කූඩාරම ළඟටම ආ තනි අලියා


රුක්ෂාන් ඇතුළු පිරිස ගමන්ගත් ජීප් රථයට සිදුවූ හානිය සුළු පටු නොවේ. තමන් සතුව තිබූ උපකරණ භාවිතා කරමින් එල්ලෙමින් තිබූ කොටස් යම් පමණකින් ගලවා ගත් මේ සිව් දෙනා යළි බංගලාව වෙත ඒමට පිටත් වූහ.

 

විල්පත්තු අභයභූමියේ සංචාරක බංගලාවක්

 

ජීප් රථයේ වහළ පොඩිපට්ටම් වී ගොසිනි. වැස්සොත් ජලය ඇතුළට ඒම වැළැක්විය නොහැකි කරුණකි. ඉන් දින කිහිපයකට පෙර වැසි වැටි තිබුණ ද එදා රුක්ෂාන් ගේ වාසනාවට වැස්සේ නැත. වැස්සානම් ඔහුගේ කැමරා උපකරණ බේරා ගැනීමට කිසිදු හැකියාවක් ලැබෙන්නේ ද නැත.

රුක්ෂාන්ගේත් ඔහුගේ මිතුරාත් එදින ජිප් රථය යළි සාදා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡුා කළහ.  ඒ වෙනුවෙන් අවශ්‍ය සැළසුම් සකස් කළහ. ඔවුන්ගේ අදහස වූයේ ආසන්නයේම ඇති නගරයට ජීප් රථය ගෙන ගොස් යළි සකස් කැර ගත යුතු බවයි. ඒ වෙනුවෙන් රුක්ෂාන් සහ මිතුරා හැකි ඉක්මණින් කි‍්‍රයාත්මක වූවේය. මිතුරා ඉක්මණින් ආපසු කොළඹ යා යුතු වුව ද රුක්ෂාන්ගේ අපේක්ෂාව වූයේ තව දින කිහිපයක් වනෝද්‍යානයේ රැඳී සිටීමයි.

ආසන්නතම නගරය වූ නොච්චියාගමට රුක්ෂාන් සිය ජීප් රථය ගෙන ගියේ එල්ලෙන කොටස් ලණු වලින් ගැටගසාගනිමිනි. ගරාජයේ සිටි අයද ජීප් රථයට සිදුවූ හානිය දැක පුදුමයට පත්වූහ. ඇතුළේ සිිටි අය පන බේරාගැනීම ඔවුන්ට විස්මය දනවන්නක් වී තිබිණි. ජීප් රථයට සිදුව තිබූ හානිය එතරම් දරුණුය.
කොළඹ ගොස් ජීප් රථය යළි නිසි පරිදි අළුත්වැඩියා කරන තුරු ඔහු එයට තාවකාලික පිළියමක් යොදන ලෙස ගරාජයට දැනුම් දුන්නේය. එදින රාතී‍්‍ර යළි ඔවුහු වනෝද්‍යානයේ බංගලාවට පැමිණියහ. වනාන්තරයේදී අලි ප‍්‍රහාරයට ලක්වීමෙන් ඇතිවූ චිත්ත පීඩාවත්, ජීප් රථය සෑදීමට වෙහෙසවීමත් සිතේ තිබූ නොවිසිලිවන්ත බවත් රුක්ෂාන්ටත් මිතුරාටත් ඉක්මණින් නින්ද කැඳවීමට සමත්වූවේය.

පසුදා අලූයම බංගලාව අසළම කොහොඹ ගසක් මත රැඳී සිටි මොණරකුගේ කඨෝර නාදයෙන් රුක්ෂාන් අවදි වූවේය.

රුක්ෂාන් මොණරාගේ ශබ්දයෙන් අවදි වීමට මොහොතකට පෙර කූඩාරමේ සිටි අයකු නැගිට ගත්තේය. ඔහු සිය ශරීර අවශ්‍යතාවක් වෙනුවෙන් වනාන්තරය දෙසට යාමේ අදහසින් කූඩාරමෙන් එළියට පැමිණි සැණින් යළි ඇතුළට ගියේය. පුදුමයකි. කූඩාරම ඉදිරිපිට මහ ගසක් පෙරළා දමා තිබේ.
‘‘අලි ඇවිල්ලා............’’ ඔහු මොර දුන්නේය.

නිදා සිටි සැවොම ක්ෂණයකින් අවදි වූයේ ඉදිරියේ කුමක් කරන්නේ දැයි වික්ෂිප්තවය.

නමුත් සියල්ල සිදුවී අවසන්ව ඇත.

මදකිපුනු අලියෙක්

කූඩාරම අසළට පැමිණි අලි ගස් තුනකට පමණ පහර දී හානි සිදුකර තිබේ. එක් ගසක් කූඩාරම ඉදිරිපිට කඩා වැටී ඇත.
‘‘අලි කොච්චර ඇවිත් ද දන්නේ නෑ.’’

