කොළඹ හත පුදුම කළ ගාමිණී ගේ වේදිකා රංගනය


සිනමා තිරයේ ජය කෙහෙළි නැංවූ ගාමිණී ෆොන්සේකා ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක රඟපෑවේ 1978 අග භාගයේදීය.   


ඒ වනවිටත් ‘කළුදිය දහර’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර සිටි මනික් සන්ද්‍රසාගර ‘‘සවුන්ඩ් ඔෆ් මියුසික්’’ නමැති එම වේදිකා නාට්‍යය නිර්මාණය කළේය.   
එම නාට්‍යය දර්ශන වාර දොළහකදී ලද ආදායම රුපියල් ලක්ෂ තුනහමාරක් විය. ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍යයක් ඉපැයූ වැඩිම මුදල එය යයි කියැවෙයි.   

 

එකම ශාලාවේ දින සියයක් ප්‍රදර්ශනය කළ චිත්‍රපටයක්වත් එතරම් ආදායමක් ලබාගත නොහැකි බව ඩී. කිරගලආරච්චි විසින් ලියන ලද පුවත්පත් ලිපියක සඳහන් වෙයි.   
“කුරුඳුවත්ත හිතා ඉන්නෙ ගාමිණී ෆොන්සේකාට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියල ගාමිණී සිංහල චිත්‍රපට නළුවෙක්. මම සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඉංග්‍රීසි දන්නෙ ඒ ගොල්ලො විතරයි. ඉංග්‍රීසි වේදිකාව ඒ ගොල්ලන්ට උරුමයෙන් ලැබිච්ච දෙයක්.”   


‘‘බින්තැන්නෙ වැද්දො (ගාමීණී සහ මම) කොහොමද ඉංග්‍රීසි වේදිකාවට පය ගහන්නෙ. ඔන්න ඔය උඬඟුකම් බිඳදාන්න මට ඕනෑ වුණා. මම ‘‘සවුන්ඩ් ඔෆ් මියුසික්’’ නාට්‍යය කළේ එ් නිසයි.’’   
‘‘ලොකු ගණන්වලට ටිකට් ගැහුවෙ නැතිනම් ඔය කට්ටිය ගෙන්න ගන්න ලේසි නෑ. අන්තිමේදි මොකද වුණේ බින්තැන්නෙ වැද්දො නාට්‍යයක් හදල කුරුඳුවත්තෙ වැද්දන්ගෙ සල්ලි ටික එකතු කළා.’’ මනික් සන්ද්‍රසාගර ‘‘සවුන්ඩ් ඔෆ් මියුසික්’’ වේදිකා නාට්‍යය පිළිබඳ දැඩි ස්වරයෙන් ප්‍රකාශයක් කර තිබුණේ එසේය.   
ඔහු ලංකාවේ ඉංග්‍රීසි වේදිකා නාට්‍යයටද දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේය.   
‘‘දැන් ඒ ගොල්ලො බයවෙලා නොයෙක් ප්‍රකාශ කරනවා. සල්ලි වියදම් කරන්න තියෙනවා නම් ඒ අයටත් නාට්‍ය හදන්න පුළුවන්ලු. මෙච්චර කාලයක් තිස්සේ ඒ ගොල්ලො හදපු නාට්‍ය අපි දැක්කා. ඉංග්‍රීසි වේදිකා නාට්‍යයේ දියුණුවක් ඇති වුණාද? ඒ ගොල්ලො තවමත් ඉන්නෙ පරණ තැන.’’   


‘‘ඉස්සරහට ගිහින් තියෙන්නෙ සිංහල වේදිකා නාට්‍ය විතරයි. මං හොඳ සිංහල නාට්‍ය කීපයක්ම දැකල තියෙනවා. ලෝක මිම්මෙන් බැලුවත් විශ්ව සාධාරණ ගුණයක් ඒවයේ තියනවා. ඇයි ඒවා දිහා බලලාවත් ඉංග්‍රීසි නාට්‍යකාරයො නොහිතන්නෙ.’’ මනික් ඒ පුවත්පත් සාකච්ඡාවේ පවසා තිබිණ.   
සරත්චන්ද්‍රයන් ‘මනමේ’ නාට්‍යය නිර්මාණය කරන කාලයේ එය වේදිකාගත කිරීමට ලයනල් වෙන්ඩ්ට් රඟහල තෝරා ගත්තද එකල සාමාන්‍යයෙන් එහි සිංහල නාට්‍ය රඟ දැක්විණි. එහෙත් මනමේ සඳහා එම රංග ශාලාව ලබාගත හැකි විය. සරච්චන්ද්‍රයන්ගේ ‘‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’’ කෘතියේ සඳහන් පරිදි එහි අපූරු වැකියක් වෙයි.   


