ග්‍රාමීය රෝහල් වැසී යන්න දෙනු එපා


දිවයින පුරා ග්‍රාමීය රෝහල් හතළිහක් මේ වනවිට වැසීගොස් තිබෙන අතර තවත් රෝහල් සියයකට ආසන්න ගණනක් වැසී යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉකුත්දා පැවති රැස්වීමකදී සඳහන් වූ බව නොබෝදා අප පුවත්පතේ පළ වූයේය.

ප්‍රතිශතයක් ලෙස ගත්විට මෙරට ජනගහනයෙන් සියයට හැත්තෑවක් පමණ තවමත් වාසය කරනුයේ ග්‍රාමීය ප්‍රදේශවලයි. නාගරික ජනතාවට සාපේක්ෂව තවත් මෙරට ග්‍රාමීය ජනයා ජීවත් වනුයේ අඩු පහසුකම් යටතේය. ක්‍රම සම්පාදන, විදුලිය භාවිතය, දුරකතන සේවා, නළ ජල සැපයුම් සේවා, පරිගණක භාවිතය, ප්‍රවාහන සේවා, සාමාන්‍ය ආදායම යන කාරණා අතින් ගත්විට ග්‍රාමීය අංශය පවතින්නේ නාගරික අංශයට වඩා පහළ මට්ටමකයි.

රටේ සම්පත්වලින් වැඩි ප්‍රමාණයක් සියයට හැත්තෑවක් පමණ වූ ග්‍රාමීය ජනයාට අහිමි වෙද්දී සියයට තිහක් පමණ වූ නාගරික ජනතාව ග්‍රාමීය ජනයා පරදවා පහසුකම් භුක්ති විදින බව පෙනී යයි. සම්පත් ප්‍රති ව්‍යාප්තියේ වැඩි අසමාන බවක් ග්‍රාමීය හා නාගරික ජනයා ඇසුරින් පවතින බව මෙයින් පැහැදිලිය. දැන් මෙම අසමානතාව සෞඛ්‍ය හා වෛද්‍ය පහසුකම් ඇසුරින් ද සිදුව ඇති බව ග්‍රාමීය රෝහල් වැසී යාමේ තර්ජනයෙන් පෙනී යයි.

නිදහස් හා පොදු සෞඛ්‍ය රැකවරණ ක්‍රම අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ සාමාන්‍ය සෞඛ්‍ය රැකවරණ පහසුකම් අතින් ඉහළ තත්ත්වයක පවතින රටකි. 1920 සිට මෙරට සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණුවීම නිසා මිනිසාගේ පරමායුෂ කාලය හෙවත් අපේක්ෂිත ආයු කාලය සෑහෙන මට්ටමකින් ඉහළ ගියේය. 1930දී අවුරුදු හතළිහක්ව පැවති අප රටේ අපේක්ෂිත ආයු කාලය මේ වනවිට අවුරුදු 75ක් පමණ දක්වා වැඩි වී ඇත්තේ වර්ධනය වූ සෞඛ්‍ය පහසුකම් නිසාය.

එසේම අසල්වැසි රටවලට වඩා මෙරට මරණ අනුපාතිකය සහ ළදරු මරණ අනුපාතිකය ඉතා අඩු මට්ටමකට පැමිණියේය.මෙම කාරණා හේතු කොට ගෙන සෞඛ්‍ය පහසුකම් අතින් ලෝකයේ රටවල්වලින් 70වැනි තැනට පත්වන්නට ශ්‍රී ලංකාව සමත් විය.

එසේ වුවද මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ රටේ ජනයා දැඩි ඖෂධ හිඟයකට මුහුණ දුන්හ. ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග භාවිතයට පැමිණියේය. වෛද්‍යවරුන් සහ පලපුරුදු සෞඛ්‍ය සේවකයන් සේවය අතහැර යාම විදේශගත වීම යන ගැටලුවලට මුහුණ දෙන්නට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවිය. මෙම අවාසනාවන්ත තත්ත්වය ඍජුවම බලපා ඇත්තේ ග්‍රාමීය රෝහල්වල සේවය ලබාගන්නා ග්‍රාමීය ජනයාටයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයේ සුවිශේෂ කොටසක් තවමත් ග්‍රාමීය ආර්ථිකය හා බැඳී පවතී. ඇඟලුම්, වාණිජ වතු වගා, අපනයන හැරුණු කොට ආර්ථිකයේ පදනම උසුලාගෙන සිටින්නේ ග්‍රාමීය ආර්ථිකයයි. එබැවින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය පහසුකම්වලට රෝහල් වැසීයාම ඔස්සේ යම් තර්ජනයක් එල්ල වේ නම් එය රටේ ආර්ථිකයේ සුවිශේෂ නියෝජනයකට එල්ලවන මාරාන්තික ප්‍රහාරයක් වනු ඇත.

උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම ග්‍රාමීය රෝහල් මෙසේ වැසී ගොස් ඇති බව වාර්තා වේ. උතුරු පළාතේ ජනතාව වසර තිහක් තිස්සේ යුද්ධයෙන් බැට කෑ අය වෙති. යුද්ධය නිමාවී වසර දාහතරක් ගත වී ඇතත් ඔවුන්ගේ දායකත්වය රටේ ආර්ථිකයට උපරිම අයුරින් ඉවල් කරගත හැකි වාතාවරණයක් මෙතෙක් ගොඩනැගී නැත. එවන් අවදානම් අඩියක ඉන්නා ජනතාවකගේ මූලික සෞඛ්‍ය පහසුකම් අඩාලවීමේ තර්ජනයක් වෙතොත් ඒවා දැඩි ලෙස සැලකිල්ලෙන් වළකා ගත යුතුය.

වතුකරේ ග්‍රාමීය රෝහල්ද වැඩි වශයෙන් වැසීයාමේ තර්ජනයකට මුහුණදී ඇති බව වාර්තා වේ. වතුකර ජනයා රටේ අපනයන ආර්ථිකයට වැඩි දායකත්වයක් දරන්නෝය.

කෙසේ වුවද රටේ සියලු සම්පත් ආරක්ෂා කර ගැනීමට පෙර මානව සම්පත ආරක්ෂා කරගත යුතුය. එබැවින් වැසී යන ග්‍රාමීය රෝහල් ක්‍රියාකාරී මට්ටමට ගෙන රටේ ඵලදායී මානව සම්පත් රැක ගත යුතු වේ.

(***)