පිළිකාවක් හැදිල මගේ අම්මා මැරෙනකොට මගේ වයස අවුරුදු 6යි. ඊට පස්සේ මගේ පුංචි අම්මා දෙමෝදරට ගෙනැල්ලා මාව ඇති දැඩි කරලා තියෙනවා. පුංචි අම්මා දෙමෝදර වත්තේ තේදළු කඩලා මාත් ඇගේ දරුවෝ හතරදෙනාත් ලොකු මහත් කරන්න ලොකු යුද්ධයක් කළා. ආර්ථික ප‍්‍රශ්න නිසා අධ්‍යාපනය අතරමගදී නතර වුණ තැන කෝච්චියේ වඬේ විකුණලත් තියෙනවා යැයි ඌව පළාත් සභා මැතිවරණයේදී බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් දෙවැනි තැනට මනාප ලබා ක‍්‍රීඩා හා යෞවන කටයුතු, විදුලිබල හා බලශක්ති, පේෂකර්ම හා කුඩා කර්මාන්ත සහ සමුපකාර අමාත්‍යධුරයෙන් පිදුම් ලැබූ චාමර සම්පත් දසනායක මහතා ඉරිදා ලංකාදීපය සමඟ පිළිසඳරකට එක්වෙමින් පැවසීය.
ඇල්ලේ චාමර නමින් කොයි කවුරුත් හඳුන්වන මේ පොදුජන හිතවතා සොයා මම දෙමෝදරට ගියෙමි. ඔහුගේ නිවෙස පිහිටා තිබුණේ දෙමෝදර බෝරුකට නුදුරින් වෙළෙඳසල් පෙළක් මැදය. එම නිවෙස කඩකාමර දෙකක් වැනිය. ‘‘මේක තමයි මගේ ගෙදර’’ චාමර පැවසුවේ ප්ලාස්ටික් පුටුවක් මාවෙත පිළිගන්වා ඔහු ද ප්ලාස්ටික් පුටුවක වාඩි වෙමිනි.
මගේ විමතිය දුටු ඔහු මුලින්ම කතා කළේ නිවහන ගැනය.
‘‘ඇමති තියා ඉන් ඉහළට ගියත් මං මුල අමතක කරන්නේ නැහැ. මිනිස්සු මැද ඉන්න නිසා තමයි මට හැම ජයග‍්‍රහණයක්ම ලැබුණේ. හූවක් කිව්වොත් කොල්ලො 100ක් එකතු කරන්න පුළුවන්. අනෙක් එක මෙතැන ඉන්න නිසා මගේ ජනතාවට මාව මුණ ගැහෙන්නත් ලේසියි’’ ඔහු පැවසුවේ තේ කෝප්පයකින් මට සංග‍්‍රහ කළ බිරිඳ දෙස බලමිනි.
ඔබේ අතීත කතාව වසන් කරන්න කැමැති නැද්ද?
‘‘අපෝ නැහැ’’ මම ඒ කටුක ඉතිහාසයට තවම ආදරය කරනවා. වයස අවුරුදු 6 දී මාව ගෙනැත් හදාගත් මුගේ පුංචි අම්මා තේදළු නෙළන්න ගිය හැටි මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම කෝච්චියේ වඬේ විකුණපු හැටි මා හැමදාම සිහි කරනවා.
මං වේදිකාවට නැගල කිව්වෙත් මගේ ඉතිහාස කතාව තමයි. අපේ පළාතේ ඉන්නේ වැඩිපුරම නිර්ධන පංතියේ මිනිස්සු. ඒ අය මා වටා රොක්වුණා’’
ඔබට උසස් අධ්‍යාපනයට යන්න නොලැබීම ගැන දුක්වෙනවද.
‘‘මගේ උසස් අධ්‍යාපනයට බාධා දෙකක් තිබුණා. එකක් පුංචි අම්මාට ලැබෙන සොච්චමින් ළමයි හතර දෙනෙක් සමඟ මාව නඩත්තු කරලා පාසල් වියදම් දැරීමට තිබූ අසීරුව.
අනෙක් එක තමයි එදා තිබූ භීෂණ වාතාවරණය.
මා සමාජගත වීමත් සමඟ සමාජය නැමැති විද්‍යායතනයේ දී මහා දැනුම් සම්භාරයක් ලැබුවා. ඒක සරසවියකින් ගන්න බැරි තරමේ සුවිසල් අධ්‍යාපනයක්.
දෙවැනි කඩඉම පටන් ගන්නේ කොහොමද?
ඒක තමයි මම රජයේ රැකියාවකට යාම. මං 1989 දී කොස්තාපල්වරයෙක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැදුණා. ඒත් ඒක මට හරි ගියේ නැහැ. පස්සේ සුළු වෙළෙඳාමක් පටන්ගෙන ඉන්නකොට 1994 දී බණ්ඩාරවෙල හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක්වූ විල්ප‍්‍රඞ් රත්නායක මහතා දැන හඳුනාගෙන ඔහුට උදව්කළා.
