ගනුදෙනු රජකරන නියෝජිතවරණ


ගියවර කිවි දා දැක්ම සඳහා මා ලියූ අධි ආරක්‍ෂිත ඒකාධිකාරී ප්‍රජාතන්ත්‍රවාදය’ ලිපියෙහි අරමුණ වූයේ ඉලෙක්ෂන් ගැන නොව ප්‍රජතන්ත්‍රවාදය හෝ නියෝජනවාදය හෝ නියෝජිතතන්ත්‍රවාදය ගැන බරසාර පොදුජන සංවාදයක් සඳහා උත්තේජනයක් ඇති කිරීමය. මේ දිනවල ප්‍රාදේශීය ආණ්ඩු (කාලයක සිට භාවිත කරන්නේ පළාත් පාලන ආයතන යන වැරදි නම ය) නියෝජිතවරණයක් ගැන නියෝජිතවරණ ප්‍රතිසංස්කරණ ගැන ජනමත විචාරණයක් ගැන පාලකයන් ඉඟි සපයන නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නියෝජිතවරණ ගැන අප තව දුරටත් කතා කළ යුතු ය. එය අපේ සමාජයේ දේශපාලන සමාජ සාක්ෂරතාව වර්ධනයට හේතුවන පින් අතේ වැඩකි.

පළමුව ආසියාවේ පැරණිතම සහ දීර්ඝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස බොහෝ දෙනා පුරුද්දට මෙන් කියාපාන මේ රට තවම එහෙම එකක් නොවන බව පාඨක ඔබේ අවධානයට යොමු විය යුතුම යැයි යෝජනා කරමි. පැරණිතම දීර්ඝතම නියෝජිතවරණ එනම් ඉලෙක්ෂන් පැවැත් වූ ආසියාතික රට ලංකාව යැයි කෙනකු කීවොත් එහි සත්‍යයක් ඇත. එහෙම රටවල් හැඳින්විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ඒවා ලෙස නොව ‘වරණ තන්ත්‍රවාදී’ (electocracy) ලෙස ය. එහෙත් කාලාන්තරයක් තිස්සේ මේ රටේ පාලකයෝ වරණ තන්ත්‍රය බලවත් කොට එය ප්‍රජාතන්ත්‍රය යැයි බොරුවක් සමාජ ගත කළහ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නියම හරය ඉලෙක්ෂන් නැමති යකඩ ලෝගුවකින් වසා දැම්මේ ය. දැන් පාලකයන් කියා සිටින්නේත් ජනතාව සිතා සිටින්නේත් ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉලෙක්ෂන් පැවැත්වීම ම කියා ය. එනම් වරණ තන්ත්‍රවාදය බලවත් වී ප්‍රජාතන්ත්‍රවාදය මිය ගොසින් ය, එක්කෝ වනගත වෙලා ය. මෙය එක අතකින් බොහෝ අඩු දියුණු රටවලට පොදු තත්ත්වයකි. ඉතින් අප ප්‍රජාතන්ත්‍රවාදය මුහුදක් නම් ඉලෙක්ෂන් සහිත වරණතන්ත්‍රවාදය යනු එහි එක රැල්ලක් පමණක් බව වටහා ගත යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව නියෝජිතයකු යනු කවරෙක් ද? ඔහු හෝ ඇය කවර ගුණාංග සහිත වූවෙක් විය යුතු ද? නියෝජනය කරනවා යනු කුමක් ද? නියෝජිතයන්ගේ වගකීම් මොනවාද? ඔවුන් සමාජයට වගඋත්තර බැඳිය යුතු ය, නියෝජිතවරණ සර්ව සාධාරණව පවත්වන්නේ කෙසේද? ඒ සඳහා ගත යුතු රාජ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග මොනවා ද? යනාදිය පිළිබඳ බරසාර සංවාදයක් හෝ ජනතා මැදිහත් වීමක් මේ රටේ නැත. ඒ නිසා සිදු වී ඇත්තේ නියෝජිතවරණ සහිත වරණතන්ත්‍රවාදය පවා ගුණාත්මක මට්ටමකින් සිදු නොවන බවය. එබැවින් මේ රටේ වරණ තන්ත්‍රවාදය ධනයෙන් සහ බලයෙන් යුත් කල්ලි, රංචු, හවුල්, සහ පවුල්වල බල ව්‍යාපෘතියක් මිස පොදු ජනයාගේ නිදහස් හැසිරීමට බාධා නැති අඩවියක් බවට පත් වී නැත. මෙය පෙර කී පරිදිම ලෝක තත්ත්වයකි. එහෙත් ඒ නිසා අප මේ තත්ත්වය විඳදරා ගත යුතු නැත. එනම් එය වෙනස් කළ යුතු තත්ත්වයකි. මේ ලෝක සහ මහාද්වීපික තත්ත්වය ගැන වූ පහත සඳහන් පැහැදිලි කිරීම් දෙක සාවධානව කියවමු. 

