වසංගත මර්දනයේදී සමාජයක් හැටියටත් පරිපාලන වශයෙනුත් වැරැදි සිදු වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් දැන් එළඹෙන්නේ එසේ නැවත වැරැදි කළ හැකි අවස්ථාවක් නොවේ. අවසාන වශයෙන් හොඳ දෙයක් වී නම් ඒ රට කිසියම් ප්‍රමාණයකට හෝ වසා තැබීමට ගත් තීන්දුව දිගටම ක්‍රියාත්මක කිරීමය.
සැබැවින්ම එහි ප්‍රතිඵල තිබේ. එහෙත් අප එය වැරැදියට තේරුම් නොගත යුතුය. මා එසේ කියන්නේ දැන් ආසාදිතයන් සංඛ්‍යාත්මකව අඩුව ඇතැයි ඇතැමුන් කරන දේශපාලන ප්‍රකාශ සැලකිල්ලට ගෙනය. එනම්, රට වසා තැබීම ආරම්භ කරන විට කොවිඩ් වයිරස් වාහකයන් සියයට 25ක් සිටියේ යැයි මොහොතකට උපකල්පනය කළහොත් අද වනවිට එය සියයට15ක් වී නැත. බොහෝදුරට එය තිබිය හැක්කේ සියයට 75ක පමණ මට්ටමේය. මේ ගැන අදහසක් ඇති කර ගැනීමට කෙනකු කළ යුත්තේ තමා හා නිතර ගැටෙන පිරිසෙන් කොපමණ පංගුවකට කොවිඩ් වයිරසය පසුගිය කාලයේ වැළඳී ඇතිදැයි ගණන් හදා බැලීමය.
එහෙත් මූලික හේතු දෙකක් නිසා වයිරස් ව්‍යාප්තිය අවම වී තිබේ. එකක් නම් ඒ පිරිසෙන් සැලකිය යුතු පිරිසක් මේ වනවිට එන්නත ලබාගත් කුලකයට අයත් වීමය. මේ නිසා ඔවුන්ට කොවිඩ් වයිරසය වැළඳුණත් ඔවුන්ගේ වයිරසයේ ධාරිතාව අඩුය. දෙවැන්න නම් පවතින සංචරණ සීමා නිසා ඔවුන් එකිනෙකා මුණ ගැසීම අඩුය. සාපේක්ෂව වැඩි කාලයක් නිවෙස්වලට වී සිටින්නෝය. එනිසා පවතින තත්ත්වයෙහි මේ බහුතරයෙන් වයිරසය මහා පරිමාණයෙන් ව්‍යාප්තියට ඉඩක් නැත. එහෙත් මෙය ඉක්මනින් වෙනස් කළ හැකි ආකාර දෙකක් තිබේ. එකක් නම් පාසල් විවෘත කිරීමය. දෙවැන්න නම් පොදු ප්‍රවාහනය සමග සිදුවන සංචරණයයි. එසේ බලද්දී කොවිඩ් වයිරසය දැනටත් තිබෙන්නේ අළු යට තිබෙන ගිනි ගොඩක් පරිද්දෙනි. එනිසා අප විමසා බැලිය යුත්තේ මේ තත්ත්වය මින් එහාට පාලනය කර ගැනීමට කළ යුතු දේ ගැනය.
රට විවෘත කරන තත්ත්වයක අනතුරකට රට නොවැටීමට නම් කළ යුතු පළමු දේ වන්නේ එන්නත් කළ හැකි වයසේ සිටින සියලුම දෙනා එන්නත් කිරීමය. මෙහිදී අපට මග හැරුණු ප්‍රධාන කාණ්ඩ දෙකකි. වයස අවුරුදු 60 ඉක්මවූවන් අතරේත් අදටත් සැලකිය යුතු කොටසක් එන්නත ලබානොගත් කාණ්ඩයේ සිටිති. ඇතැම්මු ඊට කැමැති නැත. එහෙත් මේ අඩුව පියවීමට කුමන හෝ පියවරක් ගත යුතුය. මේ සම්බන්ධයෙන් අපට හොඳ පාඩමක් ඊශ්‍රායලයෙන් ගත හැකිය.
