කොළඹ හුණුපිටිය ගංගාරාමයේ විහාරධිපතීන් වහන්සේ වන ගලබොඩ ඤාණිස්සර ස්ථවිරපාදයන් වහන්සේගේ 78 වැනි ජන්ම දිනය අදට (14) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
පොඩි හාමුදුරුවෝ ලෙස සැමදෙනා හඳුන්වනු ලබන උන්වහන්සේ දැනට රෝගාතුරව සිංගපූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වර්තමාන ශ්‍රී ලංකාවේ ඇති සමාජ ආර්ථික ගැටලුවලට පොඩි හාමුදුරුවෝ දුරදක්නා නුවණින් කටයුතු කළ ආකාරය අතීතාවර්ජනය කරනු කැමැත්තෙමි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සහ වෙනත් හේතු මත කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා යෙදිය යුතු බව ප්‍රකාශ කිරීමට උත්සුක විය. එහෙත් එම ක්‍රමවේදය පියවරෙන් පියවර සැලසුමක් මත සිදුකළ යුතු බව පැහැදිලිව පෙනී යන කරුණකි. පොඩි හාමුදුරුවෝ මෙයට බොහෝ කලකට පෙර දුරදක්නා නුවණින් ගංගාරාමයේ ඉවත ලන මල්, කොළ, එළුබෙටි ආදිය යොදා කාබනික පොහොර නිෂ්පාදනය කළහ. මෙහිදී ඒ සඳහා හුණුපිටිය ගංගාරාමයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මගින් සකස් කළ යන්ත්‍රයක් භාවිත කිරීම ඉතා වැදගත් සාධකයකි. වර්ෂ 10කට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ජාතික තලයට ගෙන ගියේ නම් වර්තමානයේ පවතින ගැටලුවලට රජයට මෙන්ම කෘෂිකර්මයේ ජීවනාලිය වන ගොවීන්ට මුහුණු දීමට සිදු නොවනු ඇත.
අධ්‍යාපනය, නවීන තාක්ෂණය එනම් මාර්ගගත ක්‍රම රූපවාහිනී නාලිකා මගින් සිදු කිරීම මෙම කොවිඩ් 19 වසංගතය නිසා අධ්‍යාපනය කේෂ්ත්‍රයේ ඇතිවුණු ප්‍රධාන ධනාත්මක වෙනසයි. මේ මගින් අධ්‍යාපනය විශේෂයෙන් විද්‍යාව. ගණිතය විෂයන් ඉංග්‍රීසි භාෂාව ඇතුළු භාෂා දැනුම ශ්‍රී ලංකාවේ දියුණු නොවූ ගම්මානවල ඇති පාසල්වලට ද ජනප්‍රිය පාසල්වලට හා සමාන තැනක් ලැබීම සිදුවිය. එහෙත් එක පවුලක දරුවන් බොහෝමයක් ඇති අවස්ථා සහ මාර්ගගත අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා ගැනීමට විශාල වියදමක් දැරීමත් දුෂ්කර ප්‍රදේශවල අන්තර්ජාල සබඳතාවල ඇති ගැටලු නිසා, ආර්ථික අපහසුතා ඇති දරුවන්ට මෙම නවීන අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා ගැනීමට අපහසුතා ඇති වී තිබේ.
හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා එංගලන්තයට වැඩම කළ පොඩි හාමුදුරුවෝ 1976 නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ හිස් අතින් නොව, එවකට විශ්ව විද්‍යාලයකවත් නොතිබූ භාෂා විද්‍යාගාරයක් සඳහා අවශ්‍ය සියලුම භාණ්ඩ සහ උපකරණ ද ඊට අවශ්‍ය පොත්පත් ද ලංකාවට රැගෙනය. එසේ පැමිණි උන්වහන්සේ භාෂා විද්‍යාගාරයක් පිහිටුවීමට පියවර ගත්හ. මෙලෙස නවීන තාක්ෂණය අධ්‍යාපනය කේෂ්ත්‍රයට යොදා ගැනීම අද ද ජිනරතන කාර්මික විද්‍යාලයේ පවතින දෙයකි.
