කෞතුකාගාර සොරකමට අදට මාස හතරයි


කෞතුකාගාර පුරාවස්තු සොරකමට පුරා මාස හතරකි. මාධ්‍යයන්හි සිරස්තල සැරසීම සඳහා කළ යම් යම් සංදර්ශන කිහිපයක් හැරුණු විට අදාළ සොරකම සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් හෝඩුවාවක් හෝ අනාවරණය කර ගැනීමට පොලීසිය තවමත් අසමත්ය.   අභිමානවත් පොලිසියකට ගිය කල. තෙළඟපාත බැංකු කොල්ලය මෑත කාලයේ වාර්තා වූ විශාලතම බැංකු කොල්ලය විය. කොල්ලකරුවෝ මහ ධන නිධානයක් වෑන් රියෙන් පැහැරගෙන කිසිදු හෝඩුවාවක් හෝ නොතබාම පලා ගියහ. නීතියේ විධානය සහිත රටක් අපේක්‍ෂා කළ සාතිශය බහුතරයක් ජනයා තිගැස්සවීමට එම කොල්ලය සමත් විය. කිසිදු හෝඩුවාවක් හෝ නොතබා කොල්ලකරුවන් පලා ගියද දෙතුන් මසක් ගතවීමට පෙර ඒ කොල්ලයට සම්බන්ධ සියල්ලන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත් විය.   ප‍්‍රමාණය ඉක්මවා පොලිසියට ප‍්‍රණාමය පුද කිරීමට තරම් සමත් කමකි. එහෙත් කෞතුකාගාර පුරාවස්තු කොල්ලය තවමත් නොවිසඳුණු අපරාධයකි.   දරුණු ගණයේ අපරාධකරුවෝ රැසක් පොලිිසියට කට්ටි පනිමින් සිටියහ. බලගතු ගිනි අවිවලින් හරඹ පාමින් පාතාලයේ අනු සේනාංක පවත්වාගෙන ගිය ඒ පාතාලයෝ එකා දෙන්න පොලිස් දැලට කොටු වූහ. ජීවිත අනතුර නොතකා රට වෙනුවෙන් අපරාධකරුවන් මෙල්ල කර නීතියේ විධානය පවත්වාගෙන යාමට රුකුල් දුන් ශ්‍රී ලංකා පොලිසිය ඒ පෑ හරඹයන්හි මහිමයෙන් ලොව  ඕනෑම පොලිස් සේවාවක් අබිබවා යා හැකි බව ඔප්පු කළේය. එහෙත් කෞතුකාගාර පුරාවස්තු කොල්ලය තවමත් අනාවරණය කරගෙන නැත. මහරගම නගරය ආසන්නයේ උගස් බඩු කඩයක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් ක්‍ෂණයකින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ඒ එම වෙළඳ සල අවට පොලිස් මුරකාවල් යොදා තිබූ හෙයිනි. පසුව අනාවරණය වූයේ එම වෙළෙඳ සල කොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණෙන බව පොලිස් ඔත්තුකරුවන් මගින් දෙතුන් දිනකට ඉහතදී දැන ගැනීමට පොලිසියට හැකියාව තිබූ බවය. කොල්ලකරුවන් පැමිණෙන වාහනවල අංක පවා කලින්ම පොලිස් නිලධාරීන් අතට පත්වී තිබිණි. කවරනම් ප‍්‍රාතිහාර්යයක්ද? එහෙත් ඒ පොලිසියට කෞතුකාගාර පුරාවස්තු කොල්ලයේ අගක් - මුලක් තවමත් පාදා ගැනීමට හැකිවී නැත. එය කවර අවාසනාවක්ද? එය කවර අකාර්යක්‍ෂම බවක්ද?  

විශේෂයෙන් ලියා තබමු!

