“නටන එළදෙනගෙන් නටමින්ද, ගී කියන එළදෙනගෙන් ගී කියමින්ද කිරි දෙවිය යුතුය යනු සම්ප්‍රදායික දමිළ භාෂිත කියමනකි. මින් වරනගන්නේ කුමක්ද? සමාජ සැකැස්මට අනුරූපව හැසිරීම හා ක්‍රියාකළ යුතු බවය. මෙරටේ මැතිවරණ කොමිෂන් සභාව ද මැතිවරණය පැවැත්වීම සඳහා ගන්නා ලද උත්සහය එවැනිය.
ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට දිවිහිමියෙන් කටයුතු කළ යුතු දේශපාලන පක්ෂ කරබාද්දී, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා සිටියේ ‘ලෝකයේ කැරකීම නැවතුණහොත් පමණක් මැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි යන්නයි. මෙනයින් බලන කල කොමිෂන් සභාව සැබවින්ම නටන එළදෙනගෙන් කිරිදොවාගෙන ඇත්තේ නටමිනි. එකී යහපත් ප්‍රවේශය අගයන අතරේ සිහිකළ යුත්තේ කොරෝනා අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රාජ්‍යය ශ්‍රී ලංකාව බවයි.
මෙවර මැතිවරණයේ පවත්නා සුවිශේෂතා විමසීමේදී තහවුරු වන එක් කරුණක් ඇත. එනම් එය සෑම අංශයකින්ම පාහේ සංඛ්‍යාත්මකව හා ප්‍රමාණාත්මකව වෙනසක් සනිටුහන් කරන බවයි.
වගු අංක 01 පිරික්සීමෙන් පැහැදිලි වන්නේ එදාමෙදා තුර කවර මැතිවරණයක් සඳහා හෝ නොදරන ලද පිරිවැයක් මෙවර මැතිවරණය සඳහා දැරීමට සිදුව ඇති බවයි. අවසන් වරට 2015 පැවති මැතිවරණය හා සමගාමීව සලකන කල පැහැදිලි වන්නේ වසර පහක් තුළ එක් ඡන්දදායකයකු වෙනුවෙන් දරන්නට වන පිරිවැය රුපියල් 321කින් බහළ ගොස් ඇති බවයි. එහි අනෙක් පැතිකඩ වන්නේ මෙකී ඍජු පිරිවැය මහජන නියෝජිතයන්ගෙන් බෙදූ කළ එක් මහජන නියෝජිතයකු තෝරා ගැනීම සඳහා දරන්නට සිදුවන වැයබර වසර පහකින් තෙගුණයක අගයක් ගන්නා බවයි.
තවද මෙකී ඍජු පිරිවැයට අමතරව අපේක්ෂකයන් කවර අන්දමේ මුදල් ප්‍රමාණයක් තම මැතිවරණ ප්‍රචාරය උදෙසා වැය කරන්නේද යන්න මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිරන්තරයෙන් පිරික්සූ අතර එලෙස වාර්තා කරන ලද ඇස්තමේන්තුගත පිරිවැය වගු අංක 02 හි දැක්වේ.
මෙම ඇස්තමේන්තුගත වියදමෙන් පැහැදිලි වන්නේ මසක කාලයක් තුළ අපේක්ෂකයන් කවර තරම් මුදල් ප්‍රමාණයක් වැය කොට ඇත්ද යන්නයි. මෙම සංඛ්‍යා ලේඛන හා දත්ත මඟින් නිරීක්ෂණය කොට ඇත්තේ සියයට 30ක ප්‍රමාණයකට වඩා අඩු වියදම් පරාසයක් වන අතර මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිගමනය වන්නේ සමස්ත වක්‍ර වියදම බිලියන 10ක් හෙවත් කෝටි දහසක් විය හැකි බවයි.
තවද මෙහිලා වැදගත් අනෙක් කරුණ වන්නේ මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්ව වූ අපේක්ෂකයන් සංඛ්‍යාවයි. මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව 7452ක් වන අතර දේශපාලන පක්ෂ සංඛ්‍යාව 40කි. ස්වාධීන කණ්ඩායම් ද 352ක් ඉදිරිපත්ව සිටියේය. මෙරටේ පළමු වරට මහ මැතිවරණයක් පැවැත්වූයේ 1947 වන අතර ඊට අදාළ තොරතුරු වගු අංක 03 හි දැක්වේ.
කවර තරම් ස්වාධීන අපේක්ෂකයන් ගණනක් මෑත කාලීනව මැතිවරණ සඳහා ඉදිරිපත් වුවද ස්වාධීනව පැමිණ අසුනක් දිනා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් මෙරටේ පළමු වරට පැවති මැතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයන් පමණක් 21 දෙනෙක් ජයග්‍රහණය කොට ඇති අතර ඉන් පැහැදිලි වන්නේ එකල දේශපාලන පක්ෂ කෙරෙහි එතරම් විශ්වාසයකින් සිට නොමැති බවයි. තවද වසර 2018 ඡන්ද හිමි නාමලේඛනය හා සැසඳීමේ දී වැඩිවී ඇති ඡන්දහිමි සංඛ්‍යාව 271,789ක් වන අතර අවසන් වරට පැවති මහා මැතිවරණය හා සැසඳීමේ දී වැඩි වී ඇති ඡන්දහිමියන් සංඛ්‍යාව 1,219,395 කි. මෙවර පැවැත්වෙන මැතිවරණය ශ්‍රී ලාංකිකයාට නවමු අත්දැකීමකි.
මෙරට ඉතිහාසයේ කවර කලෙකවත් අත්නොදකින ලද ආකාරයේ මැතිවරණ ක්‍රියාවලියක් මෙවර අත්හදා බලනු ලබන අතර එය සෞඛ්‍යාරක්ෂිත මැතිවරණයක්ය යැයි සරළවම හඳුන්වා දිය හැකිය. සයිබර් අවකාශයේ එක් නිමේශයක් තුළ හුවමාරු වන සමාජජාල පෝස්ටු ප්‍රමාණය සලකා බැලීමේ දී පැහැදිලි වන්නේ ඉදිරියේදී පැවැත්වෙන කවර මැතිවරණයක හෝ සැබෑම අභියෝගය වන්නේ සමාජජාල මාධ්‍ය සුවිශාල බලපෑමක් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි සිදුකළ හැකි බවයි.
එමෙන්ම මෙහිලා සඳහන් කළ යුතු තවත් කරුණක් ඇත. එනම් ධනය හා බලය සහිත අපේක්ෂකයකුට මෙරටේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී ජය ගැනීම එතරම් අපහසු නැති බවයි. එවැන්නක් මැඩලීම සඳහා සිදු කළ යුතු මූලිකම කාර්යය මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීමේ පනතක් ගෙන ඒමයි. එවැන්නක් පැෆ්රල් සහ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) ඒකාබද්ධව සකස් කොට ඇත. මැතිවරණ කොමිෂන් සභාවද එවැනි පනත් කෙටුම්පතක් සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ අවසරය ලබා ඇත. ඉන්දියාව මෙහිලා ආදර්ශයක් ගතහැකි පුරෝගාමී රාජ්‍යයකි. එවැනි සාකච්ඡාවක් පැවති කාලසීමාවක දී එරට අධිකරණය දුන් නඩු තීන්දුවක සාරාංශය මෙසේය.
“බලය, ධනය හා සමාජ තත්ත්වය ඇති නම් ඉන්දියාවේ වයස අවුරුදු 60 ට වැඩි කෙනකුට වුවත් ලාබාල රූමත් යුවතියක් කිසිම ගැටලුවකින් තොරව තමන්ගේ පාද පරිචාරිකාව ලෙස සරණ පාවාගැනීමේ හැකියාවක් තිබූ යුගයක් පැවතිණි. එවැනි යුවතියන් එවැනි විවාහවලට කෙතරම් විරුද්ධ වුවද ඔවුන්ට කළ හැකි එකම කාර්යය වූයේ හඬා වැළපීම පමණි. එහෙත් අද තරුණ-තරුණියන් විවාහයට පෙර තම සහකරුගේ හෝ සහකාරිය පිළිබඳ වඩාත් හොඳින් තොරතුරු සොයනු ලබන අතර එහිදී තමන් සෑහීමකට පත් වන්නේ නම් පමණි විවාහය සඳහා කැමැත්ත ප්‍රකාශ කරනු ලබන්නේ. අප මැතිවරණයකදී ජනතා නියෝජිතයන් තෝරාගන්නා විටත්, අපේක්ෂකයන් ගැන එලෙස සොයා බලා තෝරා ගත යුතු බව කවරකුට හෝ නොසිතෙන්නේ ද? සුපසන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ, බිම් මට්ටමේ ජනතාව අතර රැඳී සිටින ඡන්දදායකයා පවා තමන් ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයාගේ ජීවන තොරතුරු දැන සිටීම සහ ඒ අනුව තම අනාගත පාලකයන්, නීති සම්පාදකයන් හෝ තම ජාතියේ ඉරණම පිළිබඳ වගකියන තැනැත්තන් තීරණය කිරීම අත්‍යවශ්‍ය නොවන්නේද? (සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෘත්තීය සමිති එකමුතුව සහ වෙනත් එදිරිව ඉන්දියානු වෘත්තීය සමිති එකමුතුව සහ වෙනත්).
අපද රටක් ලෙස සැමට සමබිමක් නිර්මාණය කළ හැකි මැතිවරණයක් සාක්ෂාත් කිරීමට නම් ඉහත අධිකරණයේ විනිසුරන්ගේ දූරදර්ශී දැක්මට සමගාමීව සිතීමේ කවර වරදක්ද?
(***)
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ
ජාතික සම්බන්ධීකාරක
මංජුල ගජනායක