ලංකාව දැන් ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් අර්බුද රැසකට ගොදුරු වී සිටියි. දේශපාලන හා සමාජ අර්බුද හට ගත්තේ ආර්ථික අර්බුදවලට පිළියම් නොයෙදීම හේතුවෙන් බව පොදු පිළිගැනීමයි. එහෙයින් මේ අර්බුද සියල්ලෙන් ගොඩ ඒමට පළමු කළ යුත්තේ ආර්ථික අර්බුදවලට පිළියම් යෙදීමය. ඒ සඳහා කුමක් කළ යුතුදැයි අප විමසුවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්ත් විශ්වවිද්‍යාලයේ ශාක කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සමන් සෙනෙවීරගෙනි. ඇමෙරිකාවේ ඉලිනෝයි සහ ජපානයේ තොහුකු (Thohuku) යන විශ්ව විද්‍යාලවල ද සේවය කර ඇති මහාචාර්ය සෙනෙවීර 2022 ලෝක විද්‍යාඥයන් වර්ගීකරණයට (World Seientist Ranking – 2022) අනුව කෘෂිකර්මය හා ශාක කායික විද්‍යාව පිළිබඳව ලංකාවේ සිටින පළමුවැනි විද්‍යාඥයාය. මේ විද්වතා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු ද වෙයි. මේ ඒ විද්‍යාඥයාගේ හඬයි.
ආර්ථික අර්බුදයට මූලික හේතුව විදේශ විනිමය හෙවත් ඩොලර් නැතිකමය. ඊට බලපෑ හේතු ගණනාවකි. රටක් හැටියට ලංකාව විශාල වශයෙන් ණය වී සිටියි. රටේ ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 55 කි. ඒ ඩොලර් බිලියන 55 න් තිහකට (30) වෙච්ච දෙයක් ගැන කිසිම තැනක සඳහනක් නැත. වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ වහාම කළ බදු සංශෝධනවලින් අවුරුද්දකට රුපියල් බිලියන 600 ක් පමණ අහිමි වීමෙන් ද ආර්ථිකයට වූ බලපෑම ඉතා විශාලය. රසායනික පොහොර තහනම් කර කාබනික කෘෂිකර්මාන්තයට එක රැයකින් යාම මේ සියලු අර්බුදවලට බලපෑ මූලික හේතුවයි. දැන් කව්රුත් පශ්චාත් මරණ පරීක්ෂණ කරමින් අර්බුදයට හේතු විග්‍රහ කරති. එහෙත් අර්බුදයෙන් රට ගොඩ දමන ක්‍රමයක් ගැන ඒ බොහෝ දෙනා කතා නොකරති. කතා කරන්නේ ද ආර්ථික විද්‍යාඥයන් පමණකි. මගේ ස්ථාවරය වන්නේ ආර්ථික විද්‍යාඥයන්ට පමණක් මෙය කළ නොහැකි බවය. අර්බුදයෙන් රට ගොඩනැගීමට සියලු විද්‍යාඥයන් හා සියලු වෘත්තිකයෝ එකතුවිය යුත්තෝය. එකතු වී වැඩ කිරීමේ සංස්කෘතියක් ලංකාවෙහි නැතිකම ද අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රබල බාධකයකි.
ලෝකයේ අනෙක් රටවල මෙවැනි අර්බුද ඇති වූ විට ඒවා විසඳා ගැනීමට සියලු ක්ෂේත්‍රවල විද්‍යාඥයෝ සහ වෘත්තිකයෝ එකතු කර ගනිති. එකතු වෙති. එසේ කරන්නේ පුංචි පුංචි දේවල් පවා හඳුනා ගැනීමටය. ඒ නිසා අර්බුදයෙන් රට ගොඩ ගැනීමට පළමුව කළ යුත්තේ සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන්ගෙන් යුතු කාර්ය සාධන බලකායක් පිහිටුවීමය. එහි රටේ සියලු ක්ෂේත්‍රයක්ම නියෝජනය විය යුතුය. එහි අරමුණ විය යුත්තේ අහිමි වූ සහ කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැගීමය. ඒ බලකාය ආර්ථිකය ප්‍රතිපෝෂණය සඳහා වූ බහුවිධ කාර්යය සාධන බලකාය (Multidiseiplinary Economic Recovery Taskforce) නමින් හැඳින්විය යුතු බව මගේ යෝජනාවයි. ආර්ථික, දේශපාලන, නීති, සෞඛ්‍ය, කෘෂිකර්ම, ඉංජිනේරු යනාදී සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ එහි සාමාජිකයෝ විය යුත්තෝය. එසේ නොකළොත් බොහෝ වැදගත් දේවල් මහ හැරෙන්නට තිබෙන ඉඩකඩ ඉතා ඉහළය.
