කොළඹ නයිට් රේස්


මෙයට තුන් වසරකට පමණ ඉහත දී කොළඹ නගරය අඳුරු බංකරයක් බඳුය. යුද නගරයක සිරි සිහි ගැන්වූ කොළඹ නගරය භීතියෙන් ද සැකයෙන් ද පිරී පැවතිණි. පැමිණි සැණින් පිටවීමට සිත් දෙන කොළඹ නගරය යුද ජයග‍්‍රහණයෙන් පසුව පාරාදීසයකි. විසිතුරු මගුල් ගෙයක සිරි නංවන කොළඹ නගරය ආසියාවේ ආශ්චර්යට දිග හළ පළසක් බඳුය.

ඉකුත්දා කොළඹ නගරයේ රැුය පහන් කළ  ඕනෑම අයකු "පෙරවදන” ඉස් මුදුනින් පිළිගනු නිසැකය. ඒ ඉකුත්දා යනු ගෙවුණු 15 වැනිදාය. කොළඹ දෙවනත් කළ -කොළඹ රාත‍්‍රි මෝටර් රථ තරගාවලිය” පැවැතියේ එදිනය. එදින රාත‍්‍රි 7ට පමණ ආරම්භ වූ කොළඹ මෝටර් රථ තරගාවලිය පසුදා අළුයම 4.30 පමණ වන තුරු පැවතිණි.
මේ සටහන ඒ සම්බන්ධයෙනි.

තිස් වසරක යුද්ධයෙන් දැවුණු රටක -කාර් රේස් හෝ බයික් රේස්” හෝ දැක බලා ගැනීමේ වරම මෙරට ජනයාට හිමිව තිබුණේ නැත. යුද ජයග‍්‍රහණයෙන් පසුව එක් වරක් ඒ වරම මෙරට ජනයාට හිමි විය. රණවිරුවන් දිවි පුදා රැුක දුන් රටේ රේස් යාම සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර පළ විය හැකි වුව ද, රටේ ජනයා දහසක් ආර්ථික ගැටලූ මැද දිවි ගෙවමින් සිටින රටක "රේස් යාම” සම්බන්ධයෙන් විවිධ අර්ථකථන තිබිය හැකි වුව ද ඉකුත් සෙනසුරාදා රාත‍්‍රියේ දී කොළඹ නගරයේ දී "රේස් දෙකක්” පැවැත්විණි.

මේ සටහන ඒ සම්බන්ධයෙනි.
කොළඹ නගරයේ -කාර් රේස්” හා "බයික් රේස්” මෙවර පැවැතියේ දෙවැනි වරටය. දේශීය මෝටර් රථ ධාවකයෝ 120 දෙනෙක් හා විදේශීය ධාවකයෝ 20 දෙනෙක් මෙවර ඉදිරිපත්ව සිටියහ. දේශීය යතුරුපැදි ධාවකයෝ 120 දෙනෙක් සහ විදේශීය තරගකරුවෝ 30 දෙනෙක් යතුරුපැදි ධාවන තරගයට ඉදිරිපත්ව සිටියහ. කාල්ටන් මෝටර් රථ ක‍්‍රීඩා සමාජය සංවිධාන කළ මෙම තරගාවලියට ආසියානු මෝටර් රථ සංගමය හා ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය ද එක් වී සිටියේය.

