කන්ද උඩරට අධ්‍යාපන බලකොටුව


නාථ දේවාල පරිශ්‍රයේ තිබුණු බෝ ගස කපා හෙළීමත් සමග ඇරඹුණු, අපූරු කතාන්තරයක් සහිත සාරවත් ඉතිහාසයක් ධර්මරාජ විද්‍යාලයට හිමිය. 1880 මැයි 16 වැනිදා ලක්දිවට සැපත් වූ කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කොට් විසින් 1887 ජුනි 30 වැනිදා ස්ථාපිත කළ, පළමුවෙන් මහනුවර පිරිමි බෞද්ධ උසස් පාසල නම් වූ මෙම පාසලට පසු කලෙක ධර්මරාජ විද්‍යාලය යන නම ලැබිණි. කර්නල් ඕල්කොට් පාසලේ නේවාසිකාගාරයේ රැයක් පවා ගත කොට තිබෙන අතර ඊට පසු දින ඔහුට කරන්නට නියමිතව තිබූ කතාව සූදානම් කරගෙන ඇත්තේ එහිදීය.

නාථ දේවාල පරිශ්‍රයේ පාසල් ගොඩනැගිල්ල ඉදි කිරීමට සුදුසු ස්ථානයක් තෝරා ගැනුණ මුත් එම ඉඩමේ පූජනීය බෝ ගසක් තිබිණි. සංස්කෘතික උරුමය සඳහා සටන් වැදුණු ප්‍රමුඛ ප්‍රභුවරයකු වූ වඩුගොඩපිටිය පුංචිරාළ කෝරාළ එම ගස එකරැයින් කපා හෙළා ඉවත් කිරීමේ වගකීම භාර ගත්තේය. ඊට පසුදා උදෑසන පන්ති පැවැත්වීම සඳහා තාවකාලික සෙවණක් එතැන ඉදි කෙරිණි. කෙසේ වුවද මෙම ක්‍රියාව, බුදු දහමට එරෙහි වරදක් බව තීරණය කළ බ්‍රිතාන්‍ය පරිපාලනය වඩුගොඩපිටියගේ සියලු පදවි තානාන්තර ගලවා දැමුවේය. අද දවසේ ඔහුට ගෞරව පිණිස විද්‍යාලයේ ස්මාරකයක් පිහිටුවා තිබේ.

ඉන් අනතුරුව මෙම ඉඩමේ ශාලා සහිත ගොඩනැගිලි ඉදිකරන ලදී. එහි මුල් කාලීන විදුහල්පතිවරුන් වූයේ, සර් ඩී.බී. ජයතිලක, එච්. බෑන්බෙරි, විල්ටන් හැක්, සී.එස්. රාජරත්නම්, කේ.එෆ්. බිලිමෝරියා, පී. ද. ඇස්. කුලරත්න සහ එල්.එච්. මෙත්තානන්දය.

දුර දක්නා නුවණින් යුතු විදුහල්පතිවරයකු වූ කේ.එෆ්. බිලිමෝරියා (1902 – 1932), කළමනාකරණ සමාගම වූ බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය (BTS), ලේක් විව් වත්තේ අක්කර 37ක ඉඩමක් පාසැල සඳහා මිලදී ගන්නට කැමැති කරවා ගත්තේය. ඓතිහාසික, අර්ද්නාරී බංගලාව ද එම ඉඩම තුළ විය.

අද දක්වා විදුහල්පති නිල නිවාසය ලෙස මෙම බංගලාව ශේෂ වී පවතී. අද වනවිට මෙම විද්‍යාල භූමිය, ක්‍රීඩාපිටි, පිහිනුම් තටාකයක්, ශ්‍රවණාගාරයක්, ශිෂ්‍ය නේවාසිකාගාරයක් ආදියෙන් පරිපූර්ණ වී, අග්‍ර විනිශ්චයකාර ඇන්ටන් බර්ට්‍රම් විසින් ව්‍යාප්ත කරනු ලැබ මනරම් ධර්මරාජ කන්ද මත ස්ථාපනය වී තිබේ.

