මුදිතා දයානන්ද
කළුතර කියන විටම දෙස් විදෙස් සංචාරකයින් සියල්ලන්ට එකවරම සිහියට නැගෙන්නේ කළුතර බෝධිය හා කැලිඩෝ වෙරළ තීරයයි. පළමුව කළුතර බෝධිය වන්දනාමාන කරන හෝ නරඹන දෙස් විදෙස් සංචාරකයන් සිත පහන් කරගෙන කැලිඩෝ වෙරළට පිවිසෙන්නේ එක පැත්තකින් සංවරව බැස යන ගඟ දියෙන්ද, තවත් පැත්තකින් වෙරළේ හැපෙමින් බිඳෙන රළපහර ද මවන සුන්දර දසුන් සහිත ගොඩබිම් තීරුවේ සුන්දරත්වය විඳගන්නටය.
කිලෝ මීටර එකහමාරක පමණ දිගකින් ද මීටර් දෙසීයක්, දෙසිය පනහක් පමණ පළලකින්ද යුතු අක්කර විස්සක පමණ භූමි භාගයකින් යුත් කැලිඩෝ වෙරළ එක පැත්තකින් සයුරු රළ සමඟ ගොඩබිම දෙසට පැමිණෙන වැල්ලද තවත් පැත්තකින් ගංවතුර සමයේදී කළුගඟ ඔස්සේ මුහුද දෙසට ගලා එන වැල්ල ද එකතුව නිර්මාණය වූ වැලිකන්දකි. එය ෆයිනස් ගසින් හා වැටකෙයියා පඳුරුවලින් අලංකාරවත්ය. මේ ස්වභාවික වැලිතලාව පසුකලෙක ඒ ආසන්නයේ ඉදිවූ කැලිඩෝ නමැති තානායම නිසා කැලිඩෝ වෙරළ බවට පත්විය. ඒ අසලින් ගමන්ගත් වෙරළ පාර කැලිඩෝ වෙරළ පාර නම් විය.
කළුතර පාලම අසල දී සයුරු ඉම පෙනි පෙනී මුහුදට බැස නොයා අංශක අනුවකින් හැරි තවත් සැතපුමක් පමණ කළුතර දකුණ වෙට්ටුමකඩය දෙසට ගමන් කරන්නේ මේ වැලිකන්ද නිර්මාණය කළ බාධකය නිසාය. එහිදී ද මෝය පටුවීම නිසා තවත් කිලෝමීටරයක් පමණ කටුකුරුන්ද දෙසට ඈතට තල්ලූ වී ගොඩබිම මුහුදට නෙරා ආවා සේ තුඩුවක් කර ඇත. එහි සංචාරක හෝටල් හා නිවාඩු නිකේතන රැසක් දක්නට ලැබේ.
විදේශීය සංචාරකයෝ කැලිඩෝ වෙරළේ සැතපී අව් රැස් විඳ ගනිමින් නිදහසේ කාලය ගත කරති. දේශීය සංචාරකයන්ද මේ වෙනස් වූ පරිසරයට ඇලූම් කරන අතර මේ භූමියෙන් වැඩිම ප‍්‍රයෝජනය ලබාගත්තේ පෙම්වතුන්ය. පෙම්වතුන්ගේ පාරාදීසය ලෙසද මෙය හඳුන්වන්නේ ඒ තරමටම ඔවුන් නිදහසේ තම කාලය ගතකරන්නට මෙහි පැමිණෙන බැවිනි. අගෝස්තු මාසයට මේ වෙරළ තීරයෙන් අහස් කුසට නැගෙනා සරුංගල් ගණන මෙතෙකැයි කිව නොහැකිය.
