කරතොට ධර්මාරාම හිමි වැඩවාසය කළේ මාතර, වේරගම්පිට රජමහා විහාරයේය. ගජමන් නෝනා සොයා ගිය ගමනෙහි එක් නැවතුමක් ලෙස අපි වේරගම්පිට රජමහා විහාරය තෝරාගතිමු. එහි විහාරාධිකාරී තෙලූල්ලේ නන්දාලෝක හිමියන් අප එහි යනවිට පන්සලේ වැඩසිටියහ.
හාමුදුරුවනේ, අපි ආවෙ කරතොට ධර්මාරාම හාමුදුරුවෝ ගැන තොරතුරු සොයාගෙන.
නන්දාලෝක හිමියන්ට මම පැවසුවෙමි.
කරතොට හාමුදුරුවො වැඩසිටියේ රාජාධිරාජසිංහ රජ්ජුරුවෝ උඩරට පාලනය කරන කාලෙ. මේ කාලෙදී කරතොට හාමුදුරුවෝ රජ්ජුරුවන්ට හසුනක් යැව්වා උඩරට පහතරට දෙකේම නායකත්වය තමන්ට පවරාදෙන ලෙස ඉල්ලමින්.
නමුත් මෙතෙන්දී සිදුවුනේ හාමුදුරුවො පවා නොසිතුව දෙයක්. රජු උදහස් වුණා. රජ්ජුරුවන්ගෙ උදහස කොයිතරම් ප‍්‍රබල වුණාද කියනවා නම් රජ්ජුරුවෝ කළේ වහාම හාමුදුරුවන්ව කන්ද උඩරට රාජධානියෙන් පිටුවහල් කිරීමයි.
ඒ නිසා කරතොට හාමුදුරුවෝ තමන් මුල් පන්සලට වැඩම කළා. ඒ පන්සල තමයි වේරගම්පිට රජමහා විහාරය.
කුමාරදාස රජ්ජුරුවන්ගෙ කාලෙදී කරවපු මේ පන්සල පස්සෙ නටබුන් බවට පත්වෙලා තිබුණා. මහ කදුරුපොකුණේ සුවන්නජෝති හාමුදුරුවොයි මේ පන්සල නැවත ආරම්භ කළේ. ඒ වෙද්දී වෙහෙරක නටබුන් තිබුණු නිසා වෙහෙරගම්පිට කියන නමයි මෙතනට භාවිත වුණේ. ඒ අනුව වේරගම්පිට කියන නම මේ පන්සලට ලැබුණා.
කලින් කිව්ව සුවන්නජෝති හාමුදුරුවන්ගෙ ප‍්‍රධාන ගෝලයා තමයි කරතොට ධර්මාරාම හාමුදුරුවො.
හිත් වේදනාවෙන් මේ පන්සලට වැඩම කරපු කරතොට හාමුදුරුවො අපූරු වැඩක් කළා. ඒක තමයි බාරස නමින් කාව්‍යයක් රචනා කිරීම. මේ කාව්‍යය බැලූ බැල්මටම ප‍්‍රහේලිකාවක්. ඉතින් මේ ප‍්‍රහේලිකා කාව්‍යය කරතොට හාමුදුරුවො රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ට යැව්වා.
ඒත් මේ ප‍්‍රහේලිකාව තේරුම් ගන්න තරම් හැකියාවක් රජ්ජුරුවන්ට තිබුණෙ නැහැ. පස්සෙ රජ්ජුරුවො උඩරට රාජධානියේ හිටපු උගත්තුන්ට, බුද්ධිමතුන්ට මේ කාව්‍ය පෙන්නලා තේරුම ඇහුවා. ඒත් කාටවත්ම මේක තේරුම්ගන්න පුළුවන්වුණේ නැහැ. ඔන්න දැන් රජ්ජුරුවො පැරදිලා. එයා වහාම කළේ කරතොට හාමුදුරුවන්ව පිටුවහල් කළ රාජ නියෝග අවලංගු කිරීම. රාජ දූතයන්ව වේරගම්පිට විහාරයට පිටත්කරලා දෝලාවකින් උන්වහන්සේව රජමැදුරට වැඩම කෙරෙව්වා.
උන්වහන්සේගෙ දෙපාවැඳලා, සමාව අරගෙන බාරස කාව්‍යය තේරුම් කරදෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කළා.