‘‘තවත් දෙයක් මට ආරංචි විය. ‘‘මනමේ’’ නාට්‍යයේ ටිකට් විකිණීමට කොළඹ හතේ යම් ගෙවල්වලට ගිය අපේ නාට්‍ය මණ්ඩලයේ නිලධාරීන්ට ‘‘අපි සිංහල නාට්‍ය බලන්නෙ නෑ කියමින් ඇතැම් ගෙහිමියන් එළවා ගත් බව මට ශිෂ්‍යයෝ ඇවිත් කීහ.’’   


පිං ඇති සරසවි වරමක් දෙන්නේ එවැනිම තවත් අපූරු සිදුවීමක් සරච්චන්ද්‍රයෝ එම කෘතියේම විස්තර කරති.   
මනමේ පෙන්වූ දෙවැනි රාත්‍රියෙහි හෝ තුන්වැනි රාත්‍රියෙහි පැමිණි කොළඹ හතේ යයි සිතිය හැකි කාන්තාවක් ශාලාවේ බරාඳයෙහි සිටිනු දැක සරච්චන්ද්‍රයන් ඇය හා කතා කර ඇත. ඇයට අවශ්‍යනම් නොමිලේ නාට්‍යය බලන ලෙසද ඇරයුම් කර ඇත. ‘මනමේ’ නාට්‍ය දර්ශනය ආරම්භ වී පැය භාගයක්වත් ගතව නොතිබුණු බැවිනි.   


සිංහල නාට්‍ය රාත්‍රි අටට අවසන් නොවන බවත් අඩුම ගණනේ නවය දහය විය හැකි බවත් පැවසූ ඇයට අවශ්‍ය නම් කලින් යාමට හැකි බවද සරච්චන්ද්‍රයන් පැවසූ විට ඇය දී ඇත්තේ අවඥා සහගත පිළිතුරකි.   
‘‘චී... මං යන්නෙ නෑ සිංහල නාට්‍ය බලන්න. මං මේ ඇහුවෙ මගෙ වැඩකාරිව එවන්න. එ්කිට මේවයේ ඇවිල්ල දහය දොළහ වෙනකල් ඉන්න දෙන්න පුළුවන්යැ...’’ එදා පනස් ගණන්වල ‘මනමේ’ නාට්‍යයට වූ ප්‍රතිචාර 1978 දී සිංහල නළු නිළියන්ටත් තිබූ බවට ඉඟියක් මනික් සන්ද්‍රසාගරයන්ගේ මේ කතාබහෙන් නොහැඟෙන්නේද?   
මනික්ට ගාමිණී මුණ ගැසී ඇත්තේ 1951 වර්ෂයේදීය. එවිට ගාමිණීට වයස 24ක් පමණ වූ අතර මනික් දහතුන් හැවිරිදි වියේ පසුවිය. 

 
මනික්ට ඉංග්‍රීසි වේදිකාවට සම්බන්ධ වීමට ලැබී ඇත්තේ ආතර් වැන් ලැන්ගෙන්බර්ගේ ඉංග්‍රීසි වේදිකානාට්‍යවල වේදිකා සැරසිලිවලට සහාය දීමේ පුරුද්ද නිසාය. ආතර් එකල ඉංග්‍රීසි වේදිකාවේ නම් දරා සිටියෙකි. ඔහු මනික්ගේ අසල්වැසියෙකි.   


සන්දේශය චිත්‍රපටයේ ආතර් පෘතුගීසි සේනාවේ කපිතාන් රොද්‍රිගෝ ලෙස රඟපෑවේය. එපමණක් නොව ආතර්ගේ නිවසේ එකල සන්දේශය චිත්‍රපටයේ දර්ශනයක්ද රූගත කෙරිණ. ඒ සඳහා ගාමිණීද ආතර්ගේ නිවසට පැමිණ තිබේ.   


මේ දහතුන් හැවිරිදි කොලු ගැටයා ගාමිණීගෙන් අසා ඇත්තේ අපි දෙන්න එකතුවෙලා චිත්‍රපටයක් හදමුද කියාය.   


‘‘ඔයා ඉගෙනගෙන ලොකු මිනිහෙක් වෙලා සිනමාව ගැන දැනගෙන එන්න. එතකොට මේ ගැන කතා කරන්න ලේසියි’’ එදා ගාමිණී මනික්ට කියා ඇත.