කළුතර බෝධියත්, කැලිඩෝ වෙරළ තීරයත් නොවන්නට කළුතර සංචාරකයන්ගෙන් පිරිනොයනු ඇත. සංචාරක හෝටල්වල කාමර පිරී නොයනු ඇත. කෙටියෙන් කියන්නේ නම් සංචාරක කර්මාන්තයේ විවිධ අංශවල නිරත වන්නන්ගේ සාක්කු පිරි නොයනු ඇත. එහෙත් අද ඒ සාධක දෙකෙන් එකක් කළුතරට අහිමිව තිබේ. අද කළුතරට පැමිණෙන්නෙකුට දකින්නට කැලිඩෝ වෙරළක් නැත. ඒ වෙනුවට එකම මුහුදු තීරයක් පමණක් දැක ගත හැකිය.
සැබවින්ම කැලිඩෝ වෙරළට සිදුවූයේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ දේ ප‍්‍රකාශ කරති.
මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා ඒ පිළිබඳව දැරුවේ මෙවැනි අදහසකි.
කළුගග මෝයේ වම් ඉවුර සේ පවතින ගොඩබිම් තීරුව කැලිඩෝ වෙරළේ වගේ නෙවෙයි. එය සාමාන්‍ය ගොඩබිමක්. කැලිඩෝ වෙරලේ වගේ වැලිකඳු මෙහි දකින්න නැහැ. ඒ නිසා මේ හෝටල් හා නිවාඩු නිකේතනවල හිමිකරුවන් ගල්වැටි යොදා දියකඩන නිර්මාණය කරමින් ස්වභාවිකව කැලිඩෝ වෙරළ දෙසට ඇදී යන වැලිකඳ තම ගොඩබිම ආසන්නයෙන් නවතාගෙන සංචාරක ආකර්ෂණය ඇතිකර ගැනීමට උත්සාහ කරනවා. දීර්ඝ කාලයක් සිදුවු මේ තත්වය කැලිඩෝ වෙරළ ක‍්‍රමයෙන් නැති වීමට බලපෑවා.
කැලිඩෝ වෙරළට එන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් කෙනෙක් විසිතුරු භාණ්ඩ, චිත‍්‍ර මූර්ති ආදී නොයෙක් දෑ මතක සටහන් ලෙස අලෙවි කළහ. කෙනෙක් සරුංගල් අලෙවි කළහ. ඇතැමුන් වඬේ, කඩල වැනි කෙටි ආහාර අලෙවි කළහ. තවත් කෙනෙක් අයිස්ක‍්‍රීම් අලෙවි කළහ. ජංගම වෙළඳාමේ යෙදුණු අය වගේම ස්ථිර වෙළඳකුටි පවත්වාගෙන ගිය පිරිසක් ද මෙහි සිටියහ.
ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වූයේ කැලිඩෝ වෙරළට එන සංචාරකයින්ය. විදෙස් සංචාරකයින්ට තරු පන්තියේ වගේම ඊට පහළ මට්ටමේද සංචාරක හෝටල් වෙරළ ආශ‍්‍රිතව ඉදිව තිබේ. දේශීය සංචාරකයින් වෙනුවෙන් ඉදිවූ හෝටල් හා නිවාඩු නිකේතනද, විශේෂයෙන් පෙම්වතුන් ඉලක්ක කරගෙන පවත්වාගෙන යනු ලැබු කාමර කුලියට දෙන ස්ථාන රැසක් ද කැලිඩෝ වෙරළාසන්නයේ දැකගත හැකිය. ඒ නිසා කැලිඩෝ වෙරළ යනු කළුතර වෙරළ තීරයේ ජනතාවගේ ආර්ථිකයේ මුදුන් මල්කඩ බඳුවිය.
කැලිඩෝ වෙරළ කෙතරම් දුරට ස්වයං රැකියාවල නිරතවන්නන්ට කෙම්බිමක් වුයේද යත් පසුගිය රජය සමයේ මෙම වෙරළේ වෙළඳාමේ නිරතවන්නන් වෙනුවෙන් වෙළඳ කුටි ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කර විශාල මුදලක් වැය කර තිබිණි. දැන් එහි කොන්ක‍්‍රීට් කණු ගණනාවක් ද ගලවා තැන තැන දමා තිබෙන්නේ ජනතා මුදල් මුහුදට දමන්නාක් මෙනි.
