කෝටි අනූදාහක බදු අහිමි කරගත් රටක්


අපේ රටේ ජාතික ආදායම අඩුවීම රට බංකොළොත් තත්ත්වයට ඇද දැමූ එක් ප්‍රධාන සාධකයකි. ජාතික ආදායම එකතු කර ගැනීම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අසමත් වීම කොතරම් බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වී දැයි පසුගියදා නිකුත් කර තිබූ රාජ්‍ය මූල්‍ය ප්‍රකාශන විගණන වාර්තාවකින් අනාවරණය විය. එම වාර්තාවට අනුව රජයට ආදායම් රැස්කරන ප්‍රධාන ආයතන හතරෙන් රැස් කළ යුතු වූ ආදායමෙන් කෝටි 97,133ක් රැස්කර ගැනීමට 2022 වසරේදී අසමත්ව ඇතැයි සඳහන් වෙයි. එයින් කෝටි 90,400ක්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් රැස් කළ යුතුව තිබූ ආදායම් බවද වාර්තා වී තිබේ.

ආර්ථික ගිනිකන්දක් උඩ රැඳී සිටින ශ්‍රී ලංකාවට මෙවැනි ආදායමක් අහිමිවීම එම ගිනිකන්දට හෙණ වැදීමකට දෙවැනි නැත. ආදායම තර කර ගැනීම සඳහා දේශීය ආදායම් එකතු කර ගැනීමේ වැදගත්කමට රටේ දේශපාලන අධිකාරිය ඉහළම ප්‍රමුඛත්වය ලබා දිය යුතුව තිබියදී එම වගකීම ඔවුන් අතින් ගිලිහී ගොස් තිබෙන බව ඉතාම පැහැදිලිය. එය වඩාත් කැපීපෙනෙන්නේ එකී ආදායම අදාළ ආයතන මගින් නිසි පරිදි රැස් කළේ නම් රාජ්‍ය ආදායම් ඌණතාව රුපියල් කෝටි 63,600කින් අඩුකර ගැනීමට හැකියාව තිබූ බවය. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 41.3 ක් බවද විගණන වාර්තාවේ සඳහන් කර ඇත. අතේ තිබෙන කෑම ටික කටේ හලාගැනීමට තරම්වත් හැකියාවක් නැති රටක ආර්ථිකයකට හෙණ වැදීම ගැන පුදුම වීමට දෙයක් නැති බව මෙයින් සනාථ වෙයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේම රටේ ආදායම එකතු කර ගැනීමට මිස ගස් ගෙඩි කැඩීමට නොවේ. එහෙත් ආදායම එකතු කර ගැනීමේ වගකීම දෙපාර්තමේන්තුව අතින් ප්‍රබල මට්ටමකින් ගිලිහී ගොස් තිබෙන බව ඉහත සඳහන් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එසේ වීමට ප්‍රධාන වශයෙන්ම බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ පවතින අඩුපාඩු, බදු අභියාචන ක්‍රියාවලියේ දීර්ඝකාලීනභාවය, හිඟ බදු අයකර ගැනීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂිත වූ අධිකරණ පද්ධතියක් නොතිබීම බලපා තිබෙන බවද අදාළ විගණන වාර්තාවේ තොරතුරුවලින් හෙළි වී තිබේ.

ලෝකය මේ තරම් දියුණු තත්ත්වයක තිබියදී අපේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින එම තාක්ෂණික ගැටලු‍ කිහිපයට විසඳුම් ලබා දීමට උනන්දු නොවීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ විශාල කනගාටුවකි. ලජ්ජාවකි. ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණික අංශයෙන් ඉහළම ප්‍රගතියක් පෙන්වා ඇති රටකි. මේ අයගේ දැනුමින් සහ කුසලතා වලින් ප්‍රයෝජන ගෙන රටේ දේශීය ආදායම් එකතු කර ගැනීම ඉහළම කාර්යක්ෂමතාවකින් සිදුකිරීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීම ආණ්ඩුවට අමාරු කටයුත්තක් නොවේ. නීතිමය ක්‍රියාවලිය ඉක්මන් කර ගැනීම සම්බන්ධයෙන්ද එවැනි ක්‍රමයක් අනුගමනය කළ හැක. එහෙත් මේ සඳහා නිවැරැදි තීන්දු ගත් බවක් පෙනෙන්නට නැත. එය ප්‍රමාද වන තරමට වැඩිම හානිය සිදුවන්නේ රාජ්‍ය ආදායම එකතු කර ගැනීමේ ක්‍රියාවලියටය.

කාලයක් මුළුල්ලේම මෙරට ආදායම එකතු කර ගැනීමේ මර්මස්ථානය වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තම රාජකාරිය කාර්යක්ෂම අයුරින් සිදුකිරීමට අවශ්‍ය සම්පත් ලබාදීමට බලයට පත්වූ ආණ්ඩු නිසි සැලකිල්ලක් දක්වා නොමැති බව එම තොරතුරු අනුව පැහැදිලි වෙයි. ඇතැම්විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රධානියකු පත්කිරීම පවා ගැටලු‍කාරී වූ අවස්ථා ද තිබේ. ආණ්ඩුවක් එවැනි ආකාරයට කටයුතු කරන්නේ තමන්ගේ සැඟවුණු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීමට සුදුසු පුද්ගලයකු එම වැදගත් තනතුරට පත්කර ගැනීම සඳහා ද විය හැක. ආදායම් බදු දැලෙන් පිටට පැනගැනීමට වෙර දරන මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ඇතැම් බලකණු ඕනෑම ආණ්ඩුවක ඉහළින්ම සබඳතා පවත්වන අය බව ප්‍රකට රහසකි. මෙවැනි පුද්ගලයන් සහ ආයතන හේතුවෙන් නිසි පරිදි ආදායම් බදු ගෙවා තම ව්‍යාපාර පවත්වාගෙන යන පිරිස ද සමාජයේ ගැරහුමට ලක්වෙති. එහෙත් මේ කිසිදු හේතුවක් කෝටි 90,000ක බදු අයකර නොගැනීමට සාධාරණ හේතු නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රකාශ කරන්නේ රටේ දේශීය ආදායම වර්ධනය කර ගැනීමෙන් තොරව රටේ ආර්ථික තත්ත්වය ඉහළ නංවාගැනීම දුෂ්කර බවය. එම කොන්දේසිය ඉටුකිරීමට රජය බැංකු ගිණුමකට පවා බදු ලිපි ගොනුවක් ඇති කිරීමට තරම් බරපතළ තීන්දු ගෙන තිබේ. එසේ කරන්නේ එකතු කරගත හැකි බදු ආදායමෙන් සියයට41.3 ක් අපතේ හරිමින් වීම ලොකුම ඛේදවාචකයකි.

(***)