කෞතුකාගාරයේ පුරාවස්තු කොල්ලය හුදෙක් තවත් එක් කොල්ලයක් නොවේ. ඒ පැහැරගෙන ගියේ අදීන අදම්‍ය අපරාජිත ජාතියක් සතු ඉතිහාසයේ උරුමයයි. ලොව අන් කිසිදු ජාතිකයකට නොදෙවැනි උරුමයක් නිර්මාණය කළ අතීත මුතුන් මිත්තන්ගෙන් වර්තමානයට රැගෙන ආ දායාදයයි. නූතන පරම්පරාවන් විසින් දිවි හිමියෙන් රක්‍ෂාකොට අනාගත පරම්පරාවට උරුම කළ යුතු උරුමයයි.   ඒ උරුමයට අත තිබ්බේ කවුද? රත්නපුර කහවත්තේ මව හා දියණිය ඝාතනය කොට දින - සති මාස ගෙවී ගියේය. අපරාධකරුවෝ නිදැල්ලේ පසු වූහ. ජීවිතාරක්‍ෂාව පිළිබඳ සහතිකය දුර්වර්ණ වූ සමාජය මරණ බියෙන් සලිතව සිටියේය. පොලිසිය නිදිදැයි ජනයා ප‍්‍රශ්න කළහ. අවසානයේ දී පොලිසිය අදාළ සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට පුද්ගලයන් තුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. දේශපාලන හේතු නිසා සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා බවට පොලිසියට එරෙහිව නැගෙමින් තිබූ අවමානයෙන්ද පොලිසිය මිදුණේය. කහවත්තේදීම ඝාතනය වූ වියපත් සහෝදරියන් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවකු පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඒ මළ සිරුරුවල උණුසුම පහව යාමටත් මත්තෙන්ය. පොලිිසියේ කාර්යක්‍ෂම බව සම්බන්ධයෙන් උදාහරණ තවත් එමටය. එහෙත් කෞතුකාගාර පුරාවස්තු කොල්ලය සම්බන්ධයෙන් එබඳු සමත් කමක් පෑමට පොලිසිය අසමත්ව සිටින්නේ ඇයි?  

ලියා තැබිය යුතුය.