මේ වෙරළ හා බැඳුණු ආර්ථික සම්බන්ධතාවය පිළිබඳව කළුතර උතුර කැලිඩෝ වෙරළ පාරේ පදිංචිකරුවෙකු වන ජේ. විජේසිංහ මහතා සිහිපත් කරන්නේ මෙසේය.
කැලිඩෝ වෙරළ නිතරම සංචාරකයන්ගෙන් පිරි ඉතිරි ගිය භූමියක්. සාමාන්‍ය වෙරළකට වඩා විශේෂත්වයක් මෙතන තිබුණා. ඒ මුහුදටත් ගඟටත් මැදිව පිහිටා තිබෙන නිසයි. මේ සංචාරකයන් නිසා අපේ ප‍්‍රදේශයේ විශාල පිරිසක් ආර්ථිකය ශක්තිමත් කරගත්තා. විවිධ වෙළඳාම් කරන අය වගේම වගේම ත‍්‍රී රෝද රථ හිමියන් ද විශාල වශයෙන් ආදායම් ලැබුවා. ඒ විතරක් නෙවෙයි කාමර කුලියට දෙන අය, කුඩා කුඩා රෙස්ටුරන්ට් පවත්වගෙන ගිය අය විශාල පිරිසක් මේ ගමේ හිටියා.
මහාචාර්ය හල්වතුවර පෙන්වා දෙන පරිදි ක‍්‍රමයෙන් නැති වෙමින් පැවති අතර පසුගිය වසර තුළ කැලිඩෝ වෙරළ ඉතා වේගයෙන් මුහුදට බිලිවීම විශේෂත්වයකි. අද කැලිඩෝ වෙරළ දකින්නට යන්නෙකුට දැකගත හැකිවනු ඇත්තේ එකම ජල තලාවකි. සුදු සුදු වැල්ල වෙනුවට මුහුදු ඛාදනය වළක්වා ගැනීමට වෙරළාසන්නයේ අතුරන ලද විශාල කළු ගල් තොගයකි.
මෙම වෙරළ තීරය අහිමි වීමත් සමඟ තවත් බොහෝ භූමි භාගයන් කළුතර ජනතාවට අහිමි වෙමින් පවතී. මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි කැලිඩෝ වෙරළ අහිමිවීම නිසා ඒ සමඟ ප‍්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය කඩාවැටීමද සිදුවන බැවින් එය සමාජ ආර්ථික ගැටලූ රැසක් නිර්මාණය කරනු ඇත. එසේම මෝය පළල් වීමත් ගඟ පහළ මට්ටමේ පිහිටීමත් නිසා කරදිය ගඟට මුසුවී පානීය ජල සැපයුම පිළිබඳ බරපතල ප‍්‍රශ්නයක් නිර්මාණය කිරීමේ ආරම්භයක් බවට ද පත්ව තිබේ.
කැලිඩෝ වෙරළ සුනාමිය අවස්ථාවේදිත් කළුතර නගරාසන්න ජනතාවට බරපතල හානියක් සිදුවූයේ නැත. කළුතර බෝධිය ද සුනාමියෙන් ආරක්ෂා විය. එහෙත් අද කැලිඩෝ වෙරළක් නැති තත්වයක් හමුවේ මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටි ගඟ අභිබවා හඹා එන මුහුදු රළ කළුතර බෝධිය ආරක්ෂා කරමින් පවතින පවුරේ හැපේ. බෝධියට ආසන්නයේ පිහිටි නාවුක හමුදා කඳවුර නැති කරමින් පවතී. කළුතර වෙරළ පාර ආසන්නයේ වෙරළ තීරයේ පොල් ගස් එකිනෙක බිලි ගනිමින් වෙරළ පමණක් නොව ගොඩබිමට බලපෑම් කරයි.
