කොටින්ගෙන් වෙඩි කෑ වන්නි මහ කැලේ සද්දන්ත දළ පූට්ටුවා


අනූව දශකයේ වන්නි මහ කැලෑවල රජෙක් වන්ව සිටියේ සද්දන්ත කුලයේ දළ පූට්ටු වූ ඇතෙකි. වන්නියේ ජීවත් වූ කවුරුත් මේ ඇතා හැඳින්වූයේ දළ පූට්ටුවා නමිනි. මුලතිවු කැලයේ ජීවත් වූ මේ ඇතා දුටු අය නම් දෙවරක් නොසිතාම කියා සිටියේ ලංකාවේ දිගම දළ පූට්ටුවා මොහු බවය. දළයක් අඩි 9 ක් තරම් දිගු විය. මේ ඇතා සමග නිතර ඇතින්නක්ද දැක ගත හැකි විය. ඇතාගේ දළ පූට්ටුවී ඇති නිසා හොඬය එසවිය නොහැකි වූ බැවින් ඇතින්න කොළ අතු කඩා මේ සද්දන්තයාට කෑම සම්පාදනය කළාය. ඉඳහිට මේ ඇතා කැලේ සිට වැලිඔය පැත්තේ ගම්මාන දෙසට ඒම පුරුද්දක් විය. දිනක් දළ පූට්ටුවා මුලතිවු කැලේ සිට වැලිඔය පැත්තෙන් මතු විය. එදාත් ඇතා සමග ඇතින්න සිටියාය. වෙනදාට වඩා ඇතාගේ වෙනසක් තිබිණි. ඇතාගේ නළලට හා වම් කකුලට වෙඩි වැදී තිබුුණු අතර නළලෙන් ‘ ඕජස්’ ගලමින් තිබිණි. පැහැදිලිවම මේ ප‍්‍රහාරය එල්.ටී.ටී.ඊ යෙන් ඇතා ඉලක්ක කළ එකක් විය. වෙඩි වැදී වේදනාවෙන් වැලිඔය සිංහල ගම්මාන දෙසට පැමිණ සිිටි ඇතා කිසිම කළබලයක් කළේ නැත. වැලිඔය හාමුදුරුවෝ මේ පිළිබඳව වහා වනජීවීයට දැන්වූහ. නමුත් මේ තුවාලයට ප‍්‍රතිකාර කිරීමට සුදුසු වෛද්‍යවරයා එදා අනුරාධපුරයේ සිටියේ නැත. ඔහු කුරුණෑගල පැමිණ යළි අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබුණේ ඉන් දින දෙකකට පමණ පසුවය. ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර කරන තුරු ඇතා කැලයට නොයා රැකගන්නට එදා මේ ප‍්‍රදේශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වූ ජානක පෙරේරා මහතා විශේෂ මුර සේවයක්ද ක‍්‍රියාත්මක කළේය. මේ අතරේ වැලිඔය හාමුදුරුවෝත් ජානක පෙරේරා මහතාත් වන ජීවී අංශ වෙත වහ වහා මේ පිළිබඳව දැනුම් දෙමින් තිබිණි. නමුත් ඇතා එදා රෑම වැලිඔය ප‍්‍රදේශයෙන් යළි මුලතිවු කැලයට ගොස් තිබිණි. පසුදා වන ජීවීයෙන් පැමිණ කැලයේ සැතපුම් කාලක් පමණ ගොස් ඇතා සොයා බැලූහ. මුලතිවු කැලයට රිංගු සතා සෙවීම පහසු වූයේ නැත. මේ සිදුවීමෙන් හය මසකට පමණ පසු දළ පූට්ටුවා යළිත් වැළිඔය ගම්මාන දෙසට ආවේය. එදා ඇතා ආවේ තනිවමය. ඒ පැමිණීම ඇතාගේ අවසාන ගමන බව දකින කාටත් පැහැදිලි විය. එදාම වැලිඔය හාමුදුරුවෝ අනුරාධපුරේ මහ දිසාපතිව සිටි ටී.කේ. දසනායක මහතා මුණගැසෙන්නට ගියහ. ‘මේ පාරත් වෙදකම් කරගන්න බැරි වුණොත් ඇතා මැරෙයි.’ උන්වහන්සේ කියා සිටියහ. නමුත් එවරද නිලධාරීන්ගේ ගමන පමා විය. ඇතා පසුදා බිම ඇද වැටිණි. ඉන් වැඩි වේලාවක් නොගොසින්ම දළපූට්ටුවා මිය ගියේය. ඇතාට ටී - 56 වෙඩි ප‍්‍රහාර හයක් වැදී තිබිණි. නළලට වැදී ඇති ප‍්‍රහාරය ඉතා දරුණු ලෙස මරණයට බලපා තිබිණි. ‘එල්ටීටීඊයෙන් කැලේ ජීවත් වුණ මේ වගේ අහිංසක සතුන්ටත් හානි කළා. මම නම් හිතන්නේ මේ දළ පූට්ටුවා වන්නියට විතරක් නෙමෙයි මේ රටේම හිටපු දිගම දළ පූට්ටුවා කියලයි. මෙයාගෙන් පස්සෙ ඒ වගෙ කෙනෙක් මම තව අද වන තුරුත් මේ කැලේ දැක්කෙ නෑ.’ වැලිඔය හාමුදුරුවෝ අපට සිහිපත් කළහ. ඇතා මිය ගිය පසු ඇතාගේ දළ යුගලය වනජීවී එකෙන් කපාගෙන ගියේය. නමුත් පසුව වැලිඔය හිමියන් අනුරාධපුර මහ දිසාපති ටී.කේ. දසනායක මහතාට දන්වා එම දළ යුගලය පදවි පරාක‍්‍රමපුර චේතියගිරි රජමහා විහාරයට ලබා ගත්හ. අදත් එම දළ යුගලය ඉතා සුරැකිව චේතියගිරි විහාරයේදී  ඕනෑම කෙනකුට දැකබලා ගත හැකිය. අදත් මේ දළ යුගලය දකින කෙනකුට මේ සද්දන්තයා ගැන කියන්නට වෙනයම් භාෂා නම් අවශ්‍ය නැත.
සටහන හා ඡායාරූප අසංක ආටිගල
දළ පූට්ටුවා චේතියගිරි රජමහා විහාරයේ ඇති දළ පූට්ටුවාගේ දළ දෙක