කෑලි කැඩුණු උතුරේ දේශපාලනය


රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක්ෂය වන තමිල් අරසු කච්චි පක්ෂයෙන් ඉවත් වීමෙනි. දෙවනුව තමිල් අරසු කච්චි පක්ෂය ද යළිත් දෙකඩ වී ඇත.

දෙමළ ජාතික සන්ධානය නිර්මාණය වූයේ එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මකව තිබූ අවසන් සමයේය. එල්.ටී.ටී.ඊය විනාශ වූ පසු ද එම සන්ධානය අඛණ්ඩව ක්‍රියාත්මක විය. ඉලංගෙයි තමිල් අරසු කච්චි, ප්ලොට්, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ්. යන පක්ෂ හතර එකතු වීමෙන් දෙමළ ජාතික සන්ධානය බිහි විය. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය කලකට පෙර දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ අතර ඉතිරි වූයේ පක්ෂ තුනකි. එම පක්ෂ තුනෙන් ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ උතුරේ පොදු අපේක්ෂකයාට සහාය පළ කළ අතර විශාල පක්ෂය වූ තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ශ්‍රී ධරන් ද දෙමළ පොදු අපේක්ෂකයාට සහාය පළ කර ඇත.

වෙනම රාජ්‍යයක් හෙවත් තමිල් ඊළමක් වෙනුවෙන් සටන් කළේ එල්ටීටීඊය පමණක් නොවේ. එල්.ටී.ටී.ඊයට පෙර පෙඩරල් පක්ෂය ද පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද දෙමළ ඊළමක අවශ්‍යතාව ගැන නිරතුරුව හඬ නැගීය. 1977 මැතිවරණයෙන් ටික දිනකට පසු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඒකපාර්ශ්වීය ස්වාධීනත්වය (ඊළම) ප්‍රකාශ කිරීමට සූදානම් විය. එකල එල්.ටී.ටී.ඊය ළදරු වියේය. ඊළමේ අගනුවර ලෙස ත්‍රිකුණාමලය තෝරා ගත්තේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසිනි. 1978 වෙද්දී වෙනම රටක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මගින් සකසා තිබුණි. පසුකාලීනව එල්.ටී.ටී.ඊය විසින් මෙම සියලුම දෙමළ නායකයන් මරා දමා ඊළම් සටනේ තනි අයිතිය තමා වෙත පවරා ගත්තේය. වර්තමාන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය යනු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ශේෂ වූ කොටස්වලින් සැදි වර්තමාන ප්‍රකාශනයයි.

2001 පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරු නැගෙනහිර දෙපළාතෙන්ම ඡන්ද තුන් ලක්ෂ හතළිස් අටදහසක් ලබාගත් ටී.එන්.ඒ. මන්ත්‍රී ආසන 15 ක් හිමිකර ගත්තේය. 2004 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ඡන්ද හය ලක්ෂ තිස්තුන් දහසක් ලබා ආසන 22 ක් ලැබීය. 
ඔවුන් ලැබූ ඉහළම ඡන්ද ප්‍රමාණය වූ මෙය ලැබුවේ එල්.ටී.ටී.ඊය උතුරු පළාත පාලනය කළ සමයේ වීම විශේෂිතය. ඉන්පසු එතරම් විශාල ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට කිසිදා ලබාගත නොහැකි විය. එල්.ටී.ටී.ඊය විනාශ කිරීමෙන් පසු බොහෝ ජනයා අවතැන් කඳවුරුවල සිටි 2010 මහා මැතිවරණයේ දී දෙපළාතෙන්ම ඡන්ද දෙලක්ෂ තිස්තුන් දහසක් ලබා ආසන 14 ක් හිමිකරගත් අතර 2015 මහා මැතිවරණයේ දී ඡන්ද පන් ලක්ෂ පහළොස් දහසක් ලබා ආසන 16 ක් හිමිකර ගත්තේය. 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙද්දී උතුරේ තනි දේශපාලන බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහී තිබිණි. ඔවුන්ට දෙපළාතෙන්ම ලැබුණේ ඡන්ද තුන් ලක්ෂ විසිහත් දහසක් පමණකි. ලැබුණු ආසන ගණන 10 කි.