ව්‍යාපාරිකයන් පිරිසකගේ හිතුවක්කාරී ක‍්‍රියාකාරකම් නිසා නැති වෙමින් පැවති කැලිඩෝ වෙරළේ කොටසක් කපා ගං වතුර පාලනය කිරීමට රජයේ නිලධාරින් නව මෝයක් නිර්මාණය කිරිම නිසා එම වෙරළ සම්පූර්ණයෙන්ම මුහුදේ සැඟව යාමට බලපෑ බවයි.
මේ සිදුවීම වූයේ පසුගිය වසරේ මැයි මාසයේදීය. කළුතර ජනතාවට බරපතල ලෙස ගංවතුර තර්ජනය බලපෑවේය. ගංවතුර තත්වය නිසා පනාපිටිය වේල්ල පුපුරා යන තත්වයක්ද නිර්මාණය විය. ඒ තත්වය හමුවේ ගංවතුර බැස්සවීමට මෝය කට පළල් කිරිමේ අවශ්‍යතාවයක් මතුවිය. ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් හා ගංවතුර පාලනය සම්බන්ධයෙන් තින්දු තීරණ ගැනීමට හදිසි දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ද කැඳවනු ලැබිණ.
එම අවස්ථාවට සහභාගී වු උතුරු කළුතර පදිංචිකරුවෙකු වන ජයපාල සුසෙව්හේවා මහතා එහිදි ඇතිවු තත්වය හා ප‍්‍රායෝගිකව මුහුණ දීමට සිදුවු අත්දැකීම ගැන මෙසේ කීවේය.
මේ රැස්වීමට ජනාධිපතිතුමාත් ආවා. ඒ වෙලාවේ තිබුණ තත්වයය ඉක්මනින් ගං වතුර බස්සවන්න ඕන වුණා. ඒ නිසා නිලධාරීන් ජනාධිපතිතුමාට ඒ පෙන්වා දුන්නා කැලිඩෝ වෙරළ කපා වතුර බැස්සවීම තමයි මේ වෙලාවේ තිබෙන විකල්පය කියලා. ජනාධිපතිතුමා කිව්වා ඒවගේ දේවල් ඉංජිනේරුවන්ගේ උපදෙසකින් තොරව ඒ අයගේ අධික්ෂණයකින් තොරව කරන්න එපා කියලා. අපි රැස්වීම ඉවර වෙලා එළියට එනකොටත් කැලිඩෝ වෙරළ පටු තැනකින් කවුදෝ කපලා.
වතුර බහිනවා. එතනට ඇවිත් බලපු නිලධාරීන් දේශපාලඥයින් සියලූ දෙනා මේක තමන් කරපු වැඩක් වගේ ඒ වෙලාවේ ලකුණු දාගත්තා. ඒ මොකද ගං වතුර බැස්සානේ. ඒත් එයින් අනාගතයේ සිදුවන හානිය ගැන ඒ අයට කිසිම අදහසක් තිබුණේ නැහැ. වතුර බැහැලා ගියාට පස්සේ අපි කීප වතාවක්ම පෙන්වා දුන්නා දැන් මෙතන මොනවා හරි ක‍්‍රමයකට වහලා දාමු නැත්නම් සම්පූර්ණයෙන් වෙරළ විනාශ වෙනවා කියලා. ඒත් කිසිම කෙනෙක් ඒක ගණන් ගත්තේ නැහැ. ඒ අය කිව්වේ මේක ස්වභාවිකව වැලි ඇවිත් වැහෙනවා කියලයි.
අසුගණන්වලත් මේ වගේම වෙරළ කැපුවා. නමුත් ඒ කාලේ මේ තරම් මුහුදු ඛාදනයක් තිබුණේ නැහැ. ස්වභාවික පරිසරයට දැඩි හානි සිදුවී තිබුණේ නැහැ. ඒ නිසා එදා ස්වභාවිකවම වැලි ඇවිත් ඒ කැපූ තැන වැහිලා ගියා. අද තත්වය ඊට වඩා ගොඩක් වෙනස්. අපේ නිලධාරින්ට මේ විචාරාත්මක දැක්ම නැහැ. ඒ නිසා අපිට අද වෙරළ අහිමි වෙලා.
