කොටි බෝම්බෙන් මැරෙන්න කලින් දේශප්‍රේමීන්ගේ බෝම්බ දෙකකින් රංජන් විජේරත්න බේරුණ හැටි


27_SLT_P_7

 

උතුර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් ගිනි ගනිමින් තිබිණි. දකුණ ජ.වි.පෙ. ආණ්ඩු විරෝධී සටනින් ගිනි ගනිමින් තිබිණි. ගිනි දෙකක් දෙපැත්තෙන් තියෙද්දී අඩියක් වත් පස්සට ගන්නට ජනාධිපති ජේ.ආර්. කැමති වුණේ නැත. 


ඇහැට ඇහැක්, හිසට හිසක්, දතට දතක් න්‍යාය පදනම් වූ යුගයක් තුළ කාලය ගලා යමින් තිබිණි. ටයර් සෑ, වෙඩි උණ්ඩ, බෝම්බ පිපිරුම්, ඇඳිරි නීති දිගේ රජය ගලා ගියේය. රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් තියෙද්දී ඒකට මුහුණ දීමට හයිය ඇති ආරක්‍ෂක ඇමැතිවරයෙක් ගැන ජනාධිපතිවරයා සොයා බැලුවේය. 

gwergh
රන්ජන් විජේරත්න ආරක්‍ෂක ඇමැති ලෙස තෝරා ගන්නේ එවැනි තේරීමක් අතරේය. පළවෙනි දේ යකාටවත් බය නැති වීමය. මෙහි “යකා” යැයි කීවේ අනියමාර්ථයෙන් මරණය ස්ථිර කර ගැනීමය. 


රන්ජන් මරණයට බය නැති ආරක්‍ෂක ඇමැතිවරයෙක් විය. ඔහුව ඝාතනයට උතුරේ ත්‍රස්තවාදීන් අරඅඳිමින් තිබිණි. ජ.වි.පෙ. සැලසුම් හදමින් තිබිණි. කටකතා අනුව ආණ්ඩුවේ සමහරු ද රන්ජන්ගේ ජීවත්වීමට එච්චර කැමැති වූයේ නැත. 


අංශ කීපයකින් රංජන් විජේරත්නගේ මරණය සැලසුම් වෙද්දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු ඉක්මන් විය. ඒ අනුව ආරක්‍ෂක ඇමැති රන්ජන් 1991 මාර්තු 02 දා උදේ 8.27 ට පමණ අටවන ලද අධිබල බෝම්බයක් පිපිරවීමෙන් ඝාතනය කෙරිණි. 


රන්ජන් විජේරත්න මහතා ගෙදරින් පිටත්වීමට මොහොතකට පෙර දුරකතන ඇමතුමක් ලැබිණි. එය රන්ජන්ට ලැබුණු අන්තිම දුරකතන පණිවුඩය විය. අනෙක් පස සිටියේ අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී ආර්.එම්. පුලේන්ද්‍රන් මහත්මියයි. තමා පසුදා වවුනියාවේ උත්සවයකට යන බැවින් ඒ සඳහා ආරක්‍ෂාව ලබා දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය. 


එයට පිළිතුරු ලෙස ඇමැති රන්ජන් කීවේ, “තමන් තව සුළු මොහොතකින් කාර්යාලයට යන බැවින් .න්‍ගධගක්‍ග. ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ලවා ඇමැතිතුමියට ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කරන බවය. 


ඉන්පසු විජේරත්න මහතා පිටත් විය. එහෙත් නිවසේ සිට ඔහුට එන්නට ලැබුණේ සුළු දුරකි. රිය පෙළ හැව්ලොක් ටවුම දෙසට එද්දී එල්.ටී.ටී.ඊ. ය ඉක්මන් වූහ. ගතවූයේ නිමේෂයකි. කොළඹ දෙදුරුම්කමින් දැවැන්ත බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බය අටවා තිබුණේ හයිඒස් වර්ගයේ වෑන් රථයකය. 
බෝම්බයෙන් රන්ජන් විජේරත්න මහතා ඇතුළු 19 දෙනෙක් මියගියහ. සියළු සිරුරු කරකුට්ටන් වෙන තරමට පිච්චී තිබිණි. 


ආරක්‍ෂක ඇමැති රන්ජන්ගේ මරණය එල්.ටී.ටී.ඊ. යට පමණක් නොව තවත් බොහෝ දෙනෙකුට “මල් හතයි මෙන් විය. ඒ තරමට රන්ජන් ජ.වි.පෙ. ටත්, එල්.ටී.ටී.ඊ.යටත් හිසරදයක් විය. ආණ්ඩුවේ සමහර අයටත් එසේම වූ බව කියැවේ. 


