කොළඹ ගිනිගත් ජූලි 29


වසර 37කට පෙර අද වැනි ජුලි 29 වැනිදාවක කොළඹ නගරය සාමකාමීව තිබුණේ නැත. අගනුවර මාර්ග වසා ගත්තේ කෝපාවිශ්ඨ ජනයාගේ පෙළපාලිවලිනි. අගනුවර අහස වසා ගත්තේ කෝපාවිෂ්ට ජනයා විසින් ගිනි තබන ලද බස් රථ සහ ගොඩනැගිලිවල දුමාරයෙනි. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අතර අත්සන් තබන ලදී.

ඉන්දු-ලංකා ගිවිසුම හේතුවෙන් රජීව් ගාන්ධි කොළඹට ආ එදින කොළඹ නගරය එකම සටන් බිමක් බවට පත්විය. ගිවිසුමට එරෙහි වී පිටකොටුව බෝධිය අසල පැවැති පෙළපාලියට කළ පොලිස් වෙඩි තැබීමෙන් මියගිය ගණන තිස්එකක් බව ගණන් බලා ඇත.

ශ්‍රී ලංකා රජය වඩමාරච්චි ප්‍රදේශය කොටු කරමින් උතුරේ ක්‍රියාත්මක වූ ඊලාම් ත්‍රස්තවාදීන් විනාශ කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම අතහැර දැමීමට ඉන්දියාව කළ බල කිරීමෙන් පසු ඊළඟට ගන්නා ලද පියවර වූයේ මෙම ගිවිසුම අත්සන් කිරීමය. එමගින් ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊය යම් නිශ්චිත කොන්දේසි ඉටු කිරීමට පොරොන්දු වුව ද, යුද්ධය අවසන් කිරීමේ සාර්ථක අවසානයක් කරා යෑමට එල්ටීටීඊය කැපවූයේ නැත. ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රතිඵලය වූයේ එවකට ගිනි ගනිමින් තිබූ උතුර පමණක් නොව රටේ සමස්ත භූමියම වසර තුනක් ඇදුණු දැවැන්ත සන්නද්ධ අරගලයක ගිලී යාමය. එවකට තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණ සිය සන්නද්ධ ක්‍රියාදාමය නිල වශයෙන් ආරම්භ කළේ ගිවිසුම අත්සන් කළ 29 වැනිදාය. එදින ගිවිසුම් විරෝධී පෙළපාලිවලට රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් රට පුරාම මියගිය ගණන එකසිය තිස්දෙකක් බව ගණන් බලා ඇත.

ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඉන්දියානු ගුවන් හමුදා කඩා වැදීමේ දිනයේ සිට ගිවිසුම අත්සන් කළ 29 වැනිදා දක්වා මාසයකට වැඩි කාලයක් නවදිල්ලියේ ඉන්දීය බලධාරීන් අතර පැවැති දුසිම් ගණනක් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම සකස් විය. ගිවිසුමේ අදහස ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ වූ අතර, කොළඹ සිට සියලු කටයුතු මෙහෙයවූයේ මහකොමසාරිස් ජේ.එන්. ඩික්සිත්ය. ඔහුගේ බලය කෙතරම් වී ද යත්. අවස්ථා ගණනාවක්ම ශ්‍රී ලංකා රජයේ කැබිනට් ඇමැතිවරුන්ගේ රැස්වීමට සහභාගි වී ඉන්දියානු ‘බලහත්කාරය’ පෙන්වීමට ඔහු සමත් විය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ප්‍රේමදාස සහ ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි මෙම ගිවිසුමට එළිපිටම විරුද්ධව කටයුතු කළේ ජනාධිපති ජයවර්ධන අසීරුවට පත් කරමිනි. රටේ ජනමතය වූයේ ද ගිවිසුමට එරෙහිවය. ජයවර්ධන ජනාධිපතිවරයාට ඒ විරෝධතාව ඔහුගේ නිවෙසෙන් ද එල්ල විය. ඒ, ජනාධිපති ආර්යාව වූ එලීනා ජයවර්ධන මහත්මියගෙනි. තමා වෝඩ් පෙදෙසේ පෞද්ගලික නිවෙසට කැඳවූ ජනාධිපතිවරයා තම මැතිනියට ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නැයි තමාගෙන් ඉල්ලා සිටි බව මහකොමසාරිස් ඩික්සිත් පසුව හෙළිදරව් කළේය. ජනාධිපතිතුමා බලයෙන් නෙරපා දැමීමේ තර්ජනය ද ඇතුළු විශාල විරෝධතාවකට මුහුණපෑවොත් රජීව් ගාන්ධි මහතා ජනාධිපතිතුමාගේ ආරක්ෂාවත්, බලයේ රැඳී සිටීමත් තහවුරු කරනවා ද යන්න ඇයට දැනගත යුතු වූ ප්‍රශ්නය විය. රජීව් ඒ ලෙසම පොරොන්දු වූ බව ඩික්සිත්, එලීනා ජයවර්ධන ආර්යාවට කියා ඇත. දීර්ඝ සාකච්ඡා ගණනාවකට පසු සිය ප්‍රශ්න විසඳා ගනු ලැබිණි. අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකාවට සාම සාධක හමුදා යැවීම සඳහා දකුණු ඉන්දියාවේ හමුදා කඳවුරු සීරුවෙන් තැබීමටත්, ජනාධිපති ජයවර්ධනගේ ආරක්ෂාව සැලසීම සඳහා ඉන්දීය නාවික හමුදා කොමාන්ඩෝ භටයන් රැගත් නෞකා දෙකක් ගාලු මුවදොර මුහුදු සීමාවේ රැඳවීමටත් රජීව් ගාන්ධි තීරණය කළේය.

