බක් පුර පසළොස්වක පොහොය දිනයේ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබිය දී එදින සවස සිට රාත්‍රිය දක්වා මහියංගනය පොලිසියේ නිලධාරීන් පිරිසක් සොරබොර වැව් තාවුල්ලේ මත්පැන් සාදයක් පවත්වා ගී ගයා විනෝදවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කළ බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
කොරෝනා මාරාන්තික වයිරසයේ සැහැසි ග්රහණයෙන් මේ රට මුදා ගැනීමේ අනවරත මෙහෙයුමේ අතිශයින්ම කීර්තිමත් කාර්යභාරයක් පොලිස් නිලධාරීහු ඉටු කරති. ඔවුහු විසි හතර පැය පුරාම මහ මඟ මාර්ග බාධකවල දුක් විඳිති. පොදු මහ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කැප වී ක්‍රියා කරති. ඔවුන්ගේ එම කැපවීම නොවන්නට කොරෝනා මාරාන්තික වයිරසයට එරෙහි මෙහෙයුම මෙතරම් ප්‍රගතියක් නොලබන බව ඒකාන්ත සත්‍යයකි.
පොලිස් නිලධාරීන්ගේ කැපවීම මුළු මහත් ජාතියේම පැසසුමට ලක් විය යුතුය. එමෙන්ම සාතිශය බහුතරයක් ජනයා තම පැසසුම නිර්ලෝභිව පොලිස් දෙපාර්තමේන්තුවට පුදති. එම පැසසුම තවදුරටත් රට වෙනුවෙන් කැපවීමට ඔවුන් දිරිමත් කිරීමකි. සොරබොර වැව් තාවුල්ලේ රාත්‍රී සාදයක් පැවැත් වූ මහියංගන පොලිසියේ නිලධාරීන් සම්බන්ධ පුවත කිරි කළයට ගොම බිංඳුවක් නොව ගොම හට්ටියක් දැමීමකි.
‘වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමුද ඒ දුක’ යනුවෙන් කියමනක් ජන වහරෙහි එයි. නීතිය ආරක්ෂා කිරීමේ වගකීම පොලිස් නිලධාරියා සතුය. පොලිස් නිලධාරියාගේ වගකීම වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමය. විශේෂයෙන්ම මේ මොහොත යනු ඉතිහාසයේ මෙයට පෙර කිසි දිනෙක හමුනොවූ දවස්වලින් පිරී පවතින්නකි.
ගෝලීය වසංගතයක ගොදුරක් බවට අප රටද පත් වී තිබේ. ලොව බොහෝ රටවල මෙම රෝගී තත්ත්වයෙන් මිය යන සංඛ්‍යාව ටැක්සි මීටරයක් බවට පත්ව තිබේ. ලොව බලගතු ඇතැම් රටක කොරෝනා මාරාන්තික වයිරසයෙන් දිනකට මිය යන සංඛ්‍යාව දහස ඉක්මවයි.
අප රට අධි වසංගත තත්ත්වයට ගොදුරු නොවනු ඇතැයි පුරෝකථන කළ නොහැකිය. සැබැවින්ම එය තීරණය කිරීමේ අසමසම බලය රටේ පුරවැසියා සතුය. එම පුරවැසියා යන වචනය තුළ පොලිස් නිලධාරියා ද සිටී. ඔහු කිසි ලෙසකින් හෝ පුරවැසි වගකීමෙන් අත් මිදුණු අයකු නොවේ. පුරවැසි වගකීම් සෙසු පුරවැසියන්ටත් ඉහළින් ඉටු කිරීම පොලිස් නිලධාරියකුගෙන් අපේක්ෂා කරන බව පොලිස් නිලධාරියාට ගෞරවයක් ලෙස සටහන් කර තබමු.
කොරෝනා මාරාන්තික වයිරසය සම්බන්ධයෙන් අවශ්‍ය මට්ටමින් දැනුම්වත් වීමට තවත් කල් අවශ්‍ය නොවේ. රට පත්ව ඇති අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය මට්ටමින් තමන් දැනුම්වත් වී නැතැයි යමකු පවසන්නේනම් ඒ තක්කඩියෙකි. ප්රශ්නය වන්නේ සොරබොර වැව් තාවුල්ලේ රාත්‍රී සාදයක් පැවැත් වූ මහියංගන පොලිසියේ නිලධාරීන් පිරිස එබඳු තක්කඩියන් පිරිසක් ද යන්නය.
සොරබොර වැව් තාවුල්ලේ රාත්‍රී සාදය පැවැත් වූ දිනය ද විශේෂිතය. එදින බක් පුර පසළොස්වක පොහොය යෙදී තිබිණි. දෙවැන්න එදින මුළු රටේම ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. පොහොය දිනයේ බාර් වසා දැමේ. එළිමහනේ මත්පැන් සාද සපුරා තහනම්ය. ඒවා වැටලීමේ වගකීම පැවරෙන්නේ ද පොලිසියටමය. මහියංගනයේ දී ඒ නීතිය කඩකර තිබෙන්නේ ද පොලිස් නිලධාරීන් පිරිසක්මය. ‘වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමුද ඒ දුක’ යන්න සිහිපත් වන්නේ එම පරිසරය තුළය.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව, සැක රෝගීන්ගේ සංඛ්‍යාව පමණක් නොව නිරෝධායනයට ලක්වූ සංඛ්‍යාව ඉක්මවා යන පිරිසක් සිටිති. ඒ ඇඳිරි නීතිය කඩ කළ පිරිස් වෙති. නීතියට අවනත නොවන අනීතික අවිනීත පිරිස් බහුලවීම නළල රැලි ගැන්වීමට හේතුවකි. ඒ අනුව සොරබොර වැව්තාවුල්ලේ බක් පුර පසළොස්වක පොහොය දා රාත්‍රී සාදයක් පැවැත් වූ මහියංගන පොලිසියේ නිලධාරීන් කර තිබෙන්නේ ද ඇඳිරි නීතිය කඩ කිරීමකි.
පොලිස් දෙපාර්තමේන්තුවේ ආයතන සංග්‍රහයේ සඳහන් වගන්තිවලට යටත්ව එම නිලධාරීන්ට එරෙහිව යම් ක්‍රියා මාර්ගයක් ගන්නේනම් ඒ අයුරින්ම ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව යටතේ ද දඬුවම් පැමිණ විය යුතුය.
බණ්ඩාරගම, වල්ගම සුසාන භුමිය අසල දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි රා ප්‍රවාහනය කරමින් තිබූ බවත් එම රියේ සිටි මත්තොගොඩ පොලිසියේ සැරයන්වරයකු පොලිසියෙන් මිදී පැන ගිය බවත් අප පුවත්පත වාර්තා කළ ප්රවෘත්තියක සඳහන් විය. පොලිසිය යනු ඉතා කීර්තිමත් ආයතනයකි. එම කීර්තිමත් ආයතනයට අපකීර්තියක් රැගෙන ඒමට කිසිවකුට ඉඩ දිය යුතු නැත.