1996 දී බණ්ඩාරවෙල ශ්‍රීලනිප සංවිධායක වූ සමරවීර වීරවන්නි මහත්තයත් මමත් හුඟාක් සමීප වුණා. පළාත් පාලන ආයතනවලට අවුරුදු 35ට අඩු අපේක්ෂකයන් ද ඉදිරිපත් කළ යුතු වූ නිසා වීරවන්නි මහත්තයා මගේ නම යෝජනා කළා. මේ වන විට මට හොඳ සංවිධාන ශක්තියක් තිබුණා.
මම ඇල්ල ප‍්‍රාදේශීය සභාවට තරග වැදුණා. හැබැයි මම පැරදුණා. මට මනාප ලැබුනේ 4 වැනි තැනට.
ජෝති, ඇල්ලේ මල්ලි, අමරනාත් යන අය දිනුවා.
මම තවදුරටත් වීරවන්නි මහත්තයට උදව් කරමින් සිටියා.
1999 දී වීරවන්නි මහත්තයා ඌව පළාත් සභාවේ මහ ඇමති වුණා. හැබැයි 2001 දී එතුමා එක්සත් ජාතික පක්ෂයට ගියා. හැබැයි මම මගේ ස්ථාවරය වෙනස් කළේ නැහැ. මම වීරවන්නි මහත්තයත් එක්ක ගමන අතහැරියා. ඊට පස්සේ දැනට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වෙලා ඉන්න බණ්ඩාරවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක දොස්තර පුෂ්පකුමාර මහත්තයට උදව් කළා.
2002 දී මං නැවත ඇල්ල ප‍්‍රාදේශීය සභාවට තරගවැදුනා. මනාප 4310ක් ගත්තත් මට ලැබුණේ විපක්ෂනායක කම.
මා ක‍්‍රමයෙන් ඡුන්ද දායකයන්ගේ මනාපය වැඩිකර ගත්තා. 2006 දී ඇල්ල ප‍්‍රාදේශීය සභාව ජයගෙන සභාපති වුණා. ලබාගත් මනාප ප‍්‍රමාණය 12,000ක්. ඒක වැඩිම මනාප ප‍්‍රතිශතය වුණා.
1999 ඌව පළාත් සභා මැතිවරණයට අපේක්ෂකයන් තෝරන කොට පළාත් සභා ආයතන වලින් මාව තෝරාගත්තේ නිමල් සිරිපාල ඇමතිතුමාගේ මැදිහත්වීම අනුවයි. එම මැතිවරණයේදී මනාප 24500ක් අරන් පළාත් සභා මන්ත‍්‍රී කෙනෙක් වුණා.
පසුගිය පළාත් සභා මැතිවරණයේදී අභියෝග තිබුණද?
ඔව්.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරල තිබුණේ ශක්තිමත් කණ්ඩායමක්. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත‍්‍රීවරයෙක්, හා පළාත් සභාවේ හිටපු විපක්ෂනායක උපාලි සමරවීර, පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරු වූ රවීන්ද්‍ර සමරවීර හා සච්චිත්තානන්දරන්, ර.මු. රත්නායක වගේ ජනප‍්‍රිය චරිත එම කණ්ඩායමට ඇතුළත් වුණා. එහෙම බලනකොට ඉන් තරගවැදුනේ බී කණ්ඩායම වගෙයි.
අනෙක් අතට හරින්ට එකවරම ඇතිවූ ආකර්ෂණය රැුල්ලක් බවට පත්වුණා. ඒ නිසා මගේ ඡුන්දත් ටිකක් කැඩුණා. නැතිනම් මීට වඩා මනාපය මට ගන්න තිබුණා.
ඇමතිකම පිළිබදව අවසන් වෙනකල්ම දෙගිඩියාවක් තිබුණා නේද?
තරගයක් තිබුණා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වගේම ඌව පළාත් සභාවේ හිටපු සභාපතිනිය වූ හේමා රත්නායක මෙන්ම හිටපු පළාත් සභා මන්ත‍්‍රී මේජර් සුදර්ශන දෙනිපිටියත් ඇමතිකම බලාපොරොත්තු වුණා.
හැබැයි ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්තුමා මෙන්ම එක්සත් නිදහස් සන්ධානයේ ලේකම්තුමාත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවත් මා වඩාත් සුදුස්සා බවට තීරණය කළා. මහ ඇමති ශෂීන්ද්‍ර මහත්තයගේ නිර්දේශයත් මට ලැබුණා.
ඔබ ඒ සඳහා බලපෑම් කළාද?
අපෝ නැහැ. මම පියවරෙන් පියවර ආ දේශපාලන ගමන ගැන ඒ අය පැහැදුණා. ඒ වගේම මම දිස්ත‍්‍රික්කයෙන් දෙවැනි තැනට ලබාගත් මනාප 34,337 ලොකු පිටුබලයක් වුණා.
බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසය ජයගන්නටත් පුළුවන් වුණෙත් ඇල්ලෙන් ලැබුණු ඡුන්ද නිසයි.
ඔබට ලැබුණ අමාත්‍යංශය ගැන සතුටු වෙනවද?
