කඩුවෙල සංඛපිට්ඨි මහා විහාරය සහ ගොතටුව නව නගරයේ ඥානවිමලාරාමය යන උභය විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කඳුබොඩ අමරඤාණ නාහිමිපාණන් වහන්සේගේ 102 වැනි ජන්ම දිනය අද 9 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
කඩුවෙල නගර ආසන්නයේ පිහිටි සංඛපීඨය මහා විහාරය ගොතටුව නව නගර ඥාන විමලාරාම අභය විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අමරපුර සිරි සද්ධම්මාවංශ මහා නිකායේ කොළඹ දිස්ත්‍රික් සංඝ සභාවේ උප සභාපති ත්‍රිපිටකධර ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධම්ම විනයාචාරය පණ්ඩිත කඳුබොඩ අමරඥාන නාහිමියෝය. කඩුවෙල සංඛපීඨයේ විහාරයේ නායක පදවිය හොබවමින් ප්‍රදේශයට පමණක් නොව කොළඹ දිස්ත්‍රික්කය පුරා ගෞරවයට පාත්‍රව සිටිති.
අප කථානායකයාණන් උපත ලබන්නේ 1920 දෙසැම්බර් 09 වැනිදා, ගම්පහ කඳුබඩදීය. පීරිස් අප්පුහාමි හා පොඩිනෝනා දෙපළටම දාව උපත ලද මෙතුමාට පී.ඩී. ඩැනියෙල් ලෙස නම් තැබුණේ දරුවන් 08 දෙනෙකුගෙන් යුත් පවුලේ 05 වැන්නාටය.
කඳුබඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කළ අතර, පැවිදි වීමට තමන් වහන්සේ තුළ වූ දැඩි කැමැත්ත නිසාම මවුපිය අවසරය ද ලබා නාරම්පනාව මහා විහාරස්ථානයේ දී (1931) කඳුබඩ අමරඥාන නමින් පැවිදි වූයේ කලුපේ පඥසාර නායක හිමියෝ යටතේය.
1931 දී පැවිදි වූ දිනම නාරම්පනාව විහාරස්ථානයට වැඩම කර සිටි තොටගමුවේ විමලානන්ද හිමියන් හා තොටුගමුවේ ප්‍රේමානන්ද හිමියන් සමඟ මාතර කහට විහාරස්ථානයට පැමිණි අතර එහි සිට බලපිටිය සුගත සාසන්දන පිරිවනට ඇතුළත්ව අධ්‍යාපනය ලබන අතරතුර ගුරු හිමියන් බැහැ දැකීමට අවුරුද්දකට පමණ පසු නාරම්පනාව විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ නැවත මාතර නොයා මෙහිම නවතින ලෙස කොළඹ විද්‍යොදය පිරිවෙනට ඇතුළත්ව අධ්‍යාපනය කරගෙන යන ලෙස කලුපේ ප්‍රඥාසාර නායක හිමියන් දැන්වූයෙත් නාරම්පනාව පන්සලේ නැවතී විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වූ අතර කලුකෝඳයාවේ ප්‍රඥාසේකර මහනාහිමි යටතේ අධ්‍යාපනය ලැබූහ. මනා ශාස්ත්‍ර ඥානයක් ලබාගත් අතර, මාලිගාකන්ද විද්‍යොදය මහ පිරිවෙනේ දී ප්‍රවීණ විභාගය හා පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් විශිෂ්ට ලෙස සමත්වී, සිංහල, පාලි, සංස්කෘත ප්‍රකෘත වන්දෝලංකාර ඉතිහාස, පුරා විද්‍යාව ආදී විෂයයන් ද ත්‍රිපිටක ධර්මය ද මනා කොට හදාරා උන්වහන්සේ සද්ධම්ම විනයාචාර උපාධිය ද ලබා ගත්හ.
