කළු සල්ලි සුදු කරන දේශපාලනය


විවිධ දේශපාලන පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියේදී අනුගමනය කරනු ලබන බවට සඳහන් වන වැඩපිළිවෙළ හා පිළිවෙත් පිළිබඳව මහජනතාව දැඩි උනන්දුවක් දක්වන බව පෙනේ. මීට වසර දෙකකට පෙර රට මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් විඳීමට සිදුවූ පීඩා පිළිබඳ මතකය ඔවුන්ගෙන් තවමත් ඈත්ව ගොස් නැත.

ඔවුන්ගෙන් බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වී ඇත්තේ යළිත් එවැනි දරුණු ව්‍යසනයකට මුහුණ නොදෙන ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සූදානම්දැයි දැනගැනීමට ය. එවැනි තත්වයක් තුළ දේශපාලන පක්ෂ නායකයන් විසින් මේ දිනවල රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මහජනතාව දැඩි සැලකිල්ලක් දැක්වීම පුදුමයට කරුණක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු වන සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ජනබලවේගයට රටේ ජනාධිපති ධූරය ලැබුණොත් එම පක්ෂය විසින් ආරම්භ කරනු ලබන රාජ්‍ය ව්‍යාපාර ආයෝජන අරමුදල පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත්කර තිබුණි. පොළොන්නරුවේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් හඳුන්නෙත්ති මහතා විසින් එම අරමුදල පිළිබඳව කරන ලද ප්‍රකාශය පුවත්පත්වලද වාර්තා වීය. රාජ්‍ය ව්‍යාපාර අරමුදල ආරම්භ කර ඒ සඳහා ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ඇති කරන බව සුනිල් හඳුන්නෙත්ති මහතා එම රැස්වීමේදී සඳහන් කර තිබේ. මෙතෙක් ආර්ථික ක්‍රියාවලියට එක් නොවු, ජාතික ආර්ථිකයට දායක නොවූ, උපයන ලද මුදල් ජනතාව සතුව ඇති බව ද ඔහු සඳහන් කළේය.

හඳුන්නෙත්ති මහතා සඳහන් කර ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයකුට එම අරමුදලේ ආයෝජන කළ හැකි ආකාරයට එම අරමුදල ආරම්භ කරනු ඇත. කෙසේ වුවද එහි යොදවන මුදල් ඉපයු ආකාරය පිළිබඳව සොයා බැලීමට අවස්ථාවක් නැති බව ද එම මුදල් කළු සල්ලි විය හැකි බවද ඔහු සඳහන් කළේය. එසේ වුවත් රාජ්‍ය ව්‍යාපාර අරමුදලට එවැනි මුදල් ද ඇතුළත් කළ හැකි බව ඔහුගේ අදහසයි. හඳුන්නෙත්ති මහතාගේ කථාවෙන් පැහැදිලි වන්නේ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ජනාධිපති ධූරයට පත් වුවහොත් රටේ ආයෝජන සහ රාජ්‍ය මුදල් සම්පාදනය කරන ආකාරය පිළිබඳව එම පක්ෂය කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරයයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයකු වන අතර එම පක්ෂයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දරනු ලබන්නේ ද ඒ මහතා බව ප්‍රකාශ වී තිබේ. මීට පෙර වරෙක එම පෙරමුණේ රජයක් බිහි වුවහොත් මුදල් සහ ආර්ථික කටයුතු පිළිබඳ වගකීම දරන්නේ කවුරුන් විසින් ද යන්න එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රශ්න කර තිබුණි. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ හඳුන්නෙත්ති මහතා ඇතුළු තවත් කිහිප දෙනෙක් විසින් එම වගකීම දරනු ඇති බවයි. මේ ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ තුළ හඳුන්නෙත්ති මහතාට ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ සැලකිය යුතු වගකීමක් පැවරී ඇති බව පෙනේ. එසේ වුවද එම පක්ෂය විසින් ආරම්භ කරනවා යැයි ප්‍රකාශ කර ඇති රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන අරමුදල පිළිබඳව ඉදිරිපත් කර ඇති ඉහත කී තොරතුරු විමසා බලන විට ඇති වන්නේ විමතියකි. එයට හේතුව එවැනි වගකීමක් දරන නායකයකුගෙන් ඒ ආකාරයේ ප්‍රකාශයක් ඉදිරිපත් විය හැකිද යන්නයි.

හඳුන්නෙත්ති මහතාගේ ප්‍රකාශය අනුව එම පෙරමුණේ රජයක් බලයට පත් වුවහොත් මෙතෙක් ආර්ථික ක්‍රියාවලියට එක්නොවු, ජාතික ආර්ථිකයට දායක නොවු මුදල්, ඒවා කළු සල්ලි වුවත් එම රජය විසින් සංවර්ධනය සඳහා යොදවනු ඇත. එවැනි ප්‍රකාශයකින් පැහැදිලි වන්නේ ජාතික ජනබලවේගයේ නායකයන් අඩුම තරමින් ශ්‍රී ලංකාවේ නීතිරීති හෝ ජාත්‍යන්තර මට්ටමෙන් කළු සල්ලි සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව හෝ ඇති කරගෙන තිබෙන සම්මුතීන් පිළිබඳව හෝ කිසිඳු වැටහීමක් නොමැතිව එවැනි ප්‍රකාශ කරන බව හා එවැනි ප්‍රතිපත්ති සකස් කරගෙන ඇති බවයි.

ලෝකයේ ප්‍රධාන ගැටලු‍ දෙකක් බවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදයයි. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව බිළිගෙන ඇති සහ බිළිගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම ඔස්සේ අතිවිශාල මුදල් ප්‍රමාණයක් කළු සල්ලි ලෙස ජාවාරම්කරුවන් අතර හුවමාරු වේ. ඒ අතරම පාතාල ලෝකයේ සිදු කෙරෙන මිනීමැරුම්, කොල්ලකෑම්, මිනිස් ජාවාරම් ආදිය ඔස්සේ උපයනු ලබන කළු සල්ලි විශාල ප්‍රමාණයක් ද පවතී. එම මුදල් හුවමාරුවලින් ගනුදෙනු විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වන නමුදු ඒවා නීත්‍යානුකූලව සිදුව ඇති ගනුදෙනු නොවන බැවින් සමහර අවස්ථාවලදී එම මුදල් භාවිතා කිරීමට නොහැකි තත්වයක් ද උද්ගතවේ. එබැවින් රහසිගත ක්‍රම ඔස්සේ ඒවා ආර්ථිකයට ඇතුළත් කර ගනුදෙනු කිරීම මුදල් විශුද්ධීකරණය ලෙස හැඳින් වේ.

ලොව පුරා ත්‍රස්තවාදය තවමත් මර්දනය කිරීමට නොහැකි වී ඇත්තේත්, ත්‍රස්තවාදය ව්‍යාප්ත වී ඇත්තේත් ඒ සඳහා විවිධ ආකාරයෙන් මුදල් ත්‍රස්තවාදීන්ට ලැබෙන හෙයිනි. විවිධ රාජ්‍ය, ආගමික කණ්ඩායම්, වර්ගවාදී කණ්ඩායම්, දේශපාලන ව්‍යාපාර ත්‍රස්ත කටයුතු සඳහා මුදල් වියදම් කරන්නේය. තවත් රටවල ඉහත කී සංවිධාන හෝ පුද්ගලයන් ත්‍රස්ත ව්‍යාපාර ආරම්භ කර නඩත්තු කරමින් පවත්වාගෙන යන ආකාරය ද දැකගත හැකිය. එම ව්‍යාපාරවලට මුදල් ලැබෙන මූලාශ්‍ර සහ පුද්ගලයන් හඳුනාගෙන ඒවා මර්දනය කරන තුරු ත්‍රස්තවාදය පැතිර යාම වැළැක්විය නොහැකිය.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, පාතාල ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදය පැතිර යාම කෙරෙහි නීත්‍යානුකූල නොවන මූල්‍ය කටයුතු හේතුවී ඇති බව හඳුනාගෙන ඇති අතර ඒවා මර්දනය කිරීමට නම් එම කටයුතුවලට අදාළව සිදුවන මූල්‍ය හුවමාරු කටයුතු ද මර්දනය කළ යුතුව ඇත. එබැවින් ලෝකයේ විවිධ රටවල් සහ බහුපාර්ශවීය සංවිධාන විසින් දිගුකලක් තිස්සේ ඇතිකර ගන්නා ලද සාකච්ඡා සහ සංවාදවල ප්‍රතිඵලයක් ලෙස ඒ සඳහා ජාත්‍යන්තර සම්මුති සහ එකඟතා රැසක් ඇතිකර ගැනීමට හැකිවී තිබේ.

1989 වසරේදී ජි 07 රටවල කණ්ඩායම විසින් මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්යසාධක බලකාය (Finance Action Taskforce - FATF)  නමින් ආයතනයක් පිහිටවනු ලැබීය. එහි මුලික අරමුණ වුයේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කරවීම සඳහා කටයුතු කරවීමයි. 2001 වර්ෂයේදී එහි ක්‍රියාකාරීත්වය තවදුරටත් වර්ධනය කරනු ලැබු අතර ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම වැළැක්වීම ද එහි එක් අරමුණක් ලෙස පිළිගන්නා ලදි. මෙම ආයතනය විසින් කළු සල්ලි සහ ත්‍රස්තවාදය සඳහා මුදල් යෙදවීම පාලනය කිරීමට පියවර රැසක් ගෙන ඇති අතර විවිධ රටවල කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත්තේ මෙම සංවිධානයේ ක්‍රියාකාරීත්වය නිසා බව ප්‍රකාශ කළ හැකිය.