   
ඉන් දහඅට අවුරුද්දකට පසු ගාමිණී හා මනික් චිත්‍රපටයක් ගැන කතා කරන්නට එකතු වූවේ ‘සීතාදේවි’ චිත්‍රපටයටය. (මනික් පිළිසඳර - ඩී. කීරගල ආරච්චි)   


මේ සිදුවීම විශේෂයෙන් සඳහන් කෙරුණේ ඉංග්‍රීසි උගත් පන්තියෙන් සිංහල චිත්‍රපට කලාකරුවන්ට එතරම් තැනක් නොතිබුණු බව පෙන්වීමටය. එය අද ද එතරම් වෙනස්වී ඇතැයි නොසිතේ. අද සිදුවී ඇත්තේ ඉංග්‍රීසි කතා කරන පන්තිය පමණක් නොව සිංහල කතා කරන පිරිස ද සිනමාවෙන් ඈත්වී සිටීමය.   
ගාමිණී ෆොන්සේකා මෙන්ම ලැඩී රණසිංහ ද චිත්‍රපටකරුවාගේ තත්ත්වය රැක ගැනීම පිණිස සටන් කළ තවත් රංගධරයෙකි. රුපියල් හැත්තෑපහේ මාසික පඩියට රඟපෑ ඇතැම් නළු නිළියන් ගැන ලැඩී කීවේ කසළ ශෝධකයන් ඊට වඩා පඩියක් ලබන බවකි. ඒ නිසා ඔහු තම රඟපෑම් ගාස්තුව වැඩි කළේය.   
ගාමිණී කාලයක් සිනමාවේ වැඩිම මුදලක් අය කළ රංගධරයා විය. ඔහු හැම විටෙකම ප්‍රභූවරයකු සේ හැසිරුනේය. ඔහුට ඒ සඳහා ඔහුගේ ඉංග්‍රීසි බස හැසිරවීමේ හැකියාව මනා පිටිවහලක් විය.   
ගාමිණීගේ 50 වැනි ජන්ම උළෙලේදී විජය කුමාරතුංගයන් කීවේ එදා පිටුපස දොරින් වළව්වට ගිය මිටි පුටුවක් හෝ බැංකුවක් දී කුස්සිය පැත්තේ වාඩිවන්නට සැලැස්වූ කලාකරුවාට ඉදිරිපස දොරින් ඇතුළු වී කෙළින් සිට ගැනීමේ ගෞරවය ලබා දුන්නේ ගාමිණී ෆොන්සේකා බවය.   


1984 දී විලියම් ෂේක්ස්පියර්ගේ ජුලියස් සීසර් වේදිකා නාට්‍යයෙන් ගාමිණී යළි වේදිකාවට ආවේය. එය ටෝනි රණසිංහගේ නිෂ්පාදනයක් විය. එය සිංහල වේදිකා නාට්‍යයකි. ටෝනි රණසිංහ මෙහි ජුලියස් සීසර් ලෙස රඟපෑවේය. ගාමිණී බෲටස්ගේ චරිතය නිරූපණය කළේය. රවීන්ද්‍ර රන්දෙණිය මාක් ඇන්ටනී ලෙසද, එච්.ඒ. පෙරේරා කැසියස් ලෙසද එහි චරිත නිරූපණය කළහ.   
මහේන්ද්‍ර පෙරේරා මෙහි සෙනෙට් සභික ඇතුළු චරිත කීපයක්ම එහි රඟපෑ අතර ලීනා රූපසේන ද මෙහි චරිතයක් නිරූපණය කළාය.   


ටෝනි, රවි, එච්.ඒ., මහේන්ද්‍ර වැනි බොහෝ දෙනෙක් වේදිකාව ‘හුරු පුරුදු’ රංගන ශිල්පීහු වූහ. එහි රඟපෑ ගාමිණී වේදිකාවට නුහුරු චරිතයක් වුවද එම නාට්‍යයේ සුවිශේෂි ආකර්ෂණය වූයේ ගාමිණීය. ඒ නිසා එය දැවැන්ත නිෂ්පාදනයක් විය. ඒ සඳහා උරදුන්නේ සුනිල් ෆොන්සේකාය.   
මහේන්ද්‍ර පෙරේරා රඟපෑමට අමතරව එහි දර්ශන පසුතල සඳහා දායක විය. ඒ ලුවලින් වැන්ඩවොල් සමගය. එමෙන්ම මහේන්ද්‍ර හා වසන්ත විට්ටච්චි ගාමිණීගේ බෲටස් චරිතයට ඇඳුම් ඇන්දවීමේ කටයුතුවලද නිරත වූහ.   
අනෙක් නළු නිළියන් තමන්ගේ ඇඳුම් පැළඳුම් තමන්ම ඇඳගත් අතර ගාමිණීට මහේන්ද්‍රගේ හා වසන්තගේ සහාය ලැබිණ.   


