ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු


සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබේ. එහෙත් හය හතර නොදන්නා දරුවාට එබඳු හැකියාවක් නැත. වැඩිහිටියා දරුවා සම්බන්ධ අත් නොහළ විමසිල්ලෙන් සැලකිල්ලෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු වන්නේ එහෙයිනි. ඒ ඇයිද යන්න ඉතා පහසුවෙන් වටහා ගත හැකි පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

අනුවේදනීය පුවතක් වූ එම පුවතෙන් කියැවුණේ හොරණ ප්‍රසිද්ධ පාසලක ගුරු නිවාසයක දී 13 හැවිරිදි පාසල් සිසුවකු මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන එම පාසලේ සහකාර විදුහල්පතිවරයකු හා පෞද්ගලික ආයතනයක වැඩ පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසන බවය.

දරුවාට නිවෙස හැරුණු විට වඩාත් ආරක්ෂිතම ස්ථානය වන්නේ පාසලය. හොඳ නරක කියා දී ශිල්ප සතර උගන්වා වඩාත් යහපත් ජීවිතයකට දොර විවර කරදෙන හෙයින් ගුරුවරයා හැඳින්වෙන්නේ ‘ගුරු දෙවි’ ලෙසය. එහෙයින්ම ගුරුවරයාට හිමි සමාජ පිළිගැනීම අති මහත්ය.  ගුරු ගෞරවය ඕනෑම පුරවැසියකු තුළ හදවතේ ගැඹුරුම තැන නිදන්ගතව පවතින්නේ ද එහෙයිනි. 

13 හැවිරිදි පාසල් දරුවා අපයෝජනය කර තිබෙන්නේ එවන් ගුණවත් ගුරු පියෙකි. මෙතැන් සිට අපි ඔහුට ‘ගුරු පියා’ යැයි නොකියමු. එම පාපතරාය හැඳින්විය යුත්තේ කාමාතුර විකෘති ගුරු අමනයකු ලෙසය. මෙම කාමාතුර ගුරු අමනයා එම පාසලේ සහකාර විදුහල්පතිවරයකු බව ද කියැවේ. දරුවා අපහරණයට ලක් කර තිබෙන්නේ පාසලේ ගුරු නිවාසයේදීම බවද සඳහන්ය. මෙබඳු පාපතර කාමාතුරයන්ට දිය යුත්තේ අරාබියේ  දඬුවම්ය.

13 හැවිරිදි පාසල් දරුවා සමග පළමුව මිතුරු වී තිබෙන්නේ අත්අඩංගුවට ගෙන සිටින පෞද්ගලික සමාගමක වැඩ පරීක්ෂකවරයාය. දරුවා රවටාගෙන ගොස් අවස්ථා කිහිපයකදී අපහරණයට ලක් කිරීමෙන් පසුව එම දරුවා ගුරු නිවාසයට රැගෙන ගොස් තිබේ.

13 හැවිරිදි පාසල් දරුවා ලක්වී ඇත්තේ සමූහ අපහරණයකටය. සදාචාරාත්මක බව අංශු මාත්‍රයක් හෝ තිබුණේ වීනම් මෙසේ හැසිරිය නොහැක. මනුස්සකම අබැටක්  තරමේ ප්‍රමාණයක් වූයේනම් මෙබඳු පහත් හැසිරීමකට කිසිදු ඉඩක් නැත. නීතියට ස්වල්ප වූ හෝ බියක් වේනම් මෙබඳු ක්‍රියා සම්බන්ධයෙන් සිතිවිල්ලක් හෝ පහළ නොවනු ඇත.

අප දරුවන් ජීවත් වන්නේ මෙබඳු විකෘති කාමාතුරයන් ගහණ සමාජයකය. සාරධර්ම මිනිස් කසළ මෙන් පිටු දකින සමාජයක මෙබඳු පාපතරයන් බහුලවීම විමතියට කරුණක් ද නොවේ. එහෙත් එබන්දන්ගේ අණසකට මෙම සමාජය යටත් කර ගැනීමට ඉඩදීම ශිෂ්ට සම්පන්න ජනයාගේ වගකීම ද නොවේ.

වඩාත්ම අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ ද දරුවා ජීවත් වන්නේ මෙබඳු බරපතළ අතුරු ආන්ත්‍රා සහිත බිමක වීමය. හය හතර  නොදන්නා දරුවාට සමාජයේ මෙම ගැඹුර ග්‍රහණය කර ගැනීමට හැකියාවක් නැත. එමෙන්ම නිවෙසින් නිසි පරිදි ආදරය කරුණාව නොලැබෙන විට දරුවා  එය පිටස්තරයන්ගෙන් ලබා ගැනීමට පෙළඹීම ද ස්වාභාවිකය. වංචනිකයන්ට එම දරුවන් තම ග්‍රහණයට පහසුවෙන් ගොදුරු කරගත හැකි වන්නේ ද එහෙයිනි. දරුවා සම්බන්ධව වඩාත් වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙබඳු සිදුවීම් හරහා මව්පියන් වැඩිහිටියන් තේරුම් ගත යුතු බව අපි අවධාරණය කරමු.

(***)