ඊශ්‍රායලය යනු ලෝකයේ පළමු එන්නත ලබාදීමේ දී සියල්ලට ඉස්සර වූ රටකි. එහෙත් අද වනවිට එහි තත්ත්වය නරකය. හේතුව, වැඩි පිරිසක් පළමු එන්නතට පමණක් සීමා වී තිබීමය. මේ කරුණ ලංකාවට ද අදාළය. ඊට හේතුව නම් සයිනෝෆාම් එන්නත නොගෙන ෆයිසර් එන්නතම සොයන වයස අවුරුදු විස්සත් තිහත් අතර මෝඩ තරුණයන් කොටසක් ලංකාවේ ද සිටීමය. මේ කරුණ කෙරෙහි ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ යුතුය. කළ යුත්තේ එන්නත් ලබා දිය යුතු වයසේ ප්‍රමුඛම පිරිසට එන්නත් දෙකම ලබා දී අවසන් කිරීමය.
මිය ගිය අයගෙන් සියයට19ක් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෝ වෙති. අප විශ්වාස කරන්නේ ඔවුන් සයිනෝෆාම් එන්නත ලබාගත් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩය නියෝජනය කරන්නන් කියාය.
සයිනොෆාම් එන්නත වයස අවුරුදු 60 දක්වා වූ ලෙඩ රෝග නැති පුද්ගලයන්ට ඉතා හොඳ ප්‍රතිශක්තිකාරකයකි.
එහෙත් අවුරුදු 60 ඉක්මවූවන්ට සයිනොෆාම්වල බලපෑම මදිය. ජයවර්ධනපුර සරසවියේ පර්ෙය්ණයකින් හෙළි වී තිබෙන්නේ සයිනොෆාම් එන්නත්කරණය කළ අවුරුදු 60ට වැඩි අයගෙන් සියයට 7කට ප්‍රතිශක්තිකරණයක් සිදු වී නැති බවය. එනිසා දැන් කළ යුත්තේ අවුරුදු 60ට වැඩි දෙවැනි එන්නත ලබා දුන් වැඩිහිටියන්ට ෆයිසර් වැනි වෙනත් එන්නතක් තුන් වැනි එන්නතක් හැටියට ලබාදීමය. මේ දිනවල ෆයිසර් එන්නත විශේෂ තත්ත්වයන්ගෙන් යුත් දරුවන්ට ලබාදෙමින් තිබේ. අප අවධාරණය කරන්නේ සෙසු දරුවන්ට එම එන්නත ලබාදීමට පෙර ඒවා මේ කී වැඩිහිටියන්ට තුන් වැනි එන්නතක් හැටියට ලබාදීම ප්‍රමුඛ විය යුතු බවය. ආණ්ඩුව මේ ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දැනට යොමුකර ඇති බවක් නොපෙනේ. එහෙත් මෙහි ඇත්තේ තාක්ෂණික වශයෙන් වැදගත්ම කරුණකි. 60ට වැඩි පිරිස ගැන ලොකු සමාජ අවධානයක් නැතත් මේ අතපසුවීම විසින් ඊළඟ අවදානම් තත්ත්වය නිර්මාණය කරනු ලබන්නේ ඔවුන් විසින් විය හැකිය. හදිසි ප්‍රතිකාර ඒකක ඊළඟ වටයේදී පිරී යන්නට මෙසේ අවධානයට ලක් නොවන වැඩිහිටියන් හේතු විය හැකිය.