කරතොට හාමුදුරුවෝ ඒ කාව්‍යය තේරුම් කරලා දුන්නට පස්සේ රජ්ජුරවො පණ්ඩිත ශිරෝමණී කියන ගෞරව උපාධියත් සමග සංඛපාල විහාරයේ ඒ ආශි‍්‍රත පල්ලෙබැද්ද නින්දගමත් පූජා කළා. ඒ වගේම පහතරට නායක පදවියටත් කරතොට හාමුදුරුවන්ව පත්කළා.
නමුත් මේ නායක හාමුදුරුවන් වැඩවාසය කළේ වේරගම්පිට රජමහා විහාරයේ ඉදිකරන ලද කුඩා ආවාස ගෙයකය. කාමර හතරකින් පමණක් යුතු මේ කුඩා ආවාස ගෙයි කරතොට හිමි වැඩසිටි කාමරයද අල්පේක්‍ෂක්‍ය එකකි. හැබැයි එදාට සාපේක්‍ෂව මේ ආවාස ගෙය සැපපහසුකම්වලින් පිරුණු එකක් විය යුතුය. මන්දයත් උළු සෙවිලි කළ නිවෙස් මේ යුගයේ නොතිබූ නිසාය. රජ සහ රජුගේ මැති ඇමැතිවරුන් හැරුණු විට උළු සෙවිලි කරන්නට අවසර ලැබුණේ පන්සල්වලට පමණක් නිසාය.
කරතොට හාමුදුරුවෝ තම ආවාසගෙහි වැඩසිටි එක් දවසක පත්තායමේ ලේකම් සහ කහවත්ත තෝම්බුවේ මුලාදැනි තැන හුරුබුහුටි කොලූ පැටවකුද කැඳවාගෙන පන්සලට පැමිණියහ.
හාමුදුරුවන්ගේ දෙපා නැමද එකත්පස් වූ පත්තායමේ ලේකම් දෙස කරතොට හාමුදරුවන් හෙළුවේ විමසුම් බැල්මකි.කොහොමද ලේකම් දැන් ඔහේ කාව්‍ය ශාස්ත‍්‍රය එහෙම දිගටම කරගෙන යනවාද?
කරතොට හාමුදුරුවෝ තම පැරැුණි යාළුවාගෙන් විමසූහ.
‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ’’
පත්තායමේ ලේකම් කීවේ බොහෝ ගරු සරු ඇතිවය.
‘‘ඒ වුණාට මම නම් මෑතකදී ඔහේගේ කාව්‍යයක් දැක්කෙ එහෙම නෑ.’’
‘‘එහෙමයි.’’
‘‘පත්තායමේ ලේකම් කීවේ මද සිනා ඇතිවය.’’
වේරගම්පිට රජමහා විහාරය
‘‘එහෙමයි කියල බෑ ලේකම්, සත්‍ය අසත්‍ය හැමවෙලාවෙම තියෙන්න ඕනේ ලේකම්. එහෙම නොවුනොත් කාව්‍ය ශාස්තරේ නිකම්ම අමතක වෙනවා.’’
”එහෙමයි’’
කාව්‍ය ශාස්ත‍්‍රය කියන්නෙ බොහොම වැදගත් එකක්. දැන් බලන්න මම ලියපු බාරස කාව්‍ය නිසානෙ මම රාජ උදහසින් ගැලවුණේ. පහතරට නායක තානාන්තරේට පත්වුණේ. පල්ලෙබැද්ද නින්දගම සංඛපාල විහාරය මේ කියන හැමදේම ලැබුණෙ. කරතොට හාමුදුරුවෝ ආඩම්බරයෙන් කියාගෙන ගියහ.එහෙමයි අපේ හාමුදුරුවනේ.
පත්තායමේ ලේකම් කීවේය.
‘‘හොඳයි දැන් කියමු බලන්න මොකද මේ හදිස්සියෙම මේ පැත්තෙ ආවෙ කියලා. කව්ද මේ දරුවා කියලා.’’
හාමුදුරුවෝ විමසූහ.
‘‘අවසර අපේ හාමුදුරුවනේ මේ ඉන්නෙ කහවත්ත තෝම්බුවේ මුලාදෑනි ෆ‍්‍රැන්සිස්කු සේනාරත්න. මේ ඉන්නෙ මෙයාගෙ පුතා. මගෙත් ළඟම නෑයෙක්.’’
පත්තායමේ ලේකම් එසේ කියා හාමුදුරුවන්ගේ මුහුණ බැලූවේය.
කරතොට හාමුදුරුවෝ ඒ දරුවාගේ නිකටට අතතබා බිමට හැරුණු මුහුණ ඔසොවා බැලූහ.
‘‘ඉතිං ඉතිං මොකක්ද දැන් මගෙන් කෙරෙන්න ඕන. මං ලව්වා උගන්නගන්නද ඕනෙ.’’
‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට තේරුණා.’’
කරතොට හාමුදුරුවන්ගේ සොහොන |
‘‘මට නම් විවේකයක් නැහැ. ඒත් ඉතින් ලේකම්ගෙ ඉල්ලීම කොහොමද ඉවත දාන්නෙ.’’
හාමුදුරුවෝ මදක් කල්පනාවේ නිමග්න වූහ.
‘‘ඉතිං ලේකම්ට පුළුවන්නෙ උගන්නන්න. මොකද ලේකම් දක්සය කියල මං දන්නවනේ.’’
‘‘අවසර අපේ හාමුදුරුවනේ, මේ දරුවට මගෙන් ශිල්ප ලැබුණා. නමුත් දැන් මට උගන්වන්න දෙයක් ඉතිරිවෙලා නෑ. ඉතිරි කොටසයි අපේ හාමුදුරුවන්ගෙන් කෙරෙන්න ඕනෙ.
”ඔව්.... ඔව්.... එහෙමනම් හවසට හවසට දරුවාව එවමුකො. සපුගොඩ පන්සලේ සාමනේර නමකුත් හවසට එනවනෙ. දෙන්නටම එකට ශිල්ප දෙන්න බැරියැයි.’’
නායක හාමුදුරුවෝ කීහ.
පත්තයාමේ ලේකම් ෆ‍්‍රැන්සිස්කු සහ කොර්නේලියා පිටව ගියේ සතුටිනි.
‘‘හැබැයි දුවේ, ඔයා කෙල්ලක් බවනම් හාමුදුරුවන්ට අඟවන්න එපා. කොල්ලෙක් වගේම හැසිරෙන්න පරෙස්සම් වෙන්න ඕනෙ. නැත්නම් මටයි බැණුම්.’’
පත්තායමේ ලේකම් නැවත වතාවක් කොර්නේලියාට කීවේය.
ඇය හිස සැලූවේ මද සිනා මුවෙහි ඇතිවය.
ඊට පසුදා පටන් කොර්නේලියා, කොරනේල්ස් සේනාරතන වී වේරගම්පිට පන්සලට ගියාය. කරතොට හාමුදුරුවන්ගෙන් සිංහලත් කාව්‍ය ශාස්ත‍්‍රයක් මොනවට උගත් ඇය පත්තායමේ ලේකම් සමග තරගෙට කවි ලිව්වාය.
ඇය සමග වේරගම්පිට පන්සලේදී අකුරු කළ ඇලපාත ධම්මරත්න සාමනේර හාමුදුරුවෝද කවියටත් ඉගෙනීමටත් දක්‍ෂකම් පල කළහ. මේ නිසා කොර්නේලිස් ධම්මරතන හාමුදුරුවෝත් තරගයට මෙන් කවි නිර්මාණ කරන්නට වූහ.
පොඩි හාමුදුරුවෝද ගැහැණු ළමයකුගේ බඳු ලද බොළඳ පෙනුමක් ඇති ‘‘කොර්නේලිස්’’ සමග මිතුරු වූහ.
මම ඉන්නෙ කඹුරුපිටියෙ සපුගොඩ පන්සලේ සාමනේර හාමුදුරුවෝ කීහ.
‘‘වෙලාවක ඔයත් එන්න මගෙත් එක්ක පන්සලට යන්න.’’
‘‘හොඳයි හාමුදුරුවනේ මම එන්නම් ‘‘කොරනේලිස්’’ ගැහැණු ළමයෙකුගේ හඬින් කීය.
අන්න ඒ සපුගොඩ පන්සලට අප ගියේ ඇලපාත ධම්මරතන සාමණේර හාමුදුරුවන් ගැන තොරතුරු සොයන්නටය.
සපුගොඩට ආසන්නව ලස්සන වෙල් යායක් අසබඩ පිහිටා ඇති මේ පන්සලේ පිරිවෙණ මාතරටම ප‍්‍රසිද්ධ එකකි.
පන්සල පාරෙනුත් පාරට යාබද දොල පාරකින් දෙකට බෙදී තිබේ.
එහා පැත්තෙහි පිහිටා ඇත්තේ දේවාල සංකීර්ණයක් නිසා මේ බෙදීම බරපතළ බෙදීමක් ලෙසද නොපෙනේ. මෙහා පැත්තේ විද්‍යානිකේත පිරිවෙණ, චෛත්‍යය සහ බුදුගෙය ඉදිකර තිබේ.
ලබන සතියේ
ගජමන් නෝනාගේ විවාහය