දෙමළ ජාතික සන්ධානය 2010 ජනාධිපතිවරණයේ දී ආණ්ඩු පක්ෂ අපේක්ෂකයාට එරෙහිව විපක්ෂ අපේක්ෂකයා වූ ජනරාල් සරත් ෆොන්සේකාට සහාය පළ කළේය. 2015 දී ද ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කළේය. එවර පොදු අපේක්ෂකයා ජයගත් හෙයින් දෙමළ සන්ධානය ද ආණ්ඩුවේ පාර්ශ්වයක් ලෙස සැලකිණ. එහෙත් මහ මැතිවරණයේ දී ආණ්ඩුවේ බලපෑම මත ඔවුන්ට විපක්ෂ නායක පදවිය හිමිවිය. විපක්ෂ නායක වූයේ ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයාය. 2019 ජනපතිවරණයේ දී විපක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කළේය. මෙවර ද දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කර ඇති අතර මෙවර විශේෂත්වය වන්නේ 2019 තිබූ තත්ත්වයට වඩා එම පක්ෂයේ බලය අඩු වී තිබීමය. 2020 මහා මැතිවරණයේ දී තමිල් අරසු කච්චි පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ ඡන්ද 112,967 කි. එහිදී යාපනයට තරග කළ ශ්‍රීලනිප අපේක්ෂකයා වූ අංගජන් රාමනාදන් තනිවම ඡන්ද 36,365 ක් ලබා ජයග්‍රහණය කිරීම දෙමළ සන්ධානයේ බලය අඩු වී ඇති බවට හොඳම උදාහරණය වේ. දෙමළ ජාතික සන්ධානයට එරෙහි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඊ.පී.ඩී.පී හා ශ්‍රීලනිපය එක්ව ගත් ඡන්ද ප්‍රමාණය ලක්ෂ එකහමාරක් විය. මඩකලපුවේ දී දෙමළ ජාතික සන්ධානය ඡන්ද 156,418 ක් ලබාගන්නා විට එයට එරෙහි සෙසු පක්ෂ 298,000 ක් ඡන්ද ලබාගෙන ඇත. වන්නියේ දී ටී.එන්.ඒ ඡන්ද 69,916 ක් ලබාගන්නා විට එයට එරෙහි සෙසු පක්ෂ ඡන්ද 56,852 ක් ලබාගෙන ඇත. ඒ අනුව පෙනී යන්නේ එල්.ටී.ටී.ඊ සමයේ එක පොදු මතයකට ගොනුකර තිබුණද මේ වනවිට එම පොදු මතය උතුරේ දේශපාලන පක්ෂ තුළ නොමැති බවය. දෙමළ ජනතාවගේ ඡන්ද කුට්ටිය තනිව මල් බඳුනක තබා පූජා කිරීමට දැන් ඔවුන්ට නොහැකි බවය.

තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය සඳහා ඉකුත් කාලයේ උතුරෙන් එස්. ශ්‍රීධරන් සහ කොළඹ සිටින සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් තරග වැදුණු අතර ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉන් ජය ගත්තේය. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ජීවත් වන්නේ උතුරේය. සුමන්තිරන් කොළඹ කේන්ද්‍ර කරගෙන දේශපාලන කටයුතුවල යෙදේ. එහෙත් ශ්‍රීධරන්ට පක්ෂය තුළ විශාල බලයක් ඇති බව පොදු පිළිගැනීමය. දෙමළ ජාතිකවාදයට දැඩි නැඹුරුවක් දක්වන ශ්‍රීධරන් එල්.ටී.ටී.ඊ හිතවාදී දේශපාලන ගමනක නිරත වෙයි. උතුරේ බොහෝ පිරිස් ඔහුට සමීපව සිටින්නේ ඒ නිසාය. අරසු කච්චි පක්ෂයේ නායකත්වය ඔහු දිනාගත්තේ මේ වසරේ ජනවාරි මාසයේ දී ත්‍රිකුණාමලයේ පැවැති මහ සභා රැස්වීමකදීය. එහිදී ඔහුට පක්ෂයේ දිස්ත්‍රික් සභා සාමාජිකයන් 184 කගේ සහාය හිමිවිය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය බිහිවූයේ 1949 දී එස්.ජේ.ටී. චෙල්වනායගම්ගේ නායකත්වයෙනි. උතුරේ ලාංකික දමිළයන්ගේ පක්ෂය ලෙස සැලකුණු ජී.ජී. පොන්නම්බලම්ගේ නායකත්වයෙන් පිහිටුවාගෙන තිබුණු ද්‍රවිඩ කොංග්‍රසයේ මතභේදයක් මත ඉවත්ව ගිය චෙල්වනායගම් අභිනව පක්ෂය පිහිටුවීය. පසුකාලීනව උතුරේ වඩාත් ජනතා ආකර්ශනයට ලක්වූයේ චෙල්වනායගම්ගේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයය. එදා සිට අද දක්වාම එම පක්ෂය සියලු පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කර ඇත.

2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අසුනක් ප්‍රථම වරට දිනාගත් ශ්‍රීධරන් මේ දක්වා නොකඩවා අසුන රැකගෙන ඇත. ඉකුත් දා ඔහු අරසු කච්චි පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු කටයුත්ත ලෙස යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වළලා ඇති සුසාන භූමියකට ගොස් ඔවුන්ට ගෞරව කළ අතර එය උතුරේ බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. පක්ෂයේ ප්‍රධාන ශක්තිය දෙමළ ජාතිකවාදය බව ඔහු උතුරේ පුවත්පත්වලට පවසා තිබිණ. ඔහුගේ දේශපාලනය මේ වනවිට නැඹුරුව ඇත්තේ චෙල්වනායගම් හා අමිර්තලිංගම් වැනි පැරණි දමිළ නායකයන්ගේ මග අනුව යමින් හැඟීම්බර ජාතිකවාදී දේශපාලනයක් කෙරෙහිය. ඔහු පොදු අපේක්ෂකයාට සහාය දීම මත සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් උතුරේම නවතින බව නිගමනය කළ හැකිය.

උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඇරඹුවේ කොළඹ බොහෝ පක්ෂ ප්‍රචාරක කටයුතු අරඹා නොතිබූ පසුගිය ජූලි මාසයේදීය. ජූලි 22 වැනිදා දෙමළ දේශපාලන පක්ෂ හතක් සහ ජනතා ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙක් “දෙමළ ජාතික පොදු රාමුව” නමැති අවබෝධතා ලියැවිල්ලක් අත්සන් කළහ. “මුල්ලවයිකාල් සංහාරයට පසු ගෙවී ගිය වසර 15 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් හා දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලබාදීම සඳහා මෙතෙක් පැවැති ආණ්ඩු කිසිදු පියවරක් ගෙන නොමැති නිසා ඉදිරි ජනපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එම ලියැවිල්ලේ සඳහන් විය. ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. වෙනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජනතා ජාතික සංවිධානයේ නායක විග්නේෂ්වරන්, හිටපු මන්ත්‍රී ශ්‍රී කාන්තා ඇතුළු පිරිසක් මෙම ලියැවිල්ලට අත්සන් තැබූහ. ඒ අනුව ජනපතිවරණයට ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස හක් ගෙඩිය ලකුණින් අරියනේත්තිරන් පාක්කියසෙල්වම් ඉදිරිපත් කෙරිණි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා දෙමළ පොදු අපේක්ෂකයා හමුවීම ඉන් දින කිහිපයකට පසු උතුරේ දේශපාලනයේ වර්ධනාත්මක ප්‍රවේශයක් විය. එයට හේතු වූයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වීම අවශ්‍ය නැති ක්‍රියාවක් බවට මත පළ කර තිබීමය. සුමන්තිරන් මෙසේ ද කියා තිබිණි. “ටී.එන්.ඒ. ඉල්ලන්නේ ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාත් පදනම් කරගත් බලය බෙදීමේ පාලන ක්‍රමයක්. මේක තමයි අපේ පක්ෂයේ ස්ථාවරය. මේකට සහාය දෙන කෙනකුට අපි ජනපතිවරණයේ දී සහාය දෙනවා...”