ලංකාව බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩනගා ගැනීමේදී සංචාරක කර්මාන්තයට බර තබන බවක් පෙනේ. එහිදී ලංකාවට පැමිණෙන අතිබහුතරය සිසිරයේ සංචාරකයෝය. මේ පිරිස ලංකාවට ගොඩ බහින්නේ නොවැම්බර් හෝ ඉන්පසුවය. එසේ නම් අප කළ යුත්තේ ඒ අවධිය වනවිට කොවිඩ් මර්දනයෙන් වර්ධනීය තත්ත්වයක් අත්පත් කරගෙන සිටින කොල කලාපයේ රටක් බවට පත්වීමය. එහෙත් මට ඇති බිය නම් අප මේ අවධාරණය කරන කරුණු සැලකිල්ලට නොගෙන වෙනත් පියවරවලට ප්‍රමුඛතාව දීමෙන් හෝ සංචාරකයන් ගෙන්වීමට ඉක්මන්වීමෙන් වසංගතයට අදාළව නැවතත් රතු කලාපයට වැටුණහොත් සංචාරක සමය පැමිණෙනවිට ලංකාව අවාසිසහගත තැනකට තල්ලුවීමය.
එවැනි විභවයක් රටේ ඇති බව පසුගිය කාලයේ ඇතැම් දේශපාලකයන්ගේ හැසිරීමෙන් හොඳින් මූර්තිමත් විය. ආර්ථිකය සම්බන්ධයෙන් ගත්කල රට වසා තැබීම අවසන් කළ යුතු බවට විවාදයක් නැත. එහෙත් එය කළයුත්තේ සිසිරයේ සංචාරකයන්ට ලංකාවට පාර කැපීම සඳහා මේ සංක්‍රාන්ති සමය උපරිම වාසි සහගත අයුරින් භාවිත කිරීමෙනි. පාසල් විවෘත කිරීම ද එසේය. ඇතැම් විට පාසල් දරුවන් හරහා ආසාදිතයන් සංඛ්‍යාව නැවත ඉහළ යා හැකිය. එහෙත් ළමයින්ට වැඩි වශයෙන් සංකූලතා ඇතිවිය හැකි යැයි සිතිය නොහැකිය. කළ යුත්තේ සෙසු සමාජ කොටස් උපරිමයෙන් එන්නත්කරණයයි. එවිට පාසල් දරුවන්ගෙන් සමාජයට විය හැකි බලපෑම ඉතා අඩුය.
මුළු ලෝකයේම ළමයින්ට එන්නත් කරන්නේ ළමයින්ගේ ප්‍රයෝජනයටත් වඩා සෙසු සමාජයට එල්ල වන පීඩනය අඩු කිරීමේ අරමුණෙනි. වයස අවුරුදු 12 - 15 අතර ලක්ෂ 17ක දරු පිරිසක් මෙරට වෙති. මේ ලක්ෂ 17ට එන්නත් කිරීමෙන් අප අපේක්ෂා කරන්නේ දැඩිසත්කාර ප්‍රතිකාර ඇඳන් තුනක් අඩු කරගැනීම යැයි කීවොත් නිවැරැදිය. ඊට හේතුව නම් ලක්ෂ දහයක් එන්නත් කළ විට හදිසි ප්‍රතිකාර ඇඳන් දෙකක් ඉතිරි කරගත හැකිය යන නිරීක්ෂණයයි. කොවිඩ් වයිරසයෙන් මිය ගිය මෙරට වයස අවුරුදු 12 ට වැඩි ළමයි සංඛ්‍යාව 7කි. එයින් ද ලෙඩ රෝග නැත්තේ දෙදෙනකුට පමණි. අනෙක් පස් දෙනාම විවිධ ලෙඩරෝග වැළඳී සිටි දරුවෝය. ළමුයින්ට එන්නත් කිරීම ඉතා වැදගත් තීරණයකි. ඒ විද්‍යාත්මක දත්ත මත මිස දේශපාලනික හෝ මෙයින් ලකුණු දාගන්නට බලාගෙන සිටින අයගේ උවමනාව නිසා සිදුවන දෙයක් නොවන බවට වගබලා ගැනීම ට රජය බුද්ධිමත් විය යුතුය.