දැනට ලංකාවේ අවුරුද්දක අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 11 ක් පමණ වෙයි. එහෙත් අපේ අවුරුද්දක ආනයන වියදම ඩොලර් බිලියන 22 ක් පමණ වෙයි. උපයන මුදල මෙන් දෙගුණයක් වැය කරන්නේ නම් කිසිම ආර්ථිකයකට පැවැතිය නොහැකිය. එවැනි ආර්ථික කඩා වැටෙනවාමය. ඒ නිසා ණය බර වැඩිවෙයි. රුපියල බාල්දු වෙයි. රටට ලෝකයේ තියෙන පිළිගැනීම නැතිවෙයි. එහෙයින් ඉදිරියට යන්නට වුවමනා නම් ඒ වැරැදි නිවැරදි කරගත යුතුමය. මහා විශාල ප්‍රශ්න පත්‍රයක රට වැටී සිටින මේ මොහොතේ අවශ්‍ය වන්නේ රාමුවෙන් පිටත ගැන සිතන (Out of The Box) වෘත්තිකයෝය.
ගතානුගතික හා සාම්ප්‍රදායික ක්‍රියාමාර්ගවලින් රට ගොඩගත නොහැකිය. එසේ නම් මා ඉහත කී කාර්ය සාධන බලකායට සම්බන්ධ කරගත යුත්තේ ද රාමුවෙන් පිටත ගැන සිතන වෘත්තිකයන්ය.
වර්තමාන ආර්ථික අර්බුදයට මූලිකම හේතුව කෘෂිකර්මාන්තයේ කඩා වැටීමය. එය කඩා වැටුණේ එක රැයකින් කාබනික කෘෂිකර්මාන්තයට යාම නිසාය. රසායනික තෙල් පොහොර හිටි හැටියේ තහනම් කිරීම හේතුවෙනි. කෘෂිකර්මාන්තයේ කඩා වැටීම ඩොලර් අර්බුදයට ද හේතු විය. තේ අපනයන ආදායම අඩුවීම ඊට එක් නිදසුනක් පමණකි. රුපියල් 202 ක් වූ ඇමෙරිකන් ඩොලරයක් මිල දී ගැනීමට හිටි හැටියේම රුපියල් 360 ක් පමණ ගෙවන්නට සිදුවිය. එසේ කඩා වැටුණු ආර්ථිකයක් ලෝකයේම නැති බව මගේ විශ්වාසයයි. කඩා වැටීමට පෙර කෘෂිකාර්මික අපනයනවලින් අපට අවුරුද්දකට ලැබුණේ ඇමෙරිකන් ඩොලර් බිලියන 4 ක පමණ ආදායමකි. එය ඩොලර් බිලියන දශම හතරක් දක්වා අඩුවිය. රටේ ශ්‍රම බලකායෙන් 27% ක් කෘෂිකර්මාන්තයට සාජුවම සම්බන්ධය. වක්‍රව සම්බන්ධ පිරිස 50% ක් පමණ වෙයි. ආහාර අතින් සුරක්ෂිත බව (Food Security) සුරැකෙන්නේ කෘෂිකර්මාන්තය මතය. ජාතික ආරක්ෂව (National Securty) සුරැකෙන්නේ ආහාර අතින් සුරැකුණොත් පමණකි. ඒ නිසා කෘෂිකර්මාන්තයේ කඩා වැටීම සුළුකොට තැකිය නොහැකිය.