openmarketsinstitute වේබ් අඩවිය (2022) හෙළිදරව් කරන කරුණු අනුව, ඇමරිකානුවන්ගෙන් තුනෙන් දෙකක්ම පවසන්නේ සාමාන්‍ය පුරවැසියකුට වඩා ධනවතුන් නියෝජිතවරණ ක්‍රියාවලිය තුළ වැඩි බලයක් භුක්ති විඳින බව ය. මෙම අසමතුලිතතාවට පිළියමක් ලෙස බොහෝ දෙනා විශ්වාසය තබනුයේ ධනවත් පුද්ගලයන් නියෝජිතවරණ ව්‍යාපාර සඳහා කොපමණ මුදලක් වැය කළ හැකිද යන්න පිළිබඳ නව සීමා අනුගමනය කිරීම පිළිබඳව ය. එහෙත් ප්‍රචාරක මූල්‍ය ප්‍රතිසංස්කරණ හරහා පමණක් දේශපාලනයට/නියෝජිතවරණ දේශපාලනයට මුදලේ බලපෑම පාලනය කිරීමට උත්සාහ කිරීම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ගැටලු සහගතය. එක් හේතුවක් නම් දේශපාලන වියදම් යනු ආරක්‍ෂිත භාෂණයේ ආකාරයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවධාරණය කරනු ලැබ තිබීම ය. තවත් දෙයක් නම් 90 දශකයේ අග භාගයේ මෘදු මුදල් භාවිතයේ සිට අද සුපිරි මුදල් උපයන්නන් සෑම විටම රෙගුලාසි මග හැරීමේ දී පෙන්නුම් කර ඇති දක්ෂතාව ය. Political Action Committee = PAC යනු එක්සත් ජනපදයේ දේශපාලන ක්‍රියාකාරී කමිටුවකි. එය සාමාජිකයන්ගේ ප්‍රචාරක දායකත්වය එකතු කරන දේශපාලන කමිටුවක් වන අතර එම අරමුදල් අපේක්ෂකයන් සඳහා හෝ විපක්ෂව ප්‍රචාරක කටයුතු සඳහා, ඡන්ද මුලපිරීම් හෝ නීති සම්පාදනය සඳහා පරිත්‍යාග කරයි.