රෝහල් පද්ධතිය පැත්තෙන් බැලූ කල කොවිඩ් මර්දන වැඩකටයුතු සඳහා වෛද්‍යවරුන් යොදා ගැනීම මීට වඩා විධිමත් විය යුතුය. එනම් කොවිඩ් මර්දනය සඳහා යොදා ගැනෙන වෛද්‍යවරුන්ගේ පංගුව මීට වඩා වැඩි කළ හැකිය. එවිට කනිෂ්ඨ වෛද්‍යවරුන්ට එල්ල වන පීඩනය අඩු වේ. එය ප්‍රතිකාර ක්‍රියාවලිය තවත් විධිමත් වී මරණ අඩුකර ගැනීමට හේතු වනු ඇත.
එසේම පවතින තත්ත්වයෙහි සෞඛ්‍ය හෝ අනෙක් අංශවල වෘත්තිය සමිති පියවර කනගාටුදායකය. වෘත්තිය කණ්ඩායම්වලට තමන්ට ආවේණික වූ ප්‍රශ්න තිබිය හැකිය. එහෙත් මේ පවතින සංක්‍රාන්ති මොහොත ගැන අවබෝධයෙන් ඔවුන් ක්‍රියා කළ යුතුය. මහා යුද්ධයක දී වුව තීරණාත්මක අවස්ථාවල දී සටන් විරාම ප්‍රකාශයට පත්කරන අවස්ථා තිබේ. මෙය ජාතික ව්‍යසනයක්ය යන අර්ථයෙන් සටන් විරාමයක් සඳහා යොමුවීමට ඔවුන්ට හැකිය. මා මෙය අවධාරණය කරන්නේ වෘත්තිය සමිති නායකයකු හැටියට නොවේ. පුරවැසියකු හැටියටය. අවාසනාවට විපක්ෂයවත් මේ දේවල් ගැන අවධානය යොමුකරන්නේ නැත. ඔවුන් මේ දෙස බලන බව පෙනෙන්නේ ද සාම්ප්‍රදායික දේශපාලන විරුද්ධවාදය සමගිනි. පොදුවේ ගත්කල මේ රටේ සමස්ත ජනයා වුව මේ ජාතික ව්‍යසනය හමුවේ සාමූහිකව එක්සත් ක්‍රියාමාර්ග තෝරන බවක් නොපෙනේ. උත්ප්‍රාසජනක කරුණ නම් අවසාන විග්‍රහයේ දී එහි ගොදුරු හැටියට මිය යන්නේ ඔවුන්ගේම නෑ සිය මිතුරන් මවුපිය දූ දරුවන් වීමය.
මේ වසංගත තත්ත්වය අවසන් වන දිනයක් ගැන ලොව කිසිදු ආයතනයකට අදහසක් නැත. ලෝකයම විශ්වාසය තබාගෙන සිටි රංචු ප්‍රතිශක්තිය ගැන ද තිබූ අපේක්ෂාව දැන් බිඳ වැටී තිබේ.
කොවිඩ් මර්දනයේ දී විද්‍යාඥයන් විශ්වාස කළේ ජනගහනයෙන් සියයට60කට පමණ රෝග ව්‍යාප්තියේ දී රංචු ප්‍රතිශක්තිය ඇති විය හැකි බවය. එහෙත් දැන් ඔවුන් කියන්නේ ඒ ගැන කතාකිරීමෙහි පලක් නැතැයි කියාය. ආසාදිතයන් අහඹු පරීක්ෂාවට බර තැබීමට අත්වී ඇත්තේද ඒ ආනිසංසයමය. සරලව කිවහොත් අහඹු පරීක්ෂණ සංඛ්‍යාත්මකව වැඩිකිරීමෙහි දැන් පලක් නැත.