ඔව්. මන්ත‍්‍රීවරයෙක් ලෙස කළ වැඩට වඩා වැඩි වැඩ කොටසක් ජනතාවට කරන්න හැකි වෙනවා කියලා හිතනවා.
නිලධාරීන් ගෙන් වැඩගන්නේ කොහොමද?
ඒ ගැන මම හොඳටම දන්නවා. මන්ත‍්‍රී කාලෙත් මම නිලධාරින්ගෙන් වැඩ ගත්තා. තියෙන ප‍්‍රතිපාදන සොයාගෙන නිලධාරින් ළඟට විතරක් නොවෙයි ලිපිකරුවන් ළඟට ගිහිල්ලත් මා වැඩ කරගෙන තියෙනවා.
මොකද මට ඕනෑ කොහොම හරි ඉක්මනට වැඬේ කරගන්නයි. ඒක ඌව පළාත් සභාවේ ඉන්න නිලධාරීන් වගේම ලිපිකරුවනුත් දන්නවා.
ඌවේ ඡුන්ද ප‍්‍රතිඵලයට විශාල බලපෑමක් කළ හැකි ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ තොණ්ඩමන්ට පවා අභියෝගයක් වෙමින් සෙන්දිල් තොණ්ඩමාන්
තුන්වැනි තැනට දාලා ඔබ දෙවැනි තැනට ආවේ කොහොමද?
මම ගම, වත්ත වෙනසක් නැතිව කවුරුත් එක්ක ජීවත් වන කෙනෙක්. මරණයක් දුකක් ආපදාවක් වූ ගමන් මා එතැනට කළහැකි හැම උපකාරයක්ම කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා කම්කරු ප‍්‍රජා සංගමය නමින් මම වෘත්තීය සමිතියක් පිහිටුවා ගත්තා. නමුනුකුල, බල්ලකෙටුව ප‍්‍රමුඛ වතුකරයේ ජනයා එම වෘත්තිය සමිතිය ගැන විශ්වාස කළා.
ඇමතිවරයෙක් ලෙස ලොකු වැඩ පටන් ගන්නේ කොතැනින්ද?
මගේ ලොකු ආශාවක් තියෙනවා විදුලිය නැතිව දුක්විඳින ඌව පළාතේ ජනතාවට විදුලිය දෙන්න. දැනට ඌවේ සියයට 90කට විතර විදුලිය තිබුණත් විදුලිය නැති පිරිසකුත් ඉන්නවා.
ආර්ථික ප‍්‍රශ්න නිසා ඒ අයට විදුලිය ලබාගන්න බැරි තත්ත්වයක් තියෙනවා.
සාමාන්‍යයෙන් විදුලිය ගන්න රුපියල් හැටදාහක් විතර වියදම් කළයුතු තැන අමාත්‍යංශයෙන් රුපියල් හතළිස් දාහක් ලබාදිය හැකි ක‍්‍රමයක් තිබෙනවා. ඒ ක‍්‍රමය අනුව විදුලිය නැති ගෙවල් 2000කට විදුලිය ලබාදෙනවා. ඒ සඳහා ප‍්‍රධාන ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාත් උදව් කිරීමට කැමැත්ත පළ කළා.
ඒවගේම ක‍්‍රීඩාවලටත් මා ආසයි. අපේ දෙමෝදර කොල්ලෝ තමයි හැමදාම වොලිබෝල්වලින් කප් ගහන්නේ. ඒ වගේම ගම්මානවලත් වතුකරයේත් වොලිබෝල් ක‍්‍රීඩකයෝ ඉන්නවා. අනෙක් ක‍්‍රීඩා දියුණු කරන ගමන් ක‍්‍රීඩා ඇමති ලෙස ගම්මාන වල වොලිබෝල් ක‍්‍රීඩාව නංවාලන්න කටයුතු කරනවා.
ඡන්ද ගැටුම් තිබුණා නේද?
ඇල්ල පොලිස් බල ප‍්‍රදේශයේ නම් අප කවුරුවත් ගැටුනේ නැහැ. හැබැයි බණ්ඩාරවෙල හරින් එක්ක පොඩි ප‍්‍රශ්නයක් ඇති වුණා. පස්සේ අප ඒක අමතක කරලා යාළු වුණා.
මොන පක්ෂයේ වුණත් අපේ මිනිස්සුනේ. මම හිතන්නේ එහෙමයි. මම ඉදිරියට වැඩකරන්නේත් එහෙම හිතාගෙනයි.
දැන් ඉතින් ඌවේ බලගතු අමැතිවරයෙක් නේ අභිමානය දැනෙනවද?
නිහතමානීව සතුටුවෙනවා එහි සියලූ ගෞරවය මට නොවෙයි මගේ ජනතාවටයි. හැබැයි කැමති නැහැ. ඇමති කියල කතා කරනවට චාමර කිව්වම හොඳටම ඇති’’ යැයි ඔහු පැවසුවේ සුපුරුදු හිනාවෙන් මුව පුරවාගනිමිනි.