සුමන්තිරන් මන්ත්‍රීවරයා එසේ කියද්දී නැගෙනහිර පළාතෙන් පත්වූ ටී.එන්.ඒ. මන්ත්‍රීවරයකු වන ශානක්කියන් රාසමානික්කියන් පැවසුවේ පොදු අපේක්ෂකයකු උතුරට අනවශ්‍ය බවය. “දෙමළ ජනතාවට කිසි උනන්දුවක් නෑ පොදු අපේක්ෂකයෙක් ගැන. ප්‍රධාන තුන්දෙනාගෙන් කෙනෙක් ජනාධිපති වෙනවා. ඡන්ද ටික වෙන අපේක්ෂකයකුට යන එක වළක්වන්න වෙනත් අපේක්ෂකයකුගේ වුවමනාවට පොදු අපේක්ෂකයා ඉදිරිපත් වුණා කියලත් මතයක් තියෙනවා...” රාසමානික්කියන් කියා සිටියේය. ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක සහ පර්යේෂණ හා විශ්ලේෂණ අංශයේ (රෝ) ප්‍රධානී අජිත් දොවාල්ගේ ලංකා සංචාරයට පසු දා සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය සජබ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවය. පොදු අපේක්ෂකයා තරගයෙන් ඉවත් වන්නේ නම් වඩාත් හොඳ බවද ඔහු කීවේය.

උතුරේ දේශපාලනය ද දකුණේ දේශපාලනය සේම කල්ලි හා කණ්ඩායම්වලට කැඩී තිබෙන බව රහසක් නොවේ. උතුරේ ජනතාව ගැන පොදුවේ සිතනවාට වඩා අගනුවර කේන්ද්‍ර කරගත් ප්‍රධාන පක්ෂ කිහිපයේ නායකයන් සමඟ පෞද්ගලික සම්බන්ධතා පවත්වා ගැනීමට බොහෝ දමිළ නායකයන් පෙළඹී සිටින බව පසුගිය කාලය පුරාම පෙනෙන්නට තිබුණි.

පොදු අපේක්ෂක පාක්කියසෙල්වම් නාමයෝජනා භාරදීමෙන් පසු ඔහු හමුවීමට ගිය එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පක්ෂයේ තීරණය කුමක් වුවත් තමා දෙමළ පොදු අපේක්ෂක පී. අරියනේත්තිරන් වෙත සහාය ලබා දෙන බවය. තමා මන්ත්‍රීවරයකු වූයේ දෙමළ ජනතාවගේ සහායෙන් නිසා දෙමළ පොදු අපේක්ෂකයාට සහාය පළ කරන බවය.

