නවකතාව, කෙටිකතාව, කවිය, සාහිත්‍ය විචාරය, අධ්‍යාපනය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරමින් කෘති රැසක් ලියා පළ කොට ඇති මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකි. මහාචාර්යවරයාගේ නවතම නවකතාව ‘මෙ දිවිය මෙතැනින් නවතමි’ නමින් පසුගියදා එළිදැක්විණි. මෙය ඔහුගේ දාහත් වැනි නවකතාවයි. මතු දැක්වෙන්නේ මෙම කෘතිය නිමිතිකොටගෙන මහාචාර්ය සරත් විජේසූරිය මහතා සමග අප කළ සංවාදයක සටහනකි.
• ඔබ මේ සඳහා වස්තු විෂය කොට ගන්නේ සත්‍ය ජීවන ප්‍රවෘත්තියක්. එම සත්‍ය අනුභූතිය පරිකල්පනාත්මකව ගොඩනැගීමේදී ගත් නිර්මාණාත්මක වෙහෙස ගැන මුලින්ම කතා කරමු.
මේක සත්‍ය ජීවන ප්‍රවෘත්තියක් තමයි. එක්තරා පුද්ගලයෙක් ඔහුගේ ජීවිතයේ අත්දැකීම් සටහන් කරලා තිබුණා. ඒ සටහන් පොත ඔහුගේ ඥාති පුත්‍රයෙක් තමයි මගේ අවධානයට යොමු කළේ. ඔවුන්ට අවශ්‍ය වුණේ මේ පුද්ගලයාගේ ජීවිතයේ ඉරණම තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදියට කොහොමද ප්‍රකාශයට පත් කරන්නේ කියන එක.
යම්කිසි කෙනෙකුට තමන්ගෙ ජීවිතය වැරදුණාට පස්සේ බොහෝ අය කරන්නේ ඔහුට උපදෙස් දෙන එක. ඒක හරියට වියපත් වුණාට පස්සෙ පන්සල්, පල්ලි යනවා වගේ වැඩක්. ඒත් යම් කෙනෙක් ජීවිතය ගොඩනගා ගැනීමට උත්සාහ දරන අවස්ථාවේ තමයි ඔහු කෙරෙහි අවධානය යොමුවිය යුත්තේ.
මේ කතා නායකයාගේ චරිතය මම සෑහෙන කාලයක් තිස්සේ කියවමින් අධ්‍යයනය කළා. ඊට පස්සේ තමයි මූලික අත්දැකීම අරගෙන පරිකල්පනයත් එක්ක මුසු කරලා මේ නවකතාව නිර්මාණය කළේ. නවකතාව සත්‍යයේත් පරිකල්පනයේත් සුසංයෝගයක් කියල කිව්වට මේ නවකතාවේ වැඩිපුරම තියෙන්නේ සත්‍යය. පරිකල්පනය ඉවහල් කරගෙන තියෙන්නේ කතාව ඉදිරිපත් කිරීමට ප්‍රබන්ධ අවකාශයක් සඳහා අවශ්‍ය පරිසරය සැකසීමටයි.
• වස්තු විෂයයෙහි අපූර්වත්වය නවකතාවේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් බව පිළිගත් කරුණක්. දෘෂ්ටිකෝණය, චරිත නිරූපණ අවස්ථා හා සිද්ධි නිරූපණ තීරණය වීමේදී වස්තු විෂයේ අපූර්වත්වය මොන තරම් දුරට වැදගත්ද?
සාහිත්‍යාංගවලින් ප්‍රමුඛ තැනෙහිලා ගැණෙන නවකතාව යනු ජීවිත විවරණයක්ය යන්න බොහෝ කලක සිට පිළිගත් මතයක්. තව පිරිසක් එය සමාජ විවරණයක් හැටියටත් සැලකුවා. හැබැයි ලෝකයේ බිහිවූ සෑම විශිෂ්ට නවකතාවකින්ම පාහේ මතු වන්නේ ජීවිත පිළිබඳ ප්‍රබල අත්දැකීමක් බව පැහැදිලියි.