ධර්මරාජ කන්ද වැවට ඔබ්බෙන් පැහැදිලිව කැපී පෙනෙන අයුරින් දිස්වේ. මලබාර් වීදිය දිගේ ගොස් දකුණු පසට හැරුණු විට දුම්බර නිම්නය, මහවැලිය හා හන්තාන සමග ධර්මරාජ කන්ද දැකුම්කළු ලෙස දිස්වේ. මෙම කන්ද ස්වාභාවික දිය උල්පත්වලින් පොහොසත්ය. මේ වසර මුල දී ‘‘ලේක් විව් නැරඹුම් හල’’ විවෘත කෙරිණි. පසු කලෙක සුප්‍රසිද්ධ කවියකු බවට පත් වූ විමලරත්න කුමාරගම ශිෂ්‍යයකුව සිටි අවධියේ 1939 දී, The Rajan සඟරාවට ලියූ කවියක් ඉංග්‍රීසි අධ්‍යාපනය පැවැති යුගයේ, ස්වභාෂා චාතුර්යය හැඩ ගැස්වීමට පාසල දරන ලද උත්සාහයට සාක්‍ෂි දරයි.

මැනසින් ඔබේ ගුණ කඳසිහි කරන වි         ට
පැන එයි රිහිරි උණු වී ළය ඉදිරිය  ට
ගැන මා වෙහෙස වන ‘‘දම්රද’’ මව්නි සෙ  ට
පණ නල පුදා ඉන් සැනසෙන්ටැකිද ම       ට

විද්‍යාලයේ එක්තරා මුල් කාලීන සන්ධිස්ථානයක් වූයේ එවකට ලංකාවේ පළමු රජුගේ බාල දක්‍ෂයා (Kings Scout) වූ ඒ.බී. රඹුක්වැල්ල 1917 දී බිහි කිරීමය.

අඛණ්ඩව වසර තුනක් එනම් 1917, 1918 හා 1919 වසරවල ලොව වැඩිම රජුගේ බාල දක්‍ෂයන් බිහි කළ පාසැල වූයේ ධර්මරාජ විද්‍යාලයයි. ඒ වෙනුවෙන් දිනාගත් රජුගේ ධජය ගාලු මුවදොර පිටියේ දී අග්‍රාණ්ඩුකාරවරයා විසින් ප්‍රදානය කරන ලදී. තුන්වතාවක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ධර්මරාජ විදුහලේ සිසුවෝ නැවත තරඟ නොකිරීමට තීරණය කළෝය. පසුව බේඩ්න් පවල් සාමිවරයා විදුහලට සැපත් වූයේය.

1947 පළමු කැබිනට් මණ්ඩලයේ ධර්මරාජයේ අධ්‍යාපනය ලැබූ ඇමතිවරු තිදෙනෙක් වූවෝය. ඒ. රත්නායක, ඒ.ඊ. ගුණසිංහ සහ එහි ආදි ගුරුවරයකු වූ ටී.බී. ජයා ඒ තිදෙනාය. අනෙකුත් කැපී පෙනෙන ආදි ශිෂ්‍යයෝ අතර විලියම් ගොපල්ලව සහ සර් බෙනට් සොයිසා වූහ. 1937 න් පසුව සිටි අයගේ තවත් නම් රාශියක් ඊට එක් කළ හැකිවේ.

වසර 137ක් පුරා ධර්මරාජ විද්‍යාල්‍ය, අධ්‍යාපනයේ මහා බලකොටුවක්ව පැවතෙමින් ශාස්ත්‍රීය දැනුම පමණක් නොව, ඉන් නායකත්ව ගුණාංගත්, සංස්කෘතික හර පද්ධතියත් පෝෂණය කෙරිණි. ජීවිතයේ විවිධ ක්ෂේත්‍රවල වඩාත් ප්‍රබල බලපෑමක් කිරීමට යොමු වූ ශිෂ්‍ය පරම්පරා ගණනාවක් හැඩ ගස්වමින් එයින් ජාතියට මහඟු දායකත්වයක් දැක් වූයේය. ධර්මරාජ විදුහලේ උරුමය, එහි ප්‍රාරම්භකවරුන්ගේ සහ අධ්‍යාපනය ලබාදුන් භවතුන්ගේ දැක්ම යුග ගණනක් පුරා රැව් පිළිරැව් දෙමින් අඛණ්ඩව විභූෂිත වන්නේය!

ජය ජය ධර්මරාජ!

 

2024 ජුනි 30වැනිදා Sunday Times පුවත්පතේ පළවූ

Buddhist Theosophical heritage in the hill Capital

ලිපියේ පර්වර්තනය – සමන් පුෂ්ප ලියනගේ

(***)

අනිල් ඇල්ලෙපොළ