ක්‍රීඩකයන් පිටරටදී ගල්වීම වළක්වා ගනිමු


මේ රට හැරයාමට පෙරුම් පුරන පුද්ගලයන්ට ඒ සඳහා ක්‍රම සහ විධි කිහිපයක්ම තිබේ. ගුවන් මගින් හෝ නැව් මගින් හෝ නීත්‍යානුකූලව වලංගු වීසා පහසුකම් ඇතිව රටින් බැහැර වීම පිළිගත් ක්‍රමවේදයයි. එහෙත් බොහොමයක් ක්‍රමවේද දැඩිව දූෂණයට සහ වංචාවට මුහුණ දී ඇති බවට බරපතළ චෝදනා එල්ල වන මේ රටින් නීත්‍යානුකූල නොවන ආකාරයට රටින් පිටවන පුද්ගලයෝ ද වෙති. බලවත් පුද්ගලයන්ගේ දූත මණ්ඩලවල සාමාජිකයන්සේ විදෙස් ගමන්වල යෙදී තමන් ගිය රටේම ගල් වීම තවත් ක්‍රමයකි. නීත්‍යානුකූලව වීසා ලබාගෙන ක්‍රීඩා තරගවලට ගොස් ඒ රටවල දී අතුරුදන්වීම ද වරින්වර සිදුවන තවත් රට පැනිල්ලකි.

ක්‍රීඩා තරගාවලියක් නියෝජනය කිරීමට ගොස් ස්විට්සර්ලන්තයේ දී පසුගියදා අතුරුදන් වූ ග්‍රේෂන් ධනංජය ක්‍රීඩා තරගාවලියක් අතරතුර දී අතුරුදන් වූ අලු‍ත්ම ශ්‍රී ලාංකිකයා වෙයි. නිසැකවම ඔහු එසේ රට පැන්න පළමු ක්‍රීඩකයා නොවන්නා සේම අවසන් ක්‍රීඩකයා ද නොවන බව සහතික කොට කිව හැක.

මේ රට හැරයාමේ පිපාසයෙන් පෙළෙන පුද්ගලයන් ඒ සඳහා තම රටේ අභිමානය වුවද පරදුවට තැබීම පිළිබඳ අබමල් රේණුවක හෝ තැකීමක් නොකරන බවට මෙය කදිම උදාහරණයකි. ග්‍රේෂන් ධනංජය යනු නිකම්ම නාමික ක්‍රීඩකයකු නොවන බැවිනි.

ශ්‍රී ලංකාවේ තුන්පිම්ම පැනීමේ ජාතික ශූරයා ඔහු ය.  එසේම දුර පැනීමේ ජාතික ශූරතාව උසුලන්නේ ද ඔහුමය. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලකට ඔහු ඇරියුම් ලබන්නේ එවැනි ජාතික ශූරයකු වීම හේතුවෙනි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන ප්‍රකාශ කර තිබුණේ අදාළ ක්‍රීඩකයා එම තරගාවලියට සහභාගි වී ඇත්තේ පෞද්ගලික ඇරියුමක් මත බවය. මේ නිසා එම ක්‍රීඩකයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් තම සංගමයේ වගකීමක් නොමැති බවය.

එහෙත් එවැනි වගකීමක් නොමැති වුවද ශ්‍රී ලාංකික ජාතික ශූරයකු එතෙර රටකදී අතුරුදන්වීමෙන් රටට සිදුවන අපකීර්තිය, කැළල සහ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරගාවලි නියෝජනය කිරීමේ දී මුහුණ දෙන වීසා ලබාගැනීමේ ගැටලු‍ ඇතිවීම වැළැක්විය නොහැක.

විශේෂයෙන් බටහිර සහ යුරෝපීය රටවල පැවැත්වෙන විවිධ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා ඉදිරි කාලයේ දී වීසා ලබාගැනීම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අභියෝගයක් වීමට මෙවැනි ක්‍රියා හේතුවනු ඇත. මේ නිසා අතුරුදන් වූ ක්‍රීඩකයා පෞද්ගලික ඇරියුමක් මත එතෙර ගිය බව පවසා අත සෝදා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට හැකියාවක් නැත. රටේ සියලු‍ පිළිගත් ක්‍රීඩා සංගම් එකතු වී මේ ගැටලු‍වට ප්‍රායෝගික විසඳුමක් සොයා ගැනීමට උනන්දු විය යුතුය.

ක්‍රීඩා තරගාවලි සඳහා එතෙර ගොස් අතුරුදන් වන්නේ තරුණ ක්‍රීඩකයන් පමණක් නොවේ. ඇතැම් විට ප්‍රවීණ ක්‍රීඩා තරගාවලි සඳහා ඇරියුම් ලැබ එතෙර යන ක්‍රීඩකයන් ද ඒ රටවල දී ගල් වූ අවස්ථා තිබේ. එසේම ක්‍රීඩිකාවෝ ද මේ ආකාරයටම රට පැන ගනිති. 2002 දී බර්මින්හැම් හිදී පැවති පොදුරාජ්‍ය මණඩලීය ක්‍රීඩා තරගාවලිය අතරතුර දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු අතුරුදන්ව සිටීම එයට එක් උදාහරණයකි. මෙවැනි ක්‍රියා නවත්වා නොගතහොත් එය රටේ කීර්තිනාමයට ඇති කරන්නේ කළු පැල්ලමකි. වීසා ලබා ගැනීමේ දී ඕනෑම ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට බෙල්ල ළඟටම හිරවන තත්ත්වයක් ඇති කිරීම ද මෙවැනි තත්ත්වයක් යටතේ බලාපොරොත්තු විය යුත්තකි.

රට හැර යාමට රටේ තරුණ පරපුර තුළ උත්තේජනයක් ඇතිකරන විවිධ කාරණා තිබෙන බව සත්‍යයකි. ඒ ගැන වෙනම සාකච්ඡා කළ යුතුය. එහෙත් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වීම සඳහා ලබාදෙන වීසා බලපත්‍රය උපයෝගී කර ගනිමින් අදාළ රටේ රැකවරණ ලබා ගැනීමට කවුරුන් හෝ උත්සාහයක් දරන්නේ නම් එය බරපතළ වැරැද්දකි. ඒවා නැවැත්වීමට හැකි හැම පියවරක්ම ගත යුතුය. එයින් රටේ සෙසු ජනතාවට සිදුවිය හැකි හානිය සහ අවාසිය පිරිමැසිය නොහැකි බැවිනි. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ‘කළු රටක්’ වශයෙන් හඳුන්වාදීමටත් මෙවැනි ක්‍රියා හේතුවනු ඇත.

ජාත්‍යන්තර තරගාවලි සඳහා එතෙර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම මෙයට විසඳුමක් නොවේ. රටේ කීර්තිනාමය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන අය ආචාරධර්ම ගැන කිසි කලෙකත් කරදර වන්නේ නැත. මේ නිසා යන්තමින් හෝ සැකයක් තිබෙන අවස්ථාවල දී විදෙස් ගතවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔවුන් වගකීමකින් බැඳ තබා ගන්නා ක්‍රමවේදයක් හඳුන්වාදීම ගත හැකි එක් පියවරකි. ඒ සඳහා සියලු‍ ක්‍රීඩා සංගම් එක්වීම අවශ්‍යයය. ක්‍රීඩා අමාත්‍යංශයට ද ඒ සඳහා කිසියම් මැදිහත්වීමක් කළ හැකි නම් එය වඩාත් සුදුසු වනු ඇත.

(***)