භික්ෂු සමාජය වර්තමානයේ නිකාය භේද පමණක් නොව දේශපාලනිකව පෞද්ගලිකව බෙදී පැවතීම විද්‍යමාන කරුණකි. එලෙසම ප්‍රසිද්ධියේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් එකිනෙකා දැඩි ලෙස විවේචනය කිරීම නිසා බෞද්ධ ජනතාව විශේෂයෙන්ම තරුණ ප්‍රජාව වික්ෂිප්තව ඇති තත්ත්වයක් දක්නට ඇත. ගංගාරාමය සහ පොඩි හාමුදුරුවෝ සැමවිටම සංඝ සාමග්‍රිය හෙවත් භික්ෂූන්ගේ සමගිය වෙනුවෙන් පෙනී සිටියහ. සුප්‍රසිද්ධ වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවා මහතාගේ සැලසුමකට අනුව මුසාජි පවුලේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ සීමාමාලකය විනයකර්ම වැනි බෞද්ධ කටයුතු සඳහා නිකාය භේදයකින් තොරව භාවිත කළ හැකි බව එය විවෘත කිරීමේ අවස්ථාවේ දී ඇති වූ ලේඛනවල පැහැදිලිව සඳහන් වේ.
ගංගාරාමය අයත් වන්නේ සියම් නිකායේ මල්වතු පාර්ශ්වයටය. පසුකාලයක දී වෙනත් නිකායික සමහර භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමට අනුව බේරේ වැවෙහි තවත් සීමාමාලකයක් ඉදිකිරීමට දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා උත්සාහ කළ අවස්ථාවේ පොඩි හාමුදුරුවෝ ප්‍රකාශ කළේ ඉන් සංඝ භේදයක් ඇති විය හැකි බවය. එම ක්‍රියාමාර්ගය එතැනින්ම අවසන් වීම ඉන් සිදුවිය.
සියම් පාර්ශ්වයට අයත්වන ගංගාරාමයේ භික්ෂූන් ඇහිබැම ගාන අතර වෙනත් නිකායවල මෙන් කටයුතුවලදී දෙවුර වසන්නේ නැත. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට යෝජනා කළේ අන් පාර්ශ්වයට ඇති ඇහි බැම ගෑමෙන් ගංගාරාමයේ භික්ෂූන් දෙවුර වසන ලෙසටය. අන් පාර්ශවයන් එසේ නොකළද දාන, උත්සව වැනි අවස්ථාවල දී පොඩි හාමුදුරුවන් ඇතුළු ගංගාරාමයේ භික්ෂූන් වහන්සේලා අද ද දෙවුර වසති. මේ අනුව පෙනී යන්නේ පොඩි හාමුදුරුවන් සංඝ භේදයන් නැති කරමින් එකාවන්ව කටයුතු කරමින් සංඝ සමගිය ඇති කිරීමට දුන් නායකත්වයයි.
ගංගාරාමය සම්ප්‍රදාය වන්නේ ද ආකල්පය වන්නේද පන්සල ජනතාවට සමීපව කටයුතු කරමින් කිසියම් භේදයකින් තොරව පන්සලක පූජනීය ස්ථාන, භාණ්ඩ පමණක් නොව භික්ෂූන් වහන්සේලා ද ජනතාවට සමීප වෙමින් ඔවුන්ගේ සුබසිද්ධිය සඳහා කටයුතු කළ යුතු බවයි. ඕනෑම පුද්ගලයකුට අතගසා හිස තබා වන්දනා කළ හැකි හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේ විසින් රෝපණය කරන ලද බෝධීන් වහන්සේ, කරඬුවක් තුළ නොව ජනතාවට තම සියැසින්ම දැක වන්දනා කිරීමට හැකිවන ලෙස සකස් කළ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා සංකේතවත් කරන්නේ එයයි.
