එකිනෙකාට ඇඟිල්ල දිගු කර හෝ එකිනෙකාට අපහාස කර හෝ ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳන්නට නොහැකි බවත්, මේ අවස්ථාවේදී ජයග්‍රාහකයා කවුද පරාජිතයා කවුද යන්න තක්සේරු කිරීමෙන් වළකින ලෙස ගුරුභවතුන්ගෙන්, ආණ්ඩුවේ දේශපාලනඥයන්ගෙන් හා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.
පාසල් යළි ආරම්භ කරන්නට ගුරුවරුන් එකඟ වීමෙන් ආණ්ඩුව ජයග්‍රහණය කර ගුරුවරුන් පරාජය වීම හෝ ගුරුවරුන් ජය ගෙන ආණ්ඩුව පරාජය වීම හෝ සිදු වී නැතැයි ප්‍රකාශ කර ඇති අමාත්‍යවරයා, මෙහි සැබෑ ජයග්‍රාහකයන් වන්නේ රටේ දරු පරපුර බව ද සඳහන් කළ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
දරුවන් 200ට අඩු ප්‍රාථමික පාසල් අද දින සිට විවෘත කිරීමට රජය තීරණය කළේය. ගුරු විදුහල්පති වැටුප් විසමතා තුරන් කරගැනීමේ අරගලයේ නියුතු ඇතැම් වෘත්තීය සමිති රජයේ තීරණය භාරගෙන අද සේවයට වාර්තා කිරීමට සූදානම්ය. ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ, තමන් සේවයට වාර්තා කරන්නේ 25 වැනිදා බවය. මේ අතර, සටනේ අඛණ්ඩව සිටින බව ඇතැම් වෘත්තීය සමිති පවසයි.
වසරකට පාසල් පවත්වන්නේ දින 210ක් පමණය. මෙයින් දින 103ක් 2020 වසරේදී මෙරට දරුවන්ට අහිමි විය. මේ වසරේ මේ වනවිටත් දින 115ක් දූ දරුවන්ට පාසල අහිමි වී තිබේ. පාසලක් විවෘත කිරීම හිර ගෙවල් දහයක් වැසීමක් යනුවෙන් කතාවකි. එම පරිසරය තුළ පාසල් විවෘත නොවී තිබීම පොදුවේ සමාජයට එල්ල කරනු ලබන බලපෑම් වටහා ගැනීම අසීරු නොවේ.
‘විද්‍යා දදාති විනයං’ යනුවෙන් ඉගැන්වේ. එයින් කියැවෙන්නේ විද්‍යාවෙන් හෙවත් අධ්‍යාපනයෙන් විනය නිර්මාණය කරන බවය. ඒ අනුව පැහැදිලි වන්නේ, අධ්‍යාපනය නොලැබීමෙන් විනය පිරිහෙන බවය. වසර එක හමාරක් පුරා අප දූ පුතුනට අධ්‍යාපනය අහිමි විය. එම නිසාම දූ පුතුන්ගෙන් ප්‍රකාශයට පත්වූ විවිධ ශෝචනීය සිදුවීම් ද එකක් පසුපස එකක් වශයෙන් වාර්තා විය. ඒ අනුව, අනාගත දරු සම්පත කවර දිශාවකට ගමන් කරනු ඇද්දැයි යන ප්‍රශ්නය තුළ රැඳී ඇත්තේ රටේ අනාගතය සම්බන්ධ භීතියම වේ.
‘පුත්තා වත්ථු මනුස්සානං’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. උන්වහන්සේ දේශනා කළේ, මිනිසා සතු වටිනාම සම්පත දරුවන් බවය. එහෙත්, අප රටේ මිනිසුන්ට සිදු වී තිබෙන්නේ ඒ තමන් සතු වටිනාම සම්පත සම්බන්ධයෙන් භීතියෙන් පසු වීමටය. එයට හේතුව දරුවාගේ දෙවැනි මහගෙදර වන පාසල් වැසී තිබීමය. පාසල් වසා දැමුණේ කොරෝනා මාරාන්තික උවදුර හේතුවෙනි. එහෙත්, එම උවදුරේ බලපැම තුනී වී යන මොහොතේදී පාසල් විවෘත කිරීමට රජය තීරණය කළේය. එහෙත්, ගුරු විදුහල්පති වැටුප් අරගලය නිසා නිසි අධ්‍යාපනයක් ලැබේ ද යන ප්‍රශ්නය මවුපියන් හමුවේ පවතී.