විශේෂත්වයකි
රටේ නන් දෙසින් පැමිණ සිටි දහස් සංඛ්‍යාත ක‍්‍රීඩාලෝලීහු තරගය පැවැති මාර්ගයේ දෙපස පොදි කකා රැුස්ව සිටියහ. එය එක් අතකින් කාර් රේස් හා බයික් රේස්වලට ඇති ඇල්ම ඉහළින්ම ප‍්‍රදර්ශනය කිරීමක් බඳුය. කොළඹ ගලදාරි හෝටලය අසලින් ආරම්භ වී කොළඹ කොටුව සහ ගාලූ මුවදොර පිටිය ඉදිරි මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් කිලෝමීටර දෙකකට ආසන්න දුරක් ධාවන පථය විය. එක් තරග ඉසව්වකට වට 20කි. වැලි කොට්ට 1,50,000කින් ආරක්ෂාව තර කර තිබිණි. විසිතුරු සල්පිල් බිමක් පරිද්දෙන් කොළඹ නගරය හැඩ ගන්වා තිබිණි.
ජපානය, මැලේසියාව, හොංකො, එංගලන්තය සහ ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් ධාවකයෝ පැමිණ සිටියහ. එහෙත් ඒ ? පායා ආ තරුව වූයේ ඩිලන්ත මාලගමුවය. ජාත්‍යන්තර අත්දැකීම් සපිරි මේ ශ්‍රී ලාංකික ධාවකයා දහස් සංඛ්‍යාත ජනකායකගෙන් නොනැවතී නැගුණ ඔල්වරසන් හඬ මැද ජී.ටී. 4 සුපිරි මෝටර් රථ ඉසව්වේ දී තරගය ජය ගත්තේ සෙසු තරගකරුවන්ට වඩා වටයක් ඉදිරියෙන් සිටිමිනි. මෑත කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ලැම්බෝගිනි වර්ගයේ කාරයකින් තරග වැදුණු ඩිලන්ත දහස් සංඛ්‍යාත කී‍්‍රඩා ලෝලීන්ගේ වීරයා බවට පත් විය.
ෆෝක්ස්වැගන් සෝලෝ රථ පැදවීම සඳහාම ඉන්දියානු තරගකරුවෝ පැමිණ සිටියහ. එම ක‍්‍රීඩා ඉසව්වට ඔවුන් කොතෙක් සමත්කම් දක්වන්නේ දැයි පෙන්වමින් ඉන්දීය ක‍්‍රීඩකයෝ එම තරග ඉසව්ව පහසුවෙන්ම ජය ගත්හ. ඉන්දීය ක‍්‍රීඩක අන්ගාඞ් සිංට සිය රථය  පාලනය කරගත නොහැකිව ධාවන පථයෙන් ඉවතට ගියේ මෙබඳු ක‍්‍රීඩා ඉසව්වක සැඟව ඇති අනතුර ද ප‍්‍රදර්ශනයට තබමිනි. අනතුරු වාර්තා වූයේ අන්ගාඞ් සිංගෙන් පමණක් නොවේ. ටොයොටා ඊ.ටී.අයි. ඕ.එස්. මෝටර් රථ ඉසව්වට සහභාගි වූ දිනේෂ් සේනානායක ද අනතුරකට මුහුණ පෑවේය. ඔහුට අලාභයක් නොවූව ද ඔහුගේ රථයට දැඩි අලාභයක් අත් විය.

මෝටර් ක්‍රොස් ශූර ගයාන් සඳරුවන් ප‍්‍රතිවාදී තරගකරුවන්ට සුපර් මෝටාර්ඞ් ඉසව්වේ දී ප‍්‍රබල අභියෝගයක් එල්ල කළේය. වට හයකින් සමන්විත වූ එම තරග ඉසව්වේ දී ඉදිරියෙන්ම සිටි ගයාන් සඳරුවන් අවසන් වටයේ දී ඇසිපිය හෙළන පමාවෙන් පසු කළ නෙඞ් ඩැනියෙල් ජයග‍්‍රාහකයා බවට පත් විය.

ශ‍්‍රියාන් සැමුවෙල් යතුරුපැදි අංශයේ වීරයා විය. සිලින්ඩර් ධාරිතාව 250 දක්වා වූ ඉසව් තුනම ජය ගැනීමට ඔහු සමත් විය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ ද මෙම තරගාවලියට එක්ව සිටියේ ධාවකයෙක් ලෙසය. ෆෝක්ස්වැගන් සෝලෝ තරග ඉසව්වට සහභාගි වූ රෝහිත රාජපක්‍ෂට සිදු වූයේ ඉන්දීය ධාවකයන් ඉදිරිපිට පරාජය බාර ගැනීමටය. එස්.එල්.එච්. 1600 සී.සී. ඉසව්වට තරග වැදුණු රෝහිත රාජපක්‍ෂ පසු කර යාමට අශාන් සිල්වා, ඩිලාන් සෙනෙවිරත්න හා ඉම්ටාඞ් හුසේන් සමත් වූහ.

