නුසුදුසු බොර තෙල් තොග මිලදී ගැනීම හා නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ මිල නියම කර නොගැනීම නිසා මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඇමරිකානු ඩොලර් මිලියන 90 කට ආසන්න පාඩුවක් විඳින්නට සිදුවූ බව විශ්ලේෂණයකින් හෙළිවී ඇතැයි යන පුවත නොබෝදා පළවූයේය.
පසුගිය සති කිහිපය ඇතුළත බොරතෙල් මිලදී ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යංශයට විවිධ මාධ්‍ය ඔස්සේ එල්ල වන දෝෂාරෝපණ බොහෝ ය. ප්‍රසම්පාදනවලින් පිටත බොරතෙල් මිලදී ගැනීම තෝරාගත් සමාගම්වලට බොර තෙල් මිලදී ගැනීමේ දී ප්‍රමුඛතාව දීම හා එකී සමාගම්වලට වාසි සලසාදීම ආදී චෝදනා ඒ අතර වේ.
මෙවැනි චෝදනා එල්ල වීමට බලපාන එක් ප්‍රධාන කාරණයක් වන්නේ විනිවිදභාවයකින් තොර බවයි. රටේ ආර්ථිකයට බලපාන මෙවැනි විශේෂ ගනුදෙනු විනිවිද පෙනෙනසුළු බවකින් යුතුව කිරීම අත්‍යවශ්‍ය ලෙසම සිදුකළ යුත්තකි.
පසුගිය මාස හය තුළ ලෝක බොරතෙල් මිල පරික්ෂා කළ විට තෙල් බැරලයක් ඩොලර් 120 ගණන්වල සිට 90 ගණන් දක්වා අඩුවී තිබෙන බව පැහැදිලිව දිස්වන්නකි. ජනතාව ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටියදී එවැනි මිල අඩු වීමට සාපේක්ෂව පාරිභෝගික මිල අඩු වීමක් සිදුවී ඇතැයි පෙනෙන්නට නැත. ඒ හේතුව නිසා විශේෂයෙන් තෙල් මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බව මහජනයා විශ්වාස කිරීම සාධාරණය.
තෙල් මිල අඩුවූ කාලසීමාව තුළ ලංකා ඉන්දියානු තෙල් සමාගම (IOC) අධික ලාබ ලබා ඇති බවටත් එම සමාගමෙන් නිසි බද්දක් අයකරගෙන නොමැති බවටත් විපක්ෂය චෝදනා කරයි. එසේ බදු අය කරගන්නේ නම් පොදු ජනයාගේ යහපත උදෙසා මේ දුෂ්කර අවස්ථාවේ එම මුදල් යෙදවීමේ අවකාශයක් තිබිණි. තෙල් ආනයනය කිරීමේදී හා බෙදාහැරීමේ දී ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට පැවරී ඇති මෙම ද්විඅධිකාරි බලය බිඳ දමා ආයතන කිහිපයකට තෙල් ආනයනය කිරීමේ හා බෙදාහැරීමේ අවසරය ලබාදීමෙන් මෙකී අක්‍රමිකතා නිසා මහජනතාවට විඳින්නට සිදුවන පාඩුව අවම කරගත හැකිවනු ඇත. එසේම තෙල් මිල අඩුවීමේ දී (සමාගම් අතර තරගය නිසා) එම වාසිය ද මීට වඩා හොඳ අනුපාතයකින් මහජනතාවට ලැබෙනු ඇත. සමාගම් කිහිපයකට තෙල් ආනයනය කිරීමේ හා බෙදාහැරීමේ බලය පැවරෙන බව පසුගිය කාලයේ අසන්නට ලැබුණ ද එම කාර්යය ඉටුවන සෙයක් පෙනෙන්නට නැත.
මේ අතර ශ්‍රී ලංකාවේ ණය බර වැඩිවී ආර්ථික අර්බුදය තවත් උග්‍රවීමට ඉඩ ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවා ඇත. මෙරට දුප්පත් ජනතාව ලක්ෂ 27 කින් වැඩිවී ඇති බව ද එම පුවතේම සඳහන් වේ.
මේ එක්සත් ජාතීන්ට අයත් සියලු රටවල අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවී ඇති අවස්ථාවකි. උග්‍රවන ආහාර අනාරක්ෂිතභාවය, දැඩි ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, ගෘහාශ්‍රිත ආදායම අඩුවීම ඇතුළු ආර්ථික අර්බුදයේ මානව හිමිකම් බලපෑම පිළිබඳව එක්සත් ජාතීන්ගේ අපට එරෙහි යෝජනාවල ද සඳහන් වේ. එම යෝජනාවලට අදාළ නිර්දේශවල 71-ආ යටතේද ආර්ථික අර්බුද සමයේ ජනතාවගේ ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් සහතික කිරීමට අවශ්‍ය සියලු පියවර ගත යුතු බව ද සඳහන් ය.
ඉන්ධන සම්බන්ධ මෙවැනි අක්‍රමිකතා පිළිබඳ තතු වාර්තාවන්නේ රට දැඩි ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයකට පත්වූ වාතාවරණයක් තුළය. එසේම ගෝලීය ප්‍රජාවගේ අවධානය ඒ කෙරේ යොමුවූ අවස්ථාවකයි. අප ඉදිරි කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ලෝක ප්‍රජාවගේ ප්‍රසාදය දිනාගත යුතුව තිබේ. රට ආර්ථික හා සමාජීය වශයෙන් ගොඩගැනීමට ලෝක ප්‍රජාව ඉදිරියේ හොඳ නම දිනාගත යුතු ය.
මේ කළ වැරදි නිවැරදි කරගත යුතු කාලයක් මිස තවදුරටත් දූෂණ, අක්‍රමිකතා පවත්වා ගැනීමට ඉඩදිය යුතු කාලයක් නොවේ. කෝප් සහ කෝපා කමිටුවල වැඩි බලයක් රජය අතට ගැනීම ද ගනුදෙනුවල විනිවිද පෙනෙන ස්වභාවයට පෙරලා හරස්කැපීමේ උපක්‍රමයක් දෝ යන්න මහජනතාවටත් ලෝක ප්‍රජාවටත් පෙනීයාම වැළැක්විය හැක්කක් නොවේ.
(***)