මෙකල විදෙස් ධර්මදාන සේවයේ යෙදීම සඳහා භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමත් දෙමටගොඩ පඨානඝර මහා විහාරස්ථානයේ ඇරඹිණි. මේ සඳහා ඇතුළත් වූ අප නාහිමියන් වහන්සේ නාරම්මල සිට යාමට ඒමට ඇති අපහසුතා නිසා කඩුවෙල කොතලාව සංඝ පීඨි විහාරයට වැඩම කළහ. එවකට විහාරාධිපති දූරය දැරූ පාදුක්කේ ජනවංශ නාහිමියන්ගේ ද විහාරාධිපති පොරේ ගෙදර ධර්මපාල හිමියන් යටතේ කටයුතු කරමින් සිටින අතරතුර 1952 ජනවාරි 04 වැනිදා කඩුවෙල නගරාසන්නයේ කැලණි නදියේ ඉදිකළ විශේෂ උදක්කුඛේප සීමාමාලකයේ දී උතුම් උපසම්පදාව ලැබූහ. ඓතිහාසික අතින් නුවර යුගයට අයත් චෛත්‍ය රාජයාණන්ගේ කොත පළඳවන ලද්දේ අප නාහිමියන් උපසම්පදාව ලද දිනයේදීමය.
රජයේ ගුරු සහතික පත්‍ර විභාගයෙන් සමත් වී හෝකන්දර රතන විද්‍යාලයේ ගුරු සේවයට එක් වූ උන්වහන්සේ 1960 විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේ දී උපාධිය ලබා ගත්හ. උපාධිය සමත් වීමෙන් පසු පූගොඩ, ලුනුගම, සිරිපැකුම්බා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස පත් වී පුරා වසර 27 තිස්සේ එම පාසලේ සේවය කළහ.
1988 අගෝස්තු 21 වැනිදා තම ගුරු දේවයන් වූ විනයාචාර්ය පොරේගෙදර ධම්මපාල හිමියන් අපවත්වීමෙන් අනතුරුව කඩුවෙල මහ පන්සල ලෙස ප්‍රකට සංඛ පීඨි මහා විහාරයේ විහාරාධිපතිත්වය භාරගත් උන්වහන්සේ ගොතටුව නව නගරයේ ඥාන විමලාරාමයේ විහාරාධිපතිත්වයට ද පත්වූහ. සිංහල පාලි සංස්කෘත ඉංග්‍රීසි භාෂා මනාව හැසිරවිය හැකි අප නාහිමියන් වරක් තායිලන්ත සංචාරයක දී සංස්කෘත භාෂාවෙන් කළ කථාවක් නිසා එරට රජතුමාගේ ප්‍රසාදයට පත් වූහ.
මේ අතරතුර ධර්මධූත මෙහෙවර වෙනුවෙන් තායිලන්ත, මියන්මාරය, සිංගප්පූරුව ආදී රටවල සංචාරය කරමින් ඒ රාජ්‍යවල ගෞරවයට ද පත් වූ උන්වහන්සේ 1979 ඔක්තෝබර් 07 වැනිදා ආරම්භ කරන ලද කඩුවෙල ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ ප්‍රධානාචාරවරයා ලෙස අද දක්වා නායකත්වය ලබා දෙනවා පමක් නොව ඉගැන්වීමද කරති.
වසර 175 ක් පුරා පැවැත්වෙන කඩුවෙල ධාතු පූජා මහ පෙරහරේ ප්‍රධාන අනුශාසකවරයා උන්වහන්සේය. දිය කැපීම, ගිනි පෑගීම, ගොටු තැබීම වැනි හින්දු චාරිත්‍ර අනුගමනය නොකර බුදුන් වහන්සේ වෙනුවෙන්ම පවත්වන ලංකාවේ එකම ධාතු පූජා මහ පෙරහර මෙයයි. අංගසම්පූර්ණ මහා විහාරස්ථානයක් වන මෙය චෛත්‍යය, බුදුගෙය, පැරණි බුදුගෙය, බෝධි රුක්ෂය ධාතු මන්දිරය, බණ මඩුව, දේව මන්දිර, සීමා මාලකය, තක්ෂිලා පිරිවන, සම්බුද්ධ ජයන්ති දහම් පාසල, සංඛ පෙර පාසල එෆ්‍්.එම්. ගුවන් විදුලි ආදී සියලු දෙයින් අනූන මහ විහාරස්ථානයේ අධිපත්වයන් දරමින් කරන මෙහෙය නිසාම තුන් නිකායේම මහ සංඝරත්නයේ නොමද ගෞරවයට පාත්‍ර වෙමින් තමන්ගේ ගුරුවරයා ලෙස සලකමින් කඩුවෙල ලොකු හාමුදුරුවන් ලෙස මහත් බැතියෙන් ප්‍රදේශයේ මහා සංඝරත්නය සලකති.
(***)
කඩුවෙල ප්‍රාදේශීය දහම් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්
චන්දන උපාලි පෙරේරා