැගිටවමින් බොරැල්ල කනත්තේ කෙරෙන නින්දිත ජාවාරමක් පිළිබඳව ඉකුත් දිනෙක නෙත් එෆ්.එම්. බැලූම්ගලින් කරුණු හෙළිදරව් කෙරිණි. එකී ජාවාරම් එයාකාරයෙන් සිදුවෙන බවට සාක්‍ෂි ඇතැතිව බැලූම්ගලින් කළ ඒ හෙළිදරව්වට අනුව බොරැල්ල සුසාන භූමියේ දී මළවුන්ගේ අයිතිය පවා නරුම ලෙස ගිලගන්නා බව අනාවරණය විය.බොරැුල්ල සුසාන භූමියේ වළවල් මිනී ඔළු ඇටකටු සිට මළවුන් වෙනුවෙන් අවසන් ගෞරවය දැක්වීම පිණිස මිනීවළ උඩ ගෙනැවිත් තබන මල් වඩම යවා යළි මිල කිරීම මෙහිදී සිදුවේ. නෙත් එෆ්.එම්. බැලූම්ගල නිෂ්පාදක කණ්ඩායමේ චාමික බොරැුල්ල සුසාන භූමියේ මිනීවළවල් විකිණීමේ ‘‘අත යට ගනුදෙනුව’’ පිළිබඳව තොරතුරු සොයද්දී නෙත් එෆ්.එම්. ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය කළමනාකාර නිලූප මිනී ඔළු, ඇටකටු හා මල්වඩම් විකිණීමේ ජාවාරමේ තොරතුරු සොයා ගියේය. චාමික තොරතුරු සොයායාමේ කාර්යයේදී ඔහුගේ සහායකයා වූයේ බැලූම්ගල කණ්ඩායමේ රංගනය. නෙත් එෆ්.එම්. බැලූම්ගල කණ්ඩායම වෙත ලැබුණු තොරතුරකින් කියැවුණේ බොරැල්ල කනත්තේ මිනී වළවල් විකුණන ජාවාරමක් පිළිබඳවය. මිනී වළවල් මෙන්ම මිනී ඔළු ඇටකටු හා කනත්තට ගෙනෙන මල්වඩම්ද නැවත විකිණීම පිළිබඳව මේ තොරතුරේදී කියැවිණි. මළවුන්ගේ අයිතිය විකුණාගෙන කන ජාවාරම සොයා යාමේ වගකීම චාමිකත් නිලූපත් දෙවුර දරා ගත්හ. බොරැල්ල කනත්තේ අදාළ නිලධාරියකු යා කරන පාලම තනාගත යුත්තේ තැරැව්කාරයකු හරහාය. ගනුදෙනුව ‘‘අවුලක්’’ නොවී විශ්වාසදායී වන්නේ තැරැව්කරුවකුගේ මැදිහත්වීම මතය.චාමික තැරැව්කරුවකු සොයා ගියේය. ඒ ගීත් යන නමිනි. අයියේ අපේ පවුලේ අයට බොරැල්ල කනත්තෙන් මිනී වළක් ගන්නට  ඕනෑ. පුළුවන්ද වැඬේ කරල දෙන්නට... තැරැව්කරුවා තමා සොයා ආ තරුණයා දෙස ගැඹුරු බැල්මක් හෙලූවේය වළ මොකටද මල්ලි... විමසිලිමත් බැල්මක් තරුණයා වෙත හෙළමින් තැරැව්කරුවා විමසුවේය. දන් නැද්ද අයියේ අපේ අම්මලා තාත්තලා කියන්නේ පරම්පරාවටම පොඩි ගෞරවයක් ඇතුව වැළලෙන්ට ඒක වටිනව කියලා. අම්මගේ තාත්තාගේ වුවමනාවටම තමා මේක කරගන්න පුළුවන්ද බලන්නේ. චාමික කතාවෙන් කතාව තැරැව්කරු සමග හිතවත්කමත් ගොඩනගා ගත්තේය. මෙහෙමයි මල්ලි කනත්තෙ මහත්තයා එක්ක කතාකරල ඉන්න  ඕනෑ. බැරිවෙන එකක් නෑ. ගණන් අහන්න  ඕනෑ මහත්තයාගෙන්ම තමයි. වළ මිලදී ගැනීම ඊට අදාළ විය යුතු කොන්දේසි කිහිපයක්ද චාමික ඉදිරිපත් කළේය. මට පිටකෝට්ටේ ගෙයක් තියෙනවා. ඒත් පදිංචිය මතුගම. තව හෝමාගමත් ගෙයක් තියෙනවා. ඒත් මට වළ ගන්න  ඕනෑ මතුගම ගෙදර ලිපිනයට. ඒත් මම දන්න විදිහටනම් නතයානුකූලව බොරැල්ල කනත්තෙන් වළක් ගන්න පුළුවන් කොළඹ මහනගර සීමාවේ අයට විතරයි නේද? චාමික