(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)
කොවිඩ් සමාජ රටාව සහ මහමැතිවරණයට යෑම ගැන මේ වනවිට සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. මෙවර සඳුදා හමුව වෙන්වන්නේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු පවතින එම දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ කරන අදහස්වලටය.
ප්‍රශ්නය:- විපක්ෂය හා කොවිඩ් වයිරසයත් සමග සටන් කරමින් තමයි ආණ්ඩුවට මැතිවරණයට මුහුණදීමට සිදුව තිබෙන්නේ. තත්ත්වය යහපත් කියල ආණ්ඩුව හිතනවද?
පිළිතුර:- කොරෝනා වයිරසය රට ඇතුලෙ ඉවරයි කියලා මම කියන්නේ නෑ. ඡන්දය තියන්න සුදුසුම වෙලාව මේක කියලා මම කියන්නේ නෑ. කොරෝනා වයිරසය උත්සන්න වේවිද නැද්ද කියලා මම දන්නේ නෑ. හැබැයි ලෝකයේ අනෙකුත් රටවල් සමග සංසන්දනය කරද්දි අපි ඉතාම හොඳ තැනක ඉන්නවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ කොරෝනාවලින් මේ රට නිදහස් කරගත්තා වගේම මේ මැතිවරණය පවත්වලා සීයට තුනේ කණ්ඩායමකින් සහ තව වයිරස් ටිකකින් ජනතාව මුදාගන්න අපට සිදුවේවි. ජනතාව අතරට අපට යන්න තිබෙන්නේ ඒ සඳහා තමයි.
ප්‍රශ්නය:- නිරෝධායන නීතිවලදී තොණ්ඩමන්ලාට එක නීතියක්, සාමාන්‍ය ජනයාට එක නීතියක් කියලා සමාජ ක්‍රියාකාරින්ගෙන්ම විශාල විවේචනයක් ආණ්ඩුවට ආවා. මේ චෝදනාව ඔබ පිළිගන්නවද?
පිළිතුර:- එතැනදි මෙහෙම එකක් තියෙනවා. තොණ්ඩමන් කියන්නේ ජන නායකයෙක් වගේම විශාල වශයෙන් ජනතාවට සේවය කළ මිනිසෙක්. එතැනදි නිකන් බල්ලෙක් බළලෙක් මැරුණා වගේ වළලලා ඉවර කරන්න බෑ. මේක තමයි සාමාන්‍යයෙන් රටාව. ඊළඟට ඒ මිනිස්සු ඉන්දියානු සම්භවයක් සහිත මිනිස්සු. ඒ මිනිස්සුන්ට සංස්කෘතියක් තියෙනවා. එයාලගෙ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට අපි ගරු කරන්න ඕනෑ. ඒක වෙනම ජන සමූහයක්. අපි ඒ ජනතාවට ඇහුම්කන්දෙන්නේ නැතිව නිකම්ම තොණ්ඩමන්ගෙ මිනිය වළලලා දානවට වඩා අපි ඒ ගැන හිතන්න ඕනෑ. ජනතාවගෙ පැත්තෙන් විවේචනයක් තිබෙනවා. හැබැයි ඒ කළ දේ වරදක් නෑ. ජනතාවට අමිල මෙහෙවරක් කළ ඒ මිනිසාට යම් ඉඩ ප්‍රමාණයක් දීම සම්බන්ධයෙන් මගේ විරෝධයක් නෑ. මම එහි වරදක් දකින්නෙත් නෑ.
ප්‍රශ්නය:- ජන සමූහයන්ගේ සංවේදීතා තේරුම් ගත යුතු යැයි ඔබ කීවත් අලි සබ්රිට පොහොට්ටුවෙන් නාමයෝජනා දීපු එක ගැන විරෝධය පළ කළේ සිංහල රාවය වැනි ආණ්ඩුව බලයට ගෙන එන්නට මැදිහත් වූ සිවිල් සංවිධානමයි. නාමයෝජනා දුන් ක්‍රමය හරි ද?
පිළිතුර:- නාමයෝජනාවලදී හැම දිස්ත්‍රික්කයේදීම දක්ෂ ජනප්‍රිය අපේක්ෂකයකු අපි දාලා තියෙනවා. උදාහරණයකට පුත්තලම දිස්ත්‍රික්කයේදී අපි එක්ක මුල ඉඳලාම හිටපු රියාස් මන්ත්‍රීතුමාව අපේක්ෂකයා හැටියට දාලා තිබෙනවා. මුස්ලිම් ඡන්ද විශාල සංඛ්‍යාවක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. බැරි වෙලා හරි මුස්ලිම් සමාජය තුළ අපේක්ෂකයන් සියල්ල පැරදිලා පැරදිලා ගෙදර ගියොත් මුස්ලිම් සමාජය නියෝජනය කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක්කෙනෙක්වත් නෑ. ඒ නිසා තමයි අපි අලි සබ්රිව ලිස්ට් එකට දාලා තිබ්බේ. අලි සබ්රි වගේ දක්ෂ මිනිහෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ කියන එකයි මගේ අදහස. පනත් ප්‍රඥප්ති නීති හදද්දි ඒවා ගැන හසල දැනුමක් තිබෙන අය ඉන්න ඕනෑ. වොලිබෝල්වලදී හය දෙනාම ඩෑෂර්ලා දැම්මොත් මැච් එක දිනන්න බෑ. ඒ නිසා බෝල උස්සන්න පාස් අල්ලන්න පුළුවන් අයත් ඕනෑ. ටීම් එක බැලන්ස් වෙන්නේ එතකොට තමයි.
ප්‍රශ්නය:- පෙරටුගාමී පක්ෂයේ විරෝධතාවට පොලිසිය කළ මැදිහත්වීම ගැන ආණ්ඩුවේම ඇතැමුන් පවා විවේචන ඉදිරිපත් කළා. ඇත්තටම පොලිසියේ මේ මැදිහත්වීම්වලට දේශපාලනික සම්බන්ධයක් නැද්ද?
පිළිතුර:- පොලිසියේ හෝ හමුදාවේ හෝ තවත් රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ අයට තමන් දරන දේශපාලන මතයක් තිබෙනවා. මම විශ්වාස කරන හැටියට මේක විරුද්ධ දේශපාලන මතයක් දරන පොලිස් නිලධාරියෙක් ගත්ත ක්‍රියාමාර්ගයක් වෙන්න පුළුවන්. නාමයෝජනා බාරදීලා පාර්ලිමේන්තු මැතිවරණය පේන දුරට ගිහිල්ලා රජය පොලිසිය දාලා මිනිස්සුන්ට ගස්සාවි කියලා ඔයා හිතනවද? එහෙම ගස්සවන්න නම් රජයට මොළේ අමාරුවක් තියෙන්න ඕනෑ. මේක රජය සැලසුම්සහගතව කරපු එකක් නෙවෙයි. කවුරු හෝ හිතුවක්කාර නිලධාරියකු කරපු දෙයක්. එහෙමත් නැත්නම් කුමන්ත්‍රණයක් කියලා තමයි මම දකින්නේ.
ප්‍රශ්නය:- ජනාධිපතිවරයා පත්කළ නව කාර්යසාධක බලකා ආකෘතිය මිලිටරීකරණයට පාර කැපීමක් කියලයි ඇතැමුන් කියන්නේ. මේ නව පාලන රටාව ගැන ඔබේ අදහස මොකද්ද?
පිළිතුර:- ඒ නිලධාරීන් පත්වෙන්නේ රටේ නායකයාගේ සිතුම් පැතුම් සමගයි. උදාහරණයකට මම ජනාධිපති වුණා කියන්නකො. එතකොට මගේ වටේ වැඩිපුරම ඉන්නෙ ධීවර ජනතාව, ගොවියෝ, කිරි ගොවියෝ, මගේ යාළුවෝ ඉන්නෙ ඒ වගේ අය. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යුද පිටියේ සිටි කෙනෙක්. තිස් අවුරුදු සාපලත් යුද්ධය අවසන් කිරීමේදී එතුමා එකේක කොටස්වලට ඩියුටි බාරදුන්නා. ඒ ඩියුටිය හරියට කරපු අය එයාගෙ ටීම් එකට දාලා තිබෙන්නේ. හමුදා නායකයකු රටේ නායකයා කරද්දි එයාගෙ වටේ ඉන්නෙ හමුදාකාරයෝ කියලා රටේ මිනිස්සු දැනගන්න ඕනෑ. හැබැයි මේ වනතුරු එය අපේ රටේ ප්‍රශ්නයක් වෙලා නෑ. උදාහරණයකට වී මිලදීගැනීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියෙක් දැම්මා. අද වී අලෙවි මණ්ඩලය වේගෙන් දුවනවා. මිනිසුන්ගේ වී ටික ගන්නවා. මේ වෙනකොට වී කිලෝව රුපියල් හැටක් දක්වා වැඩිවෙලා. පාරිභෝගිකයාට හාල් කිලෝව රුපියල් අනූ හයට ලැබෙනවා. මේ දෙක සමබර වුණේම හැකියාවක් කුසලතාවයක් තිබුණු මිනිස්සු ඒ තැන්වලට ආපු නිසා. එහි කිසිම වරදක් මා දකින්නේ නෑ.
ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කී පරිදි ලීසිං පහසුකම් නොලැබීම සම්බන්ධයෙන් සටන් කරපු ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයා මහ දවාලෙ මරල දැම්මා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු ආණ්ඩුව මෙහි වගකීම ගත යුතු යැයි විපක්ෂය කරන චෝදනාව ඔබ පිළිගන්නවද?
පිළිතුර:- කළු ගලෙන් බිත්තරයට ගැහුවත් බිත්තරෙන් කළු ගලට ගැහුවත් අවසානෙදී බිඳෙන්නේ තමන් කියලා බිත්තරේ දැනගෙන ඉන්න ඕනෑ. කොරෝනා අස්සෙ මිනිස්සුන්ගේ වාහන සීස් කරලා කරදර කරන්නෙපා කියලා ජනාධිපතිතුමා ලීසිං කම්පැනිවලට පණිවුඩයක් දුන්නා. හැබැයි කම්පැනිකාරයෝ ඒක අහන්නැතිව ලංකාවෙම ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිව ගහල මරන තැනට තල්ලු කරගෙන ගියා. කිසිම හේතුවක් නිසා වාහනයක් සීස් කරන්න දෙන්නෙපා කියලා ජනාධිපතිතුමා පොලිසියට නියෝග කළා. දැන් අර මම කියපු කතාව වෙලා නේද? ඕක ජනාධිපතිතුමා කියන්න ඉස්සෙල්ලා කිසිම හේතුවක් නිසා වාහන සීස් කරන්න දෙන්නෙපා කියලා මම අපේ ගම්වලට කියල තිබුණා. ධන තන්හාවට මිනිස්සු මරල හරි සල්ලි හම්බකරන්න ගිහිල්ලා ෆිනෑන්ස් කොම්පැනිකාරයෝ කෙලවගත්තා.
--------------------------------------------------------------------------------------------------------------------
කොරෝනා මර්දනය ආණ්ඩුවේ තනි සටනක් නොවෙයි
ප්‍රශ්නය:- සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් අතිබහුතරය එ.ජා.ප හිටපු මන්ත්‍රීවරුන් වූ පසුබිමක මහමැතිවරණයට අලුත් මුහුණු සමග යෑම එ.ජා.පයට අභියෝගයක් නේද?
පිළිතුර:- නවක මුහුණු දාන්න සිදුවුණත් ඔවුන් බහුතරයක් දේශපාලන ක්‍රියාවලියේ නිරත වූ අය. අනෙක් අතට ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්, සමාජ ක්‍රියාකාරීන් වශයෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සියලුම ආගමිකයන් ජාතිකත්ව ආවරණය වන පරිදි අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ලැබීමම අපේ ජයග්‍රහණයක්. මේ කිසිවෙකුට පර්පචුවල් ට්‍රෙෂරීස් එකට කෝල් දුන්නා හෝ මෙන්ඩිස් සමාගමේ ඒජන්තකම් ගත්තා කියල චෝදනා නෑ. මැරකම් චණ්ඩිකම් කළා කියන චෝදනාත් නෑ. දේශපාලන ගේම් ගැහුවා ඩීල් දැම්මා කියන්නත් බෑ. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ අරමුණු අනුව යමින් මැතිවරණ ව්‍යාපාරය කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. මැතිවරණ කොට්ඨාස මට්මින් ප්‍රධාන නිලධාරී කමිටු පහ පත්කරලා ඉවරයි. දිස්ත්‍රික් කමිටු පත්කරලා ඉවරයි. ග්‍රාමීය කමිටු පත්කිරීමටයි තිබෙන්නේ. ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ අනුව ඉදිරි කටයුතු කිරීමටත් අපි සූදානම්ව ඉන්නවා.
ප්‍රශ්නය:- සමගි ජනබලවේගයේ පිරිස්වලට විනය පියවර ගැනීමටත් එ.ජා.පය කමිටුවක් පත්කළා. විනය පියවර අරගෙන ඉවරද?
පිළිතුර:- සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් යූ.එන්.පීයේ අනූ නව දෙනාම ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ බව ඔවුන්ට දැනුම් දුන්නා. පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට නිදහසට කරුණු කියන්න දින හතක කාලයක් දුන්නා. නිදහසට කරුණු දීලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා. එහෙම දීලා නැති නම් ඒ අයට පක්ෂය ගත්ත තීන්දුව මේ වෙද්දි බලාත්මකයි.
ප්‍රශ්නය:- එහෙම නම් කොවිඩ් මර්දනය කළ බව කියන ආණ්ඩුවක් සමග මහමැතිවරණයකට යෑම එක්සත් ජාතික පක්ෂයට විශාල අභියෝගයක් බව පිළිගන්නවද?
පිළිතුර:- කොවිඩ් මර්දනය කළේ ආණ්ඩුව තනියම නෙවෙයි. කොවිඩ් මර්දනයට වගකිව යුතු විපක්ෂයක් විදියට එ.ජා.පයත් කටයුතු කළා. අපි මොනම වෙලාවකවත් ආණ්ඩුවට ඒක තනියම කරන්න දුන්නේ නෑ. අනෙක් පැත්තෙන් එහි වගකීම අපිත් අරගෙන පක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම වැඩ කළා. ඒ නිසා ආණ්ඩුවට තනියම ක්‍රෙඩිට් එක ගන්න බෑ. හැබැයි කොවිඩ් මර්දනයට කියල රුපියල් පන්දාහ දෙන්න ගිහින් ඒක තනිකරම දේශපාලනීකරණය කරලා සමස්ත රට පුරාම අප්‍රසාදය නම් ගොඩ නගාගත්තා. බලයට පත්වෙලා මාස හයක් ගිහිල්ලත් කරගෙන ආපු සංවර්ධන වැඩ නතර කිරීම හැර කළ වෙන දෙයක් නෑ. ලෝක වෙළෙඳපොලේ තෙල් මිල බිංදුවට බැහැලත් තාම නියම කරල තිබෙන්නේ යහපාලන ආණ්ඩුව කාලේ තෙල් මිල. අපි බදු අයින් කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරලා තිබුණා. මේ ගොල්ලො ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලට බදු ගහල මිනිසුන්ට දැන් තිබෙන්නේ ජීවත්වීමේ අරගලයක්. කොවිඩ් එක්ක මිනිසුන්ගේ රැකියා අහිමි වෙලා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ අතිවිශාල පිරිසකගේ ජීවන මාර්ග අහිමිවෙලා. ආණ්ඩුව ඒවා ගැන කිසි කතාවක් නෑ.
ප්‍රශ්නය:- ඔබ එසේ කීවත් විශේෂ කාර්යසාධක බළකා අටක් පත්කරමින් ජනාධිපතිවරයා අලුත් මගක් ගෙන තිබෙනවා නේද?
පිළිතුර:- ඔය බළකායවලට පත්කරලා තිබෙන්නේ විශ්‍රාමික හමුදා නිලධාරීන්. ඕවා පත්කරද්දි හරි නම් නීතිය හා සාමය, බන්ධනාගාර, ආපදා කළමනාකරණ, සෞඛ්‍ය, අධිකරණ යන විෂයන් සම්බන්ධ විය යුතුයි. ඒත් ඒ කිසිවෙක් මේවාට සම්බන්ධ කරගෙන නෑ. සිවිල් සේවාවේ නොවන හමුදා නිලධාරින් යොදාගෙන ආණ්ඩුව මිලිටරිකරණයට ලක්වෙමින් තිබෙන බව පැහැදිලිව පේනවා. පාරිභෝගික සේවා අධිකාරියට පත්කළ හමුදා නිලධාරියා මැනිං මාකට් එකට ගිහින් හැසිරුණු හැටි රටම දැක්කා. මේ අයට සිවිල් පුරවැසියන් සමග ගනුදෙනු කිරීම ගැන තිබෙන්නේ අල්ප දැනුමක්. ඔවුන් සාමාන්‍ය සමාජයේ හැසිරෙන්නෙත් හමුදා අනුකණ්ඩ සමග හැසිරෙනවා වගේ. පරිපාලන සේවා නිලධාරීන් කපා දමා හමුදා නිලධාරීන් දමාගෙන යන භයංකාර ගමනේ ප්‍රතිපලය නුදුරු අනාගතයේදීම ජනතාවට අවබෝධ වේවි.
ප්‍රශ්නය:- තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උළෙලත් පෙරටුගාමීන්ගේ විරෝධාවත් සම්බන්ධයෙන් ආණ්ඩුවට විවේචන එල්ල වුණා. ඒත් ආණ්ඩුව කියන්නේ පොලිසිය ස්වාධීනව ක්‍රියාත්මක වුණා මිස දේශපාලන මැදිහත්වීම් නොකළ බවයි. හිටපු පොලිස් නිලධාරියකු හැටියට මේ ක්‍රියාකාරිත්වය ඔබ දකින්නේ කොහොමද?
පිළිතුර:- උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියන කතාව තමයි අපට නම් පේන්නේ. තොණ්ඩමන් මහත්තයා මැරුණු වෙලාවෙ කොළඹ සිට හැටන් දක්වා අරගෙන ගියා. තැන් තැන්වල ප්‍රදර්ශනය කළා. මිනිස්සු ඒකරාශි වුණා. සෞඛ්‍ය නිරෝධායන නීති අබමල් රේණුවකට ගණන්ගත්තේ නෑ. තොණ්ඩමන් මහත්තයගෙ පුතා දකුණු ඉන්දියාවෙ චිත්‍රපටියක වගේ වාහනේක නැගලා ආයුබෝවන් කිය කියා යනවා. මේවා සාමාන්‍යයෙන් මළ ගෙවල්වල සිද්ධවෙන දේවල් නෙවෙයිනෙ.
හැබැයි මගේ බිරිඳගෙ පියා රාත්‍රී හතට විතර මිය ගියාම දේහය ගෙනාවා රෑ එක වෙද්දි. අවසන් ගෞරව දක්වන්න ලැබුණේ පැය හයක කාලයක්. මිය ගිය තොණ්ඩමනුත් දේශපාලකයෙක්. එතකොට මේ ආණ්ඩුව දෙගොල්ලකට දෙවිදියකට නේද නීතිය ක්‍රියාත්මක කරන්නේ? ෆ්ලොයිඩ් මරණයට ලෝකය පුරා විරෝධතා පැවැත්වීම ප්‍රවණතාවයක් වුණා. ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා කිරීමට එරෙහිව ලංකාවේදි තහනම් නියෝග ගත්තාම විරෝධතාකරුවන් ලිප්ටන් වට රවුමේ කළා. පොලිසිය එතනට ගිහින් තහනම් නියෝගයකුත් නැතිව විරෝධතාකරුවන්ට පහර දීලා අත්අඩංගුවට ගත්තා. මිලිටරිකරණයේ පූර්වාදර්ශයන් කියන්නේ මේවා තමයි.