‘‘පුදුමයිනේ මුන් ගස් කඩනකම් අපි නිකමටවත් දන්නෙ නැහැනේ.’’

‘‘අපිව තලල දාල නොගිය එකනේ පුදුමේ’’

එතැන සිටි සේවකයෝ විවිධ අදහස් පලකළහ. එළියට විත් අවට පිරික්සද්දී පෙනී ගියේ අලි රංචුවක් නොව එක් අලියකු පමණක් පැමිණ ඇති බවයි. එක් අලියකුගේ අඩි සලකුණු පමණක් වැල්ලේ පැහැදිලිව සටහන් වී තිබිණි.

‘‘ඇවිල්ල තියෙන්නේ තනියෙක්. තවමත් මේ කිට්ටුව ඉන්නවද දන්නෙ නැහැ.’’ අලි ගැන අවබෝධයක් තිබූ අයෙක් කීවේය.

හෝරාවකට ආසන්න කාලයක් ගතවෙද්දී මේ තොරතුරු රුක්ෂාන්ගේ සවනට වැදිණි. පෙරදින අලියකුගෙන් හොඳහැටි පහර කා සිටි රුක්ෂාන් අලියා පැමිණි බව පැවසූ ස්ථානයට ගියේය. වනාන්තරවල ඇවිද ගොස් පලපුරුද්දක් තිබූ වන සතුන් ගැන අධ්‍යයනය කරන රුක්ෂාන්ගේ සිතේ එක් කොනක සැගවුණු යම් සිතිවිල්ලක් තිබේ. එය සනාථ කැර ගැනීමේ අවශ්‍යතාවක් ද ඔහුට ඇත.

‘‘මම අලියා පැමිණි ස්ථානයට ගියා. එතැන පරීක්ෂා කළ විට පැහැදිලිවම පෙනුනා තනි අලියෙක් පැමිණ තිබෙන බව. ඒ වගේම මම එදා අපිට පහරදිපු අලියා හොඳින් නිරීක්ෂණය කළානේ. මේ නිසා මට පැහැදිලියි ඒ අලියා අඩි තබන විදියත් ඇවිදින විලාසයත් අනුව මේ පැමිණ තිබෙන අලියත් ඒ විදියේම හැසිරීම් රටවකින් යුතු බව. ඒ විතරක් නොවේ අලියකුගේ විශාලත්වය තිරණය කළ හැකියි අලියාගේ අඩි සලකුණ අනුව. මේ ස්ථානයේ දක්නට ලැබුණු අඩි සළකුණු අනුව පැහැදිලිවම පෙනී ගියා මෙතැනට පැමිණි අලියා එදා අපට පහරදීපු අලියාම බව’’

ඔහුගේ නිගමනය සත්‍යයක් විය යුතුය. නමුත් එය සනාථ කිරීමට ඇත්තේ අඩි සළකුණු පමණි.

අලියා කම්කරුවන්ගේ වාඩියට ගිය දින රාති‍්‍රයේ රුක්සාන් ජයවර්ධන තමන් වෙන්කැරගත් බංගලාවේ ආලින්දයේ සිටියේය. ඔහු බොහෝ වේලාවක් අවට වනාන්තරයෙන් ඇසෙන ශබ්ද වලට ඇහුම්කම් දෙමින් සිටියේය. විටෙක බකමූණෙකුගේ ශබ්දය ඇසේ. තවත් විටෙක බංගලාව ආසන්නයෙන්ම බල්ලකු බුරයි. මේ ශබ්ද වලට බාධා කරමින් බංගලාවේ බාල්කයේ සිටින හූනකු චික්..... චික්.... නද දෙයි. නමුත් රුක්ෂාන්ගේ අවධානය බිඳෙන්නේ නැත.
ටිකෙන් ටික ඔහුට නිදි මත දැනෙන්නට විය. එහෙත් වනාන්තරයෙන් එන සිසිල් සුළ`ගත් ඇසෙන ශබ්ද මාලාවත් අතහැර බංගලාවේ කාමරයට වැදෙන්නට ඔහුට අදහසක් නැත. ටිකෙන් ටික නිදි දෙව්දුව ඔහු වෙලා ගත්තේය.

කාලය කෙමෙන් කෙමෙන් ගතවී යයි. රාතී‍්‍ර 12 කණිසම ද පසුවූවේය. මේ අතර වනාන්තරයේ ද යමක් සිදුවෙමින් තිබේ. තීක්ෂණ දෑසක් පැය භාගයකට වැඩි කාලයක් රුක්ෂාන් දෙස බලා සිටියි. ඔහු ඒ බව දන්නේ නැත. දෑස හිමියාගේ කිසිදු ශබ්දයක් නැත. ඔහු සෙලවෙන්නේ ද නැත. රුක්ෂාන් නින්දෙන්ම අනෙක් පැත්තට හැරුණේය. දැන් රුක්ෂාන්ගේ මුහුණ වනාන්තරයේ සැ`ගවී සිටින්නාට හොඳින් පෙනෙයි.

