1902 ඔක්තෝබර් 22 මුහන්දිරම් දියෝනිසියස් සේපාල පණ්ඩිත දහනායක හට කර්ය බහුල දිනයක් වූයේය. ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරයේ දායක සභාවේ සභාපතිවරයා වූ මුහන්දිරම් විශේෂ පූජාවක් පවත්වමින් සිටියේය. පූජෝත්සවය මධ්‍යයේ හිටිහැටියේම මුහන්දිරම් දහනායක තම නිවසින් පණිවිඩයක් ලද්දේය. ඔහුගේ මුහුණ පුරා මල් පිපී ගියා සේ සිනා රැල්ලක් මතුව ආයේය. එවර මුහන්දිරම් ලහි ලහියේ වලව්වට ගියේය. ඔව්! ඊට ටික වේලාවකට පෙර ඔහු පිරිමි නිවුන් දරුවන් දෙදෙනකුගේ පියකු බවට පත්ව උන්නේය.
ඔවුන්ගෙන් වැඩිමලාට විජයානන්ද යන නම ඔහු තැබුවේ විජයානන්ද විහාරයේ නාමයෙනි. ඔහුට ප්‍රීතිමත් ආරංචිය ලැබුණේ කළණ මිතුරන් අතර රැඳෙමින් පුණ්‍ය ක්‍රියාවක නිරතව සිටියදී නිසා, අනෙක් නිවුන් දරුවාට ඔහු කල්‍යානප්‍රිය යන නම තැබුවේය.
ඓතිහාසික සිදුවීම්:
(i) කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් සහ බ්ලවාට්ස්කි මැතිනිය 1880 මැයි 19 වැනිදා බුද්ධාගම වැළඳ ගැනීමෙන් පසුව පළමුව පන්සිල් සමාදන් වූයේ මෙම විහාරයේදීය.
(ii) ශ්‍රී ලංකාවේ ඉපැරණිම ඉරිදා දහම් පාසැල පැවතියේ මෙම විහාරයේය. එය ආරම්භ වූයේ 1895 දීය.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට බාලිකාවන් පිරිසක් විවාහ මංගලෝත්සවයකදී ජයමංගල ගාථා ගායනා කරනු ලැබුවේ 1897 දීය. ඒ මෙම දහම් පාසැලේ සිසුවියන්ය.
(iii) 1864 පූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍ර සභෝවාර ඥානස්වාමි හිමියන් යටතේ රාමඤ්ඤ නිකාය ප්‍රභවය ලැබුවේ මෙම විහාරයේය.
(iv) කපිලවස්තුපුර සර්වඥධාතු සොයා ගැනීමෙන් අනතුරුව සර්වඥධාතූන් වහන්සේලා තුන් නමක් රාමඤ්ඤ නිකායට පිරිනමනු ලැබ මෙම විහාරස්ථානයේ තැන්පත් කරනු ලැබිණි.
වැලිවත්ත යනු රුහුණු පුත්‍රගේ උපන් ගමයි. ඔහු මෙම විහාරයේ, නායක ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය මාවැල්ලේ ශ්‍රී ධර්මාරාම අරියකීර්ති (අලින්කිත්තේ හාමුදුරුවෝ) සහ පූජ්‍ය ගාල්ලේ ඥාණභාෂ හිමියන් පෞද්ගලිකව දැන හැඳින සිටියේය.
විජයානන්දගෙත්, කල්‍යානප්‍රියගේත් මෑණියන් වූ කැරොලිනා දහනායක නිවුන්නු නැළවූවාය. ඔවුහු එකට හැඬූහ. එකට ලෙඩින් වැටුණෝය. එකට කුසගින්න වින්දෝය. අනෙක් අවශ්‍යතා එක්ව පිරිමසා ගත්තෝය.
ඒ කාලයේ පෙර පාසැල් නොතිබුණු නිසා ඔවුන්ගේ පියා නිවස සමීපයේ තිබූ රිපන් බාලිකා විද්‍යාලයට නිවසේ අත්උදව්වට සිටි අයකු සමග ඔවුන් යැවුයේය. ඔවුහු දෙදෙනාම සෙල්ලමට ලැදි දඟකාර දරුවන් වූවෝය. එදිනෙදා පාසැල හමාර වන්නට අවසන් සීනුව වදින්නටත් පෙර ඔවුහු කන්දෙන් පහළට දිව ආවෝය. මෙම බාලිකා පාසැලේ උත්සවයක් පැවති දිනයක එවකට කැබිනට් ඇමැතිවරයකු වූ විජයානන්ද, තමාත් තමාගේ නිවුන් සොයුරාත් මේ පාසැල් ආදිශිෂ්‍යාවන් බව පැවසුවේ පැමිණ සිටි මහ සෙනඟ මහ හඬින් සිනහ ගන්වමිනි.