විමසුවේය. නෑ... නෑ... බයවෙන්ට දෙයක් නෑ. කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. එහිදී තැරැව්කරු ගනුදෙනුව සිදු වනතුරුම වරින් වර චාමිකට දුරකථනයෙන් කතා කළේය. අවසානේ තැරැව්කරුගේ මග පෙන්වීම අනුව චාමිත කනන්තේ අදාළ නිලධාරියා මුණගැසුණේය. චාමික සමග රංගන ද ඒ ගමනට එක් වුණේ චාමිකගේ ඥාති සොහොයුරකු ලෙසිනි. මේ දෙදෙනා නිලධාරියකු හමුවූහ. මගේ ලොක්කා මේ දවස්වල ඉස්පිරිතාලේ. මාර වැඩ ගොඩක් අද තියෙන්නේ. අදාළ නිලධාරියා චාමික හා කතා බහ පටන් ගත්තේ එසේ පවසමිනි. පසුව අදාළ නිලධාරියා මෝටර් සයිකල් දෙකකින් චානක හා රංගන බොරැල්ල කනත්තේ වළක් ළඟට කැටුව ගියේය. අර තියෙන්නේ අහවල් දේශපාලනඥයාගේ වළ. එතන ඉඳන් මීටර් 20 ක් විතර එහායින් තියෙන්නේ එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ වළ. ඔයාට දෙන්ට පුළුවන් මේ වළ. 9-4 වළක්. මේක හොඳට භූමදාන කටයුතු කරන්න පුළුවන් වළක්. තව වළවල් නම් තියෙනවා. ඒත් ඒවා අඩි එකහමාරක් කපද්දි වතුර පිරෙනවා. මේ හරියට කියන්නේ බොරැල්ල කන්තේ කුරුඳුවත්ත කියලා. මේක තමා බොරැල්ල කනත්තේ ස්ටාර් පොයින්ට් එක. අපේ රටේ ලොකු ලොකු මිනිස්සු ගායක ගායිකාවෝ ජනාධිපති ලේකම්වරු විතරක් නෙවෙයි පාතාලේ අයත් මෙතන වැළලිලා තියෙනවා. අදාළ නිලධාරියා බොරැල්ල කනත්තේ කුරුඳුවත්ත පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය. එතකොට මේ වළට දැනට අයිතිකාරයෙක් නැද්ද. චාමික ඊළඟට විමසුවේය. මේ වළ අයිතිකාර අය නුවර පදිංචියට යනවා. ඒකයි මේ වළ විකුණන්නේ. අපි නීතිඥ මහත්තයෙක් ඉස්සරහම අත්සන් කරල මේ ගනුදෙනුව ඉවරයක් කරමු. එතකොට ගණන කොච්චරක් වෙනවද? තුන් ලක්‍ෂ විසිපන්දාහයි. ලක්‍ෂ පහට හතට ඊටත් වඩා ගණන් වලටත් වළවල් තියෙනව. අපට බොරැල්ල කනත්තේ කවුරුත් වළලා නැති තැනක් ගන්ට පුළුවන්කම තියෙයිද? කනත්තේ තියෙන ලොකු ගහක් කපලා එහෙම තැනක් දෙන්ටත් පුළුවන්. නිලධාරියා පැවසුවේය. ඒ පසුපස තවත් ජාවාරමක් ක‍්‍රියාත්මකය. රාති‍්‍රයේ හොර රහසේ ගසක් කැපුනු විට හුළඟට හෝ ස්වභාවික විපතකට එම ගස වැටුණු බව දැක්වීමක් එම ගස විකුණමින් එම මුදලද තම මඩියටම බැරකර ගැනීමත් මේ ජාවාරමේ තවත් අංගයකි. කිසිම නීති විරෝධී කටයුත්තක් සිදු නොවන බව හඟවමින් නිලධාරියා දිගින් දිගටම අදාළ ගනුදෙනුව පිළිබඳව කතා කරමින් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ අත්තිකාරම් මුදලක් ඉල්ලා සිටියේය. ඉස්සරලම ලක්‍ෂ එකහමාරක් දෙන්න. අපි ඩොකියුමන්ට් එකක් දෙන්නම්. ඔයාගේ නමට වළ දෙන්න මාස දෙකතුනක් විතර යයි. මෙහෙමයි මාස දෙක තුනක් ගියාම ඔයා පොලිසියට පැමිණිල්ලක් දාන්න මගේ නමට බොරැල්ල කනත්තෙ වළක් තියෙනව මේකයි ඔප්පු අංකය. දැන් ඔප්පුව අස්ථානගත වෙලා. මට ඒකේ පිටපතක් කොළඹ මහ නගර සභාවේ අදාළ අංශයෙන් ලබාගන්න අවශ්‍යයි කියලා. එතකොට ඔයාගේ නමට ඔප්පුවක් හැදෙනවා. ගනුදෙනුව ඉවරයි එතකොට. ගනුදෙනුව වෙන දවසට අයිතිකාරයා එන්නේ නෑ. එසේ පවසමින් නැවත තම කාර්යාලට ගිය නිලධාරියා වළේ අංකය 4I/J14 බවත් ඔප්පු අංකය 4610 බවත් පැවසුවේය. බොරැල්ල කනත්තේ සැබෑ අයිතිකරු සොයා ගන්නට චාමිකට ඒ දත්ත ප‍්‍රමාණවත්ය. ඒ සිතුවිල්ලෙන් එහාට හැරෙද්දි අදාළ නිලධාරියා රුපියල් ලක්‍ෂ එකහමාරේ අත්තිකාරම් මුදල ඉල්ලා සිටියේය. අපේ බාප්පා ඉස්පිරිතාලේ. දැන් ඉස්පිරිතාලේ යන්න  ඕනෑ. මේ වෙලාවේ සල්ලි දෙන්න විදිහක් නෑ. අපි වැඬේ සඳුදාට කරමු. ඔයාලා සැටිස් ද වැඬේට. ඔව් එසේ පැවසූ චාමිකත් රංගනත් අනතුරුව පැමිණියේ කොළඹ මහනගර සභාවේ අදාළ අංශය වෙතය. බොරැල්ල කනත්තේ වළේ අංකය හා ඔප්පුවේ අංකය අනුව පිරික්සද්දී සැබෑ අයිතිකරුගේ ලිපිනය අනාවරණය විය. 12/21 රොඞ්නි වීදිය, කොළඹ 08 යනුවෙන් ඒ ලිපිනය සඳහන්ව තිබුණි. අදාළ දත්ත ඉදිරිපත් කරමින් චාමික කොළඹ මහ නගර සභාවේ අදාළ අංශයන් ලිපිනය ඉල්ලද්දී කොළඹ මහ නගර සභාව ඊට අවශ්‍ය කාරණයකට බොරැල්ල සුසාන භූමියෙන් විමසීමක් කළේය. එම විමසීමෙන් අදාළ නිලධාරියා බියට පත්විය. ඔහු චාමිකට දුරකථන ඇමතුමක් ගත්තේය. ඔයා කාටහරි මේ ගැන කීවාද? මගෙන් ලොක්කත් ඇහුවා. අදාළ නිලධාරියාගේ කටහෙඬ් තිබුණේ බියපත් බවකි. නෑ නෑ මම කීවේ නෑ... අදාළ නිලධාරියාට පැවසූ චාමික සැබෑ අයිතිකරුගේ ලිපිනය ඔස්සේ ඔහු සොයා ගියේය. අයිතිකරු මුණගැසුණි. අපි වළ කීයටවත් විකුණන්නෙ නෑ. අපේ පරම්පරාවටම තියෙන වළ මේක. ඔහු කීවේය. සියල්ල මෙතෙක් සිදුවූයේ අයිතිකරු නොදැනුවත්ව බව එයින් පැහැදිලි විය. මේ සියලූ කතාබහ පටිගත වී තිබුණත් බැලූම්ගල වැඩසටහනින් අදාළ නිලධාරියා විමසද්දී ඔහු ප‍්‍රකාශ කළේ එහෙම කරන්නෙ නෑ යනුවෙනි. එහෙත් මෙය ප‍්‍රබන්ධයක් නොව කාලයක් මුළුල්ලේ බොරැල්ල කනත්තේ කෙරෙන ජාවාරමකි. මිනී ඔළු මිනී ඇටකටු ජාවාරම සොයාගෙන නිලූප ගියේ ගුරුන්නාන්සේ කෙනෙක් විදිහටය. සාමාන්‍යයෙන් මිනී ඔළුවක මිල රුපියල් දෙදහසක් පමණ විය. ඇටකටු රුපියල් 2000-5000 අතර මිල ගණන්වලට ලබාගත හැකිය. හදි හූනියම් කොඩිවින යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන කට්ටඞීන් මේ ජාවාරමේ ගැනුම්කරුවන් බවට පත්ව සිටියි. මහත්තයා වැඬේ කරලා දෙන්නම් හැබැයි සිකුරාදා හවසට. එදාට ලොක්කො නෑ. අපට ලේසියි. ඒ මිනීඔළු හා ඇටකටු ජාවාරම සොයා ගිය නිලූපට ලැබුණු පිළිතුරුයි. බොරැල්ල කනත්තට ගෙනෙන මල්වඩම්වල ඇති මල් ගලවා ඒවා බොරැල්ල අසල මල් කඩවලට විකිණීමද