මේ වෙරළ කැපූ ආකාරය ගැන ප‍්‍රදේශවාසියෙකු වන සිල්වා ටී. ලැන්ටින් මහතා අත්දැකීම අප සමඟ බෙදාගත්තේ මෙලෙසිනි.
ගං වතුර ගලලා වතුර බහින්නේ නැතිව තිබෙන වෙලාවේ දවසක් කොල්ලෝ පස්දෙනෙක් වැල්ලට ආවා. ඒ අය උදලූත් අරන් ආවේ. වෙරළෙ පටුම තැනින් ඔවුන් මුහුද පැත්තේ මෝය කැපුවා. ඒ ආපු අය අපි දන්නවා. ඔවුන් මේ මෝයේ අනෙක් පැත්තේ පිරිසක්. ඒ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානය සේවය කරන කීප දෙනෙකුත් එතන හිටියා. එයාලට අවශ්‍ය වුණේ තමන්ගේ ආයතනය වතුරෙන් බේරා ගැනීමයි. ඒ අය මෝය කපලා ඉවර වෙද්දී තමයි දිසාපතිතුමායි තවත් නිලධාරීන් පිරිසකුයි අපේ දේශපාලඥයෝ කීප දෙනෙකුයි ආවේ. ඒ හැමෝම මේක මගේ වැඩක් කියලා ලකුණු දාගන්න තමයි උත්සාහ කළේ. දැන්නම් මේක මම කළේ කියලා භාරගන්න කවුරුවත් නැහැ.
දැන් මේ ප‍්‍රශ්නය ඔඩුදුන්න පටන් අරන් තියෙන්නේ. දැන් කැලිඩෝ වෙරළක් දකින්න වත් නැහැ. වෙරළ බේරගන්න කළුගල් ගෙනත් දැම්මා. දැන් ධීවරයන්ට තමන්ගේ බෝට්ටු මුහුදට දාගන්න තැනක් නැහැ. කැලිඩෝ වෙරළ විතරක් නෙවෙයි දැන් මේ වෙරළ දිගටම ඛාදනය වෙන්න පටන් අරන්. වෙරළේ පොල් ගස් ගණනාවක්ම මුහුදට බිළිවුණා.
මේ සියල්ලට පිළියම් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නාවුක හමුදා කඳවුර ආරක්ෂා කරමින් කළුගල් අතුරා තිබේ. කළුතර බෝධිය ආරක්ෂා කරමින් ගඟ ආසන්නයේ දැනට පවතින තාප්පය ශක්තිමත් නැති නිසා ශක්තිමත් පවුරක් ඉදිකරගන්නා ලෙස බෝධි භාරකාර මණ්ඩලයට උපදෙස් දී තිබේ. ආබෲ මාවත අසළ සිට කළුතර උතුර වෙරළ තීරයේ ද කළුගල් අතුරා තිබේ.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙරාල් ප‍්‍රභාත් චන්ද්‍ර පෙරේරා මහතා අප කළ විමසීමකදී මෙසේ අදහස් දැක්වීය.
මේක ස්වභාවික ඛාදනයක්. 1921 සිතියම් වල සඳහන් වන ආකාරයට වඩා වෙරළ සෑහෙන්න වෙනස් වෙලා තිබෙනවා. මෝය කට විටින් විට එහාට මෙහාට වෙලා තිබෙනවා.
එහෙත් මෙය සාමාන්‍ය ඛාදනයක්ම දැයි අප ප‍්‍රශ්න කළ විට ප‍්‍රභාත් මහතා පැවසුයේ මෝය පළල් කිරිම වෙනුවට අලූත් තැනකින් මෝය කැපූ බව පිළිගනිමින් මෙසේ පැවසීය.