කෘෂිකර්මාන්තය යළිත් තිබූ තැනට එනම් අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් බිලියන හතරක් උපයන තැනට අවුරුද්දක් ඇතුළත ගත හැකිය. රසායනික තෙල් පොහොර කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම් (Input) දෙකක් පමණකි. කෘෂිකර්මාන්තය කියන්නේ තෙල් පොහොරවලට නොවේ. අවශ්‍ය යෙදවුම් දී ගොවීන් යළි කුඹුරට බැස්සුවොත් කන්න දෙකකින් යළිත් තිබූ තැනට කෘෂිකර්මාන්තය රැගෙන යා හැකිය. කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය ආයතනවල පවතින ගැටලු ද මේ සමගම නිරාකරණය කරගත යුතුය. ඒ සෑම රාජ්‍ය ආයතනයකම දුරදකින නායකත්වයක් තිබිය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ විද්‍යාත්මක ආයතනයකි. එය ප්‍රදර්ශන පැවැත්වීමට සීමා වූ ආයතනයක් නොවිය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පර් යේෂණ මත පදනම්ව කෘෂිකර්මාන්තය දියුණු කරන ආයතනයක් විය යුතුය. රසායනික පොහොර භාවිතය අඩු කරන අස්වැන්න වැඩිකරන පර්යේෂණ එහි නිරන්තරයෙන් විය යුතුය. ඒ පර් යේෂණ ප්‍රතිඵලවලින් ගොවියාට සහනයක් ලැබිය යුතුමය.
කඩා වැටීමට පෙර කෘෂිකර්මාන්තයෙන් ලැබූ වාර්ෂික ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන හතරක් බව ඉහත ද කීවෙමි. ඒ ආදායම ඩොලර් බිලියන අටක් දක්වා අවුරුදු පහක දී වර්ධනය කළ හැකි බව මගේ තක්සේරුවයි.
දැනට අපේ රටේ තිබෙන්නේ නූතන තාක්ෂණික ලෝකයට ගැළපෙන අයුරින් විවිධාංගීකරණය නොවූ කෘෂිකර්මාන්තයකි. ලෝකයට ගෙන යා හැකි බොහෝ දේවල් අපේ කෘෂිකර්මාන්තයෙහි පවතී. උදාහරණයකට අපේ පලතුරු වර්ග වලින් අපනයනය කරන්නේ ඉතාමත් අතළොස්සකි. එළවළු ද එසේමය. අපේ කෘෂිකර්මාන්තයේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය අස්වැන්න අඩුකමය. ඒ නිසා අපේ සෑම ශාකයකම අස්වැන්න වැඩිකරගත යුතුය. දැනට මහා පරිමාණයෙන් භාවිත නොකරන හා වගා නොකරන ධාන්‍ය වර්ග රැසක් අපේ රටේ පවතී. ඒවායේ අස්වැන්න වැඩිකර ඒවා අලුත් ව්‍යාපාර ලෙස ලෝකයට ගෙන යා හැකිය.
කොල්ලු, ලෙඩ රෝග රැසකට ගුණදායක ඖෂධයකි. එහෙත් අපි කොල්ලු ආනයනය කරමු. කළ යුත්තේ ආනයනය නවතා පර් යේෂණ මගින් අස්වැන්න වැඩිකරගෙන අගය එකතු කළ නිෂ්පාදන කර අපනයනය කිරීමය. එමගින් ඉපයිය හැක්කේ රුපියල් නොව ඩොලර්ය. කොල්ලු ඩොලර් ඉපයිය හැකි ධාන්‍ය වර්ගයක් බව ගොවියාට කියා දිය යුත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි.
ලංකාවේ ජෛව විවිධත්වය සුවිශාලය. අපේ රටේ තිබෙන ඖෂධීය ශාක ද ඉතා විශාලය. ඒවායේ ඖෂධීය වටිනාකම ද එසේම විශාලය. ඒ සියල්ල ඩොලර් ඉල්ලම් බව අප තේරුම් ගත යුතුය. අප ඒවා අපනයනය කළ යුත්තේ අමුද්‍රව්‍ය හැටියට නොව අගය එකතු කළ නිෂ්පාදන ලෙසය. එසේ කළහොත් ඉපයිය හැකි ඩොලර් ප්‍රමාණය ද සුවිශාලය. කෘෂිකර්මාන්තය කඩා වැටීමට පෙර තිබූ තත්ත්වයට අවුරුද්දකින් ගත හැකිය. කෘෂිකර්මාන්තයෙන් උපයන ඩොලර් ප්‍රමාණය බිලියන අටක් දක්වා වර්ධනය කිරීමට අවුරුදු පහක් ප්‍රමාණවත්ය. ඒ සඳහා ද පුළුල් කාර්ය සාධන බලකායක් පිහිටුවීම යෝග්‍යය. එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ද දුරදක්නා නුවණක් සහ පුළුල් දැක්මක් තිබෙන රාමුවෙන් පිටත ගැන සිතන නායකත්වයක් තිබිය යුතුයි.
