ගෑස් - ඉන්ධන පෝලිම් වේදනාව


බිඳ වැටුණු රට හිතන තරම් ඉක්මනින් පිළිසකර වන බවක් පෙනෙන්නට නැත. මහ බැංකු අධිපතිගේ කතාවෙන් ද ඒ බව පැහැදිලි වෙයි. රට වේගයෙන් පතුල නොපෙනෙන ප්‍රපාතයක් කරා තල්ලු වෙමින් තිබේ. ඇමැති ධුර බෙදිල්ලෙන් තත්ත්වය සමනය කර ගත හැකි යැයි සිතන සෙයකි. එහෙත් මතු මහලෙන් බිමට බැස යථාර්ථය නිවැරැදිව දකින මෙන් අපි ඉල්ලා සිටිමු.

ජීවත්වීමට අත්‍යවශ්‍ය දෑ නොලැබෙන විට ජනයා නොසන්සුන් වීම බලාපොරොත්තු විය යුත්තකි. එම ජනයාගෙන් ‘‘සන්සුන්ව සිටින්නැයි’’ ඉල්ලා සිටීම ප්‍රයෝජනවත් නොවේ. දිවා රෑ දෙකෙහි විසි හතර පැය පුරාම පෝලිම්වල දුක් විඳින ජනයාගේ වේදනාව එයට හිමි නිසි බරින්ම හඳුනා ගත යුතුය. එසේ හඳුනාගෙන එම ප්‍රශ්නය විසඳීමට යෝධ මැදිහත්වීමක් නොපමාව කළ යුතුය. එය එසේ නොවන විට ජනයාගේ නොසන්සුන්තාව මහා පරිමාණ ආවේගයක් බවට පත් වී පුපුරා යනු ඇත.

ගෑස් පෝලිම්වල දුක් විඳින ජනයා කියන කතා ඇසින් කඳුළක් නොසලා අසා සිටිය නොහැකි තරම්ය. කිරි දරුවන් කරපින්නාගත් මවුවරුන් එමෙන්ම මහලු මවුපියවරුන් එසේ දුක් විඳින්නේ කළ හැකි අන් කිසිවක්ම නොමැති හෙයිනි. කවුරුන් කොහොම කීවත් ගෑස් යනු මධ්‍යම පාන්තික ජීවිත සරසන සැරසිල්ලක් නොව රටේ සාතිශය බහුතරයක් ජනයාට අත්‍යවශ්‍යම වූවකි.

නාගරික, අර්ධ නාගරික ජනයාගේ පමණක් නොව කාර්ය බහුල සංකීර්ණ ජීවිත ගත කරන ගමේ මිනිසාටත් ගෑස් යනු නැතිවම බැරි දෙයකි. ගමේ ජනයාගේ ජීවිතය යම් පමණකට පහසු කිරීමට ගෑස් හේතු වී තිබේ. මහල් නිවාසවල ජීවත්වන ජනයාට ගෑස් නොමැතිව බතක් මාලුවක් පිස ගත නොහැකිය. එම මහල් නිවාසවල දර ළිපට අවශ්‍ය පහසුකම් නැත. වේලෙන් වේලට අලුත් වන බඩගින්න ඒ ජනයා නිවාගත්තේ කෙසේද? යන්න මගහැර යා යුතු නැති ප්‍රශ්නයකි.

පෙට්ටි කඩයේ සිට තරු පන්තියේ හෝටල් දක්වා භාවිතයට ගනු ලබන්නේ ගෑස්ය. ගෑස් නොමැති නිසා ආප්පයක් කා ප්ලේන්ටියක් බීමට පොඩි මිනිහාට අවස්ථාවක් නැත. එමෙන්ම හෝටල් හිමියාට ආදායම අහිමිය. ඒ දරු පැටවුන් කන්නේ බොන්නේ කෙසේ දැයි අමතක නොකළ යුතුය. පෙට්ටි කඩයේ ආප්ප දමා කීයක් හෝ හරි උපයා සපයා ගෙන රටට බරක් නොවී ජීවත් වූ මිනිසුන්ට රැකියාව අහිමිය. මෙම තත්ත්වය දිනෙන් දින උග්‍ර වනවා මිස විසඳෙන ලකුණක් හෝ පහළ වී නැත.

හැමදාමත් මෙන්ම ගෑස් වෙළෙඳපොළට ද මාෆියාකාරයෝ රිංගා සිටිති. ගමේ, නගරයේ ජනයා ගෑස් වෙළෙඳසල ඉදිරිපිට පෝලිමේ සිටිය දී මොනයම් ක්‍රමයකින් හෝ ගෑස් සිලින්ඩර තොග පිටින්ම අවශ්‍ය තැනකින් බා ගැනීමට මෙම ජාවාරම්කරුවෝ සමත් වෙති. ඒ වෙනුවෙන් ගෑස් ලොරියේ සේවකයන්ට මොනර කොළ දෙක තුනක් දික් කිරීම වුව ප්‍රමාණවත්ය. අප මෙසේ ලියන්නේ එබඳු සිදුවීම් ඉකුත් සමයේ අනාවරණය වූ හෙයිනි.

හොර රහසේ බා ගන්නා ගෑස් සිලින්ඩර වැඩි මිලට විකුණා හොද්ද බොර කර ගැනීමට ජාවාරම්කරුවෝ සමත් වෙති. ඉකුත් දා මාධ්‍ය වාර්තා කළේ රුපියල් 9260ක් බැගින් වැඩි මිලට හොර රහසේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකිණීමේ ජාවාරමක් කොළඹ අපරාධ කොට්ඨාසය වටලා තිබෙන බවය. කොලොන්නාව ප්‍රදේශයේ බේකරියක් තුළ සඟවාගෙන ඉතාමත් වැඩි මිලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකුණන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමක දී මෙම ජාවාරම අනාවරණය කරගෙන තිබේ. එහෙත් බොහෝ විට සිදුවන්නේ කීයක් වැඩිපුර ගෙවා හෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ජනයා පෙළඹීමය. මන්දයත් ගෑස් නැතිවීමෙන් ඇතිවන ජරමර ඊට වඩා බරපතළ හෙයිනි.

ගෑස් නිසි පරිදි අවශ්‍යම පුද්ගලයන් අතට පත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකිය. මේවා මහ අමාරු කළ නොහැකි වැඩ යැයි කවුරුන් හෝ සිතන්නේ නම් එය ඔවුන්ගේ බොළඳ බව විනා අන් යමක් නොවේ. එක් ග්‍රාමසේවා වසමකට ගෑස් සිලින්ඩර කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය ද යන්න සොයා බැලිය හැකිය. ගම හා නගර යා කෙරුණු ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබේ. අවශ්‍ය වන්නේ එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමය. එසේ නොවුණහොත් අමාරුවෙන් ඩොලර් සොයාගෙන රැගෙන එන ගෑස් සිලින්ඩර අනවශ්‍ය පුද්ගලයන් අතට පත්වේ. මැයි 9 වැනිදා රාත්‍රියේ ප්‍රහාරයට ලක්වූ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ නිවාසවල ගෑස් සිලින්ඩර හැට හැත්තෑව තිබීමෙන් මෙම කාරණය මනාව පැහැදිලි වේ.

(***)