ඉන්දියාවේ තත්වය එසේ වෙද්දී, කොළඹ තත්වය එයට හාත්පසින්ම වෙනස් විය. අගමැති ප්‍රේමදාස හෝ ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි හෝ ගිවිසුමට කිසිදු පක්ෂපාතීත්වයක් දැක්වූයේ නැත. ජනාධිපතිවරයාට පක්ෂව සිටියේ ගාමිණි දිසානායක, රනිල් වික්‍රමසිංහ, රොනී ද මැල් ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනෙකි. ඉතිරි පිරිස නිහඬ අනුමැතියක සිටියහ.

ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී.ල.නි.ප. ගිවිසුමට දැඩි විරෝධයක් දැක්වීය. කැලෑ වැදී රහසිගත දේශපාලනයක යෙදී සිටි ජ.වි.පෙ. ද දැඩි ලෙස ගිවිසුම් විරෝධයක සිටියේය. එහෙත්, ජයවර්ධන ජනාධිපතිවරයා තමා ගිවිසුම අත්සන් කරන බවට දැඩි මතයක සිටියේය.

බලහත්කාරයෙන් යාපනයට පරිප්පු දමා ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉන්දියාව දෙවැනි වතාවටත් යාපනයට හෙලිකොප්ටර් යානා දෙකක් එවූයේ, ප්‍රභාකරන් ඉන්දියාවට කැඳවාගෙන යන්නටය. 1987 ජුලි 23 වැනිදා යාපනයට ගොඩබැස්සූ හෙලිකොප්ටර් යානා දෙකට ප්‍රභාකරන් හා පවුලේ අයත්, ශරීරාරක්ෂකයනුත් නංවාගත්තේ සාම ගිවිසුම සඳහා ප්‍රභාකරන් කැමැති කරගැනීමේ අදහසිනි. ඔහු එමගින් නවදිල්ලියට රැගෙන යන ලදී. දින කිහිපයක සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය රුපියල් කෝටි ගණනක මුදල් ප්‍රදානයක් ද සමග සාම ගිවිසුම සඳහා ප්‍රභාකරන්ගේ එකඟත්වය ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ එළිදරව් නොවූ බොහෝ රහසිගත කරුණු පසු කාලීනව මහකොමසාරිස් ඩික්සිත් එළිදරව් කළේය. ඉන් එකක් වන්නේ, ප්‍රේමදාස මහතා සන්නද්ධ හමුදාවේ ඇතැමුන්ගේ ද සහාය ඇතිව තමා බලයෙන් නෙරපා හරිතැයි ජයවර්ධන ජනාධිපතිවරයා තුළ බියක් හා සැකයක් පහළ වී තිබූ බවය. ඩික්සිත් ඒ ගැන පසු කාලීනව කියා සිටියේ මෙසේය.