‘මෙ දිවිය මෙතැනින් නවතමි’ නවකතාව ඉදිරිපත් වෙන්නෙ ආත්ම භාෂණයක් විදිහට. ඒ ආත්ම භාෂාණය තුළම තව තව චරිත මතු වෙනවා. අදාළ චරිතයට සම්බන්ධ පුද්ගලයන් ලියා තිබූ යම් යම් පසුකාලීන සටහන් සහ වෙනත් විස්තර එක් කරලා මම මේකට ගැළපෙන ආකෘතියක් නිර්මාණය කර ගත්තා.
මෙම ප්‍රබන්ධය රචනයේදී මම අනුගමනය කළේ කථකයා ඔහුගේ කතාව කියවා ගෙන යනවිට ඔහු සමග කෙරෙන සංවාද ආඛ්‍යානය තුළම අන්තර්ගත කිරීමේ ක්‍රමයක්. එය සාමාන්‍ය අකුරට වඩා කුඩා අකුරකින් මුද්‍රණය කරලා තිබෙන්නේ. පොත කියැවූ බොහෝ පාඨකයන්ගේ ප්‍රතිචාරය වුණේ කියවීම අරඹන විට යම් අවුල් සහගත බවක් දැනුණත් කියවාගෙන යනවිට කතාවේ ගලා යාමට එය ආලෝකයක් වී ඇති බව. කොහොමත් එය පාඨකයන් තීරණය කළ යුතු දෙයක්.
• නවකතාවක ප්‍රධාන මෙවලම භාෂාවයි. භාෂාව තීරණය වීමේදී කතා අනුභූතිය බලපාන්නේ කොහොමද?
කතාවේ වස්තු විෂය තමයි ඒ කතාවේ චරිත ගොඩනැගීමට මූලික වෙන්නේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා’ යන නවකතාවල කාව්‍යමය, රමණීය භාෂාරීතියක් දැකිය හැකි බව හැම කෙනාම වගේ කියන දෙයක්. සිංහල නවකතා වංශයෙහි එම කෘති දෙක ගද්‍ය කාව්‍ය දෙකක් හැටියට හැඳින්වෙනවා. එක්තරා කාලයක් ඇතැම් අය ප්‍රශ්න කළා සරච්චන්ද්‍රයන් තම නිර්මාණවලදී දිගින් දිගටම මේ භාෂාව පාවිච්චි නොකළේ ඇයි කියලා. සමහර විචාරකයන් කියා සිටියා ඇයි ඒ වගේ කාව්‍යාත්මක භාෂාවක් අපේ නවකතාකරුවන්ට ගොඩනගා ගන්න බැරිවුණේ කියලා.
ඒත් ඒක එහෙම කරන්න බෑ. වස්තු විෂය අනුව තමයි භාෂාව තීරණය වෙන්නෙ. සරච්චන්ද්‍රයන්ගේ මේ කෘතිවල මතු වුණේ ජපන් සංස්කෘතියත් සිංහල සමාජ සංස්කෘතියත් හා බැඳුණු දෙදෙනකු අතර ඇතිවන මානසික සම්බන්ධතාවයි. ඒකට අවශ්‍ය වර්ණනාත්මක රීතිය කියන එක තුළ කාව්‍යාත්මක භාෂාව ඉල්ලා සිටිනවා.
සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍යමය දැනුම මේ සඳහා බෙහෙවින් හේතුවුණා. මම හිතනවා සරච්චන්ද්‍රයන් සතුව පැවැති සංගීත සංවේදීතාවත් මේ සඳහා හේතු වෙන්න ඇති කියලා. මොකද මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා නවකතා දැන් වුණත් කියවනකොට බොහෝ තැන් ගීතාත්මකයි. ඒවායේ කිසියම් රිද්මීය ගුණයක් තිබෙනවා. එබඳු භාෂාවක් තීරණයවීමට බලපෑවේ එහි අනුභූතියයි.
මෑතම කාලෙ මම නවකතාවක් කියෙව්වා ‘ජීවිතයේ ඔයිල් පැල්ලම්’ කියලා. සමහර අය කියල තිබුණා මේ නවකතාවේ භාෂාව බොහොම කැඩුණු බිඳුණු එකක් බව. ඒත් මට නම් දැනුණෙ ඒ චරිත ජීවමාන කිරීමට ඉතාම ගැළපෙන භාෂාවක් ඔහු ගොඩනගල තියෙනවාය කියලයි.
