ගාලු මුවදොර අරගල බිම හිස් වෙමින් තිබේ. ඉකුත් 9 වැනිදායින් පසුව තමන් අරගලබිම හැර යන බවත් එහෙත් අරගලය අත් නොහරින බවත් අරගලකරුවන් මාධ්‍යයට කියා තිබිණි. මෙරට දේශපාලන ඉතිහාසයේ එක් වර්ණවත් පරිච්ඡේදයක් තමන් නමින් වෙන් කරවා ගැනීමට අරගලකරුවන් සමත්වූ බව අවිවාදිතය.
ගාලු මුවදොර කේන්ද්‍ර කරගනිමින් රට පුරාම අරගල බිම් නිර්මාණය වූයේ අහේතුකව නොවේ. ලංකා ඉතිහාසයේ අතිශයින්ම දැවැන්ත මූල්‍ය අර්බුදය අරගල බිම්වලට අවශ්‍ය පරිසරය නිර්මාණය කළේය. එම අර්බුදය විසඳීම සඳහා ක්‍රමවත්, විධිමත් දියුණු හා විද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කිරීමට එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් විය. ඔහුගේ කාබනික පොහොර ව්‍යාපෘතිය රට තුළ ආහාර අහේනියක් හා සාගතයක් දක්වා රැගෙන යමින් තිබිණි. මහා භාණ්ඩාගාරයේ ඩොලර් සංචිත හිඳී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත ඉන්ධන හිඟයක් ඇති විය. ඉන්ධන ලබා ගැනීම සඳහා දින ගණන් පෝලිම්වල නිරාදුක් විඳීමට සිදුවිය. ඉන්ධන පෝලිම්වල මිනිසුන් මියයාම මනුෂ්‍යත්වය සම්බන්ධ අලුත් කතිකාවක් රට තුළ නිර්මාණය කළේය. ගෑස් පෝලිම්, විදුලිය කැපීම මෙන්ම අහස උසට ගිය ජීවන වියදම ජන ජීවිතය උඩුයටිකුරු කළේය. මිනිස් ආවේග ඇවිළී ගියේ මෙම ශාපලත් පරිසරය තුළය. අවදි කරගත් මහා මිනිස් අනුරාගයකින් ජාති ආගම් පක්ෂ ආදී භේදයකින් තොරව ලක්ෂ ගණන් ජනී ජනයා ගාලු මුවදොර පිටියේ රොද බැඳ ගත්තේ අහිමි කළ ජීවිතය ඉල්ලමිනි.
අර්බුදයේ නිර්මාතෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වූ හෙයින් ‘‘ගෝඨා ගෝ ගම’’ ඉදි කළහ. එම ගම මහා සංස්කෘතික නිකේතනයක්ව පවත්වාගෙන ගිය අතර අරගලය හැඳින්වුණේද ‘‘ආදරයේ අරගලය’’ ලෙසය. එහෙත් ඉතිහාසයක් පුරා බාහු බලය සම්බන්ධයෙන් විශ්වාසය තැබූ කඩප්පුලි දේශපාලනඥයෝ මෙවරද ඒ කෙරෙහිම විශ්වාසය තැබූහ. ඒ අනුව ආදරයේ අරගල බිමට ම්ලෙච්ඡ ප්‍රහාරයක් එල්ල විය. එම ම්ලේච්ඡ ප්‍රහාරයට ප්‍රචණ්ඩ ප්‍රති ප්‍රහාරයක් එල්ල වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මහ මග මරා දැමෙන තරමට එය සැහැසි විය. දේශපාලනඥයන්ගේ නිවෙස් ගිනි බත් විය. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය අරගලකරුවන් අතට පත්විය. අගමැතිවරයා ඉල්ලා අස්වූ අතර, සටනේ එක් ගමනාන්තයක් සලකුණු කරමින් ජනාධිපතිවරයා රටෙන් පිටත් වී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.
අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රටට අලුත් ජනාධිපතිවරයකු මෙන්ම අගමැතිවරයකු ලැබී තිබේ. ඔවුන් කරන්නේ කුමක් දැයි විනිශ්චය කිරීමට තවම කල් වැඩිය. අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ හැත්තෑ හතර වසරක් පුරා මෙරට ක්‍රියාත්මක වන මහලු, මජර, චෞර, උද්දච්ඡ හා තක්කඩි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන ලෙසය. මෙම මතවාදය සමාජයේ සෑම බිම් අඟලකම රෝපණය වී සාර සොබාවට වැඩෙන මහා වනස්පති බවට පත්වී අවසන්ය. මේ බලපෑමෙන් මිදුණු ගමනක් මෙරට දේශපාලනඥයන්ට දැන් ඉතිරි වී නැත. එය අරගලකරුවන් මෙන්ම මුළු මහත් රටම අත්පත් කරගත් ආපිට හැරවිය නොහැකි මහා බලගතු ජයග්‍රහණයකි.
නිශ්චිත, නිසි නායකත්වයක් නොවීම අරගලයේ ප්‍රධානම දුර්වලතාව විය. එම නිසාම නිර්පාක්ෂික යැයි කී අරගලයට දේශපාලනය කාන්දු විය. එමෙන්ම අරගලය අල කරනු පිණිසම විවිධ කල්ලි කණ්ඩායම් අරගල බිමට රිංගූහ. අරගලකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් ඇති කිරීමේ ප්‍රයත්නද අපි දුටුවෙමු. එමෙන්ම අරගලය ජීවනෝපායක් කරගත් පිරිස් මෙන්ම විනාශය විනෝදයක් කරගත් තක්කඩියන්ට අරගල බිමට ඇතුළුවීමට බාධාවක් නොවීය. ලෝකයේම අවධානය දිනාගත් මහා සටන් බිමක් එවැන්නක් නිසා කිලිටි වී ගිය බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වූවකි.
දිගින් දිගටම අරගල බිම් නඩත්තු කරමින් පවත්වාගෙන යෑම අර්බුදවලට විසඳුම් සෙවීමට බාධාවකි. රට කලබැගෑනියක්ව පවතින කල සංචාරකයෝ මෙන්ම ආයෝජකයෝද මෙරටට නොපැමිණෙති. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ගොජදමන අර්බුදය තව තවත් තියුණු වී දරුණු වී රට ප්‍රපාතයටම වැටීමයි. එවැනි පාපකර්මයකට දායකවීමට කිසිදු පුරවැසියකුට අයිතියක් නැත.
මේ රට අයිති ජනතාවටය. පාලකයෝ යනු එහි බාරකාරයන් මිස අයිතිකාරයෝ නොවෙති. එහෙත් චිරාත් කාලයක් පුරා පාලකයන් කල්පනා කළේ තමන් රටේ අයිතිකරුවන් බවය. එහෙයින් පරම්පරාවෙන් ලැබුණු දායාදයක් මෙන් ඔවුහු රිසි සේ රට උලා කෑහ. සමාජයේ පතුළ බිඳගෙන මහජන විරෝධයක් පැන නැගුණේ එහෙයිනි. නූතන අව්‍යාජ තරුණයාට මෙන්ම ‘‘ස්මාට්’’ පුරවැසියාට අවශ්‍ය වන්නේ මනුෂ්‍ය ගරුත්වය රැක ගෙන ජීවත් විය හැකි රටක් මිස තක්කඩි දේශපාලනඥයන්ගේ කටමැත දෙඩවීම් හා උද්ධච්ඡ කතා බහෙන් පිරුණු රටක් නොවේ, දේශපාලනඥයන් මෙම කරුණු එයට හිමි නිසි අර්ථයෙන් හඳුනා ගන්නේ නම් රටේ හෙට දවස යහපත් වනු ඇත.
(***)