“ඔහු මේ අවදානම් තත්වය ගැන අගමැති රජීව් ගාන්ධිට දැන්වීය. දිගු කලක් තිස්සේ පවතින ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා ජයවර්ධන මහතා ඉන්දියාව සමග එක්වී අවදානම් සහගත තීරණයක් ගන්නා මේ අව්ස්ථාවේදී ඉන්දියාව සම්පූර්ණයෙන්ම ජයවර්ධන මහතාට සහයෝගය දක්වන බව පැහැදිලිව පෙන්වීමට අවශ්‍ය මොහොත මෙය බව රජීව් ගාන්ධි තීරණය කළේය. ඉන්දීය නාවික හමුදා නැව් කොළඹ වරායට නුදුරින් ස්ථානගත කෙරිණි. ජයවර්ධන මහතාට ඍජු තර්ජනයක් ඇති වුවහොත් කඩා පැනීම සඳහා එම නැව් තුළ ඉන්දීය කමාන්ඩෝ භට පිරිස් සූදානමින් තැබිණි. කුමන්ත්‍රණය වැළකී ගියේය. එහෙත් කෝලාහලය දිගටම පැවැතුණි. ඇඳිරිනීතිය පැනවීම වැනි කටයුතුවලින් ප්‍රයෝජනයක් නොවීය. ප්‍රේමදාස මහතාත්, ඇතුළත්මුදලි මහතාත් මේ කෝලාහල උද්යෝගිමත් කිරීම සඳහා ක්‍රියාකාරී වූ බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබිණි.” ඩික්සිත් සඳහන් කළේය.

ගිවිසුම අත්සන් කිරීම සඳහා රජීව් ගාන්ධි කොළඹට ආවේ 1987 ජුලි 29 වැනිදාය. ලංකාවේ සිරිතට අනුව සියලු සුබ කටයුතු කරන්නේ පෙරවරුවේ වුවත්, ගිවිසුම අත්සන් කිරීමට යොදාගෙන තිබුණේ එදින සවස තුනටය. රජීව් කොළඹ එද්දී දකින්නට තිබුණේ සුන්දර කොළඹ නගරයක් නොව ගිනි දලු ඉහළ නගින, දුම්රොටු ඉහළ අහසට නගින සුන්බුන් වූ කොළඹ නගරයකි.

එදින කොටුව බෝ ගස ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් හා උපවාසයක් පැවැත්වුණේ ගිවිසුමට එරෙහිවය. එයට සහභාගි වූ එක් අයකු වන්නේ, හිටපු ඇමැතිවරයකු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාය. ඔහු එකල සේවය කළේ මාර්ග ආයතනයේ පර්ෙ ය්ෂකයකු ලෙසය. එදා දවස ගැන යළි සිහිපත් කරන්නට දිසානායක මහතාගෙන් කළ ඉල්ලීමට ඔහු කාරුණිකව එකඟ විය.

“ඒ දවස්වල හැමදාම උදේට මම රොස්මීඩ් ප්ලේස් යනවා මැතිනිට විදේශ ප්‍රවෘත්ති කියන්න. මහාචාර්ය මැන්දිස් රෝහණධීර තමයි මට ඒ රාජකාරිය ලෑස්ති කරලා දුන්නේ. ගිවිසුම අත්සන් කරන එකට විරුද්ධව ශ්‍රී.ල.නි.ප.ය කොටුවේ බෝ ගහ යට සාමකාමී උද්ඝෝෂණයක් ලෑස්ති කරල තිබුණා. මැතිනි යනකොට අපිටත් යමු කීවා. මාත් ගියා. අලෙවි මවුලානාත් ගියා. තවත් කිහිප දෙනෙක් වෑන් එකකින් මැතිනිත් එක්කම එතැනට ගියා. ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයෝ විශාල පිරිසක් එතැන රැස්වෙලා හිටියා. තවත් අයත් හිටියා. මැතිනිය බෝ ගහ යට වාඩි වෙලා උපවාසයක් කෙරුවා.” එස්.බී. දිසානායක මහතා කීවේය.