කෞතුකාගාරය පිහිටියේ ජන ශුන්‍ය, වනරොදක නොව කොළඹ මය. අධි ආරක්‍ෂික කලාපය තුළමය. අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පෙනෙන නොපෙනෙන මානයේය. පොලිසියේම ජාතික රහස් ඔත්තු කාර්යාංශ මූලස්ථානයට යාර කිහිපයක් පමණි. එබඳු පරිසරයක පිහිටි ජාතික කෞතුකාගාරය බිඳ පුරාවස්තු රැුගෙන පලා යා හැකිනම් තර කළ ආරක්‍ෂක විධි විධාන කුමනාකාරදැයි යන ප‍්‍රශ්නය සහේතුකය. පුරාවස්තු සොරුන් අල්ලා ගැනීමට නොහැකිවීම නොව එසේ සොරකම් කිරීමට හැකිවීමද පොලිසියට නින්දා සහගත කැළලකි.   තවත් ප‍්‍රශ්න ගණනාවකි. මාධ්‍යවේදීන්ට පහර දුන් බොහෝ අවස්ථාවලදී පොලිසිය පුදුමාකාර ලෙස නිහඬය. සන්ඬේ ලීඩර් ප‍්‍රධාන කර්තෘ  ලසන්ත වික‍්‍රමතුංග මහ මගදී පහරදී මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකුට එරෙහිව නඩු පවරා තිබේ. මහමග දී දරුණු ප‍්‍රහාරයකට ලක්වූ උපාලි තෙන්නකෝන් රට හැර ගියේය. එහෙත් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට නොගැනිණි. ද නේෂන් පුවත්පතේ කීත් නෙයාර් පැහැරගෙන ගොස් දස වධ දුන්හ. එහෙත් අත්අඩංගුවට ගත් සැකකරුවකු නැත. පෝද්දල ජයන්ත ද දරුණු මැර ප‍්‍රහාරයකට ගොදුරු විය. සියලූ විස්තර පොලිසියට ලබා දුන්න ද ඔහුට පහර දුන් බවට සැකකොට කිසිවකු හෝ අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් විය. නාමල් පෙරේරාට ද මහ මගදී දරුණු ප‍්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහය වැලකුණු කල ප‍්‍රහාරකයෝ පලා ගියහ. එහෙත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කර අත්අඩංගුවට ගත් පුද්ගලයකු නැත. ඒවා එසේ සිදුවන්නේ ඉබේම යැයි විශ්වාස කළ හැකි වන්නේ සිහිමදගතියෙන් පෙළෙන්නකුට පමණි. එකී ප‍්‍රහාරයන්හි අරමුණු පිටුපස දේශපාලන අරමුණු තිබෙන බව අවිශ්වාස කළ යුතු නැත. එබඳු තැන්හි දී පොලිසිය නිහඬය. මේ වූකලී කවරනම් පොලීසියක්ද? සිරස රූපවාහිනී මැදිරි සංකීර්ණයට දෙවරක් ගිනි ලෑහ. බෝම්බ ගැසූහ. සන්ඬේ ලීඩර් මුද්‍රණාලයට ද ගිනි තැබිණි. සියත රූපවාහිනී නාලිකා මැදිරියටද ප‍්‍රහාරයක් එල්ල විය. එහෙත් අත්අඩංගුවට ගත් කිසිවකු නැත. ලංකා ඊ නිවුස් කාර්යාලයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු ”භූතයකු” අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ විය. ඒ අනුව සියලූ ප‍්‍රහාර භූතයන්ගේ ගිණුමට බැර කිරීමට සිදුවී තිබේ. රටකට මෙසේ පැවතිය නොහැකි බව නොකිවමනාය. ආරක්‍ෂාව යනු පුරවැසියාගේ අයිතියකි. එය තහවුරු කළ යුතුය. ආරක්‍ෂාව වෙනුවට අනාරක්‍ෂාව නිර්දේශ වන්නේ නම් ඉතිරි වන්නේ සැකය හා භීතිය පමණි. එබඳු රටක් සිය පුරවැසියන්ට අත්පත් කර දීමට කිසිවකුට හෝ අයිතියක් නැත. පොලිසියේ නිද්‍රාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ එහෙයිනි. කෞතුකාගාරයේ පුරාවස්තු කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට අසමත් වීමේ ආදීනව ලෙස විවිධ කට කතා නිර්මාණය වෙමින් තිබේ. දුටුගැමුණු රජතුමාගේ අසිපත පිළිබඳ කතන්දරද ඒ අතරින් ඉහළය. කෞතුකාගාර කොල්ලයෙන් පසුව පුරාණ දාගැබ් පුපුරවා පුරා වස්තු කොල්ලකෑම් වැඩි විය. ජාතිය සතු මහා උරුමය මත කොල්ලකරුවෝ බෝර පුපුරවා හැරියහ. මේ ගමනේ අවසානය උරුමයක් නැති රටක් නිර්මාණය වීමය. අපරාධ මැඩලීමේ පූර්ණ බලය පොලිස්පතිවරයාට පවරා දීමට ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කර ඇතැයි මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය. පොලිසිය සම්බන්ධයෙන් ඒ හා විශාල විශ්වාසයක් ගොඩනැගී තිබේ. එබඳු විශ්වාසයක් නිර්මාණය කිරීමට තරමට පොලිසියද ඉකුත් සමයේ හැකි මට්ටමන් දායක විය. කෞතුකාගාර පුරාවස්තු කොල්ලකරුවන් තවදුරටත් නිදැල්ලේ සිටීම යනු ඒ විශ්වාසය බිඳ දැමීමකි. බිඳවැටුණ විශ්වාසයක් යළි ගොඩ නැගීම පහසු නොවේ. එහෙයින් වෙර වීරිය දැරිය යුත්තේ විශ්වාසය ආරක්‍ෂා කිරීමටය. එය වූ කලී සම්මුති විරහිත කි‍්‍රයාදාමයකි. චෞර කප්පිත්තන් සමග වංක සහයෝගය යනු රට අගාධයට හෙළීමකි. මන්දයත් රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් වැනි හෙයිනි. ඉවුර බිඳුණ කල්හි ගඟ අයාලේ යන්නාසේම නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණු රටක් අයාලේ යාම වැළැක්විය නොහැකිය. එබඳු රටකට උරුම වනු ඇත්තේ පරාජය හා විනාශය පමණෙකි. ඒ මගෙන් රට මුදවාලීමේදී පොලිසිය සතුවද අප‍්‍රමාණ වූ වගකීමක් තිබේ. චෞර කප්පිත්තන් ගල ග‍්‍රහණයෙන් ගැනීමෙන් මිස වෙනත් ලෙසකින් ඒ වගකීම ඉටු කළ නොහැකිය. අප ප‍්‍රාර්ථනා කරනු ලබන්නේ එබඳු පොලිසියකි. කෞතුකාගාරයේ පුරාවස්තු කොල්ලකරුවන් නීතිය ඉදිරිපිටට පමුණුවා ඒ වගකීම ඉටු කිරීමට තමන් සූදානම් බව පොලිසිය ප‍්‍රකාශ කළ යුතුය. නොඑසේ නම් නිර්මාණය වනු ඇත්තේ තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින්ම බලාගත යුතු ශාපලත් රටක්ය.
සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්