දරුවා යනු රටේ අනාගතය විනා අන් යමක් නොවේ. ඒ අනාගතය බාරගත යුතු වන්නේ ගුණ නැණ බෙලෙන් පිරිපුන් දරුවන්ය. අධ්‍යාපනයක් නොලැබීමෙන් වල් වැදුණු මනසක් සහිත දරුවන් අතට රටේ අනාගතය තීරණය කිරීමට සිදු වුවහොත් එම රටේ පැවැත්ම කවරාකාර විය හැකි දැයි යන්න තේරුම් ගැනීම අසීරු නැත. සැබැවින්ම දරුවාට අවශ්‍ය වන්නේ අධ්‍යාපනය සඳහා වන නිර්බාධක පරිසරයක්ය.
සඳුන් ගැටක් මිටින් අරන් නූපන් සාතිශය බහුතරයක් වන දිළිඳු දූ පුතුන් සතු මහරු ධනය අධ්‍යාපනය වේ. දරුවා තම අනාගත සියලු සිහින නිර්මාණය කරගනු ලබන්නේ අධ්‍යාපනය ඔස්සේය. සියලු ජයග්‍රහණ අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ අධ්‍යාපනය මගිනි. මවගේ කඳුළු සිනාවටත් පියාගේ වේදනාව බලාපොරොත්තුවකටත් පරිවර්තනය කරගත හැකි වන්නේ අධ්‍යාපනයෙන් බව දරුවෝ සිතති. ඒ මාර්ග සැලැස්මට බාධා නොතිබිය යුත්තේ එහෙයිනි.
තමන්ගේ මුළු මහත් අනාගතයටම බලපාන අධ්‍යාපනයට බාධා ඇති වීම ඒ දරුවා තුළ විසම මනසක් නිර්මාණය වීමට හේතු වෙයි. අනාගතයේදී සමාජ ෙද්‍රා්හී මිනිසකු නිර්මාණය වීමට එය ප්‍රධාන කාරණාවක් වෙයි. අධ්‍යාපන අයිතිය අහිමි වූ පරිසරයක වැඩෙන දරුවා සමාජ ද්‍රෝහී ක්‍රියාවල යෙදෙන්නන් බවට පත්වීම අරුමයක් නොවේ. මුළු මහත් වැර වෑයම් යොදා වළක්වා ගත යුතු වන්නේ එම ශාපලත් පරිසරය වේ.
ගුරු විදුහල්පති වැටුප් විසමතාවට වසර 24කි. එමෙන්ම, එම ගුරු විදුහල්පතිවරුන්ට වැටුප් විසමතාවක් තිබෙන බව රජය පිළිගනී. ඉන් ඔබ්බට ගොස් රජය මේ මොහොතේ එයට විසඳුම් ද ඉදිරිපත් කර තිබේ. එය ගුරු විදුහල්පති වෘත්තීය සමිති ලද ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය දූ පුතුන්ගේ ජයග්‍රහණයක් බවට පරිවර්තනය කළ යුතුය.
එහෙයින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ප්‍රකාශ කළාක් මෙන් එකිනෙකාට ඇඟිල්ල දිගු නොකර හා මඩ අවලාදවලින් ප්‍රහාර එල්ල නොකරමින් දූ පුතුන්ට ආදර්ශයක් වන ආකාරයට කටයුතු කරමින් දරුවා ජයග්‍රාහකයකු බවට පත් කිරීමට සියල්ලන් කැපවීමෙන් කටයුතු කළ යුතු බව දැඩිව අවධාරණය කළ යුතුය.
(***)