තව නිවස සමීපයේ තිබූ ගල්කැටිය පන්සලේ ඉරිදා දහම් පාසැලට ඔවුන් ගියද ඔවුන් එයින් කිසිම දහමක් ඉගෙන නොගත්තේ දහම් පාසැලේ අඩුපාඩුවක් නිසා නොව, ඔවුන් දෙදෙනාගේ දඟකාරකමත් සෙල්ලමට ඇති ලැදියාවත් නිසාය.
ඉන් අනතුරුව දෙදෙනාම රිච්මන්ඩ් කොලීජියට ඇතුළත් වූවෝය. එම විද්‍යාලය තිබුණේද ඔවුන්ගේ නිවෙස සමීපයේය. දෙදෙනා එකට ඉගෙන ගත්තෝය. එකට සෙල්ලම් කළෝය. දෙන්නා එකට ඉන්නා විට ඔවුන් එකිනෙකාගෙන් වෙන්කොට හඳුනාගන්නට අසීරු වූයේ ඔවුන් සර්ව සම නිවුන්නු වූ බැවිනි.
5 වැනි පන්තියේදී දෙදෙනාටම එක් පන්තියක් මගහැර ඉහළ පන්තියට යෑමේ සමර්ථය ලැබුණි (ඩබල් ප්‍රමෝෂන් ලැබුණි). 1917 දී පැවැත්වූ කේම්බ්‍රිජ් ජූනියර් විභාගයේදී විජයානන්ද පරදා කල්‍යාණප්‍රිය දිනුම ලැබුවේ දෙවැනි ඉහළ පන්තියේ සමර්ථයක් ලබා ගනිමිනි. විජයානන්ද ලැබුවේ 3 වැනි පන්තියේ සමර්ථයකි. විද්‍යාලීය ශාලාවේ අතිවිශිෂ්ට ශිෂ්‍යයන්ගේ නම් සඳහන් පුවරුවේ ඔවුන් දෙදෙනාගේම නම් දිස් වූයේය.
1927 මහත්මා ගාන්ධි ගාල්ලට පැමිණි අවස්ථාවේ දෙදෙනාම ඔහුට සුබ පතන්නට ගියහ. විජයානන්ද, තමා අතින් ලියැවුණු ගාන්ධි ගැන කවියක්, ගාන්ධිට පිරිනැමුවේය.
ඔවුන්ගේ එක් වැඩිමල් සොයුරකු වූ බානු රන්සි නීති ශිෂ්‍යයකුව සිටියදී මියගිය කල ඔවුන්ගේ වැඩිහිටියෝ ඔවුන් දෙදෙනා නීතිඥයන් බවට පත් විය යුතු යයි යෝජනා කළෝය. දෙදෙනාටම චතුර ලෙස දෙඩීමේ හැකියාව උපතින්ම ලැබී තිබීම ඊට හේතුවයි.
“අපට බෑ ලජ්ජා නැතුව බොරු කියන බොරුකාරයො වෙන්න.” දෙදෙනා එකවර එක හඬින් කීවෝය.
“එහෙනං උඹල ඕන කුදයක් ගහගනිල්ල. උඹලට කැමති අතක පලයල්ලා.” ඔවුන් කී දෙයින් සිත් තැවුලට පත් වැඩිහිටියෝ ඔවුන්ට කීහ.
දෙදෙනා රිච්මන්ඩ් කොලීජියේ, කේම්බ්‍රිජ් ජූනියර් විභාගය සමත් වූ පසුව දෙදෙනාම ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට පිටත් කෙරිණි.
අනෙක් ක්‍රියාකාරකම් නිසා තමන්ගේ ඉගෙනීමට බාධා වේදෝයි බියෙන් දෙදෙනා තම අධ්‍යයන කටයුතුවලට මූලික අවධානය යොමු කළහ. කෙසේ වුවද කල්‍යාණප්‍රිය විදුහලේ විවාද කණ්ඩායමේ සිටියේය. දෙදෙනාම නාට්‍ය නැරඹීමට ආසා කළෝය.
ඉන්පසුව දෙදෙනා කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි පුහුණු පාසැලට ඇතුළත් වූවෝය. ඔවුන් කී ලජ්ජ නැතුව බොරු කියන බොරුකාරයන්ගේ කතාව අසා තිබූ එම පුහුණු පාසැලේ උප විදුහල්පති ජී.ඒ. හාර්ඩ් ඔවුන් ඇමතුවේ ‘දිව්‍යමය නිවුන්නු’ ලෙසයි. පුහුණු වන්නන් හට දී තිබුණේ කුඩා කාමරය සුව පහසුව ඒවායේ ඉන්නට නොහැකි වුවද ඔවුන් වැඩිපුරම ප්‍රමුඛතාව දී හිත යොමු කළේ ඉගෙනීමේ කටයුතුවලටය.