රටට ණය ලෙස ගත් ඩොලර් බිලියන 55 න් තිහකට වූ දෙයක් ගැන කිසි තැනක සඳහන් නොවන බව ඉහත ද කීවෙමු. ආර්ථික අර්බුදයෙන් රට යළි ගොඩ ගැනීමට නම් අතුරුදන් වූ ඒ ඩොලර් බිලියන 30 සොයා ගැනීමට යෝග්‍ය යාන්ත්‍රණයක් ද සැකසිය යුතුය. රටේ වූ හොරකම් සුවිශාලය. කීප සැරයක් මහ බැංකුව ද කොල්ල කා තිබේ. එහෙත් ඒ කොල්ල කෑ ධනය යළි අත්පත් කරගෙන නැත. කොල්ලකෑ ධනය රට ඇතුළේ ආයෝජනය කර නැත. ඒවා ආයෝජනය කර තිබෙන්නේ වෙනත් රටවලය. හොරකම් කර රට ඇතුළේම තිබෙන සල්ලි සොයා ගැනීමට නොහැකිව සිටින අප රටින් පිට තිබෙන සල්ලි යළි රටට ගෙනෙන්නේ කෙසේද? ඒ සඳහා පූර්ණ බලැති ජාත්‍යන්තර බලකායක සහාය ලබාගත යුතුය.
කොල්ලකා රටින් පිටට රැගෙන ගිය ඩොලර් බිලියන 30 න් තුනෙන් එකක් හෝ යළිත් රටට ගෙන්වා ගත හැකි නම් අපට ණය උගුලෙන් ගැලවිය හැකිය. ඒ නිසා කොල්ල කා රටින් පිටට රැගෙන ගිය ධනය යළි රටට ලබා ගැනීම සඳහා ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන ‘ද ස්ටෝලන් ඇසට් රිකවරි ඉනිෂියටිව්’ (The Stolen Asset Recovery Initiative) ආයතනයේ සහාය ලබාගත යුතුය. ඒ සඳහා ආණ්ඩුවට වුවමනාවක් තිබිය යුතුය. ආණ්ඩුවට වුවමනාවක් නැතිනම් කොල්ල කා රටින් පිටව රැගෙන ගිය ධනය යළි රටට ලබාගත නොහැකිය.
හොරකම් කළේ කව්ද? කීයක් ද කියා විගණන වාර්තාවල ද පාර්ලිමේන්තුවේ කෝප් හා කෝපා වාර්තාවල ද සඳහන් වෙයි. එහෙයින් ඒ ධනය යළි අත්පත් කරගැනීමට සුදුසු දේශීය යාන්ත්‍රණයක් ද වහාම සැකසිය යුතුය. එය රටේ ව්‍යවස්ථාපිත නීතියෙන් මිස කැලෑ නීතියකින් ස්ථාපිත නොකළ යුතුය. එසේම ඒ යාන්ත්‍රණයට නිශ්චිත කාලයක් දිය යුතුය. ඒ යාන්ත්‍රණය කාලසටහනක් සහිතව ක්‍රියාත්මක විය යුතුය. කොල්ල කා රට ඇතුළේ තිබෙන ධනයෙන් තුනෙන් එකක්වත් යළි අත්පත් කරගත හැකි නම් එය ද විශාල සහායකි. කොල්ලකරුවන්ගේ දේපළ පවරා ගැනීමෙන් හෝ ඒ ධනය යළි අත්පත් කරගත යුතුය. ඒ සඳහා දැනටත් රටේ නීති නැතිවා නොවේ. ප්‍රශ්නයකට තිබෙන්නේ හිතාමතාම සහ සැලසුම් සහගතව ඒ නීති අකර්මණ්‍ය කිරීමය. ඒ මෙහෙයුම්වලම සම්බන්ධ වී සිටින්නේ දූෂිත දේශපාලකයන් සමග අත්වැල් බැඳ සිටින දූෂිත රාජ්‍ය නිලධාරීන්ය.