තරගය සඳහා ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කැර තිබිණි. ඒ රුපියල් 50, 100, 250, 3000 ආදී වශයෙනි. රුපියල් 4000කට හා 5000කට මිල නියම වූ ටිකට් පත් තෝරාගත් විශේෂිතයන්ට නිකුත් කැර තිබිණි. එම ටිකට් පත් සඳහා තරු පන්තියේ හෝටලයකින් ආහාර ද තරගයෙන් පසුව පැවැති සංදර්ශනය නැරැඹීමට ද පහසුකම් සලසා තිබිණි. ප‍්‍රසංගයට සහභාගි වීමේ වරම හිමිව තිබුණේ සුවිශේෂී ආරාධිතයන්ට පමණි. දෙස් විදෙස් සුරූපී නළඟනන් සහභාගි වූ එම ප‍්‍රසංගය මහලූ නොවූ රාත‍්‍රියකට සුහද ආරාධනාවක් බඳුය. මාධ්‍යයට තහනම් වූ ප‍්‍රසංගයේ විවිධ අවස්ථා අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

කෝටි 200කට අධික මුදලක් මෙම තරගාවලිය සඳහා වියදම් කර ඇති බව ද පැවසේ. විපක්ෂය කියන පරිදි ඉන්ධන මිල රුපියල් දහයකින් ඉහළ දමා තිබෙන්නේ ඒ වියදම් පියවා ගැනීමට බවය.

අවධාරණය කළ යුතු විශේෂ කාරණයක් ද තිබේ. මේ කොළඹ පැවැති දෙවැනි ”නයිට් රේස්” එක වුව ද ලංකාවේ පැවැති තෙවැනි තරගාවලිය වේ. කොළඹට අමතරව නුවර ද වරක් මෙබඳු තරගාවලියක් පැවැත්විණි. එහෙත් පෙර තරග දෙකේදීම වූ අඩුපාඩු සකසා ගැනීමට මෙවර ද අපොහොසත් වීම සුළුකොට නැකිය යුතු නැත.
තරගය ද මෙන්ම තරගය දා ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නගා තිබිණි. එහෙත් ආරක්ෂාව තර කිරීම යනු බහුතරයක් ජනයා පීඩාවට පත් කිරීම නොවේ. එහෙත් සිදුවූයේ ද එයමය. තරගය පැවැති දාත් එයට පෙර දාත් ධාවන පථයට හසුවූ මාර්ගය වසා දමා තිබිණි. ඒවායෙහි ගමන් ගන්නා ජනයා කොහෙන් කොහොම යන්න දැයි නොසලකා තිබිණි. විශේෂයෙන්ම සිකුරාදා දිනයේ වැඩ නිමවා කොළඹ කොටුවට දුවන ජනයා බලවත් අපහසුතාවයන්ට ගොදුරු වූහ. ඒ අපහසු වන රෑ දෙගොඩහරි ජාමය වන තුරු ඔවුන් අත්වින්ඳාම සැක නැත. එයට හේතුව ඔවුන් ගමන් ගන්නා දුම්රිය හෝ බස් රිය ඔවුන් පැමිණෙන තුරු බලා නොසිටි හෙයිනි. අතිශය බහුතරයක් ජනයාට එබඳු පීඩා ගෙන දෙමින් රේස් දුවන්නේ ඇයි දැයි නැගෙන ප‍්‍රශ්නය අසාධාරණ වීමට හේතුවක් නැත.
එම මාර්ග ආශ‍්‍රිතව ජීවත් වන ජනයාගේ ආදායම් මාර්ගවලට පාරවල් වසා දැමීමෙන් අත්වන ඉරණම සුළුකොට තැකිය යුතු නැත. ඒ දෙදිනේදී ඒ ජනයා කෑවේ මොනවා දැයි ප‍්‍රශ්න කිරීම සාහසිකවීමක් ද නොවේ. රාත‍්‍රි තරග පවත්වන්නේ නම් එහිදී මතු විය හැකි ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සියල්ලන්ගේම යහපතට හේතුවන්නකි.

සටහන : ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

එද රෑ කොළඹ හැඩ කළ රුසියන් තරුණියෝ