ඔවුන්ට ආහාර පිරිනැමුවේ භෝජන ශාලාවේය. ඔවුනට සිංහල භෝජන (බත් මාළු) අනුභවයට දුන් අතර කිසි කෙනෙක් ඒ ගැන පැමිණිලි නොකළහ. එක් දිනක් විජයනන්ද සහ කල්‍යාණප්‍රිය හැඳි - ගෑරුප්පුවලින් අනුභව නොකොට අතින් කෑම කනු ඔවුන්ගේ නේවාසික පාලකවරයා දුටුවේය. එකල හැඳි ගෑරුප්පුවලින් අනුභව නොකොට සිසුන් අතින් ආහාර ගැනීම (බලවත් ලෙස විනය නීති කඩ කිරීමක් බැවින්) එය වරදක් විය. එවේලේ ඔවුන් අනුභව කරමින් සිටියේ මුරුංගාය.
ඊළඟ දිනයේ දෙදෙනා බලධාරීන් ඉදිරියට පමුණුවනු ලැබ නැවත එය නොකරන ලෙස දෙදෙනාට තදින්ම අවවාද කරන ලදී. එම අවවාදයට දෙදෙනාම එක හෙළා විරුද්ධ වූවෝය. අතින් බත් කෑම සිංහල චාරිත්‍රයක් බව කියා සිටි ඔවුහු “බණ්ඩාරනායක මහ මුදලි වුණත් මුරුංගා කන්නේ අතින්.” කියා තවදුරටත් කීවෝය. තවත් දවසක, මුරුංගා හොඳි ආහාර පිණිස දුන්විට හැඳි ගෑරුප්පු පසෙක තැබූ ඔවුහු මුරුංගා අතින් ගෙන කෑවෝය. පුහුණු වන්නන්ගේ නායකයා එසේ නොකරන ලෙස පැවසුවේ එය ආචාරධර්ම පද්ධතිය කඩ කිරීමක් නිසයි. දෙදෙනාම එවර විරුද්ධත්වය පා, කෑම මේසයෙන් ඉවත්ව ගියහ. ඊළඟ දිනයේ විදුහල්පති ඒ.එෆ්. හැරිසන් වහාම නේවාසිකාගාරයෙන් ඉවත්ව යන ලෙස ඔවුන්ට අණ කළේය. කෙසේ වුවද ඔහු, ඔවුන්ගේ, ආහාර නේවාසික හා ශිෂ්‍යත්ව දීමනාව දෙන්නට තරම් ත්‍යාගශීලී වූයේ. එයින් ඔවුන්ට අසාධාරණයක් නොවන බව ද ඔහු දුටුවේය.
දිනක් විජයානන්ද සහ කල්‍යාණප්‍රිය පුහුණු පාසැලේ බංකුවක හිඳගෙන ඉන්නා විට විජයානන්ද කවියක් ලීවේය. ඉංග්‍රීසියෙන් ලියූ එම කවියට පාදක වූයේ දුටුගැමුණු රජුගේ පුත්‍ර සාලියට සම්බන්ධ සාලිය – අශෝකමාලා ප්‍රේම වෘතාන්තයයි. සාලිය සුන්දර චංඩාල කෙල්ලකට පෙම් බැඳි පුවතින් රාජ සභාව කම්පනයට පත්වූ අතර යුග යුග ගණනක් මුළු රටේම එම කතාව මුවින් මුව කියවුණේය. ඒ ගැන කවි ගී ගායනා වූයේය.
විජයානන්ද එකී පෙම් පුවත අලලා ඉංග්‍රීසියෙන් ලියූ පැදි පෙළේ මුල් පේළිවල ඇත්තේ මෙවන් අදහසකි.
“පොල් අතු පැලේ තනිව හිඳගෙන
සුළඟට මුසුව එන පිච්චමල් සුවඳ
ඉව කළා ඇය,
සොඳුරු විස්මිත ළඳට මේ
සුබ පතන්නට කැලේ කුරුල්ලෝ
නඟා කිචිබිචි නොනවතා හඬ නැගුවෝ”
පුහුණු පාසැලේ සඟරාවේ එම කවි පෙළ පළවූයේය.
අවුරුදු දෙකකට පසුව පැවැති අවසාන විභාගයේදී කල්‍යාණප්‍රිය සියලු පුහුණු වන්නන්ගෙන් පළමු ස්ථානයට ආවේය. විජයානන්ද දෙවැනි ස්ථානයට ආවේය.
එක් දහනායක කෙනකු ගාල්ලේ ඇලෝෂියස් විදුහලේ පන්ති කාමරයක දරුවන්ට උගන්වද්දී, තවත් දහනායක කෙනකු සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගරගේ මැතිවරණ වේදිකාවේ කතා කළේය. මැතිවරණ වේදිකාවේ සිටියේ විජයානන්ද දහනායකයි. ඔහු එතැන සිටියද ඔහුත් ඉන්නට නියමිතව තිබුණේ පන්ති කාමරයේය. එහෙත් පන්ති කාමරයේ උන්නේ කල්‍යාණප්‍රිය ය.
(***)
පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ
රුහුණු පුත්‍ර විසිනි