අර්බුදයෙන් ගොඩ ඒමට භාවිත කළ හැකි තවත් කර්මාන්තයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. 2019 දී සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන්නේ ඩොලර් බිලියන 4.4 ක ආදායමකි. පාස්කු බෝම්බ ප්‍රහාර සහ කොරෝනා වසංගතය නිසා දැන් එය බිලියන දෙකකට අඩුය. ඇත්තෙන්ම එය බිලියන 1.5 ක් පමණ වෙයි. සංචාරක කර්මාන්තය ඩොලර් බිලියන 7 සිට 10 අතර ආදායමක් ඉපයිය හැකි කර්මාන්තයක් කර ගැනීම අපහසු නොවේ. ගුවන් තොටුපොළේ සිට පොළොන්නරුවට යන විදේශීය සංචාරකයකුට අතරමග දී යාමට සුදුසු වැසිකිළියක්වත් නැත. සීගිරියට යන සංචාරකයෝ ද ඒ ප්‍රශ්නයට මුහුණ දෙති. එහෙත් ඔවුන්ගෙන් විශාල මුදලක් අය කරති. ඒ නිසා රටෙහි ප්‍රතිරූපයට විශාල හානියක් වෙයි. එමගින් සංචාරක පැමිණීම අධෛර්යමත් වෙයි. ඒ නිසා සංචාරකයන්ට අවශ්‍ය මූලික යටිතල පහසුකම් ටිකවත් සැකසිය යුතුය. පහසුකම් නැතිකම, හොරකම්, ලිංගික හිංසන යනාදිය නිසා ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 50% ක් වත් යළි මෙරට සංචාරයට නොපැමිණෙති. ඒ සියල්ලම වගකිව යුත්තේ ආණ්ඩු සහ අදාළ රාජ්‍ය නිලධාරීන්ය.
අත්‍යවශ්‍ය අනෙක් කාරණය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ජාත්‍යන්තරව දියත් කිරීමය. ඒ සඳහා අපේ රට නියෝජනය කිරීමට තානාපති හා මහ කොමසාරිස් තනතුරුවලට පත්කළ යුත්තේ විදේශ සේවයේ නියුතු අය මිස ඥාති හිතවතුන් හෝ දේශපාලන හෙංචයියන් නොවේ. වගවීමකින් ක්ටයුතු කරන පුද්ගලයින් ඒ තනතුරුවලට පත්කිරීම ආණ්ඩුවල නායකයන්ගේ වගකීමකි.
ලංකාවට වැඩියෙන්ම ඩොලර් ලැබෙන්නේ විදෙස් රටවල රැකියා කරන ලාංකිකයන්ගෙනි. එමගින් අවුරුද්දකට ලැබුණු ආදායම ඩොලර් බිලියන 8 ක් පමණ වෙයි. දැන් එය දෙකක් දක්වා පල්ලම් බැස තිබේ. විදෙස් රටවල සේවය කරන ලාංකිකයන් බැංකු හරහා මුදල් නොඑවා හවාලා, උණ්ඩියාල් වැනි හොර පාරවල් මගින් මුදල් එවීමට පෙළඹීම ඊට හේතු වී තිබේ. එසේ කරන්නේ එමගින් ඔවුන් එවන ඩොලර්වලට වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබෙන නිසාය. නීතියට පිටින් මුදල් එවන අයට නිසි දඬුවම් දුන්නොත් ඔවුහු තවදුරටත් එසේ නොකරති. පිටරට සිට ලංකාවට මුදල් එවීම සඳහා වෙනම බැංකුවක් ස්ථාපිත කළ හැකිය. එසේම ඔවුනටම සුවිශේෂ හැඳුනුම්පතක් නිකුත් කළ හැකිය. ඔවුන් සඳහා රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුය. එසේම ඔවුන් එවන ඩොලර් ප්‍රමාණය මත තීරුබදු රහිතව විදුලි උපකරණ, යන්ත්‍ර සූත්‍ර, යන්ත්‍රෝපකරණ සහ වාහන ගෙන්වා ගැනීමට ද ඔවුනට ඉඩදිය යුතුය. රටින් ගෙන්වන ඒවාට අදාළ බදු ද ඩොලර්වලින් ගෙවිය යුතු බවට නීති සැකසිය යුතුය. එවැනි දිරිදීම් හඳුන්වා දුන්නොත් හොර පාරෙන් මුදල් එවන්නේ ද නැත. එවිට දැනට වඩා වැඩියෙන් මුදල් එවීමට පෙළඹෙයි. එමගින් රජයේ ආදායමක් ද ඉහළ යයි. රටට ඩොලර් ද ලැබෙයි. සෑම කාරණයක් සම්බන්ධයෙන්ම රාමුවෙන් පිටත සිතිය හැකි පුද්ගලයන් අත්‍යවශ්‍ය බව මා කියන්නේ මේ හේතු නිසාය.
(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)