කුඩු කන්ටේනරය මුදාහරින්න අගමැති ලේකම්වරයකු යැවූ ලිපිය


 

 

එක් වරකදී හසු වූ ආසියාවේ වැඩිම හෙරොයින් මත් කුඩු තොගය හසුවූයේ ඉකුත් අගෝස්තු මාසයේදීය. ඒ කොළඹ වරායට ගොඩබා තිබූ කන්ටේනරයකිනි. රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් එම සිදුවීම යන්තම් යටපත් වෙද්දී නැවත එය ඉස්මතු වූයේ අගමැතිගේ ලේකම්වරයකු එම කන්ටේනරය සම්බන්ධයෙන් යැවූ බව කියන ලිපියක් හේතුවෙනි.

කරච්චියේ ෂා ඉන්ඩස්ටී‍්‍රස් වෙතින් මෙම කන්ටේනරය නැව් ගත කර තිබුණේ ඉකුත් ජූනි මස 17 වැනි දා ය. අඩි 40ක් පමණ දිගැති එම කන්ටේනරයේ ග‍්‍රීස්, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ඇතැයි සඳහන් කර තිබිණි. ජූනි 22 වැනි දා වන විට එය ලංකාවට ළඟා විය.

මාස දෙකකට ආසන්න කාලයක් කන්ටේනරය වරායේ තිබිණි. ඒ අතර කාලය තුළ අගෝස්තු 25 වැනි දා තමින් යුත් ලිපියක් රේගුව වෙත ලැබී ඇතැයි කියති. ඒ අගමැති දී මු ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගෙනි. එහි සඳහන්ව තිබී ඇත්තේ මාලිගාවත්තේ සමාගමක් විසින් ගෙන්වන ලද කන්ටේනරය ප‍්‍රමාද ගාස්තුවලින් සහ වරාය ගාස්තුවලින් නිදහස් කොට මුදා හැරීමට අවශ්‍ය පියවර ගනු ලබන්නේ නම් අගමැති වෙනුවෙන් ස්තුති වන්ත වන බවයි.

මෑතකදී ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ මෙම සමාගම මගින් ගෙන්වනු ලබන ප‍්‍රථම කන්ටේනරය මෙය වන බවත් ඒ වෙනුවෙන් විශාල බද්දක් ගෙවීමට සමාගමට පුළුවන් කමක් නැති බවත් එම ලිපියේ සඳහන් කර තිබී ඇත. මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට  ද මේ කන්ටේනරය ගැන ලැබුණු තොරතුරක් මත ඒ ගැන අවධානයෙන් සිට ඇත.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, රේගු අධීක්ෂණ අංශය ආදියෙහි නිලධාරීන් ඉදිරිපිට අගෝස්තු 30 වැනි දා කන්ටේනරය විවෘත කැරිණි. ග‍්‍රීස් ටින් තුළ අසුරා තිබූ දකුණු ආසියාවේ එක්වරකදී හමු වූ වැඩිම හෙරොයින් කුඩු තොගය හමු වූයේ එහි දී ය. එහි තිබූ හෙරොයින් තොගයේ ප‍්‍රමාණය කිලෝ 262කට අධිකය.

ඒ පිළිබඳව සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට පත් වූහ. ඒ ජමීල් නම් පකිස්තානුවකු සහ තවත් පුද්ගලයෙකි. ඊට සම්බන්ධ බව කියන සර්දාර් ඛාන් නම් සැකකරුවකු පාකිස්තානයේ කාශ්මීර ප‍්‍රදේශයේ දී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පසුගිය හය වැනි දා නිවේදනය කළේය. සැකකරු උදර්පන නීතිය යටතේ ලංකාවට ගෙන්වීමට නියමිත බව ද රෝහණ මහතා සඳහන් කළේය. එය එසේ වෙද්දී අගමැති ලේකම්වරයකු මීට සම්බන්ධ වූයේ කෙසේ දැයි බොහෝ දෙනා සොයති.

අගමැතිගේ ලේකම්ගේ ලිපියේ සඳහන් වන බව කියන මාලිගාවත්තේ සමාගම ලියා පදිංචි කර ඇත්තේ ජූලි තුන් වැනි දා බව දැනගන්නට ඇත. කන්ටේනරය නැව් ගත කර ඇත්තේ ජුනි 17 වැනි දා ය. එය ලංකාවට සේන්දුවී ඇත්තේ ජුනි 22 වැනි දා ය. කන්ටේනරය ලංකාවට ළඟාවී දින දහයකට පසු එකී සමාගම ලියා පදිංචි කර ඇත. කන්ටේනරය බාර ගැනීමේ අදහසින් සමාගම ලියාපදිංචි කළේ දැයි සැක මතු වන්නේ ඒ නිසාය.

ඇතැම් විට මෙය කුඩු කන්ටේනරයේ නියම ශ‍්‍රී ලාංකික හිමිකරු ගැන අවධානය වෙනතකට යොමු කිරීමට යොදා ගත් උපක‍්‍රමයක් බව සමහරු කියති. අගමැතිගේ ලේකම්වරයකු හා කුඩු කන්ටේනරය අතර ඇති සම්බන්ධය කුමක්දැයි සෙවීමේ වගකීම පොලිසියට පැවරෙයි.

රජයේ උසස් නිලධාරීන් සමග සමීප සම්බන්ධකම් ගොඩ නගා ගැනීමට කුඩු ජාවාරම්කරුවන් මාන බලන බවට හොඳම උදාහරණය මීට වසර දහයකට පමණ පෙර වාර්තා විය. ඒ කුඩු රජකුගේ දියණියගේ මගුල් ගෙදරට එවකට සිටි පොලිස්පතිවරයා සහභාගි කරවා ගැනීමයි.

කුඩු රජා අත්අඩංගුවට ගැනීමට එම නිවසට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ එවකට සිටි නිලධාරීහු එම නිවසේ තිබූ සංයුක්ත තැටි කිහිපයක් ද පොලිස් භාරයට ගත්හ. ඒවා පරීක්ෂා කර බලද්දී හෙළි වූයේ තම ප‍්‍රධානියා එනම් පොලිස්පති එම නිවසේ තිබූ මංගලෝත්සවයකට සහභාගි වූ බවයි. එම ඡායාරූප මාධ්‍ය මගින් ද ප‍්‍රකාශයට පත් වීමත් සමග තනතුරෙන් ඉල්ලා අස් වන ලෙස පොලිස්පතිට බලපෑම් එන්නට විය. අවසානයේ ඔහුට තනතුර හැර දමා යන්නට විය. එවැනි වැටලීමක් අද කළා නම් ඇතැම් විට වැටලීම කළ නිලධාරීන්ට පැය විසි හතරක් ඇතුළත ගෙදර යෑමට සිදු වනු ඇත. එකල එසේ වූයේ නැත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ එවකට සිටි අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීහු කෙළින් වැඩ කළහ.

කුඩු ජාවාරම්කරුවන් ප‍්‍රභූන් ළං කර ගැනීමට උත්සාහ කරන ආකාරය කියා පෑමට එය එක් උදාහරණයක් පමණි.

වරකදී හමුවූ වැඩිම කුඩු තොගය ගැනත්, ඊට දේශපාලනඥයන්ගේ හෝ වෙනත් උසස් නිලධාරීන්ගේ ඇති නෑදෑකම් ගැනත් සොයා බලා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සාධාරණ පරීක්ෂණයක් කරනු ඇතැයි ද, එලෙස සාධාරණ පරීක්ෂණයක් කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසි හතර පැයක් තුළ ස්ථාන මාරු නොකරනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.