එදා කොටුව බෝ ගහ යට විවිධ පක්ෂ සහ සංවිධානවලින් විසි දහසක් පමණ ජනකායක් රැස්ව සිටි බවට ඇස්තමේන්තු කර තිබිණි. ශ්‍රී.ල.නි.ප.ය හා එයට හිතවත් මව්බිම සුරැකීමේ සංවිධානය ඇතුළු කණ්ඩායම් විපක්ෂයේ භූමිකාව ඉටු කරමින් සාමකාමී උද්ඝෝෂණයකට පැමිණ සිටිය ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හා එයට හිතවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එයට වෙනස් ආකාරයක අරගලයකට සූදානම්ව සිටි බව කිසිවකුත් දැන සිටියේ නැත. ජේ.ආර්. සහ රජීව් ගාන්ධි විරෝධී සටන් පාඨ උද්වේගකාරීව කියැවුණේය. දහවල් දොළහ පමණ වෙද්දී සාමකාමී උද්ඝෝෂණය ප්‍රචණ්ඩ ආකාරයට පෙරැළෙමින් තිබිණි. ඒ වෙද්දී පිටකොටුවම එකම හිස් ගොඩකින් වැසී තිබුණි. මාර්ග හරස් කර ලංගම බස් රථ නවතා තිබුණි. මේ කටයුතු කළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි. රැස්ව සිටි මහා ජනකාය අතරින් යම් යම් පිරිස් පෙළපාලි යාමට උත්සාහ කළ අතර, පොලිසිය පිරිස වට කළේ ඉන් පසුවය. මේ මහා ජනකාය කොළඹට පැමිණියේ රට පුරාම ක්‍රියාත්මක වන ලෙස ඇඳිරිනීතිය පනවා තිබියදී වීම විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.

එතැන් සිට සිදු වූ දේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාට අදටත් හොඳින් මතකය.

“මැතිනි උපවාසයට වාඩි වෙනකොට දවල් දොළහට විතර ඇති. දැන් සෙනග වැඩියි. සමහරු පෙළපාලි යනවා. එතකොට ගුණසේන එක පැත්තෙන් ආපු පොලිස් පිරිසක් කඳුළු ගෑස් ගහලා වෙඩි තිබ්බා. එක කඳුළු ගෑස් උණ්ඩයක් මැතිනි ළඟ වැටිලා පිපිරුවා. එතැන තිබුණා අපි ගෙනාපු වෑන් එකක්. වහාම මැතිනිය වෑන් එකේ හංගලා ආරක්ෂිතව පිටත් කළා. අපි දිගටම හිටියා. දැන් පොලිසියෙන් දිගටම වෙඩි තියනවා. ඒ අතරින් දේශප්‍රේමී සංවිධානයේ යම් යම් පිරිස් බස්වලට මුවා වෙලා පොලිසියට වෙඩි තිබ්බා. ඒ ගමන් බස් රථ ගිනි තිබ්බා. පොලිසියේ වෙඩි තැබීම හත අට වෙනකම් තිබුණා. බස් ගිනි ගන්නවා. මිනිස්සු වෙඩි වැදිලා වැටෙනවා. එකම යුද්ධයයි.” දිසානායක මහතා කියයි.

එම අරගලයේදී බස් රථ විස්සකට ආසන්න සංඛ්‍යාවක් කොළඹ නගරයේදී ගිනි තබා විනාශ කරන ලදී. සමහර වාර්තාවල දැක්වෙන්නේ පිටකොටුවේදී පමණක් ඝාතනය වූ පිරිස තිහකට ආසන්න බවය.

එකල මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු වූ, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද කොළඹ බිහිසුණු වටපිටාව මැද එම උපවාසයට සහභාගි විය. උද්ඝෝෂණය සහ එයට වෙඩි තැබීම සියැසින් දුටු ඔහු ඉන් පසු දින දෙකක්ම ඇඳිරිනීතිය මැද ගත කළේ වෛද්‍ය පීඨ පරිශ්‍රයේය. එදා සිදු වීම ඒ මහතා සිහිපත් කළේ මේ අයුරිනි.