ජීවිතය නිරූපණය කරන නවකතාවක දී භාෂාවෙන් යම් යම් සංවේදනාවන් උත්පාදනය කරන්නට ලේඛකයා නිරුත්සාහකවම පෙළඹෙනවා. ඒ පෙළඹීම ඇති කරන්නෙ අත්දැකීම ඔස්සේ ගොඩනගන චරිත. ඒ චරිත නගන හඬ ඔස්සේ තමයි නවකතාව භාෂාව තීරණය වෙන්නෙ. ‘ඇනා කැරනිනා’ එමා බොවාරි වගේ නවකතා මේ සඳහා හොඳම උදාහරණ, සිංහලෙන් ලියැවී ඇති හොඳම නවකතා බැලුවත් මේ ගුණය පැහැදිලි වෙනවා.
• චරිත නගන හඬ ඔස්සේ නවකතාවක භාෂාව තීරණය වන බව ඔබ කිව්වා. චරිත නිරූපණයේ දී ගොඩනැගෙන චරිත කතුවරයාට පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවාද?
ලියෝ ටෝල්ස්ටෝයි මුණගැසෙන්නට පැමිණි කාන්තාවක දෝෂාරෝපණය කර තිබුණේ ‘ඇනා’ මරණයට පත් කිරීම සම්බන්ධවයි. ටෝල්ස්ටෝයි එවිට සිනාමුසු මුහුණින් කියා ඇත්තේ ‘ඒක නේන්නං - මගේ නවකතාවල චරිත මම කියන දේවත් අහන්නෙ නෑනෙ’ කියලයි.
ඒ කතාවෙ ගැඹුරු අරුතක් තිබෙනවා. නවකතාවක චරිතයක් ගොඩ නැඟෙන්නට පටන් ගත්තට පස්සෙ ඒ චරිතය තුළම ශක්තීන් ගොඩනැඟෙනවා. බැරි වෙලාවත් ලේඛකයා මේ චරිතවලට මැදිහත් වෙන්න ගියොත් චරිතය දුර්වල වෙලා ලේඛකයා ඉස්මතු වෙනවා. ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ, ගන්ධබ්බ අපදානය වැනි මුල්කාලීන නිර්මාණ ගත්තාම ඒවායේ චරිත අදටත් අප තුළ ජීවමානව රැඳෙනවා. ඒත් පසුකාලීන ඔහුගේ නිර්මාණවල හැම චරිතයක් ඇතුළටම කතුවරයා ඇතුළුවෙලා තියෙනවා. එතකොට නවකතාවක කලාත්මක අගය හීන වෙනවා.
• නවකතාවක චරිත හරහා තමන්ගෙ මතවාදය ප්‍රකාශ කරන්න කතුවරයකුට වුවමනා නම්?
එහෙම නම් ඉතින් ඒකට නවකතා ලියන්නෙ මොකටද? එහෙම වුණොත් ඒක නිර්මාණාත්මක වෑයමක් වෙන්නෙ නෑ. නවකතාවෙන් වෙන්නෙ පුළුල් ජීවිත විවරණයක්. පාඨකයාට ඒ චරිතයක් එක්ක ගනුදෙනුවක් ඇතිවීමට ඉඩකඩ සැලැස්වීම තමයි නිර්මාණකරුවා කළ යුත්තේ. එහිදී සිද්ධ වෙන්නෙ රචකයා සැඟවිලා පාඨකයා සහ චරිත අතර සම්බන්ධය ගොඩනැගීමක්.
• සාර්ථක නිර්මාණ නූතනයේද පළවන බව පෙනෙනවා. ඒත් අපගේ ශිෂ්‍ය ප්‍රජාවට එවැනි කෘති විෂය නිර්දේශ හරහාවත් සමීප නොවන තත්ත්වයක් තිබෙනවා නේද?