ඉහත වෙබ් අඩවිය තවදුරටත් පෙන්වා දෙන ආකාරයට මහා ව්‍යාපාරිකයන් සහ ධනවත් පරිත්‍යාගශීලීන් ලොබිකරුවන්ට සහ බුද්ධි මණ්ඩලවලට අරමුදල් සම්පාදනය කරන අතර  ‘අනුග්‍රහය දක්වන” පර් යේෂණ සහිත දූෂිත ශාස්ත්‍රීය විද්‍යාව සහ ජනප්‍රිය මාධ්‍ය ප්‍රකාශන ප්‍රවෘත්ති ජාලවලට වඩා බලවත් වී ඇත. මෙම සියලු යාන්ත්‍රණ හරහා මහජන විවාදයන්හි තොරතුරු ගලායාම පාලනය කිරීමටත් ජාතික දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත්වන්නේ කුමන ප්‍රශ්නද? යන්න තීරණය කිරීමටත් සීමාවේ පවතින කාරණා තීරණය කිරීමටත් ධනහිමියන් ට හැකිය. ඇමරිකානුවන්ගේ පෙර පරම්පරා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කළහ. ඔවුන් දේශපාලන දූෂණයට එරෙහිව සටන් කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ ඒකාධිකාරය සහ ආර්ථික බලය ගොඩ ගැසීම වළක්වන ආකාරයෙන් වෙළඳපොළ නීතිරීති සැකසීමෙනි. ශතවර්ෂයකට පෙර ජේ.පී. මෝගන් වැනි දුම්රිය, වානේ සහ බැංකු අධිපතියන්ගේ බලයේ උච්චතම අවස්ථාවෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලුවී බ්‍රැන්ඩිස් පැහැදිලි කළේ  ‘අපට ප්‍රජාතන්ත්‍රවාදය තිබිය හැකිය, නැතහොත් අපට ධනය කිහිප දෙනකු අත සංකේන්ද්‍රණය වී (ගොඩගැසී) තිබිය හැකිය. එහෙත් අප ට දෙකම තිබිය නොහැක” යනුවෙනි. තවද, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා දැඩි විශ්වාසභංග ක්‍රියාමාර්ගයක  (antirust cation) අවශ්‍යතාව පැහැදිලි කරමින් ජනාධිපති වුඩ්රෝ විල්සන් ප්‍රකාශ කළේ  ‘එක්සත් ජනපදයේ ආණ්ඩුව අයිති කර ගැනීමට තරම් විශාල මිනිසුන් මේ රටේ සිටී නම් ඔවුන් එය අයිති කර ගැනීමට යන්නේ ය” යනුවෙනි.

නියෝජිතවරණ ව්‍යාපාර අලෙවිකරණ සහ ගනුදෙනු ක්‍රියාවලි විසින් මෙහෙයවන අකාරය පිළිබඳ උදාහරණ  සහිතව පැහැදිලි කරන Lee Kuan yew (2000) විසින් රචිත From Third World to First The Singapore Story 1965-2000 කෘතියෙහි දහසය වැනි පරිච්ඡේදය දේශපාලන විකුණුම් මිල දී ගැනීම් නැතහොත් ගනුදෙනු තේරුම් ගැනීමේ ලා ඉතා වැදගත් ය. එහි සඳහන්වන ආකාරයට ආසියාවේ බොහෝ රටවල් අධික නියෝජිතවරණ පිරිවැයක් දරති. අපේක්ෂකයකු තේරීපත්වීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන අතර තේරීපත් වූ පසු වැය වූ මුදල් පියවා ගැනීමට සහ ඉදිරි නියෝජිතවරණය සඳහා අරමුදල් රැස්කිරීමට ක්‍රියා කිරීම සාමාන්‍ය තත්ත්වයකි. 1990 දශකයේ දී තායිවානයේ ව්‍යවස්ථාදායක මණ්ඩලය වූ යුවාන් ආයතනයට තේරී පත් වීම සඳහා කුවෝ මිං ටෑන් පක්ෂයේ ඇතැම් අපේක්ෂකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 10 -20 ක් තරම් විශාල මුදලක් වැය කොට තිබුණි. හිටපු තායිලන්ත ඇමතිවරයකු මේ තත්ත්වය නම් කළේ  ‘වාණිජ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් මිලයට ගත් ජන වරම” ලෙස ය. 1996 දී එම රටේ අපේක්ෂකයන් 2000 කට ආසන්න පිරිසක් බාත් බිලියන 30 ක් එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක් නියෝජිතවරණය සඳහා වැය කොට තිබුණි. අපේක්ෂකයන්ට සහ ඡන්ද හිමියන්ට මුදල් බෙදන එරට එක් අගමැතිවරයකු සඳහා වූ අන්වර්ථ නාමය වූයේ Mr. ATM (Automatic Teller Machine) යන්නය. ඊට ඔහුගේ ප්‍රතිචාරය වූයේ තමා එකම  ATM නොවේ යන්න ය. මැලේසියාවේ එක්සත් මැලේ ජාතික සංවිධානයේ නායකයන් එය හඳුන්වනුයේ  ‘මුදල් දේශපාලනය” නමිනි. ඉහළ තනතුරු සඳහා තරඟ වදින අපේක්ෂකයන් ඉන් ජය ගැනීම සඳහා ඡන්ද හිමි නියෝජිතයන්ට අල්ලස් සහ තෑගි ලබා දෙන බව අගමැති මහතීර් මොහොමඩ් වරෙක හෙළිදරව් කළේ කඳුළු සලමිනි. ඉන්දුනීසියාවේ තත්ත්වයද ඊට සමාන බව ලී ක්වාන් යූ පෙන්වා දී තිබේ. එරට මාධ්‍ය KKN නමින් හඳුන්වනුයේ kolusi (අපරාධ සඳහා හවුල් වීම සහ ක්‍රියා කිරීම),  koruspi (දුෂණය), Nepotism (ඥාති සංග්‍රහය) යන ක්‍රියාවලිය ය. ජපානය මිල අධිකම නියෝජිතවරණ ක්‍රමයක් නඩත්තු කරන බව ලී ක්වාන් යූ ගේ අදහස ය. එනම් නියෝජිතවරණ වසරක දී අපේක්ෂකයකුට ඩොලර් මිලියන පහකට අධික මුදලක් අවශ්‍ය වේ. ඒ සඳහා ඔහු සිය නායකයා දෙසට යොමු වේ. නායකයාගේ ශක්තිය රඳා පවතින්නේ ඔහුට සමීප සහ හිතවත් මන්ත්‍රීන් සංඛ්‍යාව මත බැවින් අනුගාමිකයන් වෙනුවෙන් මුදල් විශාල ප්‍රමාණයක් වැය කිරීමට නායකයා ට සිදුවේ.