“ගිවිසුම අත්සන් කරන ආරංචියට විපක්ෂයේ විවිධ බලවේග හා සංඝරත්නය කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේදී රැස්වීමක් පැවැත්වූවා. ගිවිසුමට එරෙහිව උපවාසයක් කරමු කියන යෝජනාව ආවේ එතැනදී. 29 වැනිදා උපවාසය කරන්නයි තීන්දු වුණේ. අපි ඒ සඳහා 29 වැනිදා මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට එකතු වුණා. ඒ අතරේ මැතිනිය සහ ශ්‍රී.ල.නි.ප. විහාරමහා දේවි උද්‍යානයේ උපවාසයක් ලෑස්ති කරලා තිබුණා. අපි පෙළපාලියට කොටුවට ගියා. මම සහ දැනට කඩුවෙල උසාවියේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් වන කරුණාරත්න දෙන්නා තමයි මුලින්ම සිංහ කොඩිය ඔසවාගෙන ගියේ. මැතිනි ඇතුළු ශ්‍රී.ල.නි.ප.යත් බෝධිය අසලට ආවාම විශාල පිරිසක් එකතු වුණා.” රණවක මහතා සිහිපත් කරයි.

සැඟවී සිටි ජ.වි.පෙ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් නිල වශයෙන් සිය සන්නද්ධ අරගලය ආරම්භ කරන්නේ එදිනය. කොටුව බෝධිය ළඟ උද්ඝෝෂණයට ජ.වි.පෙ. ක්‍රියාකාරීහු සෑහෙන පිරිසක් ද පැමිණ සිටියහ. ජ.වි.පෙ. තුන්වැනි නායකයා වූ ඩී.එම්. ආනන්ද සහ ජ.වි.පෙ. තවත් නායකයකු වූ එච්.බී. හේරත් ද එහි වූහ. එකල ජ.වි.පෙ. ශිෂ්‍ය සංවිධාන, භික්ෂු සංවිධාන සහ බටහිර පළාත තිබුණේ ඩී.එම්. ආනන්ද සතුවය.

“ජ.වි.පෙ. මෙතැනදී සෑහෙන වැඩ කොටසක් කළා. ආනන්ද තමා උපදෙස් දුන්නේ. මේ වෙනකොට කොටුවම අවහිර වෙලා. ඒ වෙද්දී තවත් සංවිධානාත්මක පිරිසකුත් ආවා. මැතිනි උපවාසෙ කරන්න බිම වාඩි වුණා. ගුණසේන සාප්පුව කිට්ටුව පොලිසිය පාර හරස් කරගෙන හිටියා. සෙනග වැඩි වෙනකොටම කට්ටියම එක පාරටම තල්ලු වෙලා ගියා ස්ටේෂම පැත්තට. පොලිසියයි සෙනගයි අතර පුංචි ගැටුමක් පටන්ගත්තා. හූ කිව්වා. ගල් ගැහුවා. දැන් ගැටුම ටික ටික උණුසුම් වෙනවා.” චම්පික රණවක කීවේය.

පොලිසියේ විශාල පිරිසක් රඳවා තිබුණේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මගී පාලම අසලය. මගී පාලම මත ද පොලිස් නිලධාරීහු නැග සිටියහ. පොලිස් බාධකය ද බිඳ දමමින් උද්ඝෝෂකයන් එක පොදියක් ලෙස දුම්රියපොළ පසු කර ප්‍රධාන පොලිස් බාධකය ළඟට ආවේ නගරයම උණුසුම් කරවමිනි.

“මෙතැනදී සමහරු කියන්න ගත්තා ජනාධිපති මැදුරට යමු කියලා. ජේ.ආර්. ඔතැන නෑ, වෝඩ් ප්ලේස් ඉන්නේ කියලා තවත් සමහරු කිව්වා. එතකොටම පොලිසිය කඳුළු ගෑස් ගැහුවා. මැතිනි වාහනයක නැගලා යන්න ගියා. දැන් රංචුවම සී.ටී.ඕ. පැත්තට තල්ලු වෙමින් යනවා. එක පාරටම පොලිසිය සෙනග මැදට වෙඩි තියන්න පටන්ගත්තා. අපේ කැම්පස් එකේ ක්ලිපඩ් පෙරේරායි, නිමල් ලියනගේයි මැරුණෙ එතැනදී. පොලිසිය මගී පාලම උඩ ඉඳලත් වෙඩි තිබ්බා. එතැනදී ඩී.එම්. ආනන්ද බස් ගිනි තියන්න උපදෙස් දුන්නා. මුලින්ම බස් ගිනි තිබ්බේ මරදාන ටෙක්නිකල් එක ළඟ ඒ පැත්තෙනුත් පොලිසිය වෙඩි තියනවා. සෙනග හිස් ලූ ලූ අත දිව්වා.” චම්පික රණවක සිහිපත් කළේය.