මේක අතීතයේ සිටම පැවැති ගැටලුවක්. පාසල්වල පමණක් නොව විශ්වවිද්‍යාලවලත් මේ ප්‍රශ්නය තිබෙනවා. මේ තත්ත්වය අපි එක්තරා දුරකට වෙනස් කරන්න යම් උත්සාහයක් ගත්තා. නූතනම කවියන් ඒ හරහා හඳුන්වා දුන්නා. නව කවි සංග්‍රහය වැනි පොත් සම්පාදනය කළා. අලුත් ලේඛකයන්ගේ කෙටිකතා සංග්‍රහයක් පළ කළා. ‘ගාමිණී වියන්ගොඩ’ වැනි පරිවර්තකයන්ගේ නූතනවාදී පරිවර්තන කෘති අපි උගන්නන්න පටන් ගත්තා. ඒ බලපෑමෙන් පිබිදුණු අද සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළෙහි කටයුතු කරන පිරිසක් සිටිනවා. ප්‍රභාත් ජයසිංහ, ලියනගේ අමරකීර්ති, රාජිත දිසානායක, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, තරංගා රණසිංහ, ප්‍රගීතිකා ජයසේකර මේ වෙලාවෙ මට මතක් වෙන කීප දෙනෙක් පමණයි.
ඒ නිසා මේ තත්ත්වය ගැන අලුතින් සිතිය යුතුයි. පාසල් සඳහා විෂය පොත් සකසන බොහෝ දෙනා සාම්ප්‍රදායික උගතුන්. ඔවුන්ට විවිධ මතවාද තිබෙනවා. සමහර කෙටිකතා දිග වැඩියි කියන පදනමිනුත් ඉවත් කරනවා. එතකොට අඩිරූලෙන් මැනලද කෙටි කතාවක අගය තීරණය කරන්නෙ? අන්තිමට ළමයට උගන්වන්නෙත් කෙටිකතාව කියන්නෙ ප්‍රමාණයෙන් කුඩා එකක් කියලා.
සාහිත්‍යය උගන්වන ගුරුවරයාට අවධානයක් තිබිය යුතුයි සමකාලීන සාහිත්‍යය කියැවීමට. තමන් ඉදිරියේ සිටින දරුවන්ගේ රසඥතාව පිබිදීමට දියුණු කිරීමට ඔහුට හැකිවිය යුතුයි. අද අපි එක පොතක් නිර්දේශ කරලා පාසලේත් ටියුෂන් පන්තියේත් හැම තැනම ඒකම උගන්නලා අවසානෙ මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. මේ යාන්ත්‍රික රාමුව ඇතුළෙ ගුරුවරයාට ඇති වැඩකුත් නෑ. ළමයට ප්‍රයෝජනයකුත් නෑ.
සාහිත්‍යය උගන්වනවා කියන එක ගණිතය උගන්වනවා වගේ කරන්න බෑ. මනුෂ්‍ය ජීවිතය නිරන්තරයෙන් විපරිනාමයට පත් වෙනවා. සාමාජය වෙනස් වෙනවා. සර්වකාලීන සාහිත්‍යයෙන් තමයි ඒ සමාජය ඒ ජීවිත පිළිබිඹු වෙන්නෙ. අන්න ඒක උගන්වන්නෙ නැතුව ළමයකුගේ ජීවිතාවබෝධය පුළුල් වෙන්නෙ කොහොමද? වින්දන, චින්තන ශක්තිය දියුණු වෙන්නෙ කොහොමද? විචාරශීලි චින්තනය වැඩෙන්නෙ කොහොමද? මේවා ගැන අපි කාලයක් තිස්සේ හඬ නඟලා තියෙනවා.
මේ සම්බන්ධව තීන්දු තීරණ ගන්න තැන්වල ඉන්න බොහෝ දෙනා ඉතාම ගතානුගතික ආකල්ප කරපින්නා ගත්ත අය. ඔවුන් අලුතින් හිතන බවක් පෙනෙන්නට නැහැ. මේක ඛේදවාචකයක්.
● අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදියේ පවා ඉංගිරිසි භාෂාව, තාක්ෂණික විෂයයන් හා වෘත්තීය අධ්‍යාපන නැඹුරුව ආදිය ගැන වැඩි වශයෙන් කතා කෙරෙන බව පෙනෙනවා. සාහිත්‍ය වැනි විෂයයන් නොවැදගත් නිසාද ඒවා ගැන වැඩිපුර කතා නොකෙරෙන්නේ?