විජේරත්න මහතා එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්වුවද ඔහු ඝාතනයට ජ.වි.පෙ. අවස්ථා ගණනක් අරඅඳිමින් සිටි බව පසුව හෙළිවිය.
ජ.වි.පෙ. හි දෙවන කැරැල්ල බරපතළ ලෙස නාය යාමට ලක්වූයේ රන්ජන් ආරක්‍ෂක ඇමැති ධුරය භාර ගැනීමෙන් පසුය. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, ඩී.එම්. ආනන්ද ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි, පියදාස රණසිංහ, ලලිත් විජේරත්න ආදී කොටගත් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයම නැත්තට නැතිවී අළු, ලූවිලි වී ගියේ රන්ජන්ගේ පත්වීමත් සමගය. එබැවින් රන්ජන් විජේරත්න මහතා කෙරේ ජ.වි.පෙ. ට තිබුණේ නයි-මුගටින්ටත් වඩා සිය දහස් ගාණකින් වැඩි වෛරයකි. එහෙත් ආරක්‍ෂක වළලු මැදින් වෙඩි නොවදින වාහනෙන් යන රන්ජන්ව මරා දැමීම කිසිසේත් ලෙහෙසි වන්නක් නොවිණ. එම නිසා වැඬේ ස්වභාවය දන්නා අය “අධි බලැති කාර් බෝම්බ සැලසුම් සෑදූහ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අවස්ථා ගාණක් රන්ජන් අපේක්‍ෂාවෙන් කාර් බෝම්බ සාදාගෙන පාරේ බලාහුන්හ. 


ජ.වි.පෙ. ට එරෙහිව ප්‍රා, සා, කහ බළල්ලු, කළු බළල්ලු, කොළ කොටි ඇතුළු අර්ධ මිලිටරි සංවිධාන ද සටන් දියත් කරමින් තිබිණි. 


ඊට අමතරව ජ.වි.පෙ. මර්දනය සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය (ඕප්ස් කම්බයින්) කොළඹ නීති පීඨයේ ආරම්භ විය. ජ.වි.පෙ. හි අත්අඩංගුවට ගන්නා කොයි නායකයාත් මුලින් “ඇදගෙන ආවේ මෙතැනටය. එහි ප්‍රධානියා වූයේ මේජර් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්නය. 1989 අගෝස්තු 04 දා එය පිහිටුවා භට පිරිස් සහිත කණ්ඩායම් 100 ක් ඊට අනියුක්ත කෙරිණි. මෙහි බි්‍රගේඩියර් ලකී අල්ගම යටතේ තොරතුරු විමර්ශන ඒකකය ද, කර්නල් ජානක පෙරේරා යටතේ විශේෂ මෙහෙයුම් ඒකකය ද තිබිණි. ක්ෂණික විහිදුම් බළකායේ අණදෙන නිලධාරියා ලෙසද කර්නල් ජානක කටයුතු කළේය. 


ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසු ජ.වි.පෙ. ට එරෙහිව සටන සෑම අතින්ම අනුකම්පා විරහිත විය. එහි මෛත්‍රිය, කරුණාව ගෑවී තිබුණේම නැත.


ජ.වි.පෙ. පාලනය කරන සටන උග්‍ර වෙද්දී ජ.වි.පෙ. ද සටන අත හැරියේ නැත. ඇමැති රන්ජන්ට රිද්දන්නට ජ.වි.පෙ. මුලින්ම කළේ ඔහුගේ රියදුරෙක් වූ හෝමාගම කිරිවත්තුඩුවේ පදිංචි වී සිටි සෝමදාසව මරා දැමීමය. මේ අතරේ එ.ජා.ප. මන්ත්‍රීවරු ගණනාවක්ම මරණයට පත් කරමින් ජ.වි.පෙ. ආණ්ඩුවට අනතුරු ඇඟවීය. 


ඒ අනතුර තුට්ටුවකටවත් රන්ජන් මායිම් කළේ නැත. ඔහු ක්ෂණික මෙහෙයුම් සඳහා ආරක්‍ෂක අංශයට උපදෙස් දුන්නේය. ඒ අනුව එක රැයින් රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු ජ.වි.පෙ. ම සුණු විසුණු කර දැමුවේය. 


1989 නොවැම්බර් 28 වැනිදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කුරුවිට දී රැස්විය. ඒ සමන් පියසිරි ප්‍රනාන්දු සහෝදරයාගේ නායකත්වයෙනි. රන්ජන් විජේරත්න ඉක්මනින් ඝාතනය කිරීමට එදා ඒකමතිකව තීන්දුවක් ගනු ලැබිණි. 


එදා සැලසුම් දෙකක් ඒ සඳහා යෝජනා විය. එයින් එකක් වූයේ ඉදිරි දිනෙක පැවැත්වීමට නියමිත ඇමැති රන්ජන් සහභාගී වන ඒකාබද්ධ මෙහෙයුම් නිලධාරීන් හමුවන කොල්ලුපිටිය ඔබරෝයි හෝටලයේ උත්සවයේ දී ඔවුන්ගේ ආහාරවලට වස දමා කැවීමය. එහෙත් මේ සැලසුම හෙළිවී එය මුළුමනින් අසාර්ථක විය. ඉන්පසු දෙවන පියවර සැලසුම් කෙරිණි. එනම් අධි බලැති බෝම්බ පිරවූ කාර් එකක් වේගයෙන් ධාවනය කරවා ඇමැති රන්ජන් යන වාහනයේ හැප්පවීමය. 