ජන සන්නිවේදන මාධ්‍ය පූර්ණ නිදහසක් සහිතව ක්‍රියාත්මක වන විට ඒවා මගින් දූෂණ ක්‍රියා හෙළිදරව් කරන නිසා පිරිසුදු සහ අවංක ආණ්ඩු ගොඩනැගෙනු ඇති බවට වූ ලිබරල් අදහස කෙරෙහි ලී ක්වාන් යූ සැක මතු කළේ ය. එවැනි නිදහසක් ඇති ඉන්දියාවේ, පිලිපීනයේ, තායිලන්තයේ, තායිවානයේ, දකුණු කොරියාවේ සහ ජපානයේ දූෂණය ගැඹුරට මුල්බැස ගෙන ඇති බව මෙම කෘතියෙන් පෙන්වා දී තිබේ. ඔහු මතුකරන වැදගත්ම අදහස වනුයේ ජනමාධ්‍ය හිමිකරුගේ දූෂණ ක්‍රියාවල සහයක පාර්ශවයක් ලෙස නිදහස් ජන මාධ්‍යම පත්වී ඇත යන්න ය. ඔහු ඊට උදාහරණයක් ලෙස ඉදිරිපත් කොට ඇත්තේ ජනමාධ්‍ය පද්ධතියක හිමිකරු වන හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බෙරලුස්කෝනි ය. මේ ගැටලුව ජය ගැනීමට ලී ක්වාන් යූ ඉදිරිපත් කර ඇත්තේ පිරිසුදු සහ මුදල් වැය නොවන නියෝජිතවරණ ක්‍රමයක් ය.

මේ අනුව බලන විට නියෝජිතවරණ සහ පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදය ය කියා පාලකයන් නගන හඬ සත්‍යයක් නොවන බව ඔබට වැටහෙනු ඇත. එසේම නියෝජිතවරණ නමට පමණක් නියෝජිතවරණ වී ඒවා ධනය සහ බලය ඇති අයගේ උපකරණ හෝ මෙවලම් බවට පත්වෙන බවත් ඔබට වැටහෙනු ඇත. එවැනි නියෝජිතවරණ වනාන්තරයක අතරමං කර ඇති නියෝජිතතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන සංස්කෘතිය මේ රටේ සොයා මතු කර ගැනීමට නම් පොදු ජනයාගේ සමාජ දේශපාලන සාක්ෂරතාව අවබෝධය වැඩි දියුණු කරගත යුතුය යන්න මෙවර මගේ ‘කිවි දා දැක්ම’ ය.

(***)


කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක