කාටවත් ක්ෂණික විසඳුමක් නැති ප්‍රශ්නයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය බදාදා ජාතිය අමතා කළ කතාව මීට පෙර ඒ මහතා ජාතිය අමතා කළ කතාවලට වඩා කෙටිය. එය දේශපාලන කරුණුවලින් බොහෝ දුරට තොර වූ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ආණ්ඩුවේ පැත්තෙන් කරුණු දැක්වීමක් විය. දේශපාලන වශයෙන් විවේචනාත්මකව ඒ මහතා සඳහන් කළේ ප්‍රශ්නය නිර්මාණය කළ පිරිස්ම දැන් ආණ්ඩුව විවේචනය කරන බව පමණි.

ඔහුගේ කතාවේ අරමුණ ආණ්ඩුව කෙරෙහි බොහෝ දුරට බිඳ වැටී ඇති ජනතා විශ්වාසය යළි ගොඩනැඟීම බව පෙනිණි. ඒ අනුව දැනට රට මුහුණ දී ඇති බරපතළම ප්‍රශ්නය වන විදේශ විනිමය  සංචිත ප්‍රශ්නය ගැන සඳහන් කරමින් ජනාධිපතිවරයා දැන් තත්ත්වය හොඳ අතට හැරෙමින් පවතින බව පෙන්වීමටදෝ සංඛ්‍යා ලේඛන ගණනාවක් ඉදිරිපත් කළේය. එහෙත් ඒ සංඛ්‍යා ලේඛන සියල්ලම පාහේ සඳහන් වුයේ ඩොලර් බිලියනවලිනි.

ඩොලර් බිලියනයක් යනු කොපමණ ද ඉන් කොපමණ වැඩ කොටසක් කළ හැකිදැයි සිතා ගැනීමට හැකි අය මේ රටේ කොපමණ පිරිසක් සිටිත් දැයි සැක සහිතය. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ඩොලර් බිලියන ගණනක් ක්ෂණිකව එකිනෙක ගළපා රටේ තත්ත්වය හොඳ අතට හැරෙන බවක් හෝ නරක අතට හැරෙන බවක් හෝ සිතා ගැනීමට හැකි කොපමණ පිරිසක් රටේ සිටිත් ද යන්න ප්‍රශ්නයකි. ඒ අනුව ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීම  ජනාධිපතිවරයාගේ අරමුණ වූයේ නම් එය කොතෙක් දුරට  ඉටු වූයේද යන්න ප්‍රශ්නයකි.

මෙම කතාව අපට පසුගිය පෙබරවාරි 9 වැනිදා  පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ දී පවත්වන ලද රැස්වීම සිහිපත් කරයි. එම රැස්වීමේ ද අරමුණ වූයේ බිඳ වැටීගෙන යන ජනතා විශ්වාසය යළි ගොඩ නැඟීමයි. ඒ අනුව අනුරාධපුරය ගැන සඳහන් කරමින් අගමැති මහින්ද  රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම භූමියෙන් අප මීට පෙර ආරම්භ කළ රැස්වීම් විශාල මැතිවරණ ජයග්‍රහණවලින් අවසන් වූ බවය.

එම රැස්වීමේ දී පොදුජන පෙරමුණේ නායකයන් අවධාරණය කරන්නට උත්සාහ කළේ පසුගිය වසර දෙකේදී ආණ්ඩුවේ කටයුතු කොවිඩ් 19 රෝගය වැනි හේතු නිසා අසාර්ථක වුවද ඉදිරි වසර තුන තුළ දී ආණ්ඩුවට තමන්ට මුහුණ දීමට සිදුවන අභියෝග සියල්ල ජයගෙන රට සංවර්ධනය කරන බවය.

එහෙත් එම රැස්වීමට  සහභාගිවී නිවසට ගිය පොදුජන පෙරමුණේ පාක්ෂිකයාට ද පසුදා සිට සිදු වූයේ ඊට පෙරදින මෙන්ම ඉන්ධන පෝලිමේත්, ගෑස් පෝලිමේත්, කිරිපිටි පෝලිමේත් පැය ගණන් කාලය කා දැමීමටය. කපාගත් ගොයම මඩවා ගැනීම සඳහා යන්ත්‍රයට ඩීසල් සොයා පිරවුම් හල් ගානේ ඇවිදීමටය.

එම පෝලිම්වල සිටින ජනතාව වත්මන් ආණ්ඩුවට ඡන්දය දීම ගැන තමන්ට දොස් පවරා ගනු ඇසේ. ඉන්ධන,විදුලිය, හා ගෑස් සැපයිම භාර ඇමැතිවරුන්ට සාප කරනු ඇසේ. තවදුරටත් වත්මන් ආණ්ඩුවේ නායකයන් ඡන්දය ඉල්ලා නිවෙස්වලට පැමිණියහොත් පහරදී එළවා දමන බවට තර්ජනය කරනු ඇසේ. මේ තත්ත්වය නිසා අනුරාධපුර රැස්වීමේ’ අරමුණ පරාජය වීමට ගත වූයේ පැය ගණනකි. තවත් පැය ගණනකින් රැස්වීම රටටම අමතක වී ගියේය.

ඇත්ත වශයෙන් වත්මන් තත්ත්වය යටතේ  ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැඟීම ආණ්ඩුවේ නායකයන්හට ඉතාමත් දුෂ්කර කාර්යයකි. එසේ වීමට හේතුව ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් තබා  තාවකාලික සහන හෝ පෙනෙන තෙක් මානයේ නැති වීමය. ගම්බද හෝ නගරබඳ කිසිදු පවුලකට අද ඉන්ධන භාවිතයේ  බලපෑමෙන් මිදිය නොහැකිය. එහෙත් ඉන්ධන ප්‍රශ්නය අද හෝ හෙට විසඳෙන ලකුණක් ද නැත. ඒ ආණ්ඩුව විසඳුමක් නැති විදේශ විනිමය අර්බුදයක  කරවටක් ගිලී සිටීම නිසාය.

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය බිඳී යමින් පවතින්නේ ආර්ථික ප්‍රශ්න නිසාම නොවේ. ආණ්ඩුව එම ප්‍රශ්නවලට විසඳුම් සොයනු ඇතැයි සිතා බලාපොරොත්තු සහගතව සිටීමට ද නොහැකි තත්ත්වයක් පෙනී යාම මෙම විශ්වාසය කඩවීමට එක් හේතුවකි. එපමණක් නොව ආණ්ඩුවේ ඇමැතිවරුන් ප්‍රශ්නවලට මුහුණ දීමේ දී හැසිරෙන ආකාරය ද ආණ්ඩුව ගැන කිසිදු විශ්වාසයක් ගොඩ නොනගයි.

දිනපතාම පාහේ ජනතාව සමහර විට සැතපුම් ගණන් දිගු පෝලිම්වල කාලය කා දමති. දැන් දිනපතාම පාහේ පැය පහක් හෝ ඊට මදක් වැඩි කාලයක් විදුලි බලය ද නොලැබී යයි. මේ වනවිට නාගරික ජනතාවට පමණක්  නොව බොහෝ ගම්බද ප්‍රදේශවල ජනතාවට ද විදුලිය නැතිවම බැරි දෙයකි. එසේ තිබිය දී අදාළ ඇමැතිවරු රූපවාහිනී නාලිකා ඔස්සේ ජනතාව ඉදිරියේ පෙනී සිටිමින් ඔවුන්ගේ දුක් ගැනවිලි ජනතාවට කියති.

එක් ඇමැතිවරයෙක් එසේ පැමිණ ගෑස් නැවක් වෙරළට ළඟා වී ඇතත් ගෑස් සඳහා ගෙවීමට විදේශ මුදල් නැති හෙයින් ගෑස් ගොඩ බා ගැනීමට නොහැකි වී ඇතැයි කියයි. ඊළඟට තවත් ඇමැතිවරයෙක් ඉන්ධන නැවක් බටහිර වෙරළට ළඟාවී ඇති බවත් ඉන්ධන වෙනුවෙන් ගෙවීමට විදේශ මුදල් නැති හෙයින් ඉන්ධන ගොඩ බාගත නොහැකිව සිටින බව කියයි.

ඉන් දින කිහිපයකට පසු ඔවුහු යළිත් රූපවාහිනිය ඔස්සේ ජනතාව ඉදිරියේ පෙනී සිටිමින්  රජය ඉන්ධන සඳහා (නැත්නම් ගෑස් සඳහා) විදේශ මුදල් දුන් හෙයින් දැන් ඉන්ධන ගොඩබෑම  ආරම්භ වී ඇතැයි ජයග්‍රාහී ලෙස පවසති. මෙම ක්‍රියාවලිය දැන් සතිපතාම සිදුවන බවක් පෙනේ.

 මෙහිදී ජනතාවට මතුවන ප්‍රශ්නය නම් තමන්ගේ නිවසට මාළු වෙළෙන්දා පැමිණෙන්නාක් මෙන් තෙල් නැව් හා ගෑස් නැව් අනාරාධිතව මෙරටට පැමිණෙන්නේ ද මාළු වෙළෙන්ඳන් මෙන් නැව් ද රටින් රටට තෙල් හා ගෑස් විකුණමින් යන්නේ ද කියාය. ඇණවුමක් නැතිව රටකට තෙල් නැවක් එන්නේ නැත. විදේශ මුදල් නැතිව රටක් වෙනත් රටකින් තෙල් හෝ ගෑස් හෝ වෙනත් භාණ්ඩයක් හෝ ඇණවුම් කරන්නේද? ඒ සඳහා ණයවර ලිපි ක්‍රමයක් ක්‍රියාත්මක නොවන්නේද?

එසේ නම් මේ සිදුවන්නේ කුමක්ද? මේ ක්‍රියාත්මක වන්නේ එසේ වරායට එන නැවකින් ඒ වෙලාවේ මුදල් දී තෙල් හෝ ගෑස් මිලදී ගන්නා ක්‍රමයක්  නම් නැව වරායට එන්නට පෙර විදේශ මුදල් සොයා නොගන්නේ මන්ද? නැව වරායට හෝ වෙරළට ළඟා වී දින කිහිපයකට පසු ඒ සඳහා ගෙවීමට මුදල් ලැබුණේ කෙසේද? ඒ මුදල් රජය සතුව තිබුණේ නම් නැව්වලට ඩොලර් ලක්ෂ ගණනින් ප්‍රමාද ගාස්තු ගෙවා පසුව භාණ්ඩවලට මුදල් ගෙවන්නේ මන්ද?

ජනතාවට බලපාන ප්‍රශ්න  සම්බන්ධයෙන් ඇමැතිවරුන් එකිනෙකාට දොස් පවරමින් කටයුතු කරද්දී ආණ්ඩුවට තමන් කෙරෙහි ජතාව තුළ විශ්වාසයක් ගොඩනැඟිය නොහැකිය.  වත්මන් පාලකයන් තමන් මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න විසඳනු  ඇතැයි ඔවුනට විශ්වාසයක් තිබිය යුතුය. ක්ෂණිකව නොවේ නම් තවත් වසරකින් හෝ  ආණ්ඩුව තමන්ගේ ප්‍රශ්න විසදන්නට කටයුතු කරමින් සිටින බවක් පෙනී නොයනවා නම් ‘‘ඉදිරි වසර තුන තුළදී අපි ඔබේ ප්‍රශ්න විසඳන්නෙමු’’යි කීමෙන් එම විශ්වාසය ගොඩනැඟිය නොහැකිය.

විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුළ ආණ්ඩුව කෙරෙහි භක්තියෙන් සිටි ජනතාව තුළ පවා ආණ්ඩුව කෙරෙහි වූ විශ්වාසය බිඳ වැටී ඇති තත්ත්වය තුළ පොරොන්දුවලට වඩා වැදගත් වන්නේ ප්‍රායෝගික කටයුතුවලින් එම විශ්වාස ගොඩ නැඟීමට සැලැස්මක් සකස් කිරීමය. දැන් පෙනෙන්නට නැත්තේ ද එයමය. 

වත්මන් අර්බුදය ඉස්මතු  වී උග්‍රවීම හා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ගවලින් ජනතාවට පෙනී ගිය කරුණක් නම් ගැඹුරු මඩ වගුරකින් ගොඩ එන්නට උත්සාහ කිරීමේ දී තව තවත් ගැඹුරට  එරෙන්නාක් මෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියා මාර්ග නිසාම ප්‍රශ්න තව තවත් උග්‍රවන බවකි. මේ වනවිට රටත් ආණ්ඩුවත් මුහුණ දී ඇති  ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ විදේශ මුදල් හිඟයයි. ඩොලර් හිඟයයි. ඊට ආණ්ඩුවේ විසඳුම වී ඇත්තේ වෙනත් රටකින් හෝ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් විදේශ මුදල් ණයට ගැනීමයි. එවිට සිදුවන්නේ පාරිභෝජනයට හා ණය පියවීමට තව තවත්  ණය ගැනීමට ඉදිරියේ දී සිදුවීමයි. මෙය දශක ගණනාවක් තිස්සේ සිදුවන්නකි.

මෙසේ ඉන්දියාවෙන් ණය මුදලක් ගැනීම සඳහා මුදල් ඇමැති බැසිල් බැසිල් රාජපක්ෂ මහතා මේ සතිය මුලදී ඉන්දියාව බලා ගියේය. මුදල් ඇමැතිවරයා සිංහල හා හින්දු අලුත්  අවුරුදු කාලයේදී ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකාවට යාමටද නියමිතය.

මින් ඉන්දියාවේ දී සාකච්ඡා කළේ කුමක්ද? යන්න මේ වනවිට වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවට ඉන්දියාව ඩොලර් බිලියනයක ණය පහසුකම් ලබා දීමට ඒ අනුව  එකඟවී ඇත. ඉන් සියයට 75ක මුදලකින් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් භාණ්ඩ මිලදී ගත යුතු  බවද වාර්තා විය. මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 26,000ක් පමණ වේ. මෙමඟින් දැනට  මුහුණපා සිටින ඇතැම් ප්‍රශ්න විසඳෙනු ඇත. එහෙත් මෙම මුදල ආපසු ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නට  යන  සහනය පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරු හෙළිදරව් වී නැත. ඒ සම්බන්ධයෙන් රජයේ ඇතැම් පාර්ශ්ව පවසන්නේ මුදල් ඇමැතිවරයා ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්නට යන බවය. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම අදහස් ප්‍රතික්ෂේප කොට තිබිණි. 

වත්මන් අර්බුදයට බලපෑ ඇතැම් හේතු තමන්ගේ පාලනයෙන් පිටස්තර ඒවා යැයි ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. එය සැබෑවකි. කොවිඩ්  රෝගයෙන් එල්ලවූ බලපෑම එවැන්නකි. එසේම දැනට ඩොලර් අර්බුදය යනුවෙන් කුඩා ළමයින් පවා සාකච්ඡා කරන ප්‍රශ්නය  දශක ගණනාවක් තිස්සේ පවතින්නකි. ඊට මෙතෙක් පැවැති හා පවතින සියලු ආණ්ඩු වගකිව යුතුය. එහෙත් ඒ ප්‍රශ්න දීර්ඝ කාලයක් තිස්සේ පවතින  නිසාම වත්මන් ආණ්ඩුව එය විසඳීමට මුල සිටම කටයුතු කළ යුතුවිය.  කොවිඩ් අර්බුදයක් නොපැමිණියේ වුවද එය විසඳීම ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයක් විය යුතුව තිබිණි.

වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකළා මෙන්ම මෑතක දී වටිනාකමින් ඉහළ යන ඩොලරයට සාපේක්ෂව රුපියලට නිශ්චිත අගයක් නොදීම මගින් මෙරටට විදේශ මුදල් ගලා ඒම අධෛර්යමත් කළේය. එමඟින් උන්ඩියල් ක්‍රමය වැනි නීති විරෝධි මුදල් හුවමාරු ක්‍රමවලට  බොහෝ දෙනා පෙළඹුණහ. අවසානයේ ඩොලරයේ සැබෑ වටිනාකම මහ බැංකුවෙන් නිර්දේශිත වටිනාකමට වඩා ඉතා ඉහළ තත්ත්වයකට පත්වූ විට මහ බැංකුව රුපියල පාවෙන්නට ඉඩ හැරියේය. පසුගිය සතියේ මහා පරිමාණයෙන් මිල ගණන් ඉහළ  ගියේ ඒ අනුවය. අවසානයේදී එම කාලය තුළ විදේශ මුදල්ද ගලා  නොආවා සේම දැන් මිල ගණන් ද ඉහළ ගොස්ය.   

 ආණ්ඩුව බලයට පත්වූ විගසම විශාල වශයෙන් බදු  අඩු  කළේය. මේ නිසා වසරකට රුපියල් බිලියන 650ක් 680ත් අතර ගණනකින්  රජයට ආදායම  අහිමි වූ බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසා තිබිණි. එසේ පසුගිය වසර දෙකට අහිමි කරගත් මුදලට සමාන මුදලක් ආණ්ඩුව මුද්‍රණය කොට ඇතැයි පසුගිය දිනවල වාර්තා විය. මුදල්  මුද්‍රණය කිරීම නිසා බඩු මිල ඉහළ යාම සාමාන්‍ය පෙළ උගත් ශිෂ්‍යයන් පවා දන්නා කරුණකි.

මේ සියලු තත්ත්වයන්ට එරෙහිව විරුද්ධ පක්ෂ හඬ නඟති. එය විය යුතුය. එහෙත් ගැටලුව වන්නේ කිසිදු විරද්ධ පක්ෂයක් වත්මන් ප්‍රශ්නයට විසඳුම් යෝජනා  කිරීමට අසමත් වීමය. සමගි ජනබලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි කියයි. එසේ ණය ගෙවීම්  කල් දමා ගත් පසු විදේශ මුදල් උපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව එම පක්ෂ ද නිසි යෝජනාවක් කරන්නේ නැත. තමන් බලයට පත්වූ පසු තමන්ට ආධාර දෙන්නට සුදානම් රටවල් ඇතැයි ස.ජ.බ. නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එහෙත් මිත්‍රකමට වෙනත් රටවල් නඩත්තු කරන්නට කිසිදු රටක් ඉදිරිපත් වන්නේ නැත. තමන් බලයට පත්වී මහා පරිමාණ දුෂණය අවසන් කරන බව ජවිපෙ කියයි. එය විය යුතුය. එහෙත් එය  කළ හැකි වුවද ක්ෂණික  ප්‍රශ්නය වන ඩොලර් බිලියන ගණනක් වන විදේශ මුදල් හිඟය පියවා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරක් නොලැබේ. එම ප්‍රශ්නය මඟහැර යන්නට ද කිසිදු පක්ෂයකට හැකියාවක් නැත. 

සැබෑ තත්ත්වය නම් වත්මන් ආණ්ඩුව සේම විරුද්ධ පක්ෂ ද රට හමුවේ ඇති ක්ෂණික ප්‍රශ්නයට විසඳුම් සොයා ගත නොහැකිව සිටී යන්නයි.

(*** එම්.එස්.එම්. අයුබ්)