ගාමිණී ‘ජුලියස් සීසර්’ සඳහා බොහෝ පුහුණුවීම් කළේය. එක් අතකට එය චිත්‍රපටයකට වඩා වෙහෙසකර කාර්යයකි.   
මහේන්ද්‍ර පවසන්නේ ඇතැම් විටෙක ගාමිණී පවසා ඇත්තේ ‘‘මම මොකට මේ චරිතය බාර ගත්තාද මන්දා?’’ කියාය. එය ගාමිණීට සිනමා රඟපෑමකට වඩා වැඩි වෙහෙසකර කාර්යයක් වූ නිසා විය යුතුය.   
එහෙත් ගාමිණී අභියෝගයක් බාර ගත්තොත් එය අත් නොහරින කලාකරුවෙකි. ‘ජුලියස් සීසර්’ නාට්‍යයේ කැපී පෙනෙන රඟපෑම් දක්නට ලැබුණේ ටෝනි රණසිංහ හා රවීන්ද්‍ර රන්දෙණිය හා එච්.ඒ. පෙරේරා වෙතිනි.   
මයික්‍රෆෝන් භාවිතයෙන් තොරව ශාලාවටම ඇසෙන සේ දෙබස් කියමින් චරිතය නොමරා රඟපෑමද විශාල අභියෝගයකි. වේදිකා නාට්‍ය රඟපෑම් ඇතැම් විට පමණ ඉක්මවා කෙරෙන රඟපෑමක් නැත්නම් ඕවර් ඇක්ටින් ලෙස බොහෝ විටක අපට පෙනෙන්නේ ඒ නිසාය.   


ගාමිණී උත්සාහ කළේ එයින් මිදී රඟපාන්නටය. ගාමිණී ජුලියස් සීසර්හි ප්‍රධානතම ආකර්ෂණය වූවාට ඔහුගේ රඟපෑම් ශෛලිය වේදිකාවට එතරම් ගැළපුනේ නැත.   
‘ජුලියස් සීසර්’ කොතරම් දැවැන්ත නිෂ්පාදනයක් වූවාද කියතොත් එය වේදිකාගත කෙරුණේද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. ඒ සඳහා විශාල මුදලක් මෙන්ම ප්‍රවේශපත්‍ර අධික මිලකට විකිණිය යුතු විය.   
සාමාන්‍යයෙන් එකල වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කෙරුණේ ලුමිබිනි, ටවර්, ලයනල් වෙන්ඩ්ට් වැනි ශාලාවලය. බණ්ඩාරනායක රඟහල වැනි දැවැන්ත රංග ශාලාවක් වෙන් කෙරෙන්නට ඇත්තේ ගාමිණී නිසාම වන්නට ඇත.   
කෙසේ වුවද ජුලියස් සීසර් ගාමිණී සමග වේදිකා ගත කෙරුණේ ප්‍රථම දර්ශනය සහ තවත් එක් පිට පළාතක දර්ශනයක් පමණි.   


කෙ​සේ වුවද 79-80-82 කාලයේ ගාමිණීගේ කිසියම් නිහඬතාවක් දක්නට ලැබිණ. ‘සාගරයක් මැද’ චිත්‍රපටය පිළිබඳ අර්බුදයද ඔහුට එකල බලපාන්නට ඇත. ඔහු රඟපෑමෙන් ඉවත්වන බවත් රට අතහැර යන බවටත් ඇතැම් ආරංචි පැතිර යන්නට විය.  
ගාමිණී ඒ වනවිට හතළිස් විය පසුකර සිටි නිසා ප්‍රේමවන්තයාගේ චරිතයට සුදුසු නැති බවටද පුවත් පළ විය.   
1981 හතළිස් පස්වැනි ජන්ම දිනය ලබද්දී ගාමිණී වාසය කළේ ගම්පොල ප්‍රදේශයේ ඉතාමත් සුන්දර වතු යායකය. ඔහු ගම්මිරිස්, කරදමුංගු, එනසාල් වලින් පිරුනු ඒ සුන්දර වතුයාය ඔහුගේ එක හැල්මේ දිවූ ජීවිතයට මද සැනසුමක් අත්කර දුන්නේය.   