මේක ඉතාම වැදගත් කාරණයක්. සමාජයේ ඇතැමුන් විසින් ඇති කරන ලද මතයක් තමයි සාහිත්‍යය ඉගන ගන්නෙ මොකටද? ඉතිහාසය ඉගන ගන්නෙ මොකටද? මේවා ඉගෙන ගෙන ජීවත් වෙන්න රස්සාවක් කරන්න පුළුවන්ද? කියන එක. ඉංජිනේරුවෙකු, වෛද්‍යවරයකු හෝ මොන වෘත්තිය කළත් අවසානයේ ඔහු මනුෂ්‍යයකු බවට පත් වෙන්න ඕනෑ. මනුෂ්‍යයකු හැටියට ඔහුට ජීවිතයක් තියෙනවා. දවසක එයා ස්වාමි පුරුෂයෙක් බිරිඳක් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වැඩිහිටියෙක් බවට පත් වෙනවා. ජීවිතය එක තැනකින් ඉවර වෙන්නෙ නෑ. වෙන කුමන හෝ විෂයක් ඉගන ගත්තාම ඒක ඉගෙන ගෙන අවසන් වෙන්න පුළුවන්. ඒත් ජීවිතය එහෙම ඉවර වෙන එකක් නොවෙයි. ඔහු මනුෂ්‍යයකු හැටියට කොහොමද සම්බන්ධතා පවත්වාගන්නෙ. ඒවා ආරම්භ වෙන්නෙ කොහොමද? බිඳ වැටෙන්නෙ කොහොමද? රැක ගන්නෙ කොහොමද? ප්‍රතිවිරෝධී අදහස් ඉවසන්නෙ කොහොමද? මිනිසා තේරුම් ගන්නෙ කොහොමද? කියන ඒවා පිළිබඳ දැනුම් තේරුම් අවශ්‍යයි ජීවත් වෙන්න. මේක උගන්වන විෂය තමයි සාහිත්‍යය.
ඇතැම් විෂයන්වල ඇති නව සොයා ගැනීම් ආදිය ක්‍රමානුකූලව එක්තරා රාමුවක් යටතේ නිර්දේශ ගත කරලා උගන්වන්න පුළුවන්. ඒක පුහුණු කරන්නත් පුළුවන්. හැබැයි සාහිත්‍යය ඉගැන්වීම සහ ඉගන ගැනීම කියන ක්‍රියාවලිය මුලින් කී කාරණයත් එක්ක තුලනය කරන්න බෑ.
ඒ තුලනය කිරීමටත් වඩා නරක දේ තමයි සාහිත්‍යය වැදගත් විෂයක් නොවේය කියන මතය ඇති කිරීම, මේ අවප්‍රමාණය කිරීම කරන්නෙ, එපා කරවන්නෙ ළමයින්ට ඔරොත්තු නොදෙන සංකීර්ණ දේවල් සාහිත්‍යය ඇතුළෙ උගන්වන්න පටන් ගැනීමෙන් . අද සාමාන්‍ය පෙළ, උසස් පෙළට උගන්වන ඇතැම් දේවල් ඉගැන්විය යුත්තේ උසස් අධ්‍යානයටයි.
පළමු දේ තමයි තම භාෂාව නිරවුල්ව පරිහරණය කිරීමේ කුසලතාව දරුවන් තුළ ඇති කිරීම. ඊළඟට දරුවකුට සිතන්නට පතන්නට අවශ්‍ය කරන චින්තන ශක්තිය දියුණු කිරීමට හැකි සාහිත්‍ය නිර්මාණ සමීප කිරීම, අභියෝගයකට මුහුණ දෙන්නෙ කොහොමද කියනඑක තේරුම් ගැනීමට හැකි නිර්මාණ සමීප කිරීම. මේවා උගත හැක්කේ සාහිත්‍යයෙන් මිස වෙන කොහෙන්ද?
විෂය නිර්දේශ සම්පාදනය කරන ආයතන පෙළ පොත් සකස් කරලා ගුරුවරයාවත් මොට කරලා දානවා නම් ශිෂ්‍යයන්ට මේ රාමුව ඇතුළෙ ප්‍රබෝධයෙන් අවදි වෙන්න ලැබනේනෙ නෑ. ඒක ඒතරම් හොඳ දෙයක් නොවෙයි. මේ නිසා මනුෂ්‍ය ජීවිතය ප්‍රබෝධවත් කරන මනුෂ්‍යයාගේ ජිවන ආකල්ප වඩා වර්ධනය කළ හැකි ප්‍රබල අවකාශයක් අපි නැති කරගෙන තියෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය
සංවාද සටහන ගාමිණි කන්දේපොළ