1994 න් පසු ශ්‍රීලනිප ආණ්ඩු තම පරම සතුරා ලෙස තෝරාගත් එජාප නායකයාට එල්ල කළ ප්‍රධානම ප්‍රහාරය වූයේ අලි-කොටි ගිවිසුම්ය. යුද සමයේත් ඉන් පසුවත් සිංහල දේශප්‍රේමය ඇවිස්සීම සඳහා නිරතුරුවම එල්ල කළ අලි-කොටි ගිවිසුම් නමැති ප්‍රහාරයෙන් 2019 දක්වාම ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණු ආණ්ඩු පාලන බලයේ රැඳී සිටීම සඳහා වාසි ලබා ගත්තේය. එසේ චෝදනා කළත් එජාප නායකයා ජනාධිපතිවරයා බවට පත්වූ 2022 වසරෙන් පසු උතුරේ දෙමළ සංවිධාන ඔහුගේ රජයටත් ඔහුටත් සහාය පළ කළේ නැත. එවැනි ගිවිසුම් තිබුණේ නම් ඔහු ජනපති වූ පසු ඔහුගේ රජය රැක ගැනීමට සුවිශාල දායකත්වයක් දරන්නේ උතුරේ පක්ෂ බව නිසැකය.

යාපනය හා කිලිනොච්චිය අයත් යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයට මෙවර ඡන්ද 593,187 ක් අයත්ය. වවුනියාව, මන්නාරම හා මුලතිව් අයත් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට ඡන්ද 306,081 ක් අයත්ය. ඒ අනුව නව ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වන උතුරේ ඡන්ද දමිළ පොදු අපේක්ෂකයාට ලැබෙන්නේද? එසේ නැතිනම් කොළඹ පදනම් කරගත් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ට ලැබෙන්නේ ද යන්න තවමත් අවිනිශ්චිතය. පොදු අපේක්ෂකයා ඉදිරිපත් නොවූයේ නම් උතුරේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවන්නේ කොළඹ පදනම් කරගත් ප්‍රධාන අපේක්ෂකයන් අතරින් තෝරාගත් අපේක්ෂකයකුටය. නැතිනම් කිහිප දෙනකුටය. මෙහිදී උතුරේ සෑහෙන පිරිසක් තවමත් කොළඹ අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කරන ඊළාම් මතවාදය තුළ ගිලී සිටින බව රහසක් නොවේ. එවැනි අයට හක් ගෙඩිය ලාංඡනයෙන් ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයාට ඡන්දය ලබා දිය හැකිය. සුමන්තිරන්ලාගේ මතය පිළිගන්නා අයට සජිත් ප්‍රේමදාස තෝරාගත හැකිය. තවත් අය සිටී නම් රනිල් හෝ අනුර තෝරාගත හැකිය. එසේ වුවහොත් සිංහල ජනතාව බහුලව සිටින දිස්ත්‍රික්කවල ඡන්ද බෙදී ගොස් ඇති තුන්කොන් පොරයට උතුරේ ඡන්ද ද යම් යම් ප්‍රතිශතවලින් එකතු වනු ඇත. එහෙත් පොදු අපේක්ෂකයාට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දීමට උතුරේ ජනතාව කල්පනා කළහොත් දකුණේ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් සිදුවනු ඇත. එය එසේ වන්නේ උතුරේ පොදු අපේක්ෂකයා ළඟ රැඳෙන ඡන්ද ප්‍රධාන අපේක්ෂකයන්ට එකතු නොවන නිසාය. දකුණේ අපේක්ෂකයන් තිදෙනා කරට කර සටනක නිරත වුවහොත් උතුරේ ඡන්ද නව ලක්ෂය ජාතික ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා තීරණාත්මක බලපෑමක් ඉටු කරනු ඇත. එහෙත් ඉන් කොටසක් උතුරේම රැඳුණොත් එය ද කොළඹ අපේක්ෂකයන්ට තීරණාත්මක වන අතර ලක්ෂ නවයම කොළඹ අපේක්ෂකයන්ට ලැබුණහොත් එය ද ප්‍රධාන ජයග්‍රහණයට තීරණාත්මක වේ. මේ නිසා පසුගිය ජනපතිවරණ කිහිපයකදීම මෙන් මෙවරත් උතුර තීරණාත්මකය.

ප්‍රේමකීර්ති රණතුංග