එමෙන්ම 1979 දී බොහෝ විට මත පළ වූයේ ගාමිණීගේ චිත්‍රපට එක දිගටම මුදල් අතින් අසාර්ථක වූ බවය. එය එකල ක්ෂේත්‍රයේ ආන්දෝලයනයක් බවට පත්විය.   
‘‘ලෝකයේ දක්ෂතම නළුවෙක් වන මාලන් බ්‍රැන්ඩෝ ‘ගෝඩ් ෆාදර්’ චිත්‍රපටයට පෙර රඟපෑ චිත්‍රපට දහයක්ම එක දිගට අසාර්ථක වුණා. ‘රාම් ඕර් ශ්‍යාම්’ දක්වා දිලිප් කුමාර් රඟපෑ චිත්‍රපට හයක් එක දිගට අසාර්ථක වුණා.’’   


‘‘නළුවකුගෙන් චිත්‍රපටයක් සාර්ථක ද අසාර්ථක ද කියලා අහනවට වැඩිය සාධාරණයි රඟපෑම සාර්ථක ද අසාර්ථක ද කියල අහන එක. චිත්‍රපට සඳහා මුදල් යෙදවූ නිෂ්පාදකයෝ අධ්‍යක්ෂකවරු මම නොවෙයි - මුදල් ගෙවා චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාත් මම නොවෙයි.’’   


‘‘කවුරු කොහොම කිව්වත් අන්තිම අසාර්ථකයි කියන මගේ චිත්‍රපට අතරත් සති අටකට වඩා අඩුවෙන් දුවපු චිත්‍රපට නෑ. චිත්‍රපටයක් නළුවකුට බලපාන්නේ ඔහුගේ රඟපෑම් අසාර්ථක වුණොත් විතරයි. දැනට ප්‍රධාන සිනමා ශාලාවල තිරගත කළ මා රඟපෑ චිත්‍රපට තුනේ (අමල් බිසෝ, මිනිසුන් අතර මිනිසෙක්, සරුංගලය) එකිනෙකට හාත්පසින් වෙනස් විවිධ චරිත තුන අසාර්ථක රඟපෑමක් කියා හඳුන්වා නෑ නේද?’’   
‘‘වාණිජ ඉල්ලුම නිසා හොඳ කලාත්මක චිත්‍රපට නොදුවපු අවස්ථා තිබුණා. ගම්පෙරළිය හා නිධානය එවැනි චිත්‍රපට අතරින් කීපයක්. තවත් ඒවට ඒකම වෙන්න තියෙනවා. සාර්ථක චිත්‍රපට නමින් හඳුන්වන්නෙ චණ්ඩි පුතා, කවුද රජා වැනි චිත්‍රපට නම් ඒවගෙ චිත්‍රපට ඕනෑ තරම් නිපදවන්න පුළුවන්, හදන්න කියන්නෙ සූරයෝද? කොයි චිත්‍රපටද හොඳයි කියන්නෙ. ඒකයි ප්‍රශ්නය.’’

   
ගාමිණී ‘සරුංගලය’ ගැනද එම සම්මුඛ සාකච්ඡාවෙදී කතා කළේය. ඒ සරුංගලය පිළිබඳවය.   
‘‘සරුංගලය ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මම කියන්න හදපු දේ වෙනත් පිරිසක් එකතුවෙලා කපා දමතොත් සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?   


ලේඛකයෙකුට, පොත් කර්තෘවරයකුට ඇති නිදහස සිනමාකරුවන්ට ලැබෙන තෙක් අපට සෑහීමකට පත්වෙන්න බෑ.   


අඩු ගානෙ දකුණු ඉන්දියානු සිනමාකරුවන්ට ඇති නිදහසවත් මේ ර​ටේ සිනමාකරුවන්ට තිබිය යුතුයි.’’   
ගාමිණී නම් සිනමාවේ නොමියෙන මිනිසා 1979 දී කී එම අදහස් අදටත් ගැළපේදැයි සිතා බලන්න.   
සාර්ථකවීම්, අසාර්ථකවීම් මැද ඔහු පැමිණි දුෂ්කර ගමන අද ගාමිණී ෆොන්සේකා නාමය මෙරට පුරා වෘත්තයක් කර අවසන්ය.

 

 

රොඩ්නි විදාන පතිරණ