ඊට හේතුව නම් කොවිඩ් යනු මේ වනවිට වසංගත හෙවත් එන්ඩමික් තත්ත්වයේ සිට නිධන්ගත වසංගත හෙවත් එන්ඩමික් තත්ත්වයට පරිවර්තනය වී තිබීමය. නිදසුනකට නිවෙසක අයකුට ඩෙංගු වැළඳුණා යැයි කියා නිවසේ සෙසු සියලුම දෙනා පරීක්ෂාවට ලක් කෙරෙන්නේ නැත.
පරීක්ෂණ අඩු කරන්නේ යැයි මන්ත්‍රයක් මෙන් මතුරමින් කෑ ගසන්නේ මේවා ගැන නොදන්නා වෘත්තිය සමිතිය. මේ කෑ ගැසීම අවිද්‍යාත්මකය. වැරැදිය. නිදසුනකට ජර්මනිය ඔක්තෝබර් 11 න් පසු පූර්ව පරීක්ෂා නතර කිරීමට තීරණය කර ඇත. මුළු ලෝකයම යමින් සිටින්නේ එතැනටය.
නිධන්ගත වසංගත තත්ත්වයක දී පරීක්ෂා කරන්නේ රෝග ලක්ෂණ තිබෙන අය පමණකි. ඔවුන්ගේ ආශ්‍රිතයන් රෝග ලක්ෂණ මතුවනතුරු රෝගය වැළඳුණු අය සේ සැලකේ. නිදසුනකට එක් නිවැසියකුට කොවිඩ් රෝගය වැළඳුණහොත් නිවසේ සියලුම දෙනාට රෝගය වැළඳී ඇතැයි සැලකීම මේ තත්ත්වය යටතේ සිදුවේ. එනිසා මේ තත්ත්වය ගැන අවබෝධයෙන් සාකච්ඡා කළ යුතු අතර පී.සී.ආර්. හෝ රැපිඩ් පරීක්ෂණ සංඛ්‍යාත්මකව අඩු යැයි කාටවත් දොස් නැගීමෙන් පලක් නැත. නිකරුණේ පී.සී.ආර්. සඳහා මුදල් වැය කිරීමේ තේරුමක් ද නැත. එහි දී ජනමාධ්‍ය ද එකම කරුණු නැවත මැතිරීමකින් ඔබ්බට ගොස් ක්‍ෂේත්‍ර ගැන අදහස් දක්වන්නන් ඉදිරිපත් කරන තොරතුරු පවා නැවත පරීක්ෂාවකින් පළ කරන්නේ නම් මැනැවි.
කොවිඩ් සම්බන්ධයෙන් මෙතැනින් ඔබ්බට තීරණාත්මක තීන්දු ගැනීමට පෙර අප කළ යුතුම කාරියක් තිබේ. එනම් ලංකාවේ එන්නත්කරණය සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් කිරීමය. එවිට එන්නත්කරණයට අදාළ සැබෑ ගණන් හිලව් ද ආරක්ෂාවේ තරම ප්‍රමාණය ද අපට අනාවරණය කරගත හැකිය. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම වෙනත් අංශවල සහාය ද ගත හැකිය.
අදටත් ෆයිසර් එන්නත්ම සොයමින් කට්ටි පනින තරුණ පිරිසක් මේ රටේ වෙති. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. රටේ අනාගතය බාර ගැනීමට සිටින්නන් රටට ආදරයක් නොමැතිවීම කනගාටු විය යුතු තත්ත්වයක් නොවේ ද? වගකීම් සහගත පුරවැසියන් කළ යුත්තේ මවුපියන් නෑසියන් සිවිල් සංවිධාන හෝ දේශපාලන පක්ෂ හැටියට මේ පිරිස එන්නත්කරණයට යොමුකරවීමය.
පූර්ණ එන්නත්කරණය හරහා අපට ලැබිය හැකි ලොකුම වාසිය වන්නේ කොවිඩ් ව්‍යාප්තියක් වුවත් රෝහල්ගත කිරීමට අවශ්‍ය රෝගීන් හා මිය යන්නන් සංඛ්‍යාත්මකව අවම කර ගැනීමය. ඇතැම්විට කොවිඩ් වයිරසය තවත් වසර දහයක් යනතුරුවත් මිහි මතින් සමු නොගැනීමට ද ඉඩ තිබේ. එවැනි පරිසරයක අප විමසිය යුත්තේ කොවිඩ් කොයිතරම් දුරට ප්‍රජා සෞඛ්‍ය ප්‍රශ්නයක් වේ ද යන්නය. එහි අර්ථය නම් රෝගය කෙතරම් වේගයෙන් ව්‍යාප්ත වේද හා එයින් කෙතරම් සංඛ්‍යාවක් මිය යන්නේද යන කාරණයයි. සරලවම කිවහොත් මිය නොයා යුතු තත්ත්වයේ පිරිස් මිය යාම පිළිබඳ ප්‍රශ්නයක් ද යන්නයි. එසේ බලද්දී කොවිඩ් ප්‍රජා සෞඛ්‍ය ප්‍රශ්නයක් හැටියට තවත් වසරක් දෙකක් පමණ තිබෙන්නට ද පුළුවන. නිදසුනක් හැටියට නව කොවිඩ් ප්‍රබේද හටගැනීම දැක්විය හැකිය. සාමාන්‍යයෙන් නව වයිරස් ප්‍රබේද නිර්මාණය වන්නේ මහා පරිමාණයෙන් වයිරසය ව්‍යාප්ත වන තත්ත්වයකදීය. එහෙත් මේ කියන සමහන් තත්ත්වය උද්ඝෝෂණත් කරමින් උත්සවත් පවත්වමින් සියලුදේ කරමින් නිර්මාණය කරගැනීමට ද බැරිය.
පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ගත්කල එන්නත් දෙකම ලබාගත් අයට පමණක් සංචරණ අවස්ථා දෙන ක්‍රමයක් ගොඩනැගිය හැකිය. එහෙත් එය කිරීමටත් පළමුවෙන් පූර්ණ එන්නත්කරණයකට රට පත් කළ යුතුය. එසේ වුවත් පෙර පරිදිම දුරස්ථභාවය හා මුහුණු ආවරණ පැළඳීම පවත්වාගත යුතුය.
එසේම අනවශ්‍ය ලෙස සේවකයන් ගෙන්වා ගැනීමෙන් වැළකී සිටින්නට ආයතනවලට වගකීමක් තිබේ. විශේෂයෙන්ම පාසල් විවෘත කිරීම සඳහා දරුවන්ට එන්නත් කිරීම මේ අවස්ථාවේ ප්‍රමුඛ ද යන්න නැවත සිතා බැලිය යුතුය. දරුවන් පාසල් නොයෑමෙන් හානියක් විය හැකිය. එහෙත් දරුවන් පාසල් නොයෑමේ හානිය ගැන පමණක් සිතා තීන්දු ගැනීම විසින් අනෙක් අතට වසංගතය මර්දනයට ද හානියක් කරනු ලැබිය හැකි බව අමතක කළ යුතු නැත. එනිසා පාසල් විවෘත කිරීම යනු ඉතා දුරදිග බලා ගත යුතු තීන්දුවකි. පෙර කී කරුණු දෙකෙන් එකක් පමණක් ගැන සිතා ගන්නා තීන්දුවක් අවසානයේ දී පාසල් ද යළි වසා දමා කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ද කඩාකප්පල් කිරීමට හේතුවීමට ද බැරි නැත. අවසාන වශයෙන් කිවහොත් අපට මේ සියලු කාරණා සංයුක්තව සිතා බලා තීන්දු ගත යුතුව තිබේ. නිවැරැදි තීන්දුව අවශ්‍ය වේලාවේ ගැනීම විසින් රට යම්කිසි ආකාරයකට දුෂ්කරතා මගින් මුදනු ලැබිය හැකි අතරම වැඩ වරද්දාගතහොත් නිර්මාණය වන අනතුරකට පිළිතුරු සොයා ගැනීමට ද නොහැකිවීමට ඉඩ තිබේ.
(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)