මේ ආකාරයට මෝය කැපීම් ඉතිහාසයෙත් සිදුව තිබෙනවා. ඒත් ඒවා ස්වභාවිකව නැවත සකස් වී තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කළා වෙරළ නැවත සකස් වෙයි කියා. එහෙත් එය අප නොසිතූ ලෙස සෝදාගියා. එයට හේතුව වෙරළ සකස් වීමට පෙර නැවතත් ගංවතුර තත්වයක් ඇති වීමයි. මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වු නෙදර්ලන්ත ජාතික විශේෂඥයෙක් පැවසුවේ තව වසර දෙකක් ඇතුළත් වෙරළ තිබූ පරිදිම සකස් වන බවට සියයට පන්සීයක් විශ්වාස බවයි. ඒ ගැන අපිටත් විශ්වාසයක් තිබෙනවා. එහෙත් මේ තත්වය දිගට පැවතීමෙන් මුහුද වතුර ගඟට එකතුවීම සිදුවන නිසා පානීය ජල ප‍්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි වැලි පොම්ප කර මෙතන වෙරළ නැවත සකස් කළ හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා.
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී. එම්. ආරියරත්න මහතා ද ගං වතුර අවස්ථාවේ මෝය පළල් කළා මිස කැලිඩෝ වෙරළෙන් මෝයක් කැපු බව පිළිනොගත් අතර අප දිගින් දිගටම ප‍්‍රශ්න කළ විට එය පිළිගනිමින් මෙසේ අදහස් දැක්වීය.
ගං වතුර තර්ජනය නිසා කළුතර බෝධියට හා පාලමට පවා හානියක් සිදුවෙයි කියන ප‍්‍රශ්නයක් මතුවුණත් මෝය ආසන්නයට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ ආකාරයට මෝය කැපුවේ. එයින් ලොකු ප‍්‍රශ්නයක් ඇති වෙලා නැහැ.
කළුතරට දේශපාලන නායකත්වය ලබාදෙන බස්නාහිර පළාත් සභා මැති ඇමැතිවරු කීප දෙනෙක්ගෙන්ද අප මේ පිළිබඳව අදහස් විමසුවෙමු. ඉන් එක් මන්ත‍්‍රීවරයෙක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී නන්දන පත්මකුමාර මහතා පෙන්වා දෙන්නේ මෝය කැපීම මේ හානියට බරපතල ලෙස බලපෑ අතර මේතරම් හානියක් සිදුවන්නට ඉඩ නොදී ගංවතුර බැස ගිය සැණින් නැවත සකස් කිරිමෙන් එය වළක්වා ගැනීමට හැකියාව තිබුණත් නිලධාරින් ඒ පිළිබඳව නොසළකා හැරිය බවය.
බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත්ලාල් මැන්ඩිස් මහතා පැවසුයේ මෙය ස්වභාවිකව නැවත සකස් වනු ඇති බවයි. දැනටමත් වැලි කන්දක් නිර්මාණය වෙමින් පවතින බවද ඔහු පැවසීය.
එහෙත් එම වැලිකන්දක් ගොඩ නැගෙමින් තිබෙන්නේ කැලිඩෝ වෙරළ තිබූ ගගේ දකුණු පැත්තේ නොව වම්පැත්තේ කලපුව දෙසින්ය. එයින් මුහුද ජලය ගඟට මුසුවීම හෝ මුහුදු රළ වැදී කළුතර බෝධියට හා පාළමට යම් බලපෑමක් සිදුවන්නේ නම් එය පාලනය කිරිමට හෝ කිසිදු බලපෑමක් නොකරනු ඇත. කෙසේ වුවද මේ වන විට ලංකාවේ ගංගා අතරින් පුළුල්ම මෝය එනම් මීටර් 1500ක් පමණ පළලින් යුත් මෝයක් කළුගඟට හිමිව තිබේ.