ඕනෑම අවස්ථාවක දී පිරිත් නූලක් ගැට ගසා ගැනීමට දායකයකුට හැකිවීම, පන්සලට ප්‍රථම වරට රැගෙන එන බිලිඳා තැබිය හැකි පංචායුධ තැටිය, සිංහල – දෙමළ අලුත් අවුරුද්දට මෙන්ම ජනවාරි 01 වන දින එළඹෙන අලුත් අවුරුද්දේ ගංගාරාමයට පැමිණෙන සියලු දෙනා සමඟ ගනුදෙනු කිරීම සනිටුහන් කරන්නේ එම සමීපත්වය මෙන්ම සෑම දායකයකුටම දක්වන සමානත්වයයි. කොවිඩ් වසංගත කාලයේ සංචරණ සීමා හැරුණු විට අන් සියලුම කාලවල ගංගාරාමය දිවා - රෑ විවෘතව තැබීමටද, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වන්දනා කිරීමද ගංගාරාමයේ ඇති එම සුවිශේෂිත්වය මොනවට පැහැදිලි කරයි.
‘චිකන්ගුන්යා’ නමැති උණ රෝගයට ලක් වූවන්ට ඇතිවුණු හන්දිපත් අමාරුවට පොඩි හාමුදුරුවන්ගේ නායකත්වය යටතේ ගංගාරමයේ දී සකස් කළ බෙහෙත් තෙල් අද ද එවැනි රෝග සඳහා භාවිත කරන අතර ඕනෑම කෙනෙකුට එම තෙල් නොමිලේ ලබා දෙනු ලැබේ. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මරණ බියෙන් පෙළෙමින් සිටින ජනතාව දුටු විට මතකයට නැඟෙන්නේ පොඩි හාමුදුරුවන්ගේ ආරෝග්‍යා පරමා ලාභා යන චින්තනයයි.
බොහෝ විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා අපවත් වූ හෝ තදබල රෝගාතුර වූ විට එම විහාරස්ථානවල අනුප්‍රාප්තිකයකු නොසිටීමෙන් විහාරස්ථානයේ කටයුතු අඩාල වීම අප හට බොහෝ අවස්ථාවල දැකගත හැකි කරුණකි. පොඩි හාමුදුරුවෝ වයස අවුරුදු 18 දී උන්වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ එනම් ගංගාරාමයේ විහාරාධිපති වූ දෙවුන්දර ශ්‍රී වාචිස්සර නාහිමිපාණන් මැලේසියාවට නැවෙන් යමින් සිටියදී උණු වතුර ඇස ගැටීම හේතුවෙන් දෑසම අන්ධ විය.
පොඩි හාමුදුරුවෝ උන්වහන්සේ හොඳින් රැකබලා ගත්තා පමණක් නොව ගංගාරාමයේ සියලු වැඩකටයුතු කරමින් ලබාගත් අත්දැකීම්වලින් ලැබූ පන්නරය ඔස්සේ නොනැවතී ඉදිරියටම ගෙන ගියහ. ඒ අනුව එවකට සිටි දායකයින් අමතනු ලැබූ ‘‘පොඩි හාමුදුරුවෝ’’ යන නාමය අද ද භාවිත කරනු ලබයි. පොඩි හාමුදුරුවෝ තම ගෝල භික්ෂූන් වහන්සේලා හට ඉහළම අධ්‍යාපනය ලබා දුන්නා පමණක් නොව තරුණ වියේදීම වගකීම් පවරමින් ඊළඟ නායකත්වය බිහිකිරීමට මනා ඉදිරි දැක්මකින් කටයුතු කළහ.
පොඩි හාමුදුරුවෝ දායක අපගේ පමණක් නොව ශ්‍රී ලංකාවේම අවාසනාවකට බරපතළ ලෙස රෝගාතුරවී දැනට වසර තුනක් තිස්සේ සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් වැඩවාසය කරති. උන්වහන්සේ අනුව යමින් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පාලටුවේ ජිනරතන ස්වාමීන් වහන්සේ සහ ආචාර්ය පල්ලේගම රතනසාර යන ස්වාමීන් වහන්සේලා ත්‍රිත්වයේ නායකත්වය ඔස්සේ අනෙකුත් භික්ෂූන් වහන්සේලාගේ ද සහයෝගයෙන් පොඩි හාමුදුරුවෝ හොඳින් රැකබලා ගනිමින් ගංගාරාමයේ කටයුතු මැනවින් සිදු කරනු ලබති. දායකයන් වන අප සැමගේ පරම පැතුම වන්නේ පොඩි හාමුදුරුවෝ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට වැඩම කරවීමට හැකිවේවා! යන්නයි.
ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් ‘‘ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ’’ ග්‍රන්ථයේ කර්තෘ