මෙසේ බොහෝ වේලා නිසොල්මන්ව සිටි ආගන්තුකයා සිය සාමාන්‍ය චර්යාව ආරම්භ කළේය. ගස් අතු කැඩෙන ශබ්දයකින් රුක්ෂාන් හදිසියේම අවදි වූවේය. පුදුමයකි හඳ එළියෙන් දිස්වන්නේ දැවැන්ත හස්ති රාජයෙක් බංගලාව ඉදිරිපිට මිදුලේ කැලෑ මායිම අසළ සිට තමන් දෙස බලා සිටින ආකාරයයි. රුක්ෂාන් වහාම සිය මිතුරාට කතා කළේය.නිදිගැට හරිමින් පැමිණි ඔහු ද අලියා දෙස බලා සිටියේය.

‘‘රුක්ෂාන් මූ නම් එදා අපිට ගහපු එකාම තමයි. බලන්නකෝ හො`ඩ වැලේ කන් දෙපැත්තේ තියෙන කබර..... එකත් එකටම අපිවම සොයාගෙන එන්න ඇති.’’

රුක්ෂාන් එයට එකග වූවේය.

‘‘එදා හඳ එළියෙන් මම දැක්කා උගේ කම්මුල් තෙමිල තියෙනවා. ඒ විතරක් නෙවෙයි මද කිපුණු අලියෙකුගේ ගඳ මට හොඳට දැනුනා. එදා ජීප් එකට පහරදීපු අලියම තමයි මේ ඇවිත් ඉන්නේ කියල කිසිම සැකයක් තිබුණේ නැහැ. එතන ගස්වලින් අතු කඩමින් හිටපු අලියා තමන්ගේ වැඬේ අතරතුර වරින් වර අපි දිහා හොඳින් බලනවා මම දැක්කා. අලියා යම් මොහොතක අපිට පහරදේවි කියලා හිතලා අනිත් අයටත් ඉක්මණින් කතා කළා. හැමෝම එකතුවෙලා කෑ ගැහුවා මේ කෑ ගහන ශබ්දයත් සමග අලියා නැවත වනාන්තරයට ගියා. මට තවමත් හිතෙනවා එදා මේ අලිය අපිව සොයාගෙන තමයි ආවේ කියලා.’’
රුක්ෂාන් පවසන්නේ සිය ජීප් රථයට අලියා පහරදුන් කාලවිල්ලූවත් ඔවුන් නැවතී සිටි බංගලාවත් අතර කිලෝ මීටර 30 ක පමණ දුරක් ඇති බවයි. පහරදුන් දිනයේම රාති‍්‍රයේ ඒ ස්ථානයට වඩාත් ආසන්නයෙන් පිහිටි මානික්කපොලඔත්තු බංගලාව අසළ වාඩියට පැමිණ සෙවූ නමුත් හමු නොවූවෙන් පසුදා නැවත පැමිණෙන්නට ඇති බවයි.

රුක්ෂාන් ජයවර්ධන

මේ අලියා මද කිපුණු අවස්ථාවේ අනෙක් අලි රංචු වල ගැහැණු සතුන් විසින් එළවා දැමූ මොහොතක තමන් ඇතුළු පිරිස රැගත් ජීප් රථය දැක හදිසියේ ඇතිවූ කෝපයෙන් පහර දෙන්නට ඇති බව රුක්ෂාන් ජයවර්ධන මහතාගේ අදහසයි. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ එදා පහරදීමේදී ඇතිවූ ඉව සොයා අලියා පැමිණෙන්නට ඇති බවයි.

මේ සිදුවීම ගැන දැනගත් වනජීවී නියාමකවරු කියා සිටියේ තබ්බෝව ප‍්‍රදේශයේ කරදරකාරී අලියෙක් අල්ලා ගෙනවිත් දැමූ බවයි. හොඞවැලේ සහ කන් පෙතිවල කබර දක්නට ලැබෙන මේ අලංකාර අලියා එම සත්වයාම විය හැකි බව බොහෝ දෙනකුගේ මතය වී තිබිණි.

එදා රුක්ෂාන් සමග ජීප් රථයේ ගමන් ගත් බංගලා සහායක වරයා වූ අනුර ඇතැම් විවේකී දිනවලදී සංචාරකයන් සමග වනයට යාමට පුරුදුව සිටියෙකි. 2006 වර්ෂයේදී එක් දිනක ඔහු බංගලාවේ සිටියදී පැමිණි කණ්ඩායමකට විල්පත්තු වනෝද්‍යානයේ සංචාරය කිරීම අවශ්‍යවී තිබිණි. අනුර ඔවුන් සමග යාමට පිටත්වූයේ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙමිනි.

එදා ඔහු ගිය රථය බිම් බෝම්බයකට හසුවී විනාශ විය. අනුර යළි කිසිදා රුක්ෂාන්ට හමුවූයේ නැත.

 

 

සජීව විජේවීර 

 

විල්පත්තුවේ දින හතරක් - 1