මෙහි සිදුවෙන තවත් ජාවාරමකි. ඇතැම්විට පෙම්වතකු පෙම්වතියක දෙන මලක් මල් පොකුරක් නැත්නම් මංගල කටයුත්තකට ගන්නා මල් බොරැුල්ල කනත්තේ මල් වඩමකින් ගැලවී ආ මලක් වීමේ සම්භාවිතාව පැවතීම නොවැළැක්විය හැක්කක් බව මේ අනුව පෙනී යයි. එමෙන්ම යකඩ කම්බි ආදියෙන් යුතු මල් වඩම් ආකෘතියද මේ ජාවාරමේදී මිල කළ හැකි දෙයකි. එයද විකිණෙයි. එමෙන්ම කොඩිවින සඳහා මෑතකදී භූමිදානය කළ මිනීවළවල් උඩ බිත්තර වැළලීමද එම කටයුතුවල නියැලෙනවුන්ගේ අවශ්‍යතාවකි. අතට ගණනක් දී එයද බොරැුල්ල කනත්තෙන් ඉටුකර ගත හැකි තවත් සේවාවකි. අක්කර 50 කට නොඅඩු විශාල භූමියක විහිදී පැතිරී ඇති මළවුන්ගේ මේ නිවහන යනු තවත් අතකින් තක්කඩි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයකි. රැහැයියන් හඬන පාළු අඳුරු රාත‍්‍රියට බොරැල්ල කනත්ත තවත් එක් සමාජ විරෝධී ක‍්‍රියාවක නවාතැන්පොළක් බවට පත්වෙයි. ඒ මළවුන් නිදන සොහොන් පවා වීදි සරණ ගණිකාවන්ගේ එළිමහන් සයන බවට පත්වෙමිනි. ගණිකාවගෙන් සේවය ලබා ගන්නා තැනැත්තා ගෙවන මුදලින් කොටසක් මෙම ඉඩකඩ ලබාදෙන අයට ගෙවිය යුතු අතර අවශ්‍ය නම් නොමිලයේම රතිසුවය වුව ද ඔවුන්ට මෙම ගණිකාවන් වෙතින් ලබාගත හැකිය. බොරැල්ල සුසාන භූමියට අනුයුක්ත සියලූ නිලධාරීන් කම්කරුවන් මේ ජාවාරමේ කොටස්කරුවන් නොවිය හැකිය. එහෙත් ඉහත අනාවරණය කළ සියල්ල සත්‍ය වන අතර ඒ පිටුපස බොරැල්ල සුසාන භූමියේ ඇතැම් නිලධාරීන් කම්කරුවන්ද සිටින බවද සත්‍යයකි. නම් ගම් සහිතව බැලූම්ගල කළ මේ සියලූ හෙළිදරව් කිරීම්වලින් ඉනික්බිතිව කොළඹ මහනගර සභාවේ එක් ප‍්‍රධානියකුට ස්ථාන මාරුවීම් ලබාදුන් අතර එතැන වැඩ අධීක්ෂණය සඳහා වෙනත් අයෙකු පත්කෙරුණි. එහෙත් මේ අයුරින් නිලධාරීන්ගේ මාරුකිරීම් කළ පමණින් බොරැල්ල සුසාන භූමියේ අභ්‍යන්තරයේ නිලධාරීන්ගේද අනුදැනුම මත කම්කරුවන්ද එක්ව කරන මළවුන් පවා විකුණාගෙන කන තුට්ටු දෙකේ මහා පරිමාණ මේ ජාවාරම් නවතා දැමිය හැකිද? මේ ජාවාරම් හිඟන්නාගේ තුවාලය මෙන් සුවනොවන සමාජ පිළිල නොවේයැයි අපට විශ්වාස කළ නොහැකිය. අදාළ සියලූ නිලධාරීන්ගේ, අවධානය පිණිස අප මේ කරුණු යොමු කරන්නේ තමන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් හඬක් නගන්නට බැරි මළවුන් වෙනුවෙන්ද සාධාරණත්වය ඉටුවිය යුතුය යන නිගමනයේ පිහිටාය.

අපි අවධාරණයෙන් බලාසිටිමු.

නෙත් එෆ්.එම්. සහකාර සාමාන්‍ය අධිකාරි (ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය) කුල ශ්‍රී කාරියවසම් මහතාට අපගේ විශේෂ ස්තුතිය
සටහන - සංජීවිකා සමරතුංග / ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
බොරැල්ල සුසාන භූමියේ දර්ශනයක්