මරණය නියත දහමකි. නොමියෙන කෙනෙක් මෙලොව ඉපදුණෙත් නැත. ඉපදෙන්නෙත් නැත. එහෙත් සම්මුති මරණය තුළ අත්දකින මරණයට වඩා වෙනස් ආකාරයක මරණයක් අත්විඳින හිමාලයේ වැඩ වෙසෙන යෝගීන් කය අත්හැර යාම පිළිබඳව වන කතාන්දරය ඒ සම්මුති මරණයට වඩා බොහෝ සෙයින් වෙනස්වෙයි.
![]() |
ප‍්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික‍්‍රමාරච්චි |
තමන් මෙලොව ජීවත්ව සිටින කාලය අවසන් වන විට යෝගීන්ට ඒ පිළිබඳව දැනෙන්නට පටන් ගනියි. මගෙන් යෝග ශාස්ත‍්‍රය ඉගෙනීමට පැමිණි මගේ ගෝල බාලයන්ට එම සියලූ ශිල්ප ශාස්ත‍්‍ර ඉගැන්වූයේදැයි විමසා බලයි. මා අතින් තව ඉටුවෙන්නට යුතුකම් වගකීම් ඇත්දැයි විමසා බලයි. එසේ විමසා බලා සියල්ල සම්පූර්ණ නම් කය අත්හැර යාමට තීරණය කරයි. සිත හා ශරීරය සම්බන්ධ වන්නේ ප‍්‍රාණය මගිනි.
සත්වයකු යනු ප‍්‍රාණය සිත සහ ශරීරය යන මේ අංග තුනේම එකතුවකි. මේ අවියෝජනිය සම්බන්ධයෙන් එක් පුරුකක් හෝ බිදීගිය විට මරණය සිදුවේ. එසේ බිදී යාම විෂයෙහි බොහෝ හේතුන් බලපෑ හැකිය. මේ අප දකින සම්මුති මරණයේ ස්වභාවයයි.
බොහෝ ඍෂිවරු තමා වැඩ වෙසෙන්නට ඇති ආයුෂ නිමාවෙන්නට කාලය අවසන් බව දැනගත් විට විශාල ලෙස හිම පැතිර ඇති ප‍්‍රදේශයක් වෙත ගොස් පද්මාසනයෙන් හිඳ ගනියි. එසේ හිඳ ධ්‍යානයකට සමවැදෙයි. ධ්‍යානසිත එක් තත්ත්පරයකටවත් පිරිහෙන්නට නොදී රැකගනිති. ඉනික්බිති මහපට ඇඟිල්ලේ සිට හිස් මුදුන දක්වා ඇති ප‍්‍රාණය දෙපතුලේ සිට ක‍්‍රමයෙන් ලිංගේන්ද්‍රියත් ගුදමාර්ගයත් අතර පිහිටා ඇති මූලාධාර නමැති නාඩි මධ්‍යස්ථානයට ඒකරාශි කරයි.
එසේ මූලාධාර නමැති නාඩි මධ්‍යස්ථානය වෙත ප‍්‍රාණය එක්රැුස් කළ විට සිරුරේ එතැනින් පහළ කොටස ප‍්‍රාණය නිරුද්ධ තත්ත්වයට පත්වේ. නොඑසේ නම් එතැනින් පහළ සිරුර මිය ගොසිනි. අනතුරුව මූලාධාර නමැති නාඩි මධ්‍යස්ථානය වෙත ඒකරාශි වී ඇති ප‍්‍රාණය ක‍්‍රමානුකූලව ශරීරයේ උඩට ගෙන යමින් කොඳුඇට පෙළේ අවසන් කොඳු ඇටය දක්වා ස්වාධිෂ්ඨාන නාඩි මධ්‍යස්ථානය වෙත ගෙනයයි.
ස්වාධිෂ්ඨාන නාඩි මධ්‍යස්ථානය වෙත එකතු කළ ප‍්‍රාණය අනතුරුව පෙකණිය කෙළින් පවතින මනිපුර නම් නාඩි මධ්‍යස්ථානය වෙතට ගෙනයයි. මෙසේ නාඩි
![]() |
![]() |
මධ්‍යස්ථානයෙන් නාඩි මධ්‍යස්ථානයට ප‍්‍රාණය රැගෙන ගිය විට ශරීරයේ කොටසින් කොටස අප‍්‍රාණික තත්ත්වයට පත්වේ.
පපුවේ හරි මැද කොඳුඇට ආශ‍්‍රිතව පිහිටා තිබෙන අනාහථ නාඩි මධ්‍යස්ථානය වෙත මනිපුර චක‍්‍රයේ සිට ඉනික්බිති ප‍්‍රාණය ගෙනඑනු ලැබේ. ඊට පසු අනාහථ චක‍්‍රයේ සිට ගෙළ මැද පිහිටි විසුද්ධි චක‍්‍රය වෙත එම ප‍්‍රාණය ගෙන එයි.
අතැඟිලි තුඩු සිට සිරුරේ සියලූ තැන්හි රැඳී ඇති ප‍්‍රාණය එකතු කොටගෙන පැමිණ වම් මොළය හා දකුණු මොළය මැදි කරගෙන දෙබැම මැද කෙළින් හිස මැදින් පිහිටා ඇති ආඥා නම් නාඩි මධ්‍යස්ථානය වෙත අනතුරුව ඒකරාශි කළ ප‍්‍රාණය ගෙන එයි.
ආඥා මධ්‍යස්ථානය වෙතින් ඊළඟට එම ප‍්‍රාණය පෙති දහසකින් යුත් නෙළුමක් සේ පිහිටා ඇතැයි කියන පෙති දහසකින් යුත් නෙළුමක් සේ දිස්වෙන්නේ යැයි කියන සහස්හර නාඩි මධ්‍යස්ථානය වෙතට ගෙන යයි.
අනතුරුව එම ප‍්‍රාණය නාඩි දහසකින් සැදුම්ලත් සහස්හර නාඩි මධ්‍යස්ථානයෙන් ශරීරයේ හිස් මුදුනේ පිහිටා ඇති බ‍්‍රහ්ම රන්දය හරහා ශරීරයෙන් උඩු අතට අභ්‍යාවකාශය වෙත ගෙන යයි.
”අවසානයේදී ඔළු කට්ට පුපුරලා යනවා. එක ක්ෂණයකින් ඔළුකට්ට පුපුරණ හඬත් ඇහෙනවා. ඒ සමග ප‍්‍රාණය අවකාශය වෙත මුදා හැරෙනවා. ඒත් ධ්‍යාන සිත පිරිහෙන්නෙ නෑ. හරියට නිදා සිටි කෙනෙක් සුවදායි ලෙස නින්දෙන් අවධි වුණා වගේ තමා එය පේන්නේ. මනුෂ්‍ය ලෝකයෙන් පිටමං වන සෘෂිවරුන් ඊළඟ භවය සොයාගෙන බ‍්‍රහ්ම තලයේ ඕපපාතිකව පහළ වෙනවා. මේ තමයි කය හැර යාම.
ඒ අර්ජුන වික‍්‍රමාරච්චි මහතාගේ හඬයි.
මේ කය හැරයාම අප දකින සම්මුති මරණයට වඩා වෙනස්ය. පරකාය ප‍්‍රවේශය අප කතා කළ යුතු තවත් පැතිකඩකි. ඒ පිළිබඳව අපි එළැඹෙන සතියේදී කතා කරමු.
සටහන - සංජීවිකා සමරතුංග