ශ්‍රී ලංකාව විසින් ද මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සඳහා පියවර ගෙන තිබේ. 2006 වසරේදී අංක 05 දරණ මුදල් විශුද්ධීකරණ පනත සම්මත කර ගනිමින් කළු සල්ලි ආර්ථික ප්‍රවාහයට එකතුවීම වැළැක්වීමටත්, ඊට සම්බන්ධ වන සහ අනුබල දෙන පිරිස් මර්දනය කිරීමටත් අවශ්‍ය නීති පැනවුයේය. 2011 වර්ෂයේදී අංක 40 දරණ සංශෝධන පනත මගින් මුදල් විශුද්ධීකරණයට සහ කළු සල්ලිවලට අදාළව ජාත්‍යන්තර මට්ටමින් සිදුව ඇති වෙනස්කම් සැලකිල්ලට ගනිමින් නව සංශෝධන එකතු කළේය.

මුදල් විශුද්ධිකරණයට අදාළව ජාත්‍යන්තර මට්ටමින සහ ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් පැහැදිලි වන්නේ එය රහස්‍ය කරුණක් නොවන බවත් බොහෝ දෙනකු විසින් දැනගෙන සිටින කරුණක් බවත්ය. එසේම දේශපාලනඥයන් විසින් අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු කරුණක් බවත්ය. මෙම තත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණේ අනාගත රජයක් බිහිවුවහොත් එහි මූල්‍ය හා ආර්ථික වගකීම් දැරීමට ඉඩ ඇතැයි සැලකෙන සුනිල් හඳුන්නෙත්ති මහතා වැනි පුද්ගලයන්ගෙන් එවැනි ප්‍රකාශ සිදුවීම විමතියට කරුණකි.

මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් රට තුළදී මෙන්ම විදේශවලදී ද කරන ප්‍රකාශවලින් එම පෙරමුණේ නායකයන්ගේ අසාමාන්‍ය හැසිරීමේ සමානකම් දක්නට ලැබෙන බව පැහැදිලිය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සැලකිය යුතු පිරිසක් ඉදිරියේ මෙවැනිම ප්‍රකාශයක් කර තිබුණි. තමන් ළඟ ඇති අල්ලස් හා දූෂණ ලිපිගොනු පිළිබඳව සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කළේ ලිපිගොනු කීපයක් පිළිබඳව කටයුතු කිරීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැළැක්වු බවය. එසේම රජයේ ඉහළ පෙළේ නායකයකුට අදාළ ලිපිගොනු කීපයක් තමන් අත තිබෙන බවද ඔහු සඳහන් කළේය. මීට පෙර එක් අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතා ලිපිගොනු රැසක් සමග මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුයේය. එම සාකච්ඡාවේදී ඔහු ඉහත කී කරුණු දෙක පිළිබඳ වචනයක් හෝ ප්‍රකාශ කළේ නැත. ඒ මීට වසරකට පමණ පෙරය.

අනුර කුමාර දිසානායක මහතාට එම ලිපිගොනු ලැබුණේ යහපාලන රජය කාලයේ බව එම ප්‍රකාශවලින් පැහැදිලි වේ. යහපාලන රජය අවසන් වී දැන් වසර 05 ක් ගතවී ඇත. ඔහු ජපානයේදී එම ලිපිගොනු පිළිබඳව ප්‍රකාශ කරන තුරු ඒ දක්වාම වචනයක්වත් ප්‍රකාශ කර තිබුණේ නැත. එපමණ කලක් ඔහු නිහඩව සිටියේ කුමන හේතුවක් නිසාද? එපමණ කලක් ඔහු ඒ පිළිබඳව කිසිදු ආයතනයකට පැමිණිල්ලක් නොකළේ මන්ද? ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සමහරෙක් මහා බලාපොරොත්තුවකින් යුතුව හමුවු දූෂණය ගැනම පමණක් කථා කරන අනුර කුමාර දිසානායක මහතා එම පිරිස්වලට ලබාදුන් පණිවිඩය කුමක්ද? මුදල් වියදම් කර එම රැස්වීමට සහභාගි වු ජපානයේ සිටින බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් එම රැස්වීමට සහභාගිවීම පිළිබඳව ලඡ්ජාවට පත් නොවුයේ යැයි කිව හැකිද?

දේශපාලනය යනු වගකීම් සහිත විශාල කාර්ය භාරයකි. එය දැනුම අවබෝධය සහ අත්දැකීම් මගින් බැබළවෙන්නකි. හුදු වාගාලාප මගින් තීරණය වන්නක් නොවේ. රට මෙන්ම තමන් ද විහිළුවට ලක්වීම වළක්වා ගැනීම වගකිව යුතු දේශපාලන නායකයන්ගේ වගකීමක් ද විය යුතුය.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර