කොල්ලුපිටිය විරෝධතාවට පැති කීපයක මති මතාන්තර


කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අධිකරණ නියෝග නොතකා විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවීමේ වරදට අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිය බව සඳහන් පුවත අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ  විරෝධතාව සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ පැති ඔස්සේ සංවාදයක් මතුවී තිබේ. විශේෂයෙන්ම එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් තියුණු විවේචනයක් වේ.

එම අවස්ථාවට සම්බන්ධ රූප රාමු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය වූ අතර එම රූප රාමු දෙස බැලීමේදී මරණයක් දෙකක් නැතිව ඔය මට්ටමින් පිරිස විසුරුවා හැරීම විමතිය දනවන සුළුය. හිංසනය, ප්‍රචණ්ඩත්වය, බලහත්කාරය ප්‍රතික්ෂේප කරන සියලු ජනයා සමග එක්ව අපිදු එම ‘විසුරුවා හැරි ආකාරය’ සමග එරෙහි වන්නෙමු. සියලු ආකාරයේ මැදිහත්වීම් ප්‍රජාතන්ත්‍රවාදී සීමා තුළ සිදුවිය යුතු බව අපි විශ්වාස කරමු.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූයේ ඇමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිවය. ඇමෙරිකානු කළු ජාතිකයාගේ ඝාතනය ලොව සියලු සුදු හදවත් සසල කළේය. ‘මට හුස්ම ගන්න බෑ, මට හුස්ම ගන්න දෙන්න’ යනුවෙන් ජීවිතය අයදිමින් මරණය කරා ගිය කළු ජාතිකයා වර්ණ බේදවාදය සම්බන්ධ අලුත් කතිකාවක් නිර්මාණය කරමින් මිය ගියේය. ශිෂ්ටත්වය අගයන සෑම මිනිසකුම එම අශිෂ්ටත්වයට එරෙහිව නැගී  සිටිය යුතුය. ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැත.

අවධාරණය කළ යුතු කාරණයක්ද තිබේ. අප මේ ගෙවා දමමින් සිටින්නේ ඉතිහාසයේ මෙතෙක් හමු නොවූ දවස්ය. ඖෂධයක් සොයා ගෙන නොමැති, එන්නතක් සොයාගෙන නොමැති මාරක වසංගත උගුලක මුළු ලෝකයම පැටලී තිබේ. අප රටද එහි පහසු ගොදුරක් බවට පත්විය. ජාතියේ වාසනාවට අප රට භයානක සීමාවෙන් එපිටට එමින් සිටින්නෙමු. එහෙත් අනතුර මුළුමනින්ම පහවගොස් නැත. නිරෝධායන මධ්‍යස්ථානවලින් හා රෝහල්වලින් කොරෝනා ආසාදිතයන් තවමත් හමුවෙයි. කොරෝනා රෝගයෙන් මියගිය ලෝකවාසීන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා ගියේය.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ නිරෝධායන නීති රීතිවලට යටත්ව රට සෙමින් විවර කළ යුතු බවය. ඇඳිරි නීතිය ඉවත් කළ ද දිස්ත්‍රික් සීමා ඉවත් කළ ද සමාජ දුරස්ථකරණය රැකීම, මුඛ ආවරණ පැළඳීම හා අත් සේදීම කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. එම විධානවලට යටත්ව කටයුතු කිරීම සෑම පුරවැසියකුම සතු අනුල්ලංඝනීය වගකීමකි.

කොරෝනා වසංගතය නිසා මුළු රටම දෙමසක් පුරා ඇඳිරි නීතියේ ගිල්වා තැබීමට සිදුවිය. ජන ජීවිතය මහත් පීඩාවකට පත් විය. ආර්ථිකය කඩා වැටී තිබේ. රට යළිත් එබඳු අත්දැකීමකට ලක් කළ යුතු නැත. වගකීම් විරහිත එක පුරවැසියකුට රට යළිත් එම අඝාත අන්ධකාරයට තල්ලු කළ හැකිය.

අප වඩාත් වගකීම් සහගත විය යුත්තේ එහෙයිනි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීම ප්‍රශ්නකාරී වන්නේ මෙම  පසුබිම තුළය. මෙම විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් කල් ඇතිව තොරතුරු ඒකරාශි කරගත් පොලිසිය මෙම විරෝධතාවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අධිකරණය එම ඉල්ලීම පිළිගත්තේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය විරෝධතාව පවත්වනු ලබන්නේ මෙම පසුබිම තුළය.

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ අවමංගල්‍ය උත්සවයට නිරෝධායන නීති බලපෑවේදැයි ඇතැමෙක් ප්‍රශ්න කරති. එම ප්‍රශ්න කිරීම යුක්ති යුක්තය. එම විවේචන සාධාරණය අවසානයේදී අවමංගල උත්සවය පැවැති දිනයේදී එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේය. එක් තැනක වරදක් කළේ යැයි එයට මුවාවී එබඳුම වැරැද්දක් තවත් කෙනකුට කිරීමට අයිතියක් නැත. තර්කයෙන් තර්කය ජය ගත හැකි වුවද එය සත්‍යයෙන් බැහැර විය හැකිය.

ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම සිදුවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදා හදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල බවය. එමෙන්ම සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු දෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බවය.

සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ විරෝධය එල්ල වන්නේ විරෝධතාවට නොව රටේ පවතින තත්ත්වය නොතකා නොසලකා විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙනි. කුමන මාදිලියක දේශපාලනයක නියැළීමට වුව ද පළමුව රට ඉතිරිවී තිබිය යුතුය. පළමුව අප මේ අවදානමෙන් මිදිය යුතුය. ඒ සම්බන්ධයෙන් වගකීමක් සෑම පුරවැසියකුම සතුය.

මේ අතර මෙම විරෝධතාව පාලනය කිරීම සඳහා සම්බන්ධ වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙක් අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ ඇතුළු කරනු ලැබූහ.

මේ අවස්ථාව වටා ගෙතුණු කරුණු කාරණා විමර්ශනයේදී මේ සිද්ධිය සැලකිල්ලට ගත යුතුය.