ඇමැති රන්ජන් එසේ ඝාතනය කිරීම මරාගෙන මැරීමකි. එය ජීවිත පරිත්‍යාගයෙන් කළ යුතු වන්නකි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ උත්සාහය ස්ව කැමැත්තෙන් බාර ගත්තේ ජනක සෙනෙවිරත්න සහෝදරයාය. ඔහු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් විය. ජනකට අධි බල බෝම්බ ඇටවූ කාර් රථය ලැබුණි. ඔහු එය භාර ගත්තේ තමා කරන පූජනීය මෙහෙවර එය ලෙස සලකමිනි. ජනක සෙනෙවිරත්න දවස් ගාණක් රන්ජන් විජේරත්න ඉලක්ක කරගන්නට කොළඹ පුරා ලුහුබැන්දේය. එහෙත් ඒ සෑම දවසකම ජනකට වැඬේ අමාරුකම දැනුණි. මේ අතරේ දවසක ඔහු මහරගම නිවසක සිටිය දී අත්අඩංගුවට ගැණිනි. එතැනින් පසු ජනක සෙනෙවිරත්න මරණයේ දොරඟුලු අරින මත්තේගොඩ කඳවුර වෙත කැඳවාගෙන යන ලදී. එතැනින් පසු ජනක ගැන ආරංචියක් කාටවත් හරි හැටි දැනගන්නට ලැබුනේ නැත. 


ඇමැති රන්ජන් ඝාතනයට කොළඹ ඩී-1 කලාපයේ ද විශේෂ සැලසුමක් මේ අතරේ සකස් විය. ඒ පිළිබඳව අපට ප්‍රකාශ කළේ කොළඹ ෘ-2 කලාපයේ සංවිධායක ලෙස සිටි ඉලුක්කුඹුර සහෝදරයාය. 


“ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්නව ඉක්මණින් ඝාතන කළ යුතුයි කියන දේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගැඹුරින් ඇදහූ දෙයක්. මේකට අපේ සහෝදරවරු විවිධ උත්සාහයන් ගත්තා. 


මොරටුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉංජිනේරු ශිෂ්‍යයකු වූ සම්පත් හෙවත් කීර්ති සහෝදරයා රන්ජන් විජේරත්න ඝාතනයට අධි බලැති කාර් බෝම්බයක් හැදුවා. සම්පත් ඒ වන විට කොළඹ ඩී-1 කලාපයේ සංවිධායක ලෙසයි හිටියේ. මම දන්න හැටියට මේ කාර් බෝම්බය හැදුවේ ඩී-1 කලාපයේ නිවසක. මේ සඳහා පුපුරණ ද්‍රව්‍ය රටින් ගෙන්වා ගන්න මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සම්පත් සහෝදරයාට උදවු කළා. ඔහු එදා මරදානෙ ස්ථානයක හිටියේ. පුපුරණ ද්‍රව්‍ය ගෙනත් දුන්නෙ පකිස්ථානයෙන්. බෝම්බය හදල ඉවර වුණාට පස්සෙ එය ඇටවූයේ 12 ශ්‍රී ටොයොටා කොරොල්ලා අලුත්ම කාර් එකක. එම කාර් එක සංවිධානය විසින් පැහැර ගත්තු එකක්. 


බෝම්බය කාර් එකේ අටවලා දවස් 3 ක් විතර රන්ජන් එන පාරවල්වල ස්ථානගත කරල තිබුණා. මේ කාර් බෝම්බ දවස් තුනම ස්ථාන ගත කළේ කිරුළපනේ පාර අයිනේ තැනක. ඒත් ඒ දින කීපයේම රන්ජන් විජේරත්න විවිධ හේතු නිසා සහෝදරවරුන්ට මගහැරුණා. 


ඔය අතරෙදි සම්පත් සහෝදරයා අත්අඩංගුවට පත්වුණා. ඔහු මේ කාර් බෝම්බය ගැන ප්‍රකාශයක් කරලත් තිබුණා.” 


ඉළුක්කුඹුර කියයි. 


ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්නට ගෙවුණු හැම නිමේෂයම මරණයට අත වැනූ මොහොතක් විය. එයින් මිඳී යාමට රන්ජන්ට තිබුණේ අඩු අවස්ථාවකි. කෙටි කලකින්ම ඔහු මරණයට පත්වූයේ මේ හතර වටින්ම දැල එළා තිබීමේ ප්‍රතිඵලයක් නිසා යැයි අපට සිතේ. 

m