කොළඹ ගිනියම් වූයේ එපරිද්දෙනි. කලබලය නිසා කොටුව අවට බොහෝ රජයේ ගොඩනැගිලි ගිනිබත් විය. රජය ඇඳිරිනීතිය පැනෙව්වේය. චම්පික ඇතුළු පිරිස පැන ගියේ මාලිගාකන්ද පැත්තටය.

“අපි මහා බෝධියට ගියා. සෝභිත හාමුදුරුවෝ එහෙමත් එතැනට ආවා. අපි ගියා මෝචරියට. එතකොට මළ කඳන් ගෙනත්ලා. උපකුලපතිතුමා පොලිස්පතිට කතා කරලා අපිට වෛද්‍ය පීඨෙ ඉන්න අවසර අරගෙන දුන්නා. අයිතිකාරයො නැති සමහර මළ මිනී පොලිසිය බලෙන්ම අරගෙන ගිහින් බොරැල්ල කනත්තෙ වළ දැම්මා. හමුදාව වටේම හිර කරගෙන අපි දවස් දෙකක්ම වෛද්‍ය පීඨ මෘත ශරීරාගාරයේ මළ සිරුරුත් සමග හිර වෙලා හිටියා.” චම්පික රණවක මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොටුව බෝ ගස ළඟ උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් තිස් දෙනකු මිය ගිය බව ගණන් බලා තිබේ. කොළඹ පමණක් නොව ගාල්ල, මාතර, මහනුවර ඇතුළු නගර රැසක උද්ඝෝෂණ පැවැත්විණි. මේ බොහෝ උද්ඝෝෂණවලට හමුදාව සහ පොලිසිය වෙඩි තැබීය. එදින මුළු රට පුරාම කළ වෙඩි තැබීම්වලින් මියගිය සාමාන්‍ය වැසියන් ගණන 142ක් ලෙස ගණන් බලා ඇත. උතුරේ ප්‍රශ්නය විසඳීම සඳහා ඉන්දියාවේ සහ ලංකාවේ රාජ්‍ය නායකයන් දෙදෙනා අතර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබුණේ මුළු රටම ලේ ගංගාවක ගිල්වා දමමිනි. එහෙත්, ඒ ගිවිසුමෙන් උතුරේ ත්‍රස්තවාදය අවසන් කෙරුණේ නැත. රජීව් ගාන්ධි ඉන්දියානු රුපියල් කෝටි ගණනක ප්‍රදානයක් දී ප්‍රභාකරන් ගිවිසුමට නම්මා ගත්ත ද, ඔහු ගිවිසුම කඩ කළේය. එල්.ටී.ටී.ඊ.යේ උදව්වට ආ ඉන්දීයයන්ටම අවසානයේ එල්.ටී.ටී.ඊ.ය විනශ කරන තුන් අවුරුදු යුද්ධයක නියැළෙන්නන්ට සිදු විය. රජීව් ගාන්ධි කොළඹ නාවික භටයකු අතින් පහරකෑවේ ද, ඉන් වසර කිහිපයකට පසු ඉන්දියාවේදීම ඔහු ප්‍රභාකරන් යැවූ බෝම්බකාරියක අතින් මරු වැළඳ ගත්තේ ද මෙම ගිවිසුම නිසාය.

එලෙසම, රටට ජනතාවට සත පහක වැඩක් නැති රාජ පාක්ෂික මහල්ලන් නඩත්තු කරන දේශපාලන පිංගුත්තරයන්ගේ නවාතැනක් වූ පළාත් සභා නමැති සුදු අලියා බිහි වූයේ ද මෙම ගිවිසුම නිසාය.